UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 27 ගිරිමානන්ද මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 27

ගිරිමානන්ද මහරහතන් වහන්සේ

රහතන් වහන්සේ යන නාමය ඇසීම පවා අතිශයින්ම සුන්දර වූ දෙයකි. මනුලොව මිනිසුන් අතරම ඉපිද නිකෙලෙස් සිතකින් යුතුව පාරිශුද්ධත්වයට පත්වූ ඒ රහතන් වහන්සේලා අයත් වන්නේ ලෝකයේ ආශ්චර්යවත් මනුෂ්‍යයන්ගේ ගණයට යි. ගෞතම බුදු සසුනේ පහළ වී වදාළ පරමෝත්තම රහතන් වහන්සේලා අතර වැඩ සිටි ගිරිමානන්ද නම් උතුම් මහරහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

ඒ මෙයින් කල්ප තිස් දහසක පෙර යුගය යි. එකල සුමේධ නම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට සැප පිණිස පහළ වී වදාළ සේක. ගිරිමානන්ද තෙරුන් එකල කුල ගෙදරක ඉපදී සිටියා. තරුණ වියට පැමිණි ඔහු තම නිවසට බිරිඳක් කැන්ඳාගෙන ආවා. ඔහුන්ට ටික කලකින් සිඟිති පුතෙක් ද ලැබුණා. නො සිතු අයුරින් තම මවත් පියාත් ආදරණීය සහෝදරයාත් කළුරිය කළා. එයින් ශෝකයට පත්ව සිටි ඔහු අවාසනාවන්ත ලෙස පි‍්‍රය බිරිඳගේත් සිඟිති පුතාගේත් මරණයන්ට මුහුණ දෙන්නට සිදුවුණා. ඔහුගේ සිත ශෝකය නිසා විකෘති වී ගියා. උන්හිටි තැන් පවා අමතක වී ගියා.

ඤාති ව්‍යසනයෙන් හට ගත් ශෝකය නිසා උමතු වූ මේ තරුණයා තැන තැන ඇවිදිමින් වනයේ බිම වැටී තිබෙන ගෙඩි මුල් ආදිය කමින් කෘෂ වී ගිය සිරුරක් ඇතිවයි සිටියේ. එදා සුමේධ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔහු සිටි වනයට වැඩම කළා. බුදුරජුන්ගේ පියවර හඬට ඔහු හිස ඔසවා බැලුවා. මහා කාරුණිකයන් වහන්සේගේ රන්වන් දේහකාය දුටු පමණින් ඔහුට පියවි සිහිය ඉපදුණා. සිත පී‍්‍රතියෙන් පිනා ගියා. තමන්ගේ සුරතින්ම අසල තිබූ ගසක් මුල කොළ රොඩු එකතු කොට සුවපහසු ආසනයක් සකස් කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ මත සඟල සිවුර අතුරා ඔහු කෙරෙහි අනුකම්පාවෙන් වැඩ සිටියා. මේ තරුණයාගේ සිත තුළ ඇනි තිබූ ශෝක හුල් ඉදිරී යන පරිද්දෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා.

පින්වත් තරුණය, ඔබේ අඹුදරුවන් මෙලොවට ආවේ ඔබ අඬගහලා නොවෙයි. ඒ අය මෙලොවින් යන්න ගියේ ඔබේ අවසර ගෙන නොවෙයි. ඉතින් ඒ මිය ගිය ඤාතීන් ගැන ඔබේ වැළපීමෙන් ඇති ප්‍රතිඵලය කුමක් ද? මහ වැස්සකින් නො තෙමි ඉන්න ආරක්ෂිත තැනකට යනවා වගේ, වැස්ස නැවතුණාම ආයෙමත් තමන් කැමැති තැනට යනවා වගේ ඔබේ දෙමව්පියොත් පරලොවින් මෙලොවට ආවා. මෙලොවින් පරලොවට ගියා. ඉන් වැළපීමේ ඇති අර්ථය කුමක් ද? පින්වත් තරුණය, මේ ලෝවාසී සියලු දෙනා අමුත්තෝ ය. මෙලොවට ආගන්තුකයෝ ය. ඔබේ දෙමව්පියෝ ද එබඳුම ය. සර්පයෙක් දිරපු හැව අතෑරලා යනවා වගේ ඒ අයත් තම තමාගේ සිරුරු අත්හැරල යන්න ගියා. ඒ මළ සිරුරුවලට ඔබේ හැඬීම,වැළපීම ශෝකය තේරෙන්නේ නැහැ’.

ඒ උතුම් බුදු වදන් ඇසු ඔහුගේ ශෝකය දුරු වී ගියා. අප්‍රමාණ චිත්ත ප්‍රසාදයෙන් යුතුව ඒ තරුණයා සුමේධ බුදුරජාණන් වහන්සේට මනස්කාන්ත සුවඳින් යුතු “ගිරිනිල්” නම් මල් මිටක් පූජා කළා. සම්බුදු ගුණ හඬ නඟා වර්ණනා කළා. ‘ ස්වාමිනි මහා වීරයාණන් වහන්ස, ඔබවහන්සේ කෙලෙස් සැඩ පහර තරණය කළ සේක්මය! ලෝකනායකයාණන් වහන්ස, ඔබවහන්සේ සියලු සතුන් දුකින් මුදවාලන සේක්මය! ධ්‍යාන අභිඥාලාභී සෘද්ධිමත් මහරහතුන් සඳ පිරිවැරූ තරු කැට සේ ඔබවහන්සේ පිරිවරා වැඩ සිටිනා සේක්මය! මහා සමුද්‍රය සේ ඔබවහන්සේගේ ප්‍රඥාව අතිශයින්ම පුළුල් වන සේක. ඔබවහන්සේ අසමසම වන සේක’ ඔහු මහත් වූ ශ්‍රද්ධාවෙන් තුන් වතාවක් ඒ උතුම් සම්බුදු සිරිපා කමල් වන්දනා කළා. ඒ ආත්ම භවයෙන් චුත වූ ඔහු බොහෝ කාලයක් දෙව් මිනිසුන් අතර ඉපදී කම් සැප භුක්ති වින්ඳා.

කල්ප තිස් දහසක් පමණ වූ අති දීර්ඝ කාලය ගෙවී ගියා. මේ මහා භද්‍ර කල්පයේ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. එකල මේ තරුණයා බිම්බිසාර මහ රජුගේ පුරෝහිත බමුණාගේ පුත්‍රයා ලෙස උපත ලැබුවා. නමින් ගිරිමානන්ද වූ ඔහු තරුණ වියට පැමිණි පසු ධර්මය අසා ගිහි ජීවිතය අත්හැර මහත් වූ ශ්‍රද්ධාවෙන් බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබුවා. හුදෙකලාවේම වීරිය වඩමින් දුර බැහැර සේනාසනයක වාසය කළ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ දිනක් ශාස්තෘන් වහන්සේට වන්දනා කිරීම පිණිස රජගහ නුවරට වැඩම කළා. ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ පැමිණීම සැල වූ බිම්බිසාර රජු උන්වහන්සේ වෙත පැමිණ ‘ස්වාමිනි ඔබවහන්සේ මෙහිම වැඩ වසන සේක්වා! මම ඔබවහන්සේට සිවුපසයෙන් ඇප උපස්ථාන කරන්නෙමි’යි ආරාධනා කළා. නිහඬව ආරාධනය පිළිගත් උන්වහන්සේ රජගහ නුවර අසළ වූ වන ලැහැබක වැඩ වාසය කළා.

රාජකාරි කටයුතු බහුල බැවින් රජතුමාට ගිරිමානන්ද ස්වාමින් වහන්සේට කුටියක් කරවා දීමට අමතක වුණා. උන්වහන්සේ භාවනා කළේ එළිමහනේම යි. වැසි වසිනා කාලය පැමිණුනත් මහා පුණ්‍යවන්ත සම්බුද්ධ ශ්‍රාවක වූ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ තෙමේවි යන බියෙන් දෙව්වරු වැස්ස නැවැත්තුවා.’ රජගහනුවර වැසියෝ තමන්ගේ ගොවිතැන් කටයුතුවලට වැස්ස නො මැති නිසා ඒ ගැන රජතුමාට පැමිණිලි කළා. කරුණු සොයා බලනා විට රජතුමාට ගිරිමානන්ද ස්වාමින් වහන්සේ සිහිපත් වුණා. ඉතාම ඉක්මනිණින් උන්වහන්සේ උදෙසා ඒ වනය තුළම කුටියක් කරවා පූජා කළා.

දැන් ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ඒ කුටිය තුළ සුවසේ භාවනා කරමින් වැඩ සිටිනවා. දෙවිවරු මද වැස්සක් ඇද හැලෙන්නට සැළැස්සුවා. ඉතා හොඳින් සමාධිමත් වී ගිය සිතෙන් විදර්ශනා වැඩූ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ඉතාම සුළු මොහොතකින් සියලු කෙලෙසුන් දුරු කොට උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වී වදාළා. ඇත්තෙන්ම රහතන් වහන්සේ නමකගේ පිවිතුරු ජීවිතය හරිම අසිරිමත්. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ ගැන මේ අයුරින් වදාළා. ‘ දක්ෂ රියදුරෙක් ඉතා මැනවින් අශ්වයන් දමනය කරන්නාක් මෙනි. රහතන් වහන්සේ තම ඉඳුරන් දමනය කර ගන්නේ. ඒ නිසාම පිරිපුන්ව සංසිඳීමකට පත් විය. මානය නැති කළ අකම්පිත සිත් ඇති ඒ නිකෙලෙස් රහතුන්ගේ දැක්ම දෙවියන්ට පවා ඉතා පි‍්‍රය ය.

නිරාමිස සැපයක් හදවතේ දරාගෙන ගිරිමානන්ද මහරහතන් වහන්සේ වැසි වැසීම වළක්වාගෙන වැඩ සිටි දෙවිවරු අරභයා මේ සොඳුරු ගාථාවන් වදාළා.

වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටී සුඛා නිවාතා
තස්සං විභරාමි වූපසත්තෝ
අථ චේ පත්ථයසි පවස්ස දේව

වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නේ. සංසිඳුන සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටි සුඛා නිවාතා
තස්සං විහරාමි සන්තවිත්තෝ
අථ වේ පත්ථයසි පවස්ස දේව

වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නේ ශාන්ත සිතකිනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටි සුඛා නිවාතා
තස්ස විහරාමි වීතරාගෝ
අථ චේ පත්ථයසි පවස්ස දේව

වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තිබෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නේ. රාග රහිත සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල, කැමැති තරම් වහින්න.

වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටී සුඛා නිවාතා
තස්සං විහරාමි වීතරාගෝ
අථ චේ පත්ථයසි පවස්ස දේව

වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තිබෙන්නේ. රාග රහිත සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටී සුඛා නිවාතා
තස්සං විහරාමි වීතදෝසෝ
අථ චේ පත්ථයයි පවස්ස දේව

වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි ජනේලයත් වහල තියෙන්නේ. ද්වේෂ රහිත සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

වස්සති දේවෝ යථා සුගිතං
ඡන්නා මේ කුටි සුඛා නිවාතා
තස්සං විහාරාමි වීතමොහෝ
අථ චේ පත්ථයසි පවස්ස දේව

වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තිබෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නේ. මෝහ රහිත සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

මේ අයුරින් උන්වහන්සේ මේ ගාථාවක්ම මුල්කරගෙන තමන් වහන්සේ අරහත්වයද ප්‍රකාශ කොට වදාළා. උන්වහන්සේ අරහත්වය ගැන අතිශයින් පී‍්‍රතියට පත් වූ දෙවිවරු වලගොඩැලි පිරී යන අයුරින් මහා වරුසාවක් ඇද හැලෙන්නට සැලැස්සුවා. සැබැවින්ම පාත්‍රයට ලැබෙන යමක් වළදා කුස ගිනි නිවාගෙන තුන් සිවුරෙන් පමණක් යැපෙන රුක් සෙවණක් වේවා, සුව පහසු කුටියක් වේවා, ඒ දේ සම සිතින් පිළිගන්නා ඒ මහරහතන් වහන්සේලා ගේ ජීවිත කොතරම් අද්භූත ද? අපද මේ උතුම් මහරහතන් වහන්සේලා ගැන සිත පහදවා ගනිමු.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 26 සුභූත මහරහතන් වහන්සේ

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.03 ට ලබයි.
31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]