Print this Article


සම්බුදු සිරි පා පහස ලද අසිරිමත් පින් බිම

ශ්‍රී පාද අඩවියේ අපූරු සොබා සුන්දරත්වය අපේ සංදේශ කවීන් නිවැරැදිව දැන හඳුනාගෙන තම නිර්මාණ සඳහා එක්කොට ඇති අයුරු අපූරුය. ශ්‍රී පාද අඩවිය සොබාදහමේ අපූරු නිර්මාණයකි. ලංකාවේ අනන්‍යතාව පිළිබිඹු කරන්නා වූ සම්පතකි.සමන්ත කූට නැතිනම් සමනොළගිරි කරුණා කිරීම තුළ අන් කිසිදු වන්දනා ගමනක දැකිය නොහැකි තරම් අපූරු දැහැමි විනෝදාස්වාදයක් ගැබ්වන්නේය. අතිශය සුන්දර පරසරයක් තුළ පාද චාරිකාවක් ලෙසින් නිර්මිත මෙම ගමන අතීතයේ සිටම අපේ රට වැසියනට සාමූහික බව, දයාව, මෛත්‍රිය, සහජීවනය ආදි වූ මිනිස් ගුණ දහම් වර්ධනය කර ගැනීමට අතිශයින් ඉවහල් වූ චාරිකාවක් ද විය.

උඳුවප් මහේ ඇරැඹෙන අපූරු වන්දනා චාරිකාව ශ්‍රී පාද වන්දනාවයි. එම කාලසීමාව පුරා සය මසක් ගිය තැන වෙසක් පොහෝ දිනෙන් නිමාවට පත්වේ. අතීතයේ සේම වර්තමානයේ ද ලොව සියලු මිනිස් වර්ගයාට සිත් සැනසුම උදා කර දෙන පින් බිමකි. භෞතික පරිසරය මෙන්ම එම චාරිකාව හා බැඳුණු සිරිත් - විරිත් සම්ප්‍රදායන් තුළින්ද එම අරමුණු ඉටු වන්නේ ය. විටෙක දේව සංකල්පයද සනිටුහන් කරමින් සුමන සමන් දෙවියන්ගේ කරුණා ගුණයට ද ඉඩ උදාකර දෙන්නේය.

ශ්‍රී‍්‍ර පාදය හෙළ දැයේ උරුමයක් බව සනාථ වන සටහන් අතර මේවාද වෙයි.

දෙසයිත්වාන සද්ධම්මං
සග්ග මොක්ඛ සුඛාවහං
සො සත්ථා සුමන කඨෙ
දස්සෙසි පාද ලාංඡනං

(දාඨා වංශය)

සුත්වාන නථො ගිරමෙථමස්ස
පස්සා මහාභූති මහාගතෙසු
ලොකස්ස ලොකෙහි මහියමානො
ආකාසි වාමෙන පදෙන ලඤ්ඡං

(සමන්තකූට වර්ණනාව)

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනක තෙවැනි වරට ලක්දිවට වැඩම කළ සේක. මණිඅක්ඛික නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩි බුදුරදුන් සුමන සමන් දිව්‍ය රාජයාගේ ඇරැයුමෙන් සමනළ ගිරි මස්තකයේ ශ්‍රී පාද සටහන තැබූ බව ශාසනික තොරතුරු මඟින් සනාථ වන්නේය. එබැවින් සිරිපා කන්ද බුදුසිරිපා පහසලද පින් බිමකි.

උන්වැළඳූ පයද
උන්පද ලසැති පහණද
උන් පිටදුන් රුකද
පුද මොක් සැප ලබති දුක්සිඳ
එ මොක් පුරවන් දයි
සෙත දෙන්ට පිළිවන් දැයි
නොකියව කුමක් දැයි
තමාපද ගිරි කුරුද වන් දැයි

(බුදුගුණ අලංකාරය)

“බුදුරදුන් දන් වැළැඳූ පාත්‍රයටද, උන්වහන්සේගේ පා සටහන් තැබූගලටද, උන්වහන්සේ පිට දුන් රුකටද වැඳීමෙන් මනුෂ්‍යයෝ දුක් නැති කොට නිවන් සැප ලබා ගති”

ඒ “බුදුගුණ අලංකාරය” කවියාණන් දුටු යථාර්ථයයි. සිව් ප්‍රදේශයක බුදුරදුන් විසින් තබන ලද සිරිපා සටහන් අතරින් අදට ඉතිරි ව ඇත්තේ සමනොළ සිරිපා සටහන පමණි.

ගඞගාය ගඞගාපති සන්නිධානෙ
තීරෙ නදා නම්මදජිම්හගස්ස
පාදස්ස ලඤ්ජං අකරි මුනින්ද
මය්හංපි තොනං කරුණා ගවෙසා

”නර්මදා නදී තීරයේත්, සච්චබද්ධ පර්වතයේත් ශ්‍රී පාද සටහන් පිහිටුවා වදාළාක් මෙන් මටද අනුකම්පාවෙන් ශ්‍රී‍්‍රපාදය වදාළ මැනවි.” එලෙස වූ ශ්‍රී පාද පිහිටුවීම තුළින් පින්බිමක් වූ මෙම ඉසව්වට රාජ්‍ය ආරක්‍ෂාව නොමඳ ව ලැබුණි.

අඹගමුව ශිලා ලිපිය එක් සාක්‍ෂියක් පමණි. වළගම්බා රජු, පස්වැනි මිහිදු රජූ, පළමුවැනි විජයබාහු රජු එලෙස ක්‍රියා කරන ලද රජදරුවෝ අතර වෙති. නිශ්ශංකමල්ල රජු මෙපින් බිම නඟා සිටුවීමට, නඩත්තු කිරීමට හා වන්දනාකරුවන්ට පහසුකම් සැලසීම පිණිස ගම්වරද පූජා කොට ඇත. බෝසත් විජයබාහු රජු විසින් ශ්‍රී‍්‍ර පාද කන්ද කරුණා කිරීම පිණිස පියගැට 780 ක් කරවන ලදී. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ද මෙම පින් බිමේ බෞද්ධ උරුමය රැක දෙනු පිණිස ක්‍රියා කළ බව අපේ වංශ කථා සඳහන් කරන්නේය.

අපේ කවියෝ මෙම ඉසව්වේ සෞන්දර්යාත්මක පැතිකඩ සේ ම එහි සැඟවුණූ ඓතිහාසික හා වන්දනීය සාධකයන්ද අපූර්වත්වයෙන් දුටහ.

සුරරද සමන් සමඟින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැඳී මුනි සිරිපා තඹර
සකිසඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර

(සැළලිහිණි සංදේශය)

සමනළ මුදුන සිරිපද ඔබන මඟුලට
නිසසල සම සගන ගෙන වඩින මුනිදුට
පැහැදුල සුනිල් මැණිකෙන් කළ මඟ ලෙසට
මනදොළ පිරෙයි ගඟ සිරිසර දුට තොපට

(හංස සංදේශය)

ලක කොමලග සමනොළ ගිරි හිසින් ගොතා
හළ මනරඟ මලිගිය මල් දමින් යුතා
වරලස රඟ පෙණවැලි හැලි සියෙන් ඉතා
දිලිකග ගඟ ළඟ වැද හරු ගිමන් ගතා

(ගිරා සංදේශය)

ශ්‍රී පාද අඩවියේ අපූරු සොබා සුන්දරත්වය අපේ සංදේශ කවීන් විවිධ නිර්මාණාත්මක සිතුවිලි පද්ධතීන් තුළින් නිවැරැදිව දැන හඳුනාගෙන තම නිර්මාණ සඳහා එක්කොට ඇති අයුරු අපූරුය. සැබැවින්ම නූතන තාක්‍ෂණ මෙවලම් භාවිතයෙන් රූපවාහිනී දර්ශන තල සඳහා රූපගත කර ඇති සටහන්හිද මෙම චමත්කාරය සැබැවින්ම නිරූපිත වන්නේ ය. ශ්‍රී පාදය සොබාදහමේ අපූරු නිර්මාණයකි. ලංකාවේ අනන්‍යතාව සඳහන් කරන්නා වූ සම්පතකි.

සමන්ත කූට නැතිනම් සමනොළගිරි කරුණා කිරීම තුළ අන් කිසිදු වන්දනා ගමනක දැකිය නොහැකි තරම් අපූරු දැහැමි විනෝදාස්වාදයක් ගැබ්වන්නේය.අතිශය සුන්දර පරසරයක් තුළ පාද චාරිකාවක් ලෙසින් නිර්මිත මෙම ගමන අතීතයේ සිටම අපේ රට වැසියනට සාමූහික බව, දයාව, මෛත්‍රිය, සහජීවනය ආදි වූ මිනිස් ගුණ දහම් වර්ධනය කර ගැනීමට අතිශයින් ඉවහල් වූ චාරිකාවක් ද විය.

වන්දනා ගමනක් සංවිධානය වන්නේ තමන් වඩාත් ගරු කරන, බොදුනුවන් විසින් පුද ලබන, සංකේතයන් දැක බලා ගැනීමටත් ඒ සදහා කළ යුතු වතාවත්, පිළිවෙත් ඉටු කිරීමේත් පරම අරමුණින්ය.මෙවැනි චාරිකාවන් සඳහා අතීතයේ අපේ ඇත්තන් ගමන් ආරම්භයට පෙර සිටම සූදානම් වූයේ එක් පසෙක මානසික සුවය උදෙසා තිදොර සංවර කර ගැනීමෙනි. ශ්‍රද්ධාව සේ ම විවිධ සම්ප්‍රදායන් ගරු කිරීම නිසා දේව සංකල්පයද මෙම ගමන තුළින් ඉස්මතු වන්නේය. එම නිසා වාචික සංවරය සේම කායික පවිත්‍රතාව කෙරෙහි ද දැඩි සැලකිල්ලක් මෙම ගමන පුරාම අතීතයේ වන්දනාකරුවෝ ඇති කර ගත්හ. එහෙත් වර්තමානයේ කායික හා වාචසික සංවරය ඇති කිරීම පිණිස පොලීසිය සේවයට යෙදවීමට සිදු වී ඇත. මත්පැන් පානය කරන පිරිස් අල්ලා ගැනීමටත්, මත්පැන් බෝතල විනාශ කිරීමටත් පිරිස් යෙදවීමට සිදුවී ඇත.

මෙහිදී පැහැදිලි වන්නේ නූතන පරපුරට ගව්වක් තරම් දුරක් පා ගමනින් යෑම පිණිස අවශ්‍ය මානසික ශක්තිය නොමැති බවය.එය එසේ සිදුවිය නොහැක්කකි. එය අපේකම විනාශයට යන්නා වූ සාධකයකි. මෙම ගමනේ අපූර්වත්වය, සුන්දරත්වය දැකිය හැක්කේ මත්පැන් තුළින් නොවේ. සැබෑ වූ නිදහස් නෙත් දෙකෙන් හා එසේ වූ මානව හදවතක් තුළින් පමණි. ව්‍යාකූ®ල වූ හදවතකින් හෝ නෙතකින් මෙම චමත්කාරය කිසිදා දැකිය නොහැකිය.

මෙම චාරිකාව පුරාම මානව සබදතා තහවුරු වන්නා වූ ගමනක් ලෙසින් සැකසී තිබුණි. සෑම කණ්ඩායමක් (නඩයක්) තුළම නායකයකු ඇත. ඔහුට කණ්ඩායමේ සියලු දෙනාම ගරු කරති. ඔහුගේ අනුශාසනා පිළිපදිති. එනිසාම ඔහු නඩේ ගුරා වන්නේය. නඩේ ගුරුජීවිත අත්දැකීම් බහුල අයෙකි. උගත් ධර්ම ඥානයෙන් හෙබි අයෙකි. කළයුතු සියලු වත් පිළිවෙත් ඔහු මැනැවින් දන්නේය. මෙනිසා මෙම ගමන පුරාම ස්වයං හික්මීම ජනිත වන්නේය. මෙම ගමන පුරාම ගොඩනැඟෙන සන්නිවේදන ජාලාව මෙම ගමනටම සැකසුනකි. එහි මානව දයාව ජනිත විය. වාග්මාලාවද ඒ උදෙසාම සැකසුනකි. කෝඩු,කිරි කෝඩු, පේවීම, කරුණාව,කරුණා කරනවා (යනවා, එනවා) ආදිය එම වාග්මාලාවට අයත්ය. ගමන් විඩාව සන්සිඳුවීමට හා විවේකය ලබා ගැනීම පිණිස අතීතයේ යොදා ගත්තේ පරිසරය ආශි‍්‍රතව චාරිත්‍ර පද්ධතියකි. එම ස්ථාන වලදී විවිධ ක්‍රියාකාරකම් සාමූහිකව ක්‍රියාවට නඟති. ගෙත්තම්පහන, හැරමිටිපහන, ඇසළ කණුව, සීීත ගගුල, ධර්මරාජගල, මහගිරිදඹ, සුළං කපොල්ල, කුණු දිය ගල, දොළොස්මහ පහන ආදී ස්ථාන ඉන් කිහිපයකි.

මෙම අපූරු පින්බිමේ මළුව තුළ කොතරම් සෙනඟක් වන්දනාකරුවන් සිටියද ඉඩකඩ අසීමිතය. එය නම් කුමන හෝ ආශ්චර්යාත්මක සිදුවීමකි. සෑම වන්දනා ගමනක් තුළම ගොඩනැ‍ෙගන සිදුවීමකි. පින් බිමේ සත්‍යතාව ප්‍රකට කරනු ලබන්නා වූ සිදුවීමකි. වන්දනා ගමන් සම්බන්ධයෙන් ගොඩනැඟෙන මතිමතාන්තර හා පිළිගැනීම් නිසා විවිධ චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන් බිහිවේ. ඒ තුළ ගැබ් වූ සත්‍යයක් ඇත. මෙම චාරිකාව උදෙසාම පද්‍ය පන්තියක් මහනුවර යුගයේදී රචනා විය. එය තුන් සරණයයි.

බුද්දන් සරණෙ සිරස දරා ගෙන
දම්මන් සරණෙ සිත පහදා ගෙන
සන්ගන් සරණෙ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණෙ අදහා ගෙන
අහසෙන් යාමට එර්දි ලබන්ටයි
පොළවෙන් යාමට සෙනඟ ලබන්ටයි
මතු සංසාරෙන් එතරව යන්ටයි
නුවණත් ආයුත් මට බෝවන් ටයි

නිර්ව්‍යාජත්වය මෙම තුන්සරණ පද්‍ය තුළින් ප්‍රකාශිත වේ. ත්‍රිවිධ රත්නයේ ගුණ ගැයෙන අතර ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය තුළින් ලෞකික ජීවිතයේ විවිධ අරමුණු බලාපොරොත්තු ඉටු කර ගැනීමට එමඟින් ශක්තිය ලබා ගැනීම එම පරමාර්ථය විය. නිරෝගි සුවය, අස්වනු සාරවීම, සමගිය සමාදානය ඇතිවීම ආදිය මුඛ්‍ය පරමාර්ථ වන්නේය. පද්‍ය 127 න් යුක්ත මෙම කාව්‍ය සංග්‍රහය ඉමිහිරි ලෙස ගායනා කරනවිට ගමනේ වෙහෙස මැකී යයි. වරෙක පිරිත් දේශනාවේ ශෛලිය ඒ තුළින් ඉස්මතු වන්නේය.

මේ ලිපිය අවසන් කිරීමට මත්තෙන් සොබා දහමේ අපූරු සොඳුරු චමත්කාරජනක පිළිබිඹුවක් වන මෙම ස්ථානය සම්බන්ධයෙන් බටහිර ජාතිකයෙකු වූ මේජර් ස්කිනර් කියූ අදහසක් සටහන් කරනු කැමැත්තෙමි.

“එක් උදයෙක ඉර පායා එන විට කන්දේ ඡායාව මුළු රට හා මුහුද හරහා ක්‍ෂිතිජය නිම්කොට වැටී තිබුණි. විනාඩි කිහිපයක් පර්වත කූටය විවෘතව පැවතියේය. මෙය කොතරම් පැහැදිලි ලෙස සටහන්වී තිබුණාදැ’යි කියතොත් ශ්‍රී පාද ලාංඡනය වසා සිටි කුඩා පැල ද සඳහන් ඡායාව හොඳ හැටි සටහන් වී තිබුණි.තවත් අරුම පුදුම දර්ශනයක් නම් සමනළ කඳුවැටිය ප්‍රතිවිරුද්ධ රක්වාන වැටිය අතර පිහිටි පහත් මිටියාවත මීදුමින් ඝන සැරේට පවත්නා විට එය හරියට ම මුහුදේ හැඩරුව ගැනීමයි” (මේජර් තොමස් ස්කිනර් -“ලංකාවේ පනස්වසක්” )

යං නම්මදාය නදියා පුලිනෙ ච තීරෙ
යං සච්චබද්ධ ගිරිකෙ සුමනා චලග්ගෙ
යං තත්ථ යොනකපුරෙ මුනිනොච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි