Print this Article


යටිනුවර හීරැස්සගල ආනන්ද බෝධි විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

යටිනුවර හීරැස්සගල ආනන්ද බෝධි විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

කන්ද උඩරට මහනුවර නගරාසන්නයේ, උඩුනුවර, යටිනුවර මායිමේ පිහිටි,කොළඹ සිට මහනුවරට පැමිණෙන විට පිළිමතලාවේ 106 වන කිලෝමීටර් කණුව අසලින් දකුණට හැරී මීටර් 200 ක් පමණ ගියවිට හමුවන විශාලතම ශෛලමය පර්වතය මුදුනේ, අවට ඈත පරිසරය දර්ශනීය ලෙස පෙනෙන කේන්ද්‍රස්ථානයක වෙහෙරගල හෙවත් හීරැස්සගල ශ්‍රී ආනන්ද බෝධි විහාරය හෙවත් ශ්‍රී ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය පිහිටා තිබේ. එම විහාරස්ථානය පිහිටි වෙහෙරගල මුදුනේ සිට අවට වටපිටාව නරඹන අප නෙතට හමුවන ස්වභාවික සෞන්දර්ය අති චමත්කාරය.

විහාර මන්දිරය ඇතුළත දර්ශනයක්

හීරැස්සගල ආනන්ද බෝධි විහාරය

පුස්තකාලය සහ දෙමහල් සංඝාවාසය

ඒ අතරින් දකුණු දිග අහසේ ගෑවෙන සේ දිස්වන ශ්‍රී පාදස්ථානයද, බටහිර දෙසින් ලංකාතිලක රජමහා විහාරයද, ගඩලාදෙණිය රජමහා විහාරයද, උතුර දෙසින් අලගල්ල නම් සුන්දර පර්වතයද, නැගෙනහිර දෙසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා හන්තාන කඳු වැටියද මනාලෙස දර්ශනය වේ.

ආරම්භක නිර්මාතෘවරු

ගඟ සිරිපුර හෙවත් ගම්පොළ රාජධානි යුගයේ 4 වන බුවනෙකබාහු රජු සමයේදී, මෙම පර්වතය මුදුනේ වෙහෙරක ලාංඡනයක් සටහන්කර තිබුණු බවත්, මෙහි රාජ අනුග්‍රහයෙන් විහාරස්ථානයක් කරවීමට යෝජිතව තිබුණු බවත් ඵෙතිහාසික පුරාවෘත්තවල සඳහන් වේ. 19 වන සියවස මුල් කාලයේදී පමණ මෙම වෙහෙරගල මුදුනේ හීරැස්සගල ශ්‍රී‍්‍ර ආනන්ද බෝධි විහාරස්ථානය ඉදිකරන ලද බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. මෙම විහාරස්ථානයේ ආරම්භක නිර්මාතෘවරයා වූයේ ශාස්ත්‍රාලංකාර පිරිවෙණේ ආචාර්යවරයෙකුව සිටි විනයධර, සුපේශල ශික්ෂාකාමී හිමිනමක වශයෙන් ප්‍රදේශයේ ගෞරවාදරයට පත්වූ, අපවත්වී වදාළ දොරලියද්දේ පඤ්ඤානන්ද නාහිමිපාණෝය. උන්වහන්සේ 1929 දී දඹදිව වැඩමකර ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුරයක් වැඩමවාගෙන මෙහි රෝපණය කළ බවත්, ඉන්පසු ආනන්ද බෝධි විහාරය යනුවෙන් නම් කළ බවත් සඳහන් වේ. දොරලියද්දේ පඤ්ඤානන්ද නාහිමියන්ගෙන් පසුව, පිළිමතලාව ශාස්ත්‍රාලංකාර පිරිවෙනෙන් ශාස්ත්‍රාලෝකය ලැබූ උගත්, විනයධර, විචිත්‍ර පරිත්‍රාණ ධර්මදේශක සුපේශල ශික්‍ෂාකාමී ඇටන්වල සෝමරතන හිමිපාණෝ විහාරාධිපති වශයෙන් ඉතා දීර්ඝ කාලයක් වැඩසිට මෙම විහාරස්ථානයේ විහාර මන්දිරය , චෛත්‍යය, බෝධි මළුව, ඝණ්ඨාර කුලුන , සංඝාවාස, ධර්ම ශාලාව ආදී විහාරාංගයන් දායක පින්වතුන්ගේ ආධාරයෙන් සාදවා විහාරස්ථානය වැඩිදියුණු කර පවත්වාගෙන ගියේය. විහාරාධිපතිව වැඩ විසූ ඇටන්වල සෝමරතන හිමිපාණෝ 1978 මැයි 20 දින අපවත් වී වදාළ සේක.

විහාරස්ථානයට නවෝදයක්

ඇටන්වල සෝමරතන හිමිපාණනගේ ශිෂ්‍යරත්නය වූ වත්මන් විහාරාධිපති පරිවෙණාධිපති ශාස්ත්‍රපති ඉළුක්කුඹුරේ පුඤ්ඤරතන හිමිපාණන් 1966 නොවැම්බර් 17 දින ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත්ව, විහාරස්ථානයේ අභිවෘද්ධියට දර්ශනීය ආරක්‍ෂක ප්‍රාකාරයක් කරවීම, ධර්මශාලාව ඉතා අලංකාර ලෙස ඉදිකරවීම ,බෝධි ප්‍රාකාරය, ඉදිකරවීම, පුස්තකාලය හා නව දෙමහල් සංඝාවාස ඉදිකරවීම ආදි විශාල සේවාවන් රැසක් දායක දානපතියන්ගේ ආධාරයෙන් කරවන ලදී.

පිළිමතලාව හැරමිටිගල ශ්‍රී ශාස්ත්‍රාලංකාර මහ පිරිවෙණින් මූලික අධ්‍යාපනය ලබා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, අධ්‍යාපන ඩිප්ලෝමාවත්, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා සිටින ඉළුක්කුඹුරේ පුඤ්ඤරතන හිමිපාණෝ 1973 මැයි මස 31 දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ. උන්වහන්සේ හීරැස්සගල ශ්‍රී ආනන්ද බෝධි විහාරය, කෝට්ටපිටිය, බකමූණ ශ්‍රී‍්‍ර ධර්මාරාමය, තලාව කරගහවැව, මහවැලතැන්නේ ඉසිපතනාරාමය, බකමූණ පබ්බතාරාමය, කඩුගන්නාව, කුරුකුත්තල, පල්ලේගම රාජමහා විහාරය යන විහාරස්ථාන වල අධිපතීත්වය උසුලති. හීරැස්සගල ශ්‍රී ආනන්ද බෝධි විහාරස්ථාන පරිශ්‍රයේම උන්වහන්සේ විසින්ම ආරම්භ කරන ලද ශ්‍රී‍්‍ර ධර්මෝදය මූලික පිරිවෙණෙහි පරිවෙනාධිපති වශයෙන්ද ශ්‍රී‍්‍ර ධර්මෝදය පුණ්‍යායතන සමිතිය, විශාඛා කුළඟන සමිතිය, සර්වෝදය ශ්‍රමදාන සමිතිය හා සුබ සාධක සමිතිය යන සංවිධානවල අනුශාසක ධූරයද හොබවති. තෙවරක් දඹදිව සිද්ධස්ථාන වැඳ පුදාගත් උන්වහන්සේ මාලදිවයිනේ ධර්ම දේශනා සඳහා වැඩමකරවා ශාසනික සේවාවන් සඳහා තායිලන්තයටද වැඩම කර ඇත.

අඩි 120 ක් උසැති සුවිසල් බුද්ධ ප්‍රතිමාවක්

උන්වහන්සේ ශිෂ්‍ය පිරිස් ශාස්ත්‍රවේදී රාජකීය, පණ්ඩිත ශාස්ත්‍රපති ආදී උපාධි ලබා දිවයින පුරා බොහෝ ප්‍රදේශවල පිරිවෙන් හා පාසල් ගුරු සේවයෙන්ද විහාරාධිපතිවරු වශයෙන්ද ශාසනික සේවයේ යෙදී සිටිති. එසේම උන්වහන්සේගේ ශිෂ්‍ය තායිලන්තයේ වට්ලම්පෝ විහාරස්ථානයේ වැඩ වසන රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී විල්ගමුවේ අරියරත්න හිමියන්ගේ සම්බන්ධතාවයෙන් තායිලන්තයේ වට්ලම්පෝ විහාරාධිපති ප්‍රා - කු - චා වීරත් හිමියන් ඇතුළු සංඝරත්නයේ හා දායක පිරිසගේද අනුග්‍රහයෙන් සහ පරිත්‍යාගශීලි දානපතියන්ගේ දායකත්වයෙන්, ශ්‍රී‍්‍ර ආනන්ද බෝධි විහාරස්ථ ධර්මෝදය පිරිවෙන් භුමියේ උතුරු බෑවුමේ ඇති ස්වභාවික ශෛලමය පර්වතයට පිටදී අඩි 120 ක් උසැති සුවිසල් සමාධි බුද්ධ ප්‍රතිමාවක් මේ දිනවල කරගෙන යනු ලැබේ.

මධ්‍යම කඳුකරයේ ඉදිවන සුවිසාලම සමාධි බුද්ධ ප්‍රතිමාව වශයෙන් ඉතිහාසයට එක්වනු ඇත. මෙම බුද්ධ ප්‍රතිමාව රටට දායාද කිරීමට ඉදිකිරීමේ භාරදූර කාර්යයයේ නිර්මාතෘ ශ්‍රී ආනන්ද බෝධි විහාරාධිපති ශ්‍රී‍්‍ර ධර්මමෝදය පරිවේණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ඉළුක්කුඹුරේ පුඤ්ඤරතන හිමිපාණෝ අදහස් දක්වමින්

ශ්‍රී ලාංකීය ජනතාව තුළ බුද්ධාලම්භන පී‍්‍රතිය හා ආගමික ප්‍රබෝධය ඇතිකර එමඟින් ශාසනික උන්නතිය හා දැහැමි සමාජයක් ඇති කිරීම තමන් වහන්සේගේ එකම පරමාර්ථය බවත්, මෙම උතුම් කාර්ය එක් පුද්ගලයෙකුට , හෝ එක් ගමකට පමණක් කළ නොහැකි බවත්, වේයන් එකතුවී තුඹසක් තනන්නාසේ සැම එක්වී සාමූහික ප්‍රයත්නයක් ලෙස තමන්වහන්සේ ගත් උත්සාහය සාර්ථක කරවන්නට පිංකැමතියන්ගේ ශක්තිය, ලබා දී දෙලෝ වැඩ සාදා ගන්නා මෙන් පුණ්‍යානුමෝදනා සහිතව දන්වා සිටිති.