UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නව්‍ය නගරයක ඉදිවූ සාම විහාරය

නව්‍ය නගරයක ඉදිවූ සාම විහාරය

ප්‍රතිමා වහන්සේගේ ආකර්ශණීය ආනුභාව සම්පන්න බව නිසාම සියලු බාධක අභිබවා මෙම සුවිශේෂී ආගමික ආයතනය ඉදි වූ බව අපගේ විශ්වාසයයි, නව්‍ය නගරයක නව සැලසුමකට අනුව නැවුම් ප්‍රාර්ථනා ඇතුව නිර්මාණය කරන ලද සාම විහාරය නම්වූ මෙම කුඩා ආගමික ආයතනය තවත් විහාරස්ථානයක් පමණක් නොවී අලුත් යමක් සිදු කිරීම අපගේ මූලික අදහසයි.

වැල්ලවත්ත පෙහෙකම්හල ශ්‍රී ලංකාවේ සුවිශාලතම කර්මාන්තායතනයක් ලෙස යටත් විජිත යුගයේ සිටම ශ්‍රී ලාංකික ජනතාව අතර විශාල පිරිසකට රැකියා සපයන ලද ස්ථානයකි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහත් ශක්තියක් වූ කම්හලක් වූවා මතු නොව මෙරට විවිධ ජනඅරගලයන්හි තිඹිරිගෙය වූයේද මෙම ආයතනයයි. විවෘත ආර්ථික ක්‍රමයත් සමගම 70 දශකයෙහි බොහෝ දේශීය කර්මාන්ත බිඳ වැටුණු අතර වැල්ලවත්ත පෙහෙකම්හලට ද එම ඉරණම අත් විය. දහස් සංඛ්‍යාත පිරිසක් සේවය කළ ජනාකීර්ණ වූ මෙම ආයතනය ජනශූන්‍ය වී යාමත් සමග සුවිශාල ගොඩනැගිලි කැබලි වී අලෙවියට පත් විය.අක්කර විස්සකට ආසන්න වූ භූමිය පාලුවට ගිය අතර කම්මලෙහි බෞද්ධ සංගමය මගින් ඉදිකරවා තිබූ ආකර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම සිදුවීම් විඳිමින් දකිමින් හුදකලා වූ සේක. අනතුරුව මෙම සුවිශේෂී බුදුරුව ඉවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වූයේ මෙම සුවිශාල භූ®මියද කොටස් කර අලෙවි කිරීම සඳහා ය. මෙම කුමන්ත්‍රණය පැරදවීම සඳහා ඉදිරිපත් වූ භික්ෂූන් වහන්සේලාට ප්‍රදේශවාසීන්ගෙන් ලද සහාය මත මෙම පෙහෙකම්හල් භූ®මියෙහි සාම විහාරය නම් වූ කුඩා ආරාමය ආරම්භ කිරීමට හැකි විය. මහත් අරගලයක ප්‍රතිඵලයක් ලෙස ඇරඹෙන මෙම ස්ථානය මෙහි සෞම්‍ය වූ සමාධි බුදුරුව නිසාම ඇති වූවක් බව සඳහන් කළ යුතුව ඇත. ප්‍රතිමා වහන්සේගේ ආකර්ශණීය ආනුභාව සම්පන්න බව නිසාම සියලු බාධක අභිබවා මෙම සුවිශේෂී ආගමික ආයතනය ඉදි වූ බව අපගේ විශ්වාසයයි. දිනපතා අසල මාර්ගයෙහි ඔබ මොබ යන ලක්වැසි බොහෝ බොදුනුවන් තමන් ගමන් ගන්නා රථයෙහි මදක් නැගී සිටිමින් හෝ ගෞරව දැක්වීමට උත්සුක වන අයුරු නිතර දැකිය හැකි සුලභ දසුනකි. එපමණක් නොව අසල පිහිටා ඇති හින්දු දෙවොලට ගමන් ගන්නා හින්දු භක්තිකයන් ඇතුළු විවිධ ජාතික හා ආගමිකයන් මෙහිදී තම ගෞරවය දක්වන ආකාරය නිතර දැකිය හැකි ය. එමෙන්ම මෙම ස්ථානය පසු කෙරෙන දහස් ගණනක් පාසල් සිසු සිසුවියෝ මෙම ප්‍රතිමා වහන්සේට නමස්කාර කොට යාම දෛනික සිරිතක් කොට ගෙන ඇත්තාහ.

රෙදි කම්හල් බිමෙහි කුඩා කුටියක ආරම්භ කොට අතිශය දුෂ්කර හා අවම පහසුකම් සහිතව නොදියුණුව පැවති මෙම ආගමික ආයතනය පිළිබඳ අනාගතය මැනවින් අවලෝකනය කළ යශෝධා සමූහ ව්‍යාපාරයෙහි සභාපති යසසිරි කස්තුරිආරච්චි මැතිතුමාගේ මැදිහත්වීම නොවන්නට මෙම කාර්යය සඳහා අපගේ මැදිහත්වීමක් ද නොවනු ඇත. ඒ අනුව එක්දහස් නවසිය අනූහතර වර්ෂයෙහි අවසන් භාගයේදි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමිපාණන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් හා අනුශාසකත්වයෙන් මෙන්ම අධීක්ෂණයෙන්ද යුතුව අපි මෙම උතුම් ශාසනික කාර්යය සදහා මැදිහත් වූයෙමු.එතැන් සිට දශක දෙකකට ආසන්න වූ කාලය තුළ ඉතා සංකීර්ණ සමාජ පරිසරයක් තුළ ආගමික සහ ජාතික මෙන්ම සමාජ සුබසාධන ක්‍රියාවන්හි නියැලෙමින් සිංහල බෞද්ධ අනන්‍යතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළෙමු. මෙම දීර්ඝ දුෂ්කර කාලය තුළ විවිධ දුෂ්කරතා විඳිමින් විහාරස්ථානයක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන යාමේ ගෞරවය අපගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක්ද වූ කොළඹ ආනන්ද විද්‍යාලයෙහි ධර්මාචාර්ය ශාස්ත්‍රපති රම්මල ධම්මරක්ඛිත හිමියන්ට හිමිවිය යුතු බව සඳහන් කළ යුතුව ඇත.

අනතුරුව විදේශ ආයෝජකයකු ලෙස එස්.පී.තාඕ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මිරේකා කැපිටල් සමාගම හැව්ලොක් සිටි ව්‍යාපෘතිය ලෙස මෙම පැරණි පෙහෙකම්හල් බිම සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම සඳහා ඉදිරිපත් වීම අප ලැබූ භාග්‍යයක් වශයෙන් සඳහන් කළ යුතුව තිබේ. එතුමා හඳුන්වාදීම එවකට ලංකා බැංකුවේ සභාපතිවරිය ලෙස කටයුතු කළ සුමී මුණසිංහ මැතිණිය විසින් සිදු කළ බව සඳහන් කළ යුතු අතර අනතුරුව නිරන්තරයෙන්ම අප සමග සමීපව කටයුතු කළ බවද සිහිපත් කළ යුතුවේ. ඒ අනුව බෙල්ලන්විල රජමහ විහාරයටද පැමිණි එස්.පී.තාඕ මැතිතුමා සහ පවුලේ දූදරුවන් එහිදී ලබන ලද ආගමික ආශිර්වාදය ද ඇතිව අද විවෘත කෙරෙන නව විහාර සංකීර්ණය තම පෞද්ගලික මුදලින් ඉදි කරවා පූජා කරන බව අනුනාහිමිපාණන් වහන්සේ හමුවෙහි අපට ප්‍රකාශ කරන ලද ආකාරය පිළිබඳව සිහිපත් වේ. ඒ අනුව මෙය බෙල්ලන්විල රජමහා විහාරයට කරන ලද පූජාවක් වශයෙන් සලකන අතර මේ සඳහා මහාචාර්ය විමලරතන අනුනාහිමිපාණන් වහන්සේ අපට අයෝමය ශක්තියක් වූහ.විවිධ ආකාරයෙන් මෙහි සාර්ථකත්වය සඳහා අප දිරිගන්වමින් ක්‍රියා කළ අනුනාහිමිපාණන් වහන්සේට අපගේ කෘතඥතා පූර්වක ගෞරව පළ කරමු.

දශක කීපයක් මුලුල්ලේම ලොව පුරා විවිධ ආයෝජකයන් ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ විවිධ ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරමින් ව්‍යාපාරික කටයුතු වල යෙදෙන බව ප්‍රකට කරුණකි. එහෙත් ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය සඳහා මෙබදු ආරාම ගොඩනගා දුන් ව්‍යාපාරිකයන් පිළිබඳ අප අසා නැත්තෙමු.ඒ අනුව මෙම කාර්යය ශ්‍රී‍්‍ර ලංකා ඉතිහාසයට එක්වන ඓතිහාසික සංසිද්ධියක් ලෙස සඳහන් කළ යුතුය. දකුණූ ආසියාවේ කීර්තිමත් ව්‍යාපාරිකයකු වන එස්.පී. තාඕ මැතිතුමා ඉතා පරිණත ව්‍යාපාරිකයකු ලෙස ශ්‍රී ලංකාවේ ආගමික සහ ශාසනික පරිසරය තේරුම් ගෙන මෙම උසස් ශාසනික සිහිවටනය ඉදිකරවීම එතුමාගේ වෘද්ධකර සාර්ථක ජීවිතයෙහි අනුස්මරණීය සිහිවටනයක් වනු ඇත.මෙම උතුම් මොහොතෙහි එතුමාට නිරෝගි සුවයත් දීර්ඝායු සම්පතත් වාසනාවත් උදාවේවායි ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අභාවයට පත් තාඕ මැතිනිය වෙනුවෙන් පරලොව සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත්, තාඕ පවුලේ සියලු දෙනාට ස්තුතිය වාසනාව හා නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහාද අපි මෙය අවස්ථාවක් කර ගනිමු.එසේම මේ සඳහා ආරම්භයේ සිටම උනන්දුවක් දක්වන ලද මිරේකා කැපිටල් ආයතනයෙහි නිලධාරිවරයකු වූ මාර්ටින් පෙරේරා මැතිතුමා ද පින් දීමෙන් යුතුව සිහිපත් කරමු. එමෙන්ම මිරේකා කැපිටල් ආයතනයෙහි මූලික කළමනාකාරිත්වයට සහ මෙහි සැලසුම් ශිල්පීය කටයුතුකළ ආචාර්ය සේනක ධර්මතිලක මැතිතුමාට මෙන්ම ඉදිකිරීම් සමාගම වූ ආර්.ආර්. කොන්ත්‍රාත් සමාගමටද අපගේ කෘතඥතාවය පළ කරමු.

නව්‍ය නගරයක නව සැලසුමකට අනුව නැවුම් ප්‍රාර්ථනා ඇතුව නිර්මාණය කරන ලද සාම විහාරය නම්වූ මෙම කුඩා ආගමික ආයතනය තවත් විහාරස්ථානයක් පමණක් නොවී අලුත් යමක් සිදු කිරීම අපගේ මූලික අදහසයි. ඒ සඳහා සියල්ලන්ගේ සහාය අප ප්‍රාර්ථනා කරන අතර ගෙවී ගිය ඉතිහාසය තුළ විවිධ අයුරින් සහායවී අපට ශක්තියක් වූ හිතවත් සියලු හිමිවරුන් ප්‍රමුඛ දායක දායිකාවන්ටද මේ සඳහා විවිධ ආකාරයෙන් ක්‍රියාකළ සියලු දෙනාට ද කෘතඥ පූර්වකව පුණ්‍යානුමෝදනා කරනු කැමැත්තෙමු.

 

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි.
24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]