UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුජාච පූජනීයානං

ගලගම අත්ථදස්සී අනු නා හිමි

ධර්මධර විනයධර සුපේෂල ශික්‍ෂාකාමි ශාසන බලධාරි බහුශ්‍රැත මහ තෙරවරුන් සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් වෙති. සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් දිවි කැප කළ මේ මහා සංඝරත්නය නිසා නිර්මල බුදුදහමත් මහා සංඝ පරම්පරාවත්,වෙහෙර විහාර පන්සල් ශත වර්ෂ ගණනාවක් තිස්සේ ආරක්ෂාවී පවතී.

මෙම උදාර ශාසනික මෙහෙවර සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කළ මහා සංඝ පීතෘවරයන් වහන්සේලා අතර මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහා විහාර පාරශ්වයේ අනුනායක පරපුරේ නවවෙනි අනුනායක පදවිය හොබවන ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අර්ථදස්සි නාහිමිපාණන් වහන්සේට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශාසනික මෙන්ම ගරුතර මහා සංඝරත්නයේ පැවැත්ම වෙනුවෙන් දිවි කැප කළ ගලගම අර්ථදස්සි අනුනායක හිමිපාණන් වහන්සේ රටට ,ජාතියට මහා සංඝ පරපුර වෙනුවෙන් ඉටුකරන උදාර ශාසනික ජීවිතයට අනූහතර (94) වසරක් පිරීම නිමිත්තෙන් අනුනායක හිමිපාණන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් ජනවාරි 11 දා මහියංගන රජ මහා විහාරයේදී අස්ගිරිය මහා විහාර පාරශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සම්භාවනීය ගිහි පැවිදි උතුමන්ලාගේ සහභාගිත්වයෙන් හා අනුනායක හිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන අස්ගිරිය මහා විහාරකාරක සංඝ සභාවේ සභික වත්මන් මහියංගන රජමහා විහාරයේ භාරකාර රාජකීය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමිගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මාතලේ උරුලෑවත්තේ රජමහා විහාරය, අලව්ව, හුම්බුළුව රජමහා විහාරය, මැටියගනේ රජමහ විහාරය අස්ගිරිය උරුලෑවත්ත විහාර පන්සල යන ස්ථානය වත්මන් ශාසනික ප්‍රබෝධයටත්, විහාරස්ථ දහම් පාසැල් අධ්‍යාපනයටත් අස්ගිරිය මහා විහාරයේ වත්මන් ශාසනික හා මහා සංඝ පරපුරේ හා මහියංගන රජමහ විහාරයේ ආශ්චර්යමත් දියුණුවටත්, ආගමික ප්‍රබෝධයටත් ගලගම අත්ථදස්සි අනුනායක හිමිපාණන්ගෙන් සිදුවී තිබෙන සේවය ශ්‍රේෂ්ඨත්වයෙන් සැලකේ.

ගලගම අත්ථදස්සි අනුනායක හිමිපාණන්ගේ ධර්මඥාන කුසලතාවය නිසාම විචිත්‍ර ධර්ම කථික තෙරනමක් බවට පත්විය. අත්ථදස්සි නාහිමියෝ විද්‍යෝදය මහ පිරිවෙනින් ත්‍රිපිටකාචාර්ය උපාධියත් මධ්‍යම භානක උපාධියද ලබා විචිත්‍රභානක ධර්ම දේශකයාණන් වහන්සේ කෙනෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වූහ. යුගාසන ධර්ම දේශනා ක්‍රමයෙහි විශාරද භාවයක්ද නාහිමිපාණන්ගේ ආචාර්ය පරම්පරාවෙන් පවත්වාගෙන ආ පාරම්පරික ආසන දෙකේ, ආසන පහේ, ආසන හතේ යන පැරැණි ධර්මදේශනා ක්‍රමවල වත් පිළිවෙත් සම්ප්‍රදායන් ආරක්ෂාකර ගනිමින් එම ධර්මදේශනාවන් පැවැත්වීමෙන් ගිහි පැවිදි දෙපිරිස අතර මහත් ගෞරවයට පත්වී ඇත. හතළිහ, පනහ, දශකවල ගුවන්විදුලි ධර්ම දේශනාවල ප්‍රමුඛ පෙළේ දිවයිනේ ධර්මදේශකයෙකු වූ අනුනායක හිමිපාණන් වහන්සේ වත්මන් යුගය දක්වා එම ධර්මානුශාසනා පවත්වාගෙන යනු ලබමින් වත්මන් ගිහි පැවිදි සමාජයේ ඉමහත් ගෞරවයට පත්ව සිටී.

මාතලේ, ධර්මරාජ කවටයාමුන, පිරිවෙන්හි ධර්මාචාර්ය වශයෙන් කලක් පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන්ද ශ්‍රී දළදා මාළිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවාව බාර නාහිමි ලෙසද අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇති ගලගම අර්ථදස්සි අනුනායක හිමියෝ, ශ්‍රී දළදා මාළිගාවේ කඨින පූජෝත්සව, කඨිනානිශංස ධර්මදේශනාවන්හි දක්වන බහුශ්‍රැතතාවය නිසාම දිවයිනේ විහාරස්ථානවලට නාහිමිපාණන්ගේ ධර්මදේශනාවලට කන්දීමට විහාරස්ථදායක සභා දායකයින්ට මාර්ගය සලසා දෙන අවස්ථා එමටය. අස්ගිරිය මහා විහාරය නියෝජනය කරමින් දිවයිනේ විහාරස්ථ ශාසනික මෙහෙවරක යෙදෙමින් රාජ්‍ය හා පොදු ආගමික ජාතික බොදු සංස්කෘතික සේවාවන්හි නිරතවෙමින් මහා විහාර පරම්පරාව ගරුතර මහා සංඝයා වහන්සේලා සමග අනාගත සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුරක්ෂිත කර තැබීම වෙනුවෙන් අප අනුනායක හිමිපාණන් වහන්සේ සිදුකරනු ලබන මෙම උදාර ශාසනික මෙහෙවර තව තවත් රට දෑ සමය වෙනුවෙන් ඉටුකිරීමට නාහිමිපාණන් වහන්සේට ශ්‍රී දළදා සමිඳු ආසිරි වාදයෙන් නිරෝගී සම්පත්ති ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු.


මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි

බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට ශ්‍රී‍්‍ර අභයාරාමාධිපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ 2014 ජනවාරි 26 වෙනි දින හැත්තෑ එක් වියට පා තැබූහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේ 1943 ජනවාරි 26 වෙනි දින මෙලොව එළිය ලැබීය. කුඩා අවදියේදීම බුදු සසුනට ඇතුළත්ව උගත මනා බණ දහමින් සම්පූර්ණ වූහ. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව භාෂා ශාස්ත්‍රයන් ප්‍රගුණ කරමින් ධර්ම විනය හදාරන ලදී. විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

එක් සේවාවක් ලෙස වර්ෂ 1969 නොවැම්බර් මස 05 වෙනි දින පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ සභාපතිත්වයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය බිහි විය. ශ්‍රී ලංකාවේ හෙද සේවා වෘත්තීය සමිතිවල ආරම්භය වූයේ විසිවෙනි සියවසේ මුල් භාගය තුළදීය. එවකට පැවැති වෘත්තිය සමිති සංඛ්‍යාව පහක් විය.

එනම්, සමස්ත ලංකා හෙද සංගමය, රජයේ හෙද සේවා සංගමය ,ප්‍රජාතන්ත්‍රවාදී හෙද සංගමය, හෙද නිලධාරින්ගේ සංගමය,පොදු හෙද සේවා සංගමය වේ.

මෙසේ හෙද වෘත්තිකයන් වෙනුවෙන් සංගම් පහක් පැවතුණද නිලධාරිවාදයට යටත්ව අනේක විධ දුක් දොම්නස් විඳ හෙද හෙදියන් තම වෘත්තීය අයිතීන් දිනා ගැනීමටත් සිය වෘත්තියේ අභිමානය ආරක්‍ෂා කර ගැනීමටත් නොහැකි තත්ත්වයක පැවතුනහ. මෙම යුගය වන විට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සිය ජනතා මෙහෙවර ආදර්ශමත් භූ®මිකාවක් තුළ ක්‍රියාත්මක කර තිබුණි.

ජනතා සටන් උදෙසා කැප වෙමින් ප්‍රගතිශීලි ගමනක යෙදුණු අපේ හාමුදුරුවන් වහන්සේට තම ගැලවුම්කාරයා වීමට හෙද හෙදියන් ආරාධනා කළහ. එවකට පැවති බලවත් වෘත්තීය සමිති අතර ප්‍රමුඛ තත්ත්වයට පත්වීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමත් වනුයේ මෙම ඍජු බලසම්පන්න නායකත්වය හා අවංක කැප කිරීම් නිසායි.

හෙද සේවය 1977 ජූලි පළමු වෙනිදා අඛණ්ඩ වුූ සේවා මුරය ලබා ගැනීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් හැකියාව ලබා ගත්තේය. මෙවැනි ජයග්‍රහණයක් මගින් හෙද වෘත්තියන්ගේ සේවා අයිතීන් සුරක්‍ෂිත කරගනිමින් තම මෙහෙවර ඉදිරියටම ගෙන යමින් අද පුරා හතළිස් වසරක් ඉක්මවා ඇති එක්සත් හෙද සංගමයේ අදටත් සභාපතිත්වය දරන උන්වහන්සේ අඩසිය වසරක සේවා කාලය තුළ පූර්ණ කාලයක් අප සංගමය වෙනුවෙන් කැප වී සිටියහ.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානය දැයේ ආගමික ජාතික මූලස්ථානයක් බවට පත්විය.අභයාරාමයේ වත්මන් දියුණුව උදෙසා ද උන්වහන්සේ සිදු කර ඇති කැපවීම් දුටුවන් වශී කරවන සුළුය. අභයාරාමය අද අගනුවරට ආලෝකයක් ලබාදෙන අලංකාරවූත්, විචිත්‍රවූත් බැතිබර කීර්තිමත් බෞද්ධ විහාරස්ථානයකි.

අපේ නායක හාමුදුරුවන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් මෙම ජාතික ආගමික සේවා සිදුකරන්නට සියලු දෙවියන්ගේ ආරක්‍ෂාව හා තුණුරුවන්ගේ පිහිට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.


පරකන්දෙණියේ ධීරානන්ද හිමි

ඉඹුල්ගොඩ, අමුණුගොඩ, කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමභාහු, රජමහා විහාරාධිකාරි, ගම්පහ ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, හිටපු නියෝජ්‍ය විදුහල්පති, ශාස්ත්‍රපති පරකන්දෙණියේ ධීරානන්ද හිමියන් වර්ෂ 2014 ක් වූ ජනවාරි මස 30 වන දින සිය පනස්වෙනි ජන්ම දිනය සමරයි.

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, සියනෑකෝරළයේ මැදපත්තුවේ පිහිටි පරකන්දෙණිය ගම්මානයේ වාසය කළ රන්දෙනිය ආරච්චිගේ සාපින් අප්පුහාමි සහ සෙනරත් ආරච්චිගේ සීලවතී යන දම්පතීන් දෙමාපියන්කොට 1964 ජනවාරි මස 30 වන දින උන්වහන්සේ ආර්.ඒ. පියතිස්ස නමින් ජන්ම ලාභය ලැබීය. මූලික අධ්‍යාපනය සිරි පැරකුම්බා මහ විදුහලෙන් ලැබීය.

1977 ජනවාරි මස 03 වැනි දින අමුණුගොඩ රජමහා විහාරාධිපති අමුණුගොඩ ශ්‍රී සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පරකන්දෙණියේ ධීරානන්ද හිමි වශයෙන් ප්‍රව්‍රජා භූමියට සැපත් විය. අධ්‍යාපන කටයුතු සඳහා සූරිගම ශ්‍රී නාගර්ජුන විද්‍යාපීඨ මහ පිරිවෙනට ඇතුළත් විය. අ.පො.ස උසස්පෙළ විභාගය ඉහළින් සමත්වීම නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා 1985 ශ්‍රී ලංකා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. වර්ෂ 1984 ජූනි මස 02 වැනි දින මූලික බණ දහම් උගෙනගෙන නිසිවයස් සම්පූර්ණවූයෙන් මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී උන්වහන්සේ උපසම්පදා විය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවූ පසු දොරණාගොඩ සදානන්ද මහා පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස සිය ගුරුදිවිය ආරම්භකර, යක්කල අනුරමහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙසත් කොස්සින්න සීලානන්ද මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙසත් අමුණුගොඩ කුමාරදාස විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිලෙසත් කටයුතු කරමින් පාසල් දරුවන් නිසිමඟ ගන්වන්නට වෙහෙස වෙමින් සිය ශාස්ත්‍රීය කටයුතු ද මැනවින් සිදුකරගෙන යන ලදී.

අනතුරුව විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන කුඩා සාමණේරයන් වහන්සේලාට මූලික බණදහම් කියාදෙන සාමණේර ආයතනය වෙත අවධානය යොමුකිරීමට අවස්ථාව උදාකරගන්නා ලදී.

සිය දිවිගමනේ පනස්වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේ උන්වහන්සේට සිය සේවාවන් තව තවත් ඉටු කිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා යැයි ද නිරෝගීසුව, දීර්ඝායුෂ ලැබේවායැයි ද තුණුරුවන්ගේ ආශීර්වාදය පතමින් ප්‍රාර්ථනා කරමු.


හගුරන්කෙත සද්ධානන්ද හිමි

මහනුවර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ සහ පාතහේවාහැට තලාතුඔය කලාප ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, තලාතුඔය, පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති සමස්ත ලංකා සාමදාන විනිසුරු, හගුරන්කෙත සද්ධානන්ද හිමිගේ 58 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් ආගමික වැඩසටහන්මාලාවක් සද්ධර්මාරාමයේ දී පැවැත්විණි.

අවුරුදු දහයකට ආසන්න කාලයක් තිස්සේ දහම් පාසල් අධ්‍යාපනය, තලාතුඔය ප්‍රදේශයේ දහම් පාසල්, මුල්කරගෙන ව්‍යාප්ත කිරීමට මූලිකව කටයුතු කළ සද්ධානන්ද හිමි, දහම් දැනුමැති ශිෂ්‍ය පිරිසක් රටට දායාද කළේය. බුටාවත්ත පුරාණ විහාරාධිපතිව වැඩ සිටි බුටාවත්තේ රතනජෝති නාහිමිපාණන් ගේ ශිෂ්‍යයෙකු වූ සද්ධානන්ද හිමිපාණන්ගේ ජීවිතයේ දශක හතරකට වැඩි කාලයක් දහම් පාසල් සේවාව වෙනුවෙන් කැප කළ අතර, එම දහම් අධ්‍යාපනය මුල්කරගෙන සද්ධර්මාරාමයේ ශ්‍රී රතනජෝති දහම් පාසල ආරම්භකර සමස්ත ලංකා මට්ටමෙන් ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත. ප්‍රදේශයේ සමාජ, සංවර්ධන සේවාවන් රැසක් නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතියේ ක්‍රියාත්මක කිරීමෙන් සිදුකරන ලද සමාජ සත්කාරය නිසා සමිතිය මධ්‍යම පළාත් තරගයේ පළමුවෙනි ස්ථානය ලබාගෙන ඇත. ආගමික , සාමාජික, ශාසනික මෙන්ම දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් දශක හතරකට අධික කාලයක් අඛණ්ඩව සිදුකරන ලද “සද්ධානන්ද සමාජ සත්කාර සේවාව නිසාම හිමිපාණන් අවස්ථා රැසකදීම, රාජ්‍ය හා පුද්ගලික අංශවලින් ගෞරව සම්මාන ලබා ඇත. හඟුරන්කෙත සද්ධානන්ද හිමිපාණන්ට තව තවත් ආගමික හා සාමජ සත්කාර සේවාවන්හි නිරතවීමට නිරෝගිභාවය තිසරණ සරණින් ලැබේවායි යයි ප්‍රාර්ථනා කරමු.

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.03 ට ලබයි.
31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]