UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

දිගනතැන්නේ ශ්‍රී‍්‍ර සුමංගල නා හිමි

බණ්ඩාරවෙල වැවතැන්නේ ශ්‍රී සුමංගලාරාමාධිපති සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වීය මහෝපාධ්‍යාය ධුරන්දර දිගනතැන්නේ ශ්‍රී‍්‍ර සුමංගලාභිධාන බදුලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

බණ්ඩාරවෙල දිගනතැන්නේ ඉඩමේ ගෙදර එල්.එල්.කේ. ලොකුබණ්ඩාර පියාණන්ගේ හා ජේ.එම්. බණ්ඩාරමැණිකා මෑණියන්ගේ ආදරණීය දූ දරුවන් නව දෙනා අතරට 1925.09.22 දින මහපිනැති පුතෙක් උපන්නේය. එල්.එල්. ජයසුන්දර නම් ඒ පුතණුවන් 1938.08.28 දින දිගනතැන්නේ සුමංගල නමින් කොන්තෙහෙල ජයකොන්තාරාම විහාරාධිපති උඩුහාවර පඤ්ඤානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් ලෙස සසුන් ගත විය.

ගිහි දරුවකු ලෙස අඹේගොඩ සංඝබෝධි විදුහලේ අධ්‍යාපනය ලද අතර පැවිදිවීමෙන් අනතුරුව 1943 දක්වාම සිය ගුරුදේවයාණන් වහන්සේගේ සෙවනේ උගතමනා බණ දහම් හා වතාවත් මැනවින් ප්‍රගුණ කරමින් සුමංගල හාමුදුරුවෝ එම වර්ෂ පහක කාලය කොන්තෙහෙල ජයකොන්තාරාමයේත් කුරුකුදේගම ශ්‍රී සුදර්ශනාරාමයේත් වැඩ විසූහ. පිරිවෙන් අධ්‍යාපනය සඳහා ගාල්ල ඉඳුරුව කටුකෙහෙළිය ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙනේ නේවාසික වූහ. සිංහල ,පාලි සංස්කෘතාදී මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු ප්‍රාචීන අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ කොළඹ මාළිගාකන්දේ විද්ද්‍යෝදය මහා පරිවේණස්ථානයට යි. එම අධ්‍යාපන දිවිය දිගනතැන්නේ සුමංගල හිමිගේ පැවිදි දිවිය වඩ වඩාත් ආලෝකමත් එකක් බවට පත්වීමට එම යුගයේ ලොව සුපතල විද්වත් සංඝනේතෘන් වහන්සේලා කිහිප නමකගේ ඇසුර හේතුවිය. වැලිවිටියේ සෝරත නාහිමි, බද්දේගම පියරතන නාහිමි, කළුකොදයාවේ පඤ්ඤාශේඛර නා හිමි පලන්නොරුවේ විමලධම්ම නාහිමි වැනි යතින්ද්‍රයන් වහන්සේලා එහිලා ප්‍රමුඛ විය. මීට අමතරව එම අධ්‍යාපන අවදියේදී නේවාසිකව වැඩ සිටි නුගේගොඩ කන්දේවත්තේ ශ්‍රී විජේවර්ධනාරාම විහාරාධිපති ජඹුරේගොඩ පියරතන හා අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර යන නාහිමිවරුන්ගේ ඇසුරද මනා පිටුවහලක් විය. දෙහිගස්පේ පඤ්ඤාසාර,වෙහෙරගොඩ අමරමෝලි වැලිවිටියේ පේමරතන ආදි විද්වත් සංඝනේතෘන් වහන්සේලා සතු සිංහල, පාලි, සංස්කෘත, පුරාවිද්‍යා, තර්ක ශාස්ත්‍ර, ඉතිහාස, අභිධර්ම වැනි විෂය ක්‍ෂේත්‍රයන් පිළිබඳ අද්විතීය දැනුම් සම්භාරය දිගනතැන්නේ සුමංගල හිමිපාණන් වහන්සේ ද එලෙසින්ම ප්‍රගුණ කර ගත්හ. 1953 දී විද්ද්‍යෝදය පිරිවෙනේ, වනිගසේකර ත්‍යාගයට හිමිකම් කියමින් රාජකීය පණ්ඩිත උපාධිය ලැබීමට සමත්වූ අතර එම කාලයේදීම ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ආදි උපාධි ද සමත් වූහ. 1965 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ.

සුමංගල හාමුදුරුවෝ 1946 දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටි යේ උඩුහාවර පඤ්ඤානන්ද හා පන්නල බුද්ධරක්ඛිත යන මහ තෙරුන් වහන්සේලාගේ ආචාර්යත්වයෙනි.

1958 දී පමණ මොණරාගල දැලිව විදුහලේ මුල් පත්වීම ලබා එහි සේවයේ නියුතුව සිටියදී තඹාන නම් තවත් ග්‍රාමයක කුඩා පාසලක්ද දැලිව ග්‍රාමයේ කුඩා විහාරයක්ද අරඹා ඇත. 1964 දී ඇත්තලපිටිය මහ විදුහලේද, 1975 අඹේගොඩ සංඝබෝධි විදුහලේද නැවතත් 1978 ඇත්තලපිටිය මහ විදුහලේද සේවය කළ දිගනතැන්නේ සුමංගල හාමුදුරුවෝ විශ්‍රාම ලබන විට සේවයේ යෙදුනේ බණ්ඩාරවෙල මලිත්ත මහ විදුහලේය. එම අධ්‍යාපනික සේවා කාලය තුළ ආචාර්යවරයෙක් ලෙසින්ද, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෙසින්ද සිය සේවා දියත් කරමින් උදාර මෙහෙවරක් සිදු කළහ.

වැවතැන්න, හාපත්ගමුව ආදි අවට ගම්වල කුඩා දරු දැරියන්ට ඈත විද්‍යාල වෙත ගමන් කිරීමේ අපහසුව නිසා ගමටම රජයේ විද්‍යාලයක් ලබාගතහොත් ඉතා හොඳ යැයි සපථ කරගත් නායක හාමුදුරුවන්ගේ අදහස අනුව හාපත්ගමුවට , ගැමණු විද්‍යාලය නමින් ප්‍රාථමික විද්‍යාලයක් ද ආරම්භ කරන ලදී.

වැවතැන්න ශ්‍රී සුමංගලාරාමයේදී ධර්මපාල දහම් පාසල නමින් ඉරු දින දහම් පාසල ආරම්භ කරන ලදී. සිය තෙලිතුඩින් රචිත තිසරණය. බණ කීමට අත්වැලක්, එක සහ දෙක කොටස්, ඉපැරණි පුස්කොල පොතේ ප්‍රමාණයට මුද්‍රිත පිරිවාණා පොත් වහන්සේ සැකසීම, සර්වඥ ධාතු වර්ණනාව, සමථ භාවනාව, සිතුවම් සහිත සුවිසි විවරණය වැනි ග්‍රන්ථ පෙළ ඊට දෙස් දෙයි.

1955 දී වත්මන් ශ්‍රී සුමංගලාරාමය පිහිටා ඇති භූමියේ පුංචි පැලක් සෑදවිය. විහාරය ක්‍රමයෙන් විහාරාංගයන්ගෙන් ද මොණරාගල දැලිව ප්‍රදේශයේද අරඹන ලද විහාරයත්, මාතැටිල්ල, ශ්‍රී‍්‍ර පූර්වාරාම මහතැන්නේ ශ්‍රී ථූපාරාමයත් යන විහාරස්ථානද දිගනතැන්නේ ශ්‍රී‍්‍ර සුමංගල නාහිමිපාණන්ඇරඹි සම්භාවනීය විහාරයන් බව සිහිකටයුතුය.

උන්වහන්සේගේ ශාසනික, ජාතික, අධ්‍යාපනික, සමාජ සේවා තුළින් සිදුකරන අපිරිමිත මෙහෙවර පැවිදි ගිහි කාගේත් සම්භාවනාවට ලක් වූ අතර ඒවා අගය කරමින් ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරීය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ සම්මුතියෙන් විශේෂ පදවි කිහිපයක් පිරිනමන්නට යෙදුණි. ඒ අනුව 1978 දී මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය පදවියක්ද 1981 දී ප්‍රවචන කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද යන ගෞරව උපාධිය සහතව බදුලු දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියද 2002 දී මල්වතු මහා විහාරයෙන් පිරිනැමෙන ඉතාම උසස් තනතුරක් වන මහෝපාධ්‍යාය තනතුරින්ද පිදුම් ලැබීය.

මීට අමතරව සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුශාසකවරයෙකු හැටියට වසර 08 ක පමණ කාලයක් සේවය කළ නාහිමියන් බදුල්ල දිස්ත්‍රික්කයේ ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ධුරය වසර ගණනාවක් ඉසිලූ අතර බණ්ඩාරවෙල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය ද දරමින් සිටියහ.ශ්‍රී‍්‍ර ලංකා අක්ෂිදාන සංගමයේ බණ්ඩාරවෙල ශාඛාවේ අනුශාසක ධුරය ද දැරූ නාහිමියන් බදුලු දිස්ත්‍රික් විහාරාධිපති සංගමයේ සභාපති ධුරය ද දරති.

කොළඹ බෞද්ධ ව්‍යාපාරික හා වෘත්තිකයන්ගේ සම්මේලනයෙන් ‘බුද්ධ ශාසන ශෝභණ ධම්ම විභූෂණ’ යන ගෞරව උපාධියෙන් පිදුම්ලද නායක ස්වාමීන් වහන්සේට කළුතර ධර්මපාල පදනමෙන් ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන ධජ පදවියෙන්ද පිදුම් ලැබූහ. 2013 දෙසැම්බර් මස 19 අපවත් වී වදාළහ.


අතුරලියේ ආනන්ද නා හිමි

1960 වර්ෂයේදී ඩබ්.පී.දියෙස් අප්පුහාමි මහතා හා ඒ.එම්. ජයලින් නෝනා මහත්මිය යන දම්පතීන්ට පුණ්‍යවන්ත දරුවෙක් උපත ලැබීය. හේ ඩබ්.පී.ආනන්ද නම් විය.

අතුරලියේ මහ විදුහලින් හා ගල්කිස්ස පුණ්‍යකාමි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු 1972.05.22 දින ගල්කිස්ස දක්ෂිණාරාම විහාරයේදී අතුරලියේ ආනන්ද හිමි නමින් පැවිදි බිමට ඇතුලත් විය. දෙවිනුවර අරියවංස නාහිමි ආචාර්යයන් වහන්සේ වූ අතර 1982 වර්ෂයේදී උපසම්පදාව ලැබූහ. උපාධ්‍යායන් වහන්සේ වූයේ පින්වත්තේ දේවානන්ද අනු නාහිමියන් ය.

දහම් අධ්‍යාපනයේ මූලික අධ්‍යාපනය මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙන් ලැබූ අතර උසස් අධ්‍යාපනය ගංගාරාම ඤාණේස්වර පිරිවෙනින් හා රත්මලාන ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ලැබීය. උන් වහන්සේ 1989 සිට නාලන්දා පිරිවෙණ ඇසුරු කොටගෙන ගුරු සේවයේ යෙදුණි . නාලන්දා ධර්මායතන පිරිවණෙහි පිරිවෙණාධිපති ධුරයද, සිරි ගුණරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරයද හොබවන උන්වහන්සේ මුළුදිවයිනටම සාමවිනිසුරු ගෞරවනීය පදවියෙන්ද පිදුම් ලබා ඇත.

අතුරලියේ ආනන්ද මා හිමියන් අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබීමේ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය මේ මස 25 වැනිදාට යෙදී ඇත. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මාහිමියන් සහ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක , සිරි සද්ධම්මවංසපාල ගණාචරිය සිරි සුගත සාසන වංසාලංකාර අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ. මෙම උත්සවයට ඉත්තෑපානේ ධම්මංලංකාර අනු නා හිමි, ගලබොඩ ඤාණිස්සර නාහිමි, බෙල්ලන්විල විමලරතන අනු නාහිමි, ඕමල්පේ සෝභිත නාහිමි, දික්වැල්ලේ තිස්ස අනු නාහිමි, තලල්ලේ මෙත්තානන්ද මා හිමි, දිමියාවේ අමරවංස නාහිමි, රත්මලානේ සුනීත නාහිමි, සහ බලපිටියේ සීවලී මා හිමි ආරාධිත උතුමන් ලෙස සහභාගි වීමට නියමිතය. ගිහි ආරාධිතයන් වශයෙන් ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක, ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස ඇමැති විමල් වීරවංස, ,අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු , දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග මහත්වරුන් සහභාගි වීමට නියමිතය.


වඳුරඹ අනෝමදස්සි නා හිමි

ගා/වඳුරඹ ,ඌරල ක්‍ෂෙත්‍රාරාම ශ්‍රී‍්‍ර සුමංගල පිරිවෙන් විහාරාධිපති ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ,නාගොඩ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති, ගාලු දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති සද්ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සරණතිස්ස සාම විනිසුරු ශාස්ත්‍රවේදී වඳුරඹ අනෝමදස්සී නා හිමියන් මහතෙර නමකි.

ගාලු දිසාවේ වඳුරඹ ග්‍රාමයේ විසූ කේ.කේ. තෙබේරිස් උපාසක මහතාට දාව එච්. එම්. සොපිනෝනා උපාසිකා මාතාවට 1938 ජූලි මස 15 වන දින කේ.කේ. ඇලෙක්සැන්ඩර් නමින් පුත් රුවනක් උපන්හ.ඌරල කනිෂ්ට විද්‍යාලයෙන් හා වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද කුමරු ඌරල ශ්‍රී ක්‍ෂෙත්‍රාරාම සුමංගල පිරිවෙන් විහාරාධිපති , වැලිවිටියේ සරණතිස්ස නාහිමියන් ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1956 පෙබරවාරි මස 23 වන දින වඳුරඹ අනෝමදස්සි නමින් පැවිදි දිවියට පත්වූහ.

ගාල්ල කිතුලපිටිය ආනන්ද පිරිවෙණ, බද්දේගම ශ්‍රී‍්‍ර රතනසාර විද්‍යායතන පිරිවෙණින් මූලික හා උසස් අධ්‍යාපනය ලබා උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්ත වූයෙන් 1958 දී මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලැබූහ. 1965 විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් හිමියෝ තම විහාරස්ථ ශ්‍රී‍්‍ර සුමංගල පිරිවෙණේ ගුරු සේවයට එක්ව එහි නියෝජ්‍ය පරිවේණාධිපති, පරිවේණාධිපති තනතුරු දරා 1976 රජයේ ගුරු සේවයට එක්ව මොනරාගල මොරටුගම විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස බොහෝ දුෂ්කරතා මත සිසු දරු දැරියන් උදෙසා අපරිමිත මෙහෙවරක් ඉටුකොට ගාල්ල, නාකියාදෙනිය විද්‍යාලය, ඌරල කනිෂ්ට විද්‍යාලවල ආචාර්යවරයෙකු මෙන්ම නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන අතරතුර 1985 දී සිය ගුරු දේව නාහිමියන්ගේ අපවත් වීමෙන් විහාරාධිපති ධුරයට පත්ව විශාල වගකීම් සම්භාරයකට අත තැබීමට අනෝමදස්සී හිමියන්ට සිදුවිය.

ගිහි පැවිදි සැමගේ නොමඳ ගෞරවයට පාත්‍රව සිය උගත්කම ශික්‍ෂාකාමීත්වය , කාර්ය ශූරත්වය , සමාජ මෙහෙවර ආදිය කෙරෙහි ප්‍රසාදයට පත් මල්වතු මහා විහාරීය මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව 1997 දී සද්ධර්ම කීර්ති ශ්‍රී‍්‍ර සිද්ධාර්ථ සුමංගල සරණතිස්ස යන ගෞරව නාමය සහිත ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමන ලදී.අධිකරණ අමාත්‍යාංශය මඟින් මුළු දිවයිනටම සාමවිනිසුරු පදවියකින්ද නාගොඩ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලය හා ගාලු දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලවල සභාපති පදවියෙන්ද සම්මානිත වූහ.

පුරා වසර 75 කට වැඩි කාලයක් සම්බුද්ධ ශාසනයටත් ජාතියටත්, උදාර සේවාවක් සිදුකළ සුපේශල ශික්‍ෂාකාමී ධර්මධර විනයධර සංඝ නේතෘවරයාණෝ 2013 ජනවාරි 19 වනදා අපවත් වීම පිරිමැසිය නොහැකි බලවත් පාඩුවකි. නාහිමි වර්ෂ පූර්ණ ගුණ සමරා විහාරාධිපති සාමවිනිසුරු වඳුරඹ රතනසාර හිමියන් ප්‍රධාන සිසු පිරිස හා දායක සභාව විවිධ පින්කම සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි.
24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]