UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත්වී වදාළ අග්ග මහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නා හිමි

අපවත්වී වදාළ අග්ග මහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නා හිමි

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක, ධුරන්ධරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු රාජකීය පණ්ඩිත වැලිගම ඤාණරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක ධුරයෙන් පිදුම් ලැබූහ.

සම්බුද්ධ ශාසනයේත්, ලාංකේය ජන සමාජයේත් යහපත වෙනුවෙන් අගනා මෙහෙවරක් නිහඬව ඉටු කළ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහානිකායේ මහානායක ශ්‍රී සුමංගල විද්‍යාවතංශ ශ්‍රී වජිරඤාණ ධර්මකීර්ති ශ්‍රී අග්ග මහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිල්වත්, ගුණවත්, ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමක් වූහ. කලින් කලට සසුනඹරේ පහළ වන එවන් ආදර්ශවත් සංඝ පීතෲන් වහන්සේ නිසාම සසුනටත් බොදු මහ ජනතාවටත් සිදු වනුයේ අපරිමිත මෙහෙවරකි. ධර්ම විනයධර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ලෙස වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගරු බුහුමන් ලබමින් වැඩ සිටියහ.

මාතර වැලිගම දී කටුකුරුන්දේ වෙල්ලාලගේ ඕදිරිස් ද සිල්වා සහ කොග්ගල වෙල්ලාලගේ බබුන්හාමි දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1913 ඔක්තෝබර් 14 වන දා මෙම පින්වත් කුමරා බිහි විය.

නිසි විය එළඹි කල්හි වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයෙන් අකුරු කරවීය. එම කුමරුවා කුඩා කල සිට හැදුනු වැඩුනු ආගමික පරිසරයත්, ස්වකීය දෙමව්පියන් තුළ සම්බුදු දහම කෙරෙහි පැවැති මහත් ශ්‍රද්ධාවත්, පෙර පින් මහිමයත් නිසා ම පැවිද්ද කෙරෙහි පැවැතියේ බලවත් උනන්දුවකි.

1925 නොවැම්බර් 30 වන දා අහංගම විමලසාර මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අහංගම එළුකැටියේ බිම්බාරාමයේ දී වැලිගම ඤාණරතන නමින් එම කුමරුවා පැවිදි බිමට පත්විය.

රාජකීය පණ්ඩිත අහංගම ශ්‍රී ප්‍රඥාලෝක නාහිමියන් වෙතින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් විය. එහිදී වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි, කහවේ ශ්‍රී රතනසාර නා හිමි, බද්දේගම ශ්‍රී පියරතන නා හිමි, කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාසේකර නා හිමි ආදී සම්භාවනීය පූජනීය මහා සඟරුවන වෙතින් අධ්‍යාපනය ලබමින් විද්‍යෝදය පිරිවෙනෙහි දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලැබූහ. ත්‍යාග සහිතව රාජකීය පණ්ඩිත උපාධිය සමත් වූ උන්වහන්සේ 1933 ජූනි 09 වන දා පැළෑණේ ශ්‍රී ගංගාරාමාසන්න පොල්වතු නදී සීමාවේ දී අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ පැළෑණේ සිරි වජිරඤාණ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිසිල් ලැබූහ.

පැළෑණේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඉල්ලීමකට අනුව වැලිගම නාහිමියෝ කලක් බම්බලපිටියේ වජිරාරාමයේ ද නේවාසිකව වැඩ සිටියහ.

1951 දී සීමා සම්මත විනය කර්මයක් හා උපසම්පදා විනය කර්මයක් සඳහා නේපාලයට උන්වහන්සේ වැඩම කළහ.

1954 දී බුරුමයේ දී පැවැති ජට්ඨ මහා සංගායනාව සඳහා එහි වැඩම කළ උන්වහන්සේ 1956 දී අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ සමලේකම් ධුරයට පත්ව පුරා වසර 25 ක් පමණ මහඟු මෙහෙවරක් සිදු කළහ.

බුද්ධභූමි වන්දනාවට 1956 දී වැඩම කළ උන්වහන්සේ බැංගලෝර්හි පැවැති සීමා සම්මත විනය කර්මයට ද සහභාගි වී නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැති 2500 බුද්ධ ජයන්ති උළෙලට ද සහභාගි වූහ.

වැලිගම ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත 1959 නොවැම්බර් 14 වන දා එවකට පර්චස් 30 කින් සමන්විත භූමි භාගයක රත්මලානේ මල්ලිකාරාමය අරඹා පූජා කරන ලද්දේ සැදැහැති කොඩිතුවක්කු හේවා මල්ලිකා මහතා විසිනි.

1960 ජනවාරි 24 වන දා මල්ලිකාරාම කාර්ය සාධක සමිතිය ද, 1961 ජනවාරි 01 වන දා ගාමිණී මාතා තරුණ බෞද්ධ සමිතියද ජනවාරි 07 වන දා සිරි විදුරුනැණ දහම් පාසල ද 1961 ඔක්තෝබර් මාසයේ දී මල්ලිකාරාමස්ථ විශාඛා කුලඟන සමිතියද ආරම්භ කළහ.

1960 සිට වසර 08 ක් පුරා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කළ වැලිගම ඤාණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහරගම සිරි පඤ්ඤානන්ද පිරිවෙනෙහි පරිවේණාධිපතින් වහන්සේ ලෙසද කටයුතු කළහ.

1968 ජූලි 09 වන දා කළුකොඳයාවේ සිරි ප්‍රඥාසේකර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මල්ලිකාරාමස්ථ ශ්‍රී ධර්මරක්‍ෂිත ත්‍රිපිටක ධර්මායතනය ආරම්භ කළේ ය.

1974 දෙසැම්බර් 29 වන දා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සමලේකම් ධුරයට පත් වූ රාජකීය පණ්ඩිත වැලිගම ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී යන ගෞරව නාමයෙන් පිදුම් ලබා ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය රත්මලාන මල්ලිකාරාමයේ දී 1990 ජූලි 28 වන දා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

1996 අගෝස්තු 30 වන දා මාතර පඹුරන ශ්‍රී වාලුකාරාමයේ දී අරමපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමූ අතර ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය 1996 නොවැම්බර් 30 වන දා රත්මලාන මල්ලිකාරාමයේ දී අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.

අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජික ධුරයකින් ද බෞද්ධ තොරතුරු අධීක්‍ෂණය හා කාර්ය සාධක මණ්ඩලයේ සාමාජික ධුරයකින් ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සූත්‍ර ලිහිල් බසින් ලිවීමේ කමිටුවේ සාමාජික ධුරයකින් ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශක මණ්ඩලයේ සාමාජික ධුරයකින් ද ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ කාරක සභික ධුරයකින් ද වැලිගම ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිදුම් ලැබූහ.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක, ධුරන්ධරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු රාජකීය පණ්ඩිත වැලිගම ඤාණරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක ධුරයෙන් පිදුම් ලැබූහ.

අග්ගමහා පණ්ඩිත අපවත් වී වදාළ වැලිගම ශ්‍රී ඤාණරතන මහ නා හිමියන්ගේ ශ්‍රී දේහය වෙත රත්මලාන මල්ලිකාරාමයේ දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් අවසන් ගෞරවය දැක් වූ අවස්ථාව.

වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමකි. ධර්ම විනයධර මහා යතීන්ද්‍රයන් වහන්සේ නමක් වූ උන්වහන්සේ කුදුසික විවරණය ඇතුළු ලොකු කුඩා ධර්ම ග්‍රන්ථ සියයකට අධික ප්‍රමාණයක් ලියා පළ කර ඇත. සිල්වත්, ගුණවත් පැවිදි දිවියක් ගත කළ අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපතින් සිය වසරක් ගත කළ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමක් වේ. ස්වකීය පැවිදි දිවිය පිළිබඳ නිරන්තරයෙන් මහත් සතුටට පත් වූ වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා රැසක්ද සසුනට දායාද කළහ.

වැලිගම ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ගල්කිස්ස මවුන්ට් උද්‍යානයේ දී ජනවාරි 22 වන දා සිදු කිරීමට නියමිතව තිබිණි. අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහා නිවන් සුව පතමු.

 

 


ඤාණරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක, රත්මලාන මල්ලිකාරාම මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත සිරි සුමංගල විද්‍යාවතංස පරම පූජනීය වැලිගම සිරි ඤාණරතන මහා නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව ලෝකවාසි සියලු බෞද්ධයිනට සිදු වූ සුවිශාල පාඩුවකි. එසේම බලවත් සංවේගයකි.

භික්‍ෂුවකගේ කාර්ය භාරය හොඳින් අවබෝධ කරගත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවුඩය ඒ අයුරින්ම නිරවුල්ව, නිවැරැදිව ධර්මානුකූලව ශ්‍රාවක පිරිසට දේශනා කළහ. එහෙයින්ම අපේ නායක හාමුදුරුවෝ ලක්දිව උගතුන් අතර ගෞරවයට පාත්‍රවූ ප්‍රකට ධර්මදේශකයාණන් වහන්සේ නමක් වූහ. බුද්ධ ශාසන අමාත්‍යංශය මඟින් දියත් කළ ත්‍රිපිටකය සරල බසින් ලියා ප්‍රකාශ කිරීමේ කාර්යභාරයේ ප්‍රධාන අනුශාසකවරයන් වහන්සේ ද වූහ. සියයකට අධික ලොකු කුඩා ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ සංඛ්‍යාවක් ලියා පළකිරීමෙන් අනගි ධර්ම ශාස්ත්‍රීය සේවාවක් ද කළහ.

බුරුමයේ පැවැති ජට්ඨසංගායනාවට සහභාගි වූ ජීවතුන් අතර සිටිය අවසානම යතිවරයාණන් වහන්සේ වූ අපේ මහා නායක හාමුදුරුවො මැලේසියාව, සිංගප්පූරුව, ඇමෙරිකාව, එංගලන්තය ආදී පෙර අපරදිග රටවලට ද වැඩම කොට ඒවායෙහි වාසය කරන බෞද්ධයනට ධර්මදේශනා කොට ජාත්‍යන්තරව ද මහා ධර්ම දාන සේවයක යෙදුනාහ.

අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමි, අතිගරු බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමි, ආදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික නේතෲවරයන් වහන්සේලා සමඟ එකතුව කොටස් විසි ගණනකට වෙන්ව පැවැති අමරපුර නිකායික පාර්ශවයන් එකතු කොට එක්සත් අමරපුර මහා නිකායක් ගොඩනැඟීමේ ශාසනික කාර්ය භාරයෙහි ද පුරෝගාමියෙකු වූහ.

රත්මලාන මල්ලිකාරාම පිරිවෙන් විහාරස්ථානය බඳු විහාරස්ථාන ගණනාවක්ම ගොඩනඟා සංවර්ධනය කොට ඒ තුළින් සම්බුද්ධ ශාසනය ආරක්ෂාකොට පෝෂණය කරමින් තවත් වසර දහස් ගණනාවක් ලක් බුදුසසුන ආරක්‍ෂා කිරීමට අවශ්‍ය සඟ පිරිසක් නිර්මාණය කිරීමෙහි කාර්ය භාරයෙහිද නිරත වූහ.

රුහුණේ රාජපක්‍ෂවරුන් ළඟින් ඇසුරු කළ වැලිගම මහානායක මාහිමිපාණෝ මව්බිමේ නිදහස අභිමානය, සිංහල ජාතියේ උරුමය, සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් නිතරම පෙනී සිටියහ. අතිගරු ජනාධිපතිතුමා ලඟින් ඇසුරු කරමින් රට ජාතිය, ආගම පිළිබඳ එහි අභිවෘද්ධිය පිණිස නිතර අවවාද අනුශාසනා කළ අප නාහිමියෝ දිවසින් මෙන් කවදා හෝ මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගෙන ශ්‍රී ලංකාව එක්සත් ගෞරවණීය පූජනීය රටක් බවට පත් කිරීමේ හැකියාව එතුමා සතුව පවතින බව අවබෝධ කරගෙන ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දුන්හ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසට මෙන්ම අමාත්‍යවරයෙකු, අගමැතිවරයෙකු, විපක්‍ෂ නායකයෙකු, මෙන්ම ජනාධිපතිවරයෙකු ලෙසට අඛණ්ඩව පරාජයේ දී මෙන්ම ජයග්‍රහණයේදී ද අතිගරු මහින්ද රාජපක්‍ෂ ශ්‍රීමතාණන් ඇසුරු කරමින් මුළු හදවතින්ම ආශීර්වාද කළහ. අපේ මහා නායක මාහිමියන්ගේ සිය වන ජන්ම දිනය දක්වාම වාර්ෂික හැම ජන්ම දිනයකදීම කෙතරම් රාජකාරී කටයුතු තිබුණත් අතිගරු ජනාධිපතිතුමා උන්වහන්සේ බැහැදැකීමට අමතක නොකළහ. උන්වහන්සේ අසනීප වූ සෑම විටම අවශ්‍ය ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය සියලු දෑ කළහ. සීලවෘද්ධ, වයෝවෘද්ධ, තපෝවෘද්ධ, ගුණවෘද්ධ අතිගරු වැලිගම සිරි ඤාණරතන මහානායක මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේට අමාමහ නිවන් සුවයම ලැබේවා.

අතිගරු ජනාධිපතිතුමාගේ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක ශාස්ත්‍රපති පණ්ඩිත

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි.
24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]