Print this Article


සමෘද්ධි අධිකාරියේ සුබසාධන වැඩසටහන් රැසක්

සමෘද්ධි අධිකාරියේ සුබසාධන වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ආර්.පී. බන්දුල තිලකසිරි හා කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත කළුතර ජාවත්ත බන්ධනාගාරයේ කාන්තා හා පිරිමි රැඳවියන්ගේ ශාරීරික, මානසික සෞඛ්‍යය හා ආධ්‍යාත්මික සංවර්ධනය නැංවීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් පසුගිය උඳුවප් පොහෝ දා ක්‍රියාවට නැංවිණි.

බන්ධනාගාර අධිකාරී නාමල් බණ්ඩාර, සුබසාධක නිලධාරී ජයන්ත හා ඉන්දික මහත්වරු ඇතුළු සියලුම නිලධාරීන්ගේ සේවය හා කැපවීම ද විශේෂ ප්‍රශංසාවට ලක් විය.

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ, කළුතර ප්‍රාදේශීය සභා සභාපති ලක්‍ෂ්මන් විදානපතිරණ, අතිරේක දිස්ත්‍රික් ලේකම් සිරිසෝම ලොකුවිතාන, ප්‍රාදේශීය ලේකම් විමල් කුලතුංග ප්‍රධාන ගණකාධිකාරී නිරූපා අන්දාදි ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වී සහයෝගය දැක්වූහ.

නාගොඩ ජාතික රෝහල, පළාත් සෞඛ්‍ය ආයතනය, ආයුර්වේද ආයතනය, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වැනි ආයතන එක් වී රැඳවියන්ගේත් දරුවන්ගේත් සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට ජංගම සෞඛ්‍ය සායන පැවැත්වීය. කාන්තාවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය හා සමාජගත වූවාට පසු ගෘහණියක්, මවක් කාන්තාවක් ලෙස පවුලට මෙන්ම රටේ සංවර්ධනයට දායකවන අන්දම පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ දේශනයක් වෛද්‍ය වසන්ත පෙරේරා විසින් පැවැත්වීය. රුපියල් ලක්‍ෂ 1 1/2 කට වඩා වටිනා ඖෂධ තොගයක් ද පරිත්‍යාග කෙරිණ

ඇඩික් ආයතනයෙන් ‘මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස්වීම’ පිළිබඳ දේශන පැවැත්වූයේ වැඩසටහන් නිලධාරී රසිකා මනෝහාරි හා අමරනාත් තැන්න විසිනි. කුඩා දරුවන්ගේ රැඳවුම් කුටිවල ජනේල ආවරණ සඳහා බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන පදනමෙන් බටපැළලි ප්‍රදානය කෙරිණි. ජාවත්ත සමෘද්ධි බැංකුවේ අනුග්‍රහයෙන් දරුවන්ගේ පරිහරණයට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු තෑගි පාර්සල් පිරිනැමිණි.

කළුතර ප්‍රාදේශීය සභාව, කළුතර දිස්ත්‍රික් සමාජ සංවර්ධන පදනම, ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ සමාජ සංවර්ධන පදනම අනෙකුත් සියලු වියදම් සඳහා දායකත්වය සැපයීය. සෑම මසකම පුරපසළොස්වක දින “අපි ඔබට ශක්තියක් වෙමු” තේමාව යටතේ විවිධ වැඩසටහන් පවත්වන බවත් මේ තවත් එවැන්නක් බවත් කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා පැවසීය.

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ සමාජ සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්‍ෂිකා රීටා ඉලේසිංහ, සමෘද්ධි කළමනාකරු ඩබ්.එල්. දසනායක යන අයගේ සහයෝගයෙන් කළුතර දිස්ත්‍රික් සහකාර සමෘද්ධි කොමසාරිස් සිතාරි උදයංගනී, සම්බන්ධීකරණ නිලධාරී මහේෂ් නාමල් කළමනාකරු රත්නසිරි පීරිස්, සමාජ සංවර්ධන සහකාර ජගත් ඉලේපෙරුම කළුතර දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ නිලධාරීන් හා ජාවත්ත සමෘද්ධි බැංකුවේ නිලධාරීන් එක්ව වැඩසටහන සංවිධානය කළහ.