UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලැබූ නිදහස සුරැකීම පරම යුතුකමයි

ලැබූ නිදහස සුරැකීම පරම යුතුකමයි

මෙලොව උපන් සෑම සත්ත්වයෙකුටම උපතින් යම් නිදහසක් උරුම වී තිබේ. ජීවත්වීමේ නිදහස ඉන් පළමුවැන්නයි. අනවශ්‍ය බැඳීම් වලට යටත්වීම සහ පීඩනයන්ගෙන් තොරව නිදහසේ ජීවත්වීමට සැවොම පි‍්‍රය කරති. නිදහස තනි පුද්ගලයෙකු වශයෙන් හා පවුලක සාමාජික පිරිසක් වශයෙන් භුක්ති විඳීම එහි මූලික අවස්ථාව ලෙස දැක්විය හැකිය. එය සාමූහිකව රටක්, ජාතියක් ලෙස භුක්ති විඳීම නිදහසේ පොදු අවස්ථාව ලෙස දැක්විය හැකි ය.

සියලු සත්ත්ව වර්ගයා ජීවත්වනුයේ එකම සමාජයක ඒකාකාරි රාමුවක් තුළය. එක් මිනිස් වර්ගයක නිදහස පිළිබඳ යම් යම් සීමාවන් පැනවීම හෝ නිදහස සහමුලින්ම අහෝසි කර දැමීම මානුෂික වශයෙන් මෙන් ම සදාචාරාත්මක වශයෙන් කිසිදු හේතු යුක්ති සහගත ක්‍රියාවක් නොවේ. ලොව ජීවත් වන සියලු සත්ත්ව වර්ගයාට උත්තරීතර මානව නිදහසක් උදාකරදීම සඳහා වූ සර්වකාලීන හා සර්වභෞමික දේශනයක් පළමුවෙන් ම ලෝකයාට ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේය. ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය සමාජ පසුබිම පිළිබඳ විමසා බැලීමේදී එකල මිනිසුනට යටත් පිරිසෙයින් ජීවිතය පවත්වාගෙන යාමටවත් කිසිදු නිදහසක් උරුමව නොපැවතුණි. බමුණන් විසින් සමාජය වර්ග කරන ලද චතුර්වර්ණය පදනම් කරගෙන එකල සමාජය සකස්ව තිබුණි.

බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය හා ශුද්‍ර යනු එම චතුර්වර්ණය යි. මෙම වර්ගීකරණයට අනුව බමුණන් පූජකයන් හා ගුරුවරුන් ලෙසද රජුගේ උපදේශකවරුන් ලෙසද පෙනී සිටි අතර මිනිස් සමාජය උසස් පහත් වශයෙන් මහා බ්‍රහ්මයා විසින් මවන ලදැයි යන්න ඔවුන්ගේ නිසැක පිළිගැනීම විය. ක්ෂත්‍රිය වංශිකයනට රාජ්‍ය පාලන තන්ත්‍රය මෙහෙයවීමත් කෘෂි කර්මාන්තය කරවීමත්, යාග කරවීමත් නියමිතව පැවැතිණි. වෛශ්‍යයනට වාණිජමය කටයුතු පැවරී තිබුණ අතර ශුද්‍ර වංශිකයාට උරුම වූයේ පූර්වෝක්ත වර්ණත්‍රයට බැලමෙහෙවර කිරීමයි. මෙකී වර්ණත්‍රයට උරුම වූ මිනිස් අයිතිවාසිකම් කිසිවක් ඔවුනට උරුම නොවීය.

එපමණක් නොව තත් යුගය වන විට භාරතීය සමාජයේ කාන්තාවනට හිමි වුයේද ඉතා පහත් තත්ත්වයකි. ශුද්‍රයන්ට සේම සාමාන්‍ය මිනිස් අයිතිවාසිකම් වූ ඉගෙනීම හා ආගමික කටයුතුවල යෙදීම ආදී කටයුතු පවා ඔවුනට අහිමි විය.රටේ පවත්නා පොදු නීතිපවා කාන්තාව සම්බන්ධයෙන් වෙනස් වූ අතර එදා සමාජයේ කාන්තාවක් මැරීම පිරිමියෙකු මැරිම තරම් බරපතළ ක්‍රියාවක් නොවේය, යන අදහස මුල්බැස ගෙන පැවැතිණි. එබැවින් එකල ස්ත්‍රියක වී ඉපදීම ද බරපතළ පාපයක් සේ සැලකීය. මෙසේ සකස්ව පැවැති විෂම සමාජ රටාවෙහි පවත්නා නිස්සාරත්වය මනාව මහජනයාට තේරුම් කරදුන් බුදුරජාණන් වහන්සේ උපතින් කෙනෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු නොවන බවත් එය පුද්ගල ක්‍රියාකාරකම් මත තීරණය වන බවත් තර්කානුකූ®ලව පැහැදිලි කළහ. ඒ අනුව මිනිස් සමාජයේ නිදහස වෙනුවෙන් උන්වහන්සේ සිදුකළ දේශනා සියල්ල මංමුළා වූ ජන සමාජයට නිසි මඟ පෙන්වාදීමක්ම විය.

බුදුරදුන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාවාසීන්ට හඳුනා ගැන්මට ලැබුණේ ක්‍රි.පූ. 3 වන සියවසේදී නොහොත් බුද්ධ වර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනයෙන් පසුවයි. එවකට ලාංකේය පරිසරයේ සැකැස්ම ද ප්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය බ්‍රාහ්මණ ඒකාධිකාරය තරම්ම දරුණු මට්ටමක නොපැවතියද එහි යම් යම් කොටස් ශේෂව පැවැති ස්වභාවයක් පැවැතිනැයි පිළිගත හැකි ය. මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය කෙසේ සලස්වා ගත යුතු දැයි යන්න පිළිබඳ අල්පමාත්‍ර දැනුමක් හෝ නොතිබුණු ජන සමාජයකට මානව නිදහස පිළිබඳ පැවැතියේ ද කිසිවෙකුටත් හිතකර නොවු සංකල්පයන් ය. එම සංකල්පනාවන්ට නව අරුතක් එක් කිරීම තුළින් රටට උදාවූයේ පෙර කිසිදාක නොවු විරූ ආලෝකයකි.

මිහින්තලා පර්වතය අසල දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට දේශනා කළ එක් දහම් පණිවුඩය මෙසේය.

“මහරජ ඔබට මෙන්ම ගුවනේ සැරිසරන පක්ෂීන්ට ද වන සතුන්ටද ,මේ රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමේ හා ඔබ මොබ යාමේ සම අයිතියක් ඇත. පොළොව රටවැසියාට සහ අනෙකුත් සතුන්ටද අයිතිවන අතර ඔබ එහි භාරකරු පමණෙකි.”

මෙලෙස සත්ත්වයා ගේ නිදහස පිළිබඳ ඉහළම වැටහීමක් ලබාගත් මෙරට ජනයා ගේ බුද්ධිය, ක්‍රියාකාරිත්වය හා යහපත් වු අන්තර්පුද්ගල සබැඳියාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය වූවාක් සේම නිදහස් චින්තනයේ අඩිතාලම සියවස් ගණනාවක් පුරාවටම නොසිඳී නොකැඩී රඳා ගැන්මෙහිද හැකියාව ලැබිණි.

මෙරට ජනතාව ගේ චිත්ත සන්තානය තුළ තදින්ම පැළපදියම් වූ මෙම හැදියාව නොපිටට පෙරැළී ගියේ යුරෝපීය ධන කුවේරයන් මෙරට ආක්‍රමණයෙන් පසු ඇති කළ සමාජ පරිවර්තනයත් සමඟය. විවිධ ආක්‍රමණිකයන් ගේ බලපෑම් වලට ලක්වූ අප ඉතිහාසයේ එක් යුගයක පරාධීන ජාතියක්ව සිටීමට සිදුවීම ජාතියක් ලෙස අත්විඳි අවාසනාවන්ත සිදුවීමක් ලෙස පෙන්වාදිය හැකිය. ඒ තුළ දේශීය සංස්කෘතිය වෙනුවට බටහිර අනුකරණශීලි සමාජ රටාව ලක්දිව පුරා ව්‍යාප්ත වන්නට විය. තවමත් එහි යම් යම් ශේෂයන් පවතිනු දක්නට ලැබීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.

සියවස් කිහිපයක් පරාධීනව සිටින රටක් තවදුරටත් පරාධීනත්වයට ම ඇද වැටෙන්නේ නම් ඔවුනට ස්වාධීනත්වය පිළිබඳ ඇතැම්විට කිසිදු හැඟීමක් ඇතිවිය නොහැකිය. ඔවුනට ස්වාධීනත්වයෙහි ස්වරූපය පිළිබඳ අත්දැකීම් බිඳකුදු නොමැති හෙයිනි. නමුත් 1505 වසරේදී මෙරටට ප්‍රථම පෘතුගීසි ආක්‍රමණිකයා වන ලොරෙන්සො ද අල්මේදාගේ පැමිණීමට පෙර වසර දහස් ගණනක් තිස්සේ ස්වාධීනත්වයේ හා සමකාමී ජීවන රටාවක අත්දැකීම් මෙරට ජනතාව අත්විඳ ඇත්තාහ.

එබැවින් එකී නිදහසට එරෙහි විකල්ප බලවේග පැමිණීම හමුවේ අප රටවාසීහු එකී බලවේගයන්ට එරෙහිව නැගී සිටියහ. නැඟී එන දේශානුරාගයෙන් හා නිදහස ලබාගැනීමේ පරම පවිත්‍ර අපේක්ෂාවෙන් යුක්ත වූ අප ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තෝ අධිරාජ්‍යවාදයට එරෙහිව නැඟී සිටියහ. එවැනි ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර නාමාවලියෙහි අප දන්නා වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි කුඩාපොළ නා හිමි , හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි යනාදී අග්‍රගණ්‍ය යතිවරයන් වහන්සේලා ද කැප්පෙටිපොල නිලමේ ගොංගාලේගොඩ බණ්ඩා ,වීරපුරන්අප්පු යනාදී විරවෝ ද මුල්තැනක් හිමිකර ගත්හ. එමෙන්ම මෙම නාමාවලියට ඇතුළත් නො වූවද ඉතිහාසය තුළ සැඟව ගිය දහස් ගණනක් හෙළවිරුවෝ වූහ.එමෙන්ම මහත් සේ පරිශ්‍රමයක් දරා දිනාගත් නිදහස විවිධ මතිමතාන්තර තුළින් දිනා ගැනීමටද ඇතැම් බුද්ධිමත් නායකයෝ ප්‍රයත්න දැරූහ. එම පරම්පරාවට මහාමාන්‍ය ඩී.එස්.සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී .බණ්ඩාරනායක ,එෆ්.ආර්. සේනානායක ,ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් , ටී.බී. ජයා, යනාදි නායකයෝ පෙරමුණ ගත්හ. එමතු නොව දේශීයත්වය හැරපියා බටහිර අනුකරණශීලි ගැත්තන් වෙමින් ක්‍රියා කළ සිංහල කලු සුද්දන් වෙතින් දිනෙන් දින පලා යමින් පැවැති දේශීයත්වය නැවත ඇති කිරීම සඳහා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි,ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි, අනගාරික ධර්මපාලතුමා,වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා, පියදාස සිරිසේන යනාදී බුද්ධිමත්හු පියවර ගත්හ. මෙම පුනරුදයේ අවසානය වූයේ අපට අහිමි කළ නිදහස නාමමාත්‍රික වශයෙන් හෝ 1948 වසරේදි අප වෙත ලබා දීමයි. එහෙත් 1948 වසරේදි අධිරාජ්‍යවාදීන් මෙරටින් ඉවත්වූයේ ඔවුන්ගේම ගැත්තන් වූ පැලැන්තියක් නායකත්වයට පත් කරමිනි. මේ නිසා බොහෝ විද්වතුන් පවා අනුමත කරන සංසිද්ධියක් වනුයේ 1948 වසරේදී අප ලැබූ නිදහස 1972 ගෙන ආ ජනරජ ව්‍යවස්ථාව මගින් වඩාත් තහවුරු වූ බවයි.

මෙතුවක් කල් ආ ගමනේ අප නිදහසට බරපතළ තර්ජනයක් වූ කොටි ත්‍රස්තවාදය 1948 ලබාගත් නිදහසින් පසු උදා වූ අභාග්‍ය සම්පන්න සංසිද්ධිය ලෙස පෙන්වා දිය හැකිය. 1948 ට පෙර රටට නිදහස දිනා ගැනීම සඳහා සිංහල, දෙමළ මුස්ලිම්, බර්ගර් ආදි වශයෙන් බෙදීමක් නො කර ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කළ අප, නිදහසින් පසු බරපතළ ලෙස වෙන් වී ගියේ කවර හේතුවක් නිසාද යන්න තවමත් අප්‍රකටය. 1948 න් පසු ගත වූ වසර 66 ක කාල පරිච්ඡේදය තුළ අපි වසර 30 ක් එනම් හරි අඩකට ආසන්න කාලයක් බිහිසුණූ යුද්ධයකින් පීඩා වින්දෙමු.

මෙම කාලවකවානුව තුළ පත් වූ සෑම රාජ්‍ය නායකයෙකුම මෙම මහා ව්‍යසනයෙන් අප රටත්, ජාතියත් මුදා ගැනීමට නොපැකිලිව ක්‍රියා කළද එම අභිප්‍රායන් මස්තකප්‍රාප්ත නොවීය. එහෙත් මෙරට පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ සිදුවූ මානුෂික මෙහෙයුම් පදනම් කරගෙන උදා වූ නිදහස අද අප ජනතාව රිසි සේ භුක්ති විඳිති. යම් යම් විකල්ප බලවේග හමුවේ නොනැසී පවත්වා එම නිදහස ආරක්ෂා කර ගැනීම අප සැමගේ පරම යුතුකම වනු ඇත.

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 30 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.03 ට ලබයි.
31 වැනි දා සිකුරාදා පූර්වභාග 03.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]