Print this Article


පොත් පුවත්

උත්තම යතිවර අප්‍රකට තොරතුරු

(අජාන් බ්‍රහ්මවංසෝ මහා තෙරණුවෝ)

පරිවර්ථක – ඩී.ඇම්.එස්. ආරියරත්න
ප්‍රකාශනය – නිදස ග්‍රන්ථ ප්‍රකාශන
245, සූරියමල් මාවත,
දිවුලපිටිය, බොරලැස්ගමුව
මිල – රු. 295/- යි

අජාන් බ්‍රහ්මවංසෝ භික්‍ෂූන් වහන්සේගේ 60 වන ජන්ම දිනයට උපාහාර වශයෙන් මෙම කෘතිය සම්පාදය කර ඇත. අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ජීවන තොරතුරු ධර්ම සංචාර, ධර්ම දේශනා දෙකක්, බෞද්ධ අසපු ඇති කිරීම, සුබපැතුම් පණිවිඩාදියෙන් සමන්විත උන්වහන්සේගේ ජීවන තොරතුරු වලට අදාළ ඡායාරූපය ද සහිත ග්‍රන්ථයකි.


මහා පරිනිර්වාණ සූත්‍රාගත ධර්ම පර්යාය

කර්තෘ - රාජකීය පණ්ඩිත
පූජ්‍ය වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමි
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල – රුපියල් 250/- යි

බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලයේ අවසාන වර්ෂය මෙහි පිළිබිඹු වී ඇත්තේ කරුණාශාන්ත රස නිපදවාලීමෙනි. එම ධර්මය පිඬුකොට දැක්වීමට ග්‍රන්ථ කර්තෘ හිමියන් දක්වා ඇති ශක්තිය ප්‍රසංසාවට ලක්වෙයි.

බුදුසමය පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති අඩසියවසකටත් වැඩි කාලයක් පතපොතින් චතුර ධර්ම දේශනාදියෙන් ලක්දිව මෙන්ම අපර දිග රටවල බෞද්ධ ජනතාවට ඉමහත් සේවයක් කර ඇති නම ඇසූ පමණින් වටිනාකම හඳුනන පඤ්ඤාලෝක නා හිමියන් විසින් රචිත ග්‍රන්ථයක් හඳුන්වාදීමට අවශ්‍යතාවයක් නොමැති බවද පසුවදනෙහි පැවසෙයි. එසේ මෙම ග්‍රන්ථයට පසුවදන සටහන් තබන්නේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය ආනන්ද ගුරුගේ මහතා ය.


පරම මෛත්‍රිය පතුරවමු

කර්තෘ - බන්දුල උබේසිංහ
ප්‍රකාශනය – කර්තෘ ප්‍රකාශනයකි.
අංක 38, අකුරුමුල්ල, දෙල්ගොඩ

ධර්මදානය පිණිස ය.

මෛත්‍රී භාවනාව පිළිබඳව හා එහි ආනිසංස ගැන කියැවෙන පුංචි ග්‍රන්ථයකි. පොතට ප්‍රස්ථාවනාවක් ලියමින් ශාස්ත්‍රපති මැද්දපොල තිලකවංශ හිමි මෙසේ සටහන් කරයි. මෙම ග්‍රන්ථයේ කතුවරයා විශ්‍රාමික බැංකු කළමණාකාරවරයෙකි. ධර්මය පිළිබඳව මෙන්ම සිත පිළිබඳව එතුමා තුළ ඇති අවබෝධය මම ඉන් දැක ගතිමි. මෛත්‍රී කිරීමට සිත සාදා ගැනීම පළමුව කළ යුත්තකි. පළමුව තමාට මෛත්‍රී නොකොට අන් අයට මෛත්‍රී කරන්නේ කෙසේ ද? කතුවරයා ඒ පිළිබඳව මනාව අවබෝධයෙන් යුතුව ග්‍රන්ථය රචනා කළ බවක් පෙනේ.


බෙල්ලන ඤාණවිමල මහා නා හිමියන්ගේ අජරාමර ලෝකය

කර්තෘ - චාමික මුණසිංහ
ප්‍රකාශනය - සාහිත පොත්පියස
10/7, දේවානන්ද පාර, නාවින්න, මහරගම
මිල - රුපියල් - 150/- යි

අග්ගමහා පණ්ඩිත, ආචාර්ය, බෙල්ලන ඤාණවිමල මහා නාහිමියන් සමඟ කළ සාකච්ඡා ඇසුරෙන් චාමික මුණසිංහ ලියූ ‘සක්වල සක්මන’ නමින් ලිපි පෙළක් වශයෙන් ‘බුදුසරණ’ පුවත් පතේ ඵල විය.එහි අවසන් භාගය වශයෙන් ‘අජරාමල ලෝකය’ නම් වූ මෙම පොත එළිදක්වා තිබේ.

පොතට පසු වදනක් සපයන වේවැල්දෙණිය සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පොල්ගහවෙල මිතභාණී ස්වාමීන් වහන්සේ මෙසේ පවසති. සතර අපායෙන් මිදීමේ මඟ හා අත්හැරීමේ පාඩම ප්‍රායෝගිකව සරලව කියා දෙන රසවත් උපදේශනාත්මක පොතක් ලෙස මෙය පාඨක අගැයීමට බඳුන් වෙයි.

අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහා නා හිමියන් උත්තරීතර මහා නායක පදවිය ඇතුළු සෙසු සියලුදේම අත්හරිමින් අජරාමර නිර්වාණය ම ප්‍රාර්ථනා කරන මහ තෙරණුවකි. ශතවර්ෂාසන්න, ෂඩ් භාෂා පරමේශ්වර, ධර්ම විනයධර මේ මහා යතිරුවන සැබෑ බුද්ධ පුත්‍රයාගේ පරමාදර්ශී ප්‍රතිමූර්තියක් වැන්න. එවන් යුග කාරක සංඝ පීතෘවරයකුගේ අමරණීය අදහස් කැටි වූ ‘අජරාමර ලෝකය’ කෘතිය සකල ලෝකවාසීන්ගේ ම නොමඳ අවධානයට පාත්‍ර වනූ නො අනුමාන ය.


ලීලා පංචාංග චිත්‍ර දින දර්ශනය

මුද්‍රණය - සී/ස ලීලා මුද්‍රණාලය( පෞද්)
අංක 400, කේ.සිරිල්.ඩී.පෙරේරා මාවත,
කොළඹ – 13

පොත් පුවත් තීරයෙන් මෙම දින දර්ශනය පිළිබඳව සටහනක් තැබීමට පෙළඹුණේ මෙම දින දසුනේ වන සුවිශේෂීතාවය නිසාම ය. මෙය ලංකාවේ ප්‍රථම සිංහල දින දසුන ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. 1950 ආරම්භ කර මේ වනතෙක් අඛණ්ඩව මෙම දින දසුන එළි දක්වා තිබේ. 2014 දින දර්ශනය නිකුත් වන්නේ 64 වැනි වසරට ය. මෙම දින දසුනේ දිනයක් වෙනුවෙන් එක් කොළයක් බැගින් දින තුන්සිය හැට පහට අමතරව තවත් කොළ 17 ක් වෙන්ව තිබේ.

ඒ ඒ දිනයන්ට අදාළ දෙස් විදෙස් විශේෂ සන්සිද්ධීන්, ආගමික, සාමාජික, සංස්කෘතික, දේශපාලන විශේෂතා ජන හිතකාමීන්, වියතුන්ගේ, කවීන්ගේ, සහ විශේෂිත පුද්ගලයන්ගේ විස්තර මෙන්ම ඡ්‍යොතිෂය පිළිබඳ තොරතුරු, රුවන්වැකි, ධම්මපදයේ කොටස් ආදියෙන් සමන්විත මෙය විශ්වකෝෂයක් බඳු ය. මෙහි කොළ කඩා දමනවාට වඩා ළඟ තබා ගැනීමට සුදුසු අත් පොතක් සේ හඳුන්වා දිය හැකි ය.


භව කතරින් එතෙර වීම

කර්තෘ - පූජ්‍ය පොල්ගහවෙල මිතභාණී හිමි
ප්‍රකාශනය - සාහිත පොත්පියස
10/7 දේවානන්ද පාර
නාවින්න හන්දිය,මහරගම
මිල – රුපියල් 150/- යි

වේවැල්දෙණිය අරණ්‍ය සේනාසනාධිපති සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පොල්ගහවෙල මිතභාණී හිමියන් විසින් ‘බුදුසරණ’ පුවත්පතට ලියන ලද ලිපි පෙළ මෙසේ පොතක් වශයෙන් ඵල වී තිබෙයි. සෑම සතියක් පාසාම මුළු ලෝකයටම අනාවරණය වන ධර්මය ඔප් නංවන ඉතා වටිනා ලිපි පෙළ හරහා නිර්මාණය වුණ මෙම කෘතිය මුල සිට අවසානය දක්වා අවබෝධයෙන් අධ්‍යායනය කිරීම තුළින් ඉහළ මට්ටමක විදර්ශනා ඥානයත් ලෝකෝත්තර දහම් ඇසත් පහළ කර ගැනීමට හැකිවන බව“ - පොතේ පසු වදනෙහි සඳහන්ව තිබෙයි.


දෙමාපියන් හා දූ දරුවෝ

කර්තෘ - පූජ්‍ය මැදගම වජිරඤාණ නා හිමි
සිංහල පරිවර්තනය – එල්.බී. ඩබ්ලිව්. සෙනෙවිරත්න
ප්‍රකාශනය - බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය, මහනුවර
මිල - රුපියල් 70 /- යි

පොතේ ඇති පරිවර්ථකගේ සටහනේ මෙසේ සඳහන් වෙයි. දෙමාපියන් හා දූ දරුවන් අතර පැවැතිය යුතු සබඳතාවය ඉලක්ක කර බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනා පූජ්‍ය මැදගම වජිරඥාන නා හිමියන් විසින් උන්වහන්සේගේ Perents and Children (Transmitting the Buddhist Heritage Across Generation)  පුස්තිකාවෙන් ආකර්ශනීය ලෙස කැටි කොට දක්වා ඇත. මෙය එහි සිංහල පරිවර්තනයයි.

මෙහි කර්තෘ ආචාර්ය මැදගම වජිරඥාන නා හිමියෝ ධර්ම ශාස්ත්‍රීය විභාග රැසකින් උසස් ලෙස සමත්වූහ. උන්වහන්සේ ලන්ඩන් බෞද්ධ විහාරයේ අධිපතිත්වයෙන් පිදුම් ලබා ශාසනික සේවයේ නිරතව සිටිය දී 2006 වසරේ දී අපවත් වූ සේක.


සිතක හඬ
(පැදි එකතුවකි)

කර්තෘ - සිරිමා හඳුගල පෙරේරා
ප්‍රකාශනය - වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
584/21, මාලිගාතැන්න වත්ත
හුණුපොල, අත්තනගල්ල
මිල - රුපියල් - 150 යි

මාතෘකා 43 කින් පමණ සමන්විත මෙම පද්‍යය සංග්‍රහයෙ බහුතරයක් කවි ලියැවී ඇත්තේ, බෞද්ධාගමික පසු තලයක් යටතේ ය. හැටේ දශකයේ ගුවන් විදුලියේ කාන්තා වැඩසටහන් අතරට සහ පුවත්පත් සඳහා ලිපි සපයමින් ලේඛන දිවිය ආරම්භ කළ මෙම කිවිඳිය ගායනය, රඟපෑම ආදියෙන් ද තම කලා ජීවිතය පොහොසත් කර ගත් කලාකාරියක ලෙස ප්‍රකට ය.