Print this Article


කෙලෙස් සැඩ පහරට හසු නොවන කෙම් බිම

සහෝදර හාමුදුරුවන් චුල්ලඵන්තක හාමුදුරුවන්ට උපැවිදි වන්නට කීවා. චුල්ලඵන්තක හාමුදුරුවන්ට උපැවිදි වන්න සිතෙන්නේ නැහැ. සිතට හරි දුකයි. චුල්ලඵන්තක හාමුදුරුවන්ට හැඬුම් ආවා. චුල්ලඵන්තක හාමුදුරුවන් ජේතවනාරාමයේ පැත්තක හඬමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අනන්ත බුදුනුවණින් මේ සියල්ල දුටුවා.

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
උට්ඨානෙනප්පමාදෙන
සඤ්ඤමේන දමේන ච
දීපං කයිරාථ මේධාවි
යං ඕගොනාභි කීරති’ති

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

ධම්මපදය බෞද්ධ අත්පොතෙහි අප්‍රමාද වර්ගයට අයත් මෙම ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණේ චුල්ලඵන්තක ස්වාමීන්වහන්සේ අරමුණු කරගෙනයි. “උට්ඨාන වීර්යයෙන්ද අප්‍රමාදයෙන් ද, චතුපාරිශුද්ධ සීල සංවරයෙන් ද, ඉන්ද්‍රිය දමනයෙන් ද කිසිම කෙලෙස් සැඩ පහරකට හසුනොවන රහත් ඵලය නම් වූ දිවයින සාදාගනී.” යනු මෙම ගාථාවේ සරල අදහසයි.

චුල්ල ඵන්තක පොඩි හාමුදුරුවන් මහා ඵන්තක හාමුදුරුවන්ගේ මලනුවන්. චුල්ලඵන්තක හාමුදුරුවන් වැඩ සිටින්නේ මහා ඵන්තක හාමුදුරුවන් ගුරුතනතුරේ තබාගෙනයි. චුල්ලඵන්තක හාමුදුරුවන්ට පාඩම් කිරීමට මහා ඵන්තක හාමුදුරුවන් ගාථාවක් ලියා දුන්නා.

පදුමංයථාකොක නදං සුගන්ධං
පාතොසියා ථුල්ලම වීතරාගං
අංගීරසං පස්ස විරොචමානං
තපංච මාදිච්ච මිවන් තලික්කේ

මාස හතරක් මුළුල්ලේ චුල්ලඵන්තක හාමුදුරුවන් මෙම ගාථාව පාඩම් කළා. එහෙත් එක ගාථා පදයක්වත් මතක සිටින්නේ නැහැ. මේ නිසා සහෝදර හාමුදුරුවන් චුල්ලඵන්තක හාමුදුරුවන්ට උපැවිදි වන්නට කීවා. චුල්ලඵන්තක හාමුදුරුවන්ට උපැවිදිවන්න සිතෙන්නේ නැහැ.සිතට හරි දුකයි. චුල්ලඵන්තක හාමුදුරුවන්ට හැඬුම් ආවා. චුල්ලඵන්තක හාමුදුරුවන් ජේතවනාරාමයේ පැත්තක හඬමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අනන්ත බුදුනුවණින් මේ සියල්ල දුටුවා. බුදුරජාණන් වහන්සේ චුල්ලඵන්තක පොඩි හාමුදුරුවන් ළඟට වැඩියා. චුල්ලඵන්තක හාමුදුරුවන්ගෙන් මෙසේ විචාළා.

“දරුව චුල්ල ඵන්තක, ඇයි ඔබ හඬන්නේ? ඔබට කවුරුත් ගැසුවාද? නැත්නම් බැන්නාද?”

“නැත, ස්වාමීනි, මට කවුරුත් ගැසුවේත් නැහැ. බැන්නේත් නැහැ.”

චුල්ලඵන්තක හාමුදුරුවන් පිළිතුරු දුන්නා.

“එසේනම් ඇයි ඔබ හඬන්නේ?”

“ස්වාමීනි, බුදුපියාණන් වහන්ස, මගේ සහෝදර හාමුදුරුවෝ මට සිවුරු හැරයන්න කිව්වා. අනේ ස්වාමීනි මට උපැවිදි වී ගෙදර යන්න බැහැ. මට නැවත ගිහි ඇඳුම් අඳින්න බැහැ” චුල්ලඵන්තක හාමුදුරුවෝ වැළැපෙමින් කියනවා.

“දරුව, ඔබ කවුරුවෙනුවෙන් ද පැවිදිවුණේ?” බුදුරජාණන් වහන්සේ විමසනවා.

“ස්වාමීනි, මා ඔබවහන්සේ වෙනුවෙන් පැවිදිවුණේ” පොඩි හාමුදුරුවන් පිළිතුරු දෙනවා.

“මම ඔබට සිවුරු හැරයන්න කීවේ නැහැනේ, මා වෙනුවෙන් පැවිදි වූවා නම් මා සමඟ එන්න.” බුදුරජාණන් වහන්සේ වදාළා.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ආදරයක් චුල්ලඵන්තක හාමුදුරුවන්ට ඇතිවුණා. ඉපිලී ගිය සතුටින් චුල්ලඵන්තක හාමුදුරුවන් පසුව ඒ බව මෙසේ ප්‍රකාශ කළා.

භගවා තත්ථ ආගඤ්ජි
සීසං මයිහං පරාමසී
බාහාය මංගහෙත්වාන
සංඝාරාම පවේසසි.

“බුදුපියාණන් වහන්සේ මාවෙත පැමිණියා. මගේ හිස පිරිමැද්දා. මගේ අතින් අල්ලාගෙන සංඝාරාමයට වැඩියා.”

බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ කරුණාව නිසා චුල්ලඵන්තක පොඩි හාමුදුරුවන්ගේ ළය සැහැල්ලු වුණා. හිතට ලොකු සතුටක් දැනුණා.

සියල්ල දක්නා, සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේ චුල්ල ඵන්තක හාමුදුරුවන්ට සුදු රෙදි කැබැල්ලක් අතට දුන්නා. හිරු එළිය වැටෙන ගල් තලාවක වාඩි වී රජොහරණං, රජොහරණං යනුවෙන් පවසමින් එම රෙදි කැබැල්ල පිරිමදින්නට වදාළා.

රෙදි කැබැල්ල පිරිමදින විට කිලිටි බවට පත්වුණා. සසර පුරා ගෙන පැමිණි පුරුද්ද නිසා රෙදි කැබැල්ල කිලිටිවීමට හේතුව අවබෝධ වුණා. ශරීරයෙහි ඇති කිලිටි, රෙදි කැබැල්ලට එක්වූ බව උන්වහන්සේට අවබෝධ වුණා. අනිත්‍යය, අසුබය මෙනෙහි කළා. සවු කෙලෙස් නසා රහත්ඵලයට පත්වුණා.

මාතෘකා කළ ගාථාවේ සඳහන් වන පරිදි ‘උට්ඨානෙනප්පමාදෙන’ උට්ඨානවීර්යයෙන් ද, අප්‍රමාදයෙන් ද, කටයුතු කරන්නේ නම් සසර ගමනේ නිමාව දැකීමට හැකිවෙනවා. හොඳ මිනිස් භවයක් ලැබී මෙම බුද්ධෝත්පාද කාලයේ උපත ලබා සිටිනවා. එහෙත් අප තුළ ඇති අවිද්‍යාව නිසා මෙම වාසනාව වැසී තිබෙනවා.

දිරන, කුණුවෙන, පොළොවට පස්වන මෙම ශරීරය නිත්‍ය දෙයක් යැයි සදාකාලිකව පවත්වා ගත හැකි දෙයක් යැයි අවිද්‍යාව නිසා මමායනය ඇති කරගන සිටිනවා. මමය කියා බදාගන සිටිනවා. මමය යන්න සතුටු කිරීමට මගේ කියා අල්ලාගන සිටිනවා.

අපට නොපෙනෙන, ස්පර්ශයට හසුනොවන සිතනම් වූ දෙය අප තුළ තිබෙනවා. එම සිත අප නොමඟයවනවා. ඉඳුරන් හය තුළින් අපව සසරේ ඇවිදනවා.

සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා බලයන් වඩාගන්න ඕන. ශ්‍රද්ධාව තුබූ තරමින් සසරදුක නිවීමට බැහැ. සසර දුක ඇතිවන්නේ ඉඳුරන්ට වහල් වී ඉඳුරන් පිනවීමට යෑම නිසයි. එමනිසා ඉඳුරන් දමනය කළයුතුයි. ඒ සඳහා හොඳ සිහියක් අවශ්‍යයි. හොඳ සිහිය පිහිටුවීමට සමථ-විදර්ශනා භාවනා කළ යුතු වෙනවා.

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය මමය කියා ගනිමින් උපාදානය කරගන්නවා. විජ්ජාකාරයකු වැනි විඤ්ඤාණය තුළින් මමය, මාගේය වශයෙන් මමත්වය ඇතිකර අවිද්‍යාව තුළම රැඳී සිටිනවා. මෙම විඤ්ඤාණය නමැති විජ්ජාකාරයාට නොරැවටී විද්‍යාව පහළ කරගතහොත් සසර දුක නිවා ගැනීමට හැකිවෙනවා. සසර දුක නිවාගැනීමට ඔබ සැමට ධර්ම ඥානය පහළ වේවා! ඔබ සැමට තෙරුවන් සරණයි!