Print this Article


අවිඳු අඳුර නසන ප්‍රදීපාලෝකය

අවිඳු අඳුර නසන ප්‍රදීපාලෝකය

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කර උතුම් අභිසම්බෝධිය ලත් අප තථාගත සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේ ගුරූපදේශ රහිතව ස්වයං භූත් ඥානයෙන් අවබෝධ කළා වූ ධර්මය සන්දිට්ඨිකය, අකාලිකය, විවාද රහිතය. මුල මැද අග කල්‍යාණය. එවන් වටිනා ශ්‍රේෂ්ඨතර ධර්මයක් පන්සාලිස් වර්ෂයක් පුරා දේශනා කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ විසින් කෙසේවත් මේ දීර්ඝතර නිසරු භවයේ ඇලී වාසය කිරීම අනුමත කර නැත. උන්වහන්සේ සැමවිටම ධර්මය දේශනා කළේ විමුක්ති රසය උද්දීපනය කරමිනි.

පහාරාද සූත්‍රයට අනුව මහා සමුද්‍රයේ කොතනකින් ජල දෝතක් ගත්තද එකම ලවණ රසයෙන් යුක්ත වන්නා සේ බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත සද්ධර්මය එකම විමුක්ති රසයෙන් සමන්නාගතය. එවන් වූ කල්‍යාණ දහම් පදයක නිසරු භවයට ඇලීමක් කෙසේවත් බලාපොරොත්තු විය නොහැකි ය.

ලෝක සත්ත්වයා අවිද්‍යා අඳුරේ වෙලී වාසය කරති. මෙකී අඳුර නසන ප්‍රදීපාලෝකය ධර්මය යි. මේ සංසාර ගමන තුළ කොතැනකවත් සැපතක් ස්ථිරත්වයක් නැත. භාග්‍යවතුන් වහන්සේ ගේ ත්‍රි ලක්ෂණය, චතුරාර්ය සත්‍යය, හේතු ඵල ධර්මය, පුනර්භවය පිළිබඳ ඉගැන්වීම් මෙන්ම කර්මය හා ඵලය පිළිබඳව සතර අපා දුක, බුද්ධ ශුන්‍ය කාලවල ස්වභාවය, ලෝකය විනාශ වන ආකාරය පිළිබඳ ඉගැන්වීම් තුළින් භව ගමනේ භයංකර තත්ත්වය මනාව පැහැදිලිය.

මෙම භවරාගයෙන් මිදෙනු වස් අනුක්‍රමික ප්‍රතිපදා ධර්මයක් අවබෝධයෙන් අත්පත් කරගෙන දුක් සයුරේ ගිලුන සත්ත්ව සමූහයා කෙරෙහි අපරිමිත කරුණාවකින් දෙසූ ලොව පහළ වූ අද්විතීය ශ්‍රේෂ්ඨතර එකම ශාස්තෘන් වහන්සේ වනා හී අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. මේ භවය සකස් වන්නේ කෙසේ ද? භව ගමනේ ස්වභාවය කෙබඳුද? එහි ඇලීමෙන් වන දුර්විපාක මොනවා ද? භව රැහැන් බිඳ දමා භවයෙන් මිදීමෙන් ඇතිවන සදාකාලික සුවය කොයි ආකාර ද? යන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ මේ භවයෙන් එතරම්ම සත්ත්වයාගේ සැනසුම වන නිසාවෙනි. උන් වහන්සේ දේශනා කළේ සැපයෙන් අග්‍ර වූ දිව්‍ය බ්‍රහ්ම ආත්මයක වුවත් ඇසිපිය ගහන ක්ෂණයක් ජීවත් වුවද මේ සංසාරික ගමන දුකින් ම පිරී ඇති බවයි.

මජ්ඣිම නිකායේ රට්ඨපාල සූත්‍රයට අනුව නිසරු භවයේ ඇලීම දුරුකර විමුක්ති ප්‍රතිලාභය උදෙසා සියලු ලෞකික සැප සම්පත් පරිත්‍යාගයෙන් කසාවත් දැරූ සිටු පුත්‍රයකු පිළිබඳව සඳහන් වේ. ඒ අනුව කෝරව්‍ය රජතුමා රට්ඨපාල තෙරුන්ගෙන් අසන්නේ “මේ ලෝකයේ සමහර අය වයෝවෘද්ධ වෙලා තරුණ විය ඉක්මයාම නිසා වයස් ගතව පැවිදි වේ, ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා. ඉතින් ඔබ වහන්සේ තරුණ වියේදී පැවිදි වුනේ ඇයි? බොහෝ දෙනා ලෙඩ රෝග හේතුවෙන් සුවකර ගන්න බැරිකම නිසා ඇවිත් පැවිදි වෙනවා. එහෙත් ඔබ වහන්සේට කිසිම ලෙඩක් නෑ. බොහෝම නිරෝගියි. ඇයි ඔබ වහන්සේ පැවිදි වුනේ? සමහර කෙනෙක් තමන්ගේ ධනය පිරිහීම නිසා ජීවත් වෙන්න නොහැකිව පැවිදි වෙනවා. එහෙත් ඔබ වහන්සේට බොහෝම ධනය තිබෙනවා. රටක් පාලනය කරන්න තරම් ධනය තිබියදී ඇයි ඔබ වහන්සේ සසුන් ගත වුණේ? තවත් සමහර ඥාති පිරිවර නැති වෙලා තමන් තනි වුණාම පසුව පැවිදි වෙනවා. ඔබ වහන්සේට මේ මුළු මහත් ජනපදයේම ඥාති පිරිවර ඉන්නවා. ඇයි ඔබ වහන්සේ පැවිදි වුනේ? යනුවෙන් ප්‍රශ්න හතරක් රජතුමා ස්වාමීන් වහන්සේගෙන් ඇසුවා.

ඒ මොහොතේ දී ස්වාමීන් වහන්සේ විසින් රජතුමාට දුන් පිළිතුර වූයේ “මහරජතුමනි, සියල්ල දන්න සියල්ල දකින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මා මුලින්ම ධර්මය ඇසු දවසේ දී දහම් කරුණු මාතෘකා හතරක් මා හට දේශනා කළා. මේ කරුණු හතර නිසයි මම සසුන් ගත වූයේ.

“උපනීයති ලෝකෝ අද්ධුවොතිකො මහරාජඅතාණෝ ලෝකෝ අනභිස්සරොති කො මහාරාජඅස්සකො ලොකො සබ්බං පහාය ගමණී යන්තිකො මහාරාජඌණො ලොකො අතිත්තො තණ්හා දාසෝතිකො මහාරාජතෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුදෙධනචත්තාරො ධම්මුද්දෙසා උද්ධිට්ඨා”

මේ ලෝක සත්ත්වයා උපන්දා පටන්ම, සූර්යයා උදාවූ තැන් පටන් අවරට බැස යන්නාක් මෙන් ජරා මරණ වෙත ඇදීගෙන යනවා. මේ ලෝකයේ සත්ත්වයා තමාට තමාවත් නැතිව අනාතව අසරණව ජීවත් වෙනවා. ලෝක සත්ත්වයා තමා ගේ් යැයි කියා කිසිවක් නොමැතිව හුදෙකලාව හිස් අතින් පරලොව යනවා. ලෝක සත්ත්වයා මහ මුහුද වගේ කිසි දිනෙක සෑහීමකට පත් නොවී තෘෂ්ණාවට වහල් වී තෘෂ්ණාවට දාසකම් කරමින් නොපිරුණු කළයක් මෙන් අතෘප්තිකර ජීවිත ගෙවනවා. මහරජ මෙම කාරණා හතර බුදුරජාණන් වහන්සේ ගෙන් මට අසා ගැනීමට ලැබුණා.

මෙම කරුණු හතර විස්තරාත්මකව සඳහන් කරනවානම් “උපනීයති ලොකො අද්ධුවොති කියන්නේ උදාවූ හිරු මඩල අස්තයට බැස යන්නා සේ උදාවූ සඳ මඩල අවරට බැසයන්නා සේ උපන්දා පටන් මේ සියලුම සත්ත්වයෝම ජරා මරණ වෙත ඇදීගෙන යනවා. ඔබතුමාට අවුරුදු විස්ස විසිපහ තිහ කාලයේ තිබුණ ප්‍රාණවත්කම, ශක්තිමත්කම, රූපවන්තබව, වර්ණවන්ත බව කිසිවක් අද නැහැ නේද? මේවා සියල්ල කවුරුත් පැහැර ගන්නවා නොව කෙනෙක් සතුරුකම් කරලා නැතිවෙනවා නොව ස්වභාව ධර්මය මෙය යි. වෙනස්වීමේ ස්වභාවය යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය නම් මෙයයි. සැමදා එක ලෙස නොපවතින මේ ශරීරයත් හේතු ප්‍රත්‍ය සමවායෙන් උපන් සෑම සංඛත ධර්මයක් මත් මොහොතක් පාසා වෙනස් වෙමින් පවතිනවා. ඇතිවන සියල්ල නැතිවී යනවා. මෙයයි ලෝක ස්වභාවය. මහ රජතුමනි, මම තරුණ වයසේ දීම මේ කාරණය තේරුම් ගත්තා. අද නිරෝගීව ශක්තිමත් කයක් මා විසින් පරිහරණය කළත් මටද මේ තත්ත්වය කෙදිනක හෝ ඒකාන්තයෙන්ම උරුම වෙනවා. එහෙයින් වෙනස් වන තරුණ විය, රූපශි‍්‍රය, ශක්තිමත් බව අතහැර නොවෙනස් වන ශාන්ත නිවන් සැපත සඳහා මම මේ ශාසනයේ පැවිදි වූ බව රහතන් වහන්සේ විසින් රජතුමාට පහදා දුන්නා. රජු එම කාරණය මනාව අවබෝධ කර ගත්තා.

“අතාණො ලොකො අනභිස්සරො” කියන්නේ කුමක් දැයි ඇසුවා. මේ ලෝක සත්ත්වයා මම මගේ කියමින් ධන ධාන්‍ය එක් රැස් කර ගන්නවා. ගොඩ ගසා ගන්නවා. ආදරයෙන්, සෙනෙහසින් බැඳී ජීවත් වෙනවා. එසේ ජීවත් වුණත් ධර්මයට අනුව තමාට තමාවත් නැහැ. දුකක්, දොම්නසක්, වේදනාවක් ඇති වුනාම තමන් ආදරේ කරන කිසි කෙනෙකුට පැවරීමට නොහැකි ය. එම කායික මානසික වේදනා තමන් තනිවම විඳ දරා ගත යුතුය. මේ පංච උපාදානස්කන්ධ දුක තමන්ම විඳිය යුතුය. එබැවින් සත්ත්වයා අනාථයි. අසරණයි. තමාට තමාවත් නැහැ කියන බව සියල්ල දන්නා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළෙන් මම අද නිරෝගී සුවයෙන් සිටියද මේ ජීවිතය කවදාහරි රෝගී වන බව අවබෝධ කර මේ නිසරු ජීවිතයෙන් වැඩක් ගනු පිණිස මෙසේ කසාවත් පොරවා ගිහි ගෙයින් නික්මී සසුනේ පැවිදි සුවය ලත් බව රජුට අවබෝධ කර දුන්හ.

තුන් වන කාරණය “අස්සකො ලොකො සබ්බං පහාය ගමණීයං...” කියන්නේ කුමක් ද? ලෝක සත්ත්වයා හට තමාගේ යයි කියා කිසිවක් නැහැ. මගේ යැයි කියා ගේ දොර, ඉඩම්, යාන වාහන, මිල මුදල්, ගව මහිෂ ආදීන්, දැසි දසුන් තියා ඇඟේ ලූ වස්ත්‍ර කඩක් වත් පැළඳුමක් වත් අයිති නෑ. ශරීර ඉන්ද්‍රියන් වුවද තමාට අයත් නෑ. මගේ කියන පණ ඇති නැති සියල්ල අතහැර පරලොව යනවිට හුදෙකලාවම හිස් අතින්ම යන්නට වෙන්නේ ය. හේතුව තමාට තමාවත් නැති නිසාවෙනි. මට කොපමණ සම්පත් තිබුණත් මේ සියල්ල මෙලොව දාලා මට හිස් අතින් පරලොව යන්නට සිදුවන බැවින් ඒ බව තේරුම් ගෙන ඒවාගෙන් වෙන් වන්නට, ඒ කෙරේ තෘෂ්ණාව, බැඳීම උපාදාන සියල්ල දුරු කිරීම සඳහා කසාවතක් පොරවා ආර්යවංශ පිළිවෙතක් වන ශාසන පැවිද්දෙන් පැවිදි වූ බව රහතන් වහන්සේ විසින් රජුට අවබෝධ කර දුන්හ.

සතර වනුව “ඌනො ලොකො අතිත් තො තණ්හා දාසො” යන කාරණය කුමක් දැයි ඇසී ය. “රජතුමනි, තෘෂ්ණාව තිබෙන පුද්ගලයා හට කොපමණ වස්තුව ලැබුණත් ඇතැයි සෑහීමක් නෑ. තවත් වස්තු සම්පත්, ගෞරවය, ප්‍රසාදය, සුව පහසුව සෙවීම උදෙසා බොහෝ වෙහෙසෙනවා. කැප කිරීම් කරනවා. කොතරම් සම්පත් ලැබුවද මානසික අසහනයේ අඩුවක් නෑ. ඇතිවීමක් නෑ. තෘෂ්ණාවට වහල් වී දාස වී සත්ත්වයා ජීවත් වෙනවා. “රජතුමනි, මේ ලෝක තත්ත්වය තේරුම්ගෙන මෙපමණ පිරිවර සම්පත්තියක් සිටියත් නිරෝගි ජීවිතයක් ගත කළත් යෞවන වියේ ශක්තිමත්ව පසු වුවත් මව්පියන් හඬා වැළපෙද්දී මගේ හිත මිතුරන් හඬා වැළපෙද්දී ඒ සියල්ල කෙරේ උපේක්ෂාවෙන් යුතුව කසාවත් දරා සම්බුදු සසුනේ පැවිදි ජීවිතයට ඇතුළත් වූවා. මෙම කරුණු හතර නිසයි රජතුමනි මම පැවිදි වුනේ යනුවෙන් දේශනා කළහ.

මෙයින් පැහැදිලි වන්නේ ජීවිතයේ වෙනස් වන ස්වභාවය යි. ඒකාන්තයෙන් ජීවිතය මරණයෙන් කෙළවර වන බවයි. භවයේ ඇලීම පිණිස ලෞකික සම්පත් ගොඩනඟා ගැනීම අරුත් සුන් ක්‍රියාවක් බවට රට්ඨපාල සූත්‍රය කදිම නිදසුනකි. ජරා මරණ කරා ඒකාන්තයෙන් ඇදී යන සත්ත්වයා භවයේ ඇලීම උදෙසා එක් රැස් කරන භෞතික සියලුම දේ දුකම ඇති කරයි. ජීවිතයේ අනිත්‍ය, අස්ථිර ස්වභාවය උරුම කරගත් අපි ජීවත් වීම උදෙසා ළාමක පාප ධර්මයන් නොකළ යුතුය. මන්ද අපි ඒකාන්තයෙන් ජරා මරණ ස්වභාවය උරුම කරගත් සත්ත්වයන් වන බැවිනි. මේ බව අවබෝධ කරගෙන භවයේ ඇල්ම දුරුකර භවයෙන් මිදී නිවන් සැපතින් සැනසීම උදෙසා කුසල් කිරීමට අප්‍රමාදී විය යුතුය.

අසරණ සත්ත්වයා තමාට කිසිදු පිහිටක් නැතිව අසරණව ජීවත් වනවා නම් මේ භවයේ ඇලීමෙන් මම මගේ යැයි බන්ධන සහිත රැහැනින් කිසිම අරුතක් නැත. එහෙයින් භවයේ රැඳී සිටින තාක් මේ සංසාරික ප්‍රයෝගවලට හසුව සදාකාලික මුළාවක නිමග්නව සිටීමට සිදුවනු ඇත. භවයට ඇති ඇල්ම දුරුකර විමුක්ති සුව විඳීමට හදවත ශීල, සමාධි, ප්‍රඥා තුළින් දියුණු කර ගැනීමෙන් තමන් කෙදිනක වත් කෙසේවත් අසරණ නොවන අන් අයටද සරණක් විය හැකි තත්ත්වයට පත්වනු ඇත.

සියල්ල අතහැර හිස් අතින් යා යුතු වේ නම් ලබා ගත යුත්තේ රැගෙන යා හැකි දෙයක් පමණි. මෙලොව වශයෙන් උපයන දෙයින් පරලොව ජීවිතයට රැගෙන යා හැකි යමක් කරනවා නම් ඒ කුසල් පමණි. භවයේ ඇලීම පිණිස නොව භවයෙන් ගැලවීම අරමුණු කරගෙනම කුසල් සම්පාදනය කරගත යුත්තේ මන්ද? භවයට ඇලීම කරණ කොට ගෙන කරන සෑම දෙයකම අවසන් ප්‍රතිඵලය දුකක් වන නිසාවෙනි.

“න කහාපන වස්සෙන – තිත්ති කාමෙසු විජ්ජති අප්පස්සාදා දුඛා කාමා - ඉති විඤ්ඤාය පණ්ඩිතො”

මිනිසාට කහවණු වැස්සකිනුදු කාමයෙහි තෘප්තියක් ඇති නොවන බව ධම්මපදයේ එන ගාථා රත්නයකින් පැහැදිලි වේ. සෑම සත්ත්වයෙකුම මිය යන්නේ ශේෂ වූ ආශා ඇතිවය. එසේ මියගොස් නැවත භවයේ දුක් සහිත ආත්මයක් පිණිස තෘෂ්ණා මූලික කර්ම රැස්කර ගනී. මේ භවයේ ඇලීමය. බොහෝ විට පින් දහම් කරන්නේ ශ්‍රද්ධාවෙන් තොරවය. සදිව්‍ය ලෝක සම්පත් මනුෂ්‍ය ලෝකයේ ඉහළම භවභෝග පරිවාර සම්පත් ලබාගැනීමේ අරමුණ ඇතිවය. මේ දීර්ඝ සසරේ අපි ඇවිදින ලද වාර ගණන අනන්තය.

මේ දක්වා අප විසින් කොතරම් බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාට, සිල්වතුන්ට ගුණවතුන්ට සියතින් සිව්පසය පූජා කරන්නට ඇද්ද? කොයිතරම් උන් වහන්සේලාගේ ගුණ ශරීරයට මලින්, පහන් ආලෝකයෙන්, සුවඳ දුමින් ආමිසමය වශයෙන් ද ප්‍රතිපත්තිමය වශයෙන් ද ශීල, සමාධි, ප්‍රඥා වඩා ප්‍රතිපත්තිමය වශයෙන් ද පූජා පවත්වා ඇත්ද? ගණන් කළ නොහැකි දීර්ඝතර සසරේ එම කුසල්වලට අනුරූපව දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය සම්පත් කල්ප ගණන් වින්දනය කරන්නට ඇත්ද? ඒත් ඒ සියල්ල සසර සැප සාදමින් සසර ගමන දිගු කරමින් සැපත උදෙසාම ඉවහල් වුනා පමණක් නොව, විපාක දීමෙන් ඒ සියල්ල අනිත්‍ය වී ගියා පමණි. අප තාමත් සතර අපා දුකෙන් සදහටම මිදී නැත. එහෙයින් අප භවයෙහි ඇලීමෙන් තාමත් සසර සැරිසරණ අසරණ සත්ත්ව කොට්ඨාසයට අයත් වී ඒ රාමුව තුළ හිරවී සිටිමු.

මේ අයුරින් භවයේ ඇලෙමින් සසර නැවත නැවත ඉපදීම අනන්ත දුක්ඛ, දෝමනස්සයන්ට මූලික හේතුවයි. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක සහිත සසර ගමනින් සම්පූර්ණයෙන් මිදීම නිරාමිස පී‍්‍රති සුවයකි. එවන් අති උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අපිත් ශීල, සමාධි, ප්‍රඥා සහිත බුදු මඟ ගමන් කරන්නට ශ්‍රද්ධා දී ඉන්ද්‍රියන් බලවත් කර ගනිමු. ඒ සඳහා සියලු සත්ත්ව සමූහයාට තුනුරුවනේ අනන්ත ආශීර්වාදය ලැබේවා!