Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 28 සුමන මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 28

සුමන මහරහතන් වහන්සේ

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. සද්පුරුෂ කල්‍යාණ මිත්‍ර උතුමන්ගේ ඇසුරට පත් වූ ප්‍රඥාවන්ත දෙවි මිනිසුන් තම ජීවිත සම්පූර්ණයෙන්ම සුවපත් කර ගත්තා. ඒ නිසාම අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සද්පුරුෂ ඇසුර බොහෝ සෙයින් වර්ණනා කළා. ‘නිධානයක් පෙන්වා දෙනවා වගේ දුටු වරද පෙන්වා දෙන වරදට ගරහා කරන ප්‍රඥාවන්ත සද්පුරුෂයන්වයි ඇසුරු කළ යුත්තේ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් මිස අයහපතක් නම් සිදු වන්නේ නැහැ.’

තුන් ලෝකයට මහා කරුණාවෙන් පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ පරම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නිසා මේ ලෝකයේ බොහෝ සද්පුරුෂ කල්‍යාණ මිත්‍රයින් බිහිවුණා. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ළය මඬලින් උපන් උතුම් මහ රහතන් වහන්සේලා යි. ගෞතම බුදු සසුනේ පහළ වී වදාළ සුමන නම් මහ රහතන් වහන්සේ ගැන අද අපි සිත පහදවා ගනිමු.

මීට කල්ප අනූපහකට පෙර ලෝකයේ බුද්ධ ශුන්‍ය යුගයක් පැවතුණා. එනමුත් එකල තම තමන් තනි තනිවම ධර්මය අවබෝධ කළ පසේබුදුරජාණන් වහන්සේලා ලොව වැඩ සිටියා. සුමන තෙරුන් එකල සිටු පුත්‍රයෙක් ලෙස ඉපදී සිටියා. දිනක් ඖෂධ එක් රැස් කිරීම පිණිස ඔහු මහ වනයට පිවිසුණා. වනය පුරා සැරිසරමින් මේ තරුණයා අරළු, නෙල්ලි, අඹ, දඹ, ඩෙබරු, බදුළු, බෙලි ආදී ඖෂධීය ඵල රාශියක් සොයා ගත්තා. ඖෂධ රැස් කිරීමට පැමිණි ඔහුට දැක ගන්නට ලැබුණේ කඳු බෑවුමක් අසල සමාධි සුවයෙන් වැඩ සිටිනා පසේ බුදුරජාණන් වහන්සේ නමක්.

උන් වහන්සේ සමීපයට ගිය ඔහු මහත් සතුටින් පසඟ පිහිටුවා වන්දනා කළා. සමාධියෙන් නැගී සිටි පසේබුදුරජාණන් වහන්සේ සමඟ ඔහු පිළිසඳර කථාවේ යෙදුණා. උන්වහන්සේ බලවත් කායික ආබාධයකින් ගිලන්ව සිටිනා බව ඒ කතාවෙන් මේ තරුණයා දැනගත්තා. ඒ ආබාධය සුව වීම පිණිස ඔහු රැස්කළ ඖෂධ වලින් අරළු ගෙඩි කිහිපයක් ගෙන පූජා කළා. එකෙණෙහිම ඒ ආබාධය සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. මේ තරුණයා තමන්ගේ ඖෂධ පූජාව ගැන අතිශයින්ම සතුටට පත් වුණා.

ඒ මොහොතේ පසේ බුදුරජාණන් වහන්සේ ඔහුට පුණ්‍යානුමෝදනා කළා. ‘පින්වත් තරුණය, මෙම බෙහෙත් දානය හා රෝගය සංසිඳවීම නිසා ලැබූ පින හේතුවෙන් නුඹ උපදින සියලු කල්හි ඇත ඇත්තෙක්ම වෙත්වා! කිසි කලෙක නුඹට ව්‍යාධියක් නම් නො පැමිණේවා! මරණින් මතු හෙතෙම රැස්කළ පින හේතුවෙන් දෙව් මිනිස් දෙගතියේ බොහෝ සැප අනුභව කළා. කල්ප අනූපහක් ගෙවී ගොස් මේ මහා භද්‍ර කල්පය ලෝකයට උදා වුණා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ යුගයන් ලෝකයෙන් අතුරුදන් වුණා.

මිනිසුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සක් වූ යුගයේ භද්‍ර කල්පයේ සිවුවැනි බුදුරජාණන් වහන්සේ ලෙසින් අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. ඖෂධ පූජාවෙන් රැස්කළ පින්වල අනුහසින් ඔහු කොසොල් රට බමුණු පවුලක උපත ලැබුවා. සුමන නම් වූ මේ තරුණයා බොහෝ සැප විඳිමින් ගිහි ජීවිතය ගත කළා. මේ අතර සුමන තරුණයාගේ මාමා ගිහි ගෙයින් නික්මී බුදු සසුනේ පැවිදි බව ලබා නොබෝ කලකින්ම උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. සුමන තරුණයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම සුවපත්වීම පිණිස උපකාර කළේ ඒ උතුම් රහතන් වහන්සේ විසිනු යි.

නිසි කල වයස පැමිණි කල්හි ගිහි ජීවිතය අත්හළ ඔහු තම මාමා වූ තෙරුන් වහන්සේ සමීපයේ පැවිදිබව ලැබුවා. දැන් සුමන ස්වාමින් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ ඒ උතුම් රහතන් වහන්සේ යි. සුමන හිමියන් ඉතාමත් කීකරුව, නිහතමානීව අලස නොවී සියලු වත් පිළිවෙත් මනාකොට සිදුකළා. ඉන් සතුටු වූ උපාධ්‍යායන් වහන්සේ සම්මා සම්බුදුරජුන්ගේ කල්‍යාණ වූ ශ්‍රී සද්ධර්මය සුමන තෙරුන්ට කියා දුන්නා. මහත් උත්සාහයෙන් වීර්යයෙන් සුමන හිමියන් ඒ ශ්‍රී සද්ධර්මය පුරුදු පුහුණු කළා. නොබෝ කලකින්ම උන්වහන්සේත් සියලු අකුසල් දුරු කරමින් පරම සැපත වූ අමා මහ නිවන සාක්ෂාත් කළ උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වී වදාළා.

නමුත් වෙනදා වගේ ම උන්වහන්සේ තම උපාධ්‍යයන් වහන්සේගේ සියලු වත් පිළිවෙත් උදෑසන පටන් සිදු කළා. සුමන රහතන් වහන්සේගේ වෙනදා නො තිබුණු නො කැළඹුණු හැසිරීම, දමනය වූ ඉරියව් පැවැත්ම දුටු උපාධ්‍යායන් වහන්සේ මෙසේ විමසුවා. ‘ආයුෂ්මත් සුමන, නුඹ මේ ධර්ම විනය තුළ විශේෂ අධිගමනයකට පැමිණියේ ද? ඒ මොහොතේදී ඉතාමත් නිහතමානීකමින් යුක්තව මේ උතුම් ගාථාවන් පවසමින් සුමන මහ රහතන් වහන්සේ තම අරහත්වය ප්‍රකාශ කොට වදාළා.

යං පත්ථයානෝ ධම්මේසු
උපජ්ක්‍ධායෝ අනුග්ගහී
අමතං අභිකංඛන්තං
කතං කත්තබ්බකං මයං

සද්ධර්මය තුළ මං අපේක්ෂා කළේ එකම එක දෙයයි. උපාධ්‍යායන් වහන්සේ ඒ වෙනුවෙන් මට උපකාර කළා. මම කැමැති වෙලා හිටියේ ඒ අමා නිවන් සුවය යි. ඒ මා කැමැති වෙලා සිටි දේ වෙනුවෙන් කළ යුතු දේ මම සම්පූර්ණ කළා.

අනුපත්තෝ සච්ඡිකතෝ
සයං ධම්මෝ අනීතිහෝ
විසුද්ධ ඤාණෝ නික්කංඛෝ
ඛ්‍යාකරෝමි තවන්තිකේ

ඒ අමා නිවන්සුව මං ලබා ගත්තා. ප්‍රත්‍යක්ෂ කළා. නිසැක කළා. පිරිසුදු අවබෝධ ඤාණයකින්ම යි සැකයෙන් තොරවම යි මේ කරුණ ඔබ වහන්සේට කියා සිටින්නේ.

පුබ්බේනිවාසං ජානාමි
දිබ්බචක්ඛු විසෝධිතං
සදත්ථෝ මේ අනුප්පත්තෝ
කතං බුද්ධස්ස සාසනං

පුබ්බේනිවානුස්සති ඥානයත් ලබා ගත්තා. දිවැසත් පිරිසුදු කර ගත්තා. අරහත්වයද ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.

අප්පමත්තස්ස මේ සික්ඛා
සුස්සුතා තව සාසනේ
බ්බේ මේ ආසවා ඛිණා
නත්ථිදානි පුනබ්භවෝ

ඔබ වහන්සේ ගේ සසුනේ ඒ අමා නිවන් මඟ ඉතා පැහැදිලි ලෙස අසා දැන ගත්තා. අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා දියුණු කරගත්තා. ආශ්‍රවයන් නැතිවෙලා ගියා. දැන් ඉතින් ආයෙත් මට පුනර්භවයක් නැහැ.

ආනුසාසිං මං අරියවතා
අනුකම්පි අනුග්ගහී
අමෝඝෝ තුයිහ මෝවාදෝ
අන්තේවාසිම්හි සික්ඛිතෝ

ආර්ය වූ ප්‍රතිපත්තියෙන් මට අනුශාසනා කළ සේක. අනුග්‍රහ කළ සේක. ඔබ වහන්සේගේ ඒ අවවාද හිස් නැත. මම දැන් ඉතා හොඳින් හික්මුණ අතවැසියෙක්.

ඔන්න ඔය අයුරින් ප්‍රඤාවන්තයෙකුගේ ජීවිතයට සද්පුරුෂ වූ කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරට ලැබුණොත් ඒ ප්‍රඥාවන්තයාට තම ජීවිතය සද්පුරුෂ ගුණ වලින් පිරිපුන් කර ගන්නට අවස්ථාව උදා වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ නැණවත් වූ සද්පුරුෂයන් සේවණය කිරීම ජීවිතයට සෞභාග්‍යයක්, මංගල්‍යයක් උදා කරවන කරුණක් බව යි. දෙවි මිනිසුන්ගේ ජීවිත වලට මුළුමණින්ම සෞභාග්‍ය මංගල්‍යය උපදවා දෙන සම්මා සම්බුදුරජුන් වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය පවතින්නේ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර මත පමණයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණමිත්ත සූත්‍රයේද මෙසේ (සං.නි.01) පෙන්වා දී වදාළා.

එකළ භාග්‍යනතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. පසේනදී කෝසල රජතුමා එදින බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට පැමිණුනා. ඒ මොහොතේ දී බුදුරජාණන් වහන්සේ කල්‍යාණමිත්‍ර ඇසුරේ වැදගත්කම ගැන රජතුමාට මේ අයුරින් පෙන්වා දුන්නා. ‘මේ නිවන් මඟ සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වය මතයි. කල්‍යාණ යහළුවන් මතයි. කලණ මිතුරන්ගේ ඇසුර මතයි. පින්වත් රජතුමනි, කල්‍යාණ මිත්‍රත්වය ඇති කල්‍යාණ යහළුවන් ඉන්න, කලණ මිතුරන්ගේ ඇසුරට යොමු වුණ භික්ෂුව තුළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය බහුල වශයෙන් දියුණු කරනවා’ යන කරුණ කැමැති වෙන්න ඕන.

බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුළ ප්‍රතිඵල ලැබීමට නම් කල්‍යාණ මිත්‍රයින්ගේ් ඇසුර අත්‍යාවශ්‍යම කාරණාවක් බව මින් පැහැදිලි වෙනවා. සුමන මහ රහතන් වහන්සේටත් තමන්ගේ ජීවිතය ධර්මය තුළින් සැපවත් කර ගන්නට ලැබුණේ කළණ මිතුරු ඇසුර නිසාම යි. අවසානයේ උන්වහන්සේටත් තවත් බොහෝ සත්ත්වයන්ට සැපත සලසන සද්පුරුෂ ගුණ වලින් පිරුණු කළ්‍යාණ මිත්‍රයෙක් බවටම පත් වීමේ භාග්‍යය උදා වුණා. බුදු සසුනක් තුළ පමණක් පහළ වන ඒ සැබෑම සද්පුරුෂ කල්‍යාණ මිත්‍රයින් නිසාම යි ලෝකයට සෝවාන්, සකදාගාමි, අනාගාමි අරහත් යන මාර්ගඵල ලාභී උතුමන් බිහිවුණේ. ඒ සියලු දෙනාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ පරම පූජනීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ සරණ කර ගත් අය යි.

ඒ නිසා අපත් ඒ උතුම් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාදර ගෞරවයෙන් යුතුව සරණ යමු. උන්වහන්සේ වදාළ කල්‍යාණ වූ ශ්‍රී සද්ධර්මය සරණ යමු. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝ සතුන්ගේ සැපය පිණිස දේශනා කරන රහතන් වහන්සේලා ප්‍රමුඛ මාර්ගඵල ලාභී ආර්ය මහා සංඝරත්නය සරණ යමු.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 27 ගිරිමානන්ද මහරහතන් වහන්සේ