Print this Article


දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ සංස්කෘතිය - 6 අභ්‍යාසය

මෙම ප්‍රශ්න පත්‍රය කොටස් 04කින් සමන්විත ය.

එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වන සේ ප්‍රශ්න පහකට පිළිතුරු සැපයිය යුතු ය.

1. (අ) ලෝක පාලක ධර්ම හෙවත් හිරි – ඔත්තප්ප දෙකෙහි පවත්නා වෙනස පැහැදිලි කරන්න.

පිළිතුර : ශීලය හෙවත් හික්මීමට හේතු වන ධර්මතා දෙකක් ලෝක පාලක ධර්ම නමින් හඳුන්වා ඇත. හිරිය සහ ඔත්තප්ප නමින්ද එම ලෝක පාලක ධර්ම නම් කර ඇති අතර පව් කිරීමට ඇති ලජ්ජාව හිරිය නමින්ද, පව් කිරීමට ඇතිබිය ඔත්තප්ප නමින්ද හඳුන්වා ඇත. තම ශාස්තෘවරයාගේ උසස් ගුණය “තම දෙමාපියන්ගේ වැදගත්කම, තම ගුරුවරයාගේ ගරු කටයුතු බව ආදිය තමාගේ නුවණින්ම සලකා බලා වැරැදි වැඩ කළහොත් ඒ උතුමන්ටත් තමන්ටත් මදිකමක් සේ සිතා කෙනෙකු වැරැදි වැඩවලින් වැළකෙන්නේ හිරිය හෙවත් පවට ඇති ලජ්ජාව නිසාය. මෙම ලජ්ජාව බාහිර බලපෑමක් නිසා නොව කෙනෙකුගේ අභ්‍යන්තරයෙන්ම පැන නගින්නකි.

පව් කිරීමට ඇති බියද හතරාකාරය, තමා කළ පව් සිහි වීමෙන් තමාගෙන්ම දොස් නැගි තමාට පසුතැවිලි වන්නට වේ යැයි ඇති වන බිය එකකි. එය අත්තානුවාද භය නමින් හැඳින්වේ. තමාට අනුන්ගෙන් දොස් නැඟෙතැ’යි ඇති වන භය පරානුවාද භය නමින් හැඳින්වේ. වැරැදි වැඩක් කිරීමෙන් තමන්ට දඬුවම් ලබන්නට සිදු වෙතැ’යි ඇති වන බිය දණ්ඩ භයයි. මෙවැනි පව් කිරීමෙන් අපාගත වීමට සිදු වෙතැයි ඇති වන බිය දුග්ගති බිය නමින් හැඳින් වේ. ලෝක පාලක ධර්ම හෙවත් දේව ධර්ම වශයෙනුත් හැඳින්වෙන හිරි ඔතප් දෙකෙහි වෙනස මේ ආකාරයෙන් හඳුනා ගත හැකිය.

(ආ) චාරිත්‍ර සීලයෙහි සහ වාරිත්‍ර සීලයෙහි පවත්නා වෙනස දක්වන්න.

පිළිතුර : හික්මීම හෙවත් සීලයෙහි ප්‍රධාන අංග දෙකකි. එනම් චාරිත්‍ර ශීල සහ වාරිත්‍ර ශීල යනුවෙනි. යහපත් හැසිරීම්වල නිරත වීම හෙවත් පිරිය යුතු ගුණ ධර්ම නොපිරිහෙලා පිරීම චාරිත්‍ර ශීලය නමින් හැඳින්වේ. වැරැදි හැසිරීම් වලින් බැහැර වීම හෙවත් ඉවත් කළ යුතු ධර්ම ඉවත් කිරීම වාරිත්‍ර ශීලය නමින් හැඳින්වේ. බෞද්ධ සිරිත් විරිත් ගොඩ නැගී ඇත්තේ මෙම චාරිත්‍ර හා වාරිත්‍ර සීලය පදනම් කර ගෙනය.

(ඉ) ගිහියන් හා පැවිද්දන් විසින් රැකිය යුතු ශීල ප්‍රභේදයන් ලියා දක්වන්න.

පිළිතුර : බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ගිහියන් හා පැවිද්දන් විසින් රැකිය යුතු සීලයන් මේ ආකාරයට දක්වා ඇත.

1. උපසම්පදා භික්‍ෂු භික්‍ෂුණියන් සඳහා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය
2. සාමණේර භික්‍ෂු භික්‍ෂුණියන් සඳහා වූ දස ශීලය
3. ගිහියන් සඳහා වූ පංච ශීලය සහ අෂ්ටාංග ශීලය
යන මෙම ශීල ප්‍රතිපදාවන් ගිහි පැවිදි අය විසින් ආරක්ෂා කළ යුතු යැ’යි දක්වා තිබේ. මෙම කවරාකාරයේ ශීලයකින් වුවද බලාපොරොත්තු වන්නේ චාරිත්‍ර මඟින් යහපත් හැසිරීමක් ඇති කිරීම ය.

2.(අ) සතර සංවර ශීලය නම්කොට එයින් පළමු ශීලය හඳුන්වා දෙන්න.

පිළිතුර :

1. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය
2. ඉන්ද්‍රිය සංවර ශීලය
3. ආජීව පාරිශුද්ධ ශීලය
4. ප්‍රත්‍ය සන්නිශි‍්‍රත ශීලය

ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය යනු තමා වසන පෙදෙස පිරිසුදු කර ගැනීම, රෝගීන්ට, මහල්ලන්ට, සිල්වතුන්ට උපස්ථාන කිරීම, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට දාගැබ් හා බෝධීන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීම, මිථ්‍යා දෘෂ්ටිකයන් ඇසුරු නොකිරීම, විනෝදාස්වාදය සඳහා දර්ශන බැලීමෙන් වැළකීම, ධර්මය ඉගෙනීම හා පිළිපැදීම, ඇඳුමෙහි පැළඳුමෙහි හා හැසිරීමෙහි සංවර වීම ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය නම් වේ.

(ආ) සිරිත් විරිත් (චාරිත්‍ර වාරිත්‍ර) රැකීමෙහි අභිමතාර්ථයන් මොනවා’දැයි පෙන්වා දෙන්න.

පිළිතුර : බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් සඳහා ශික්‍ෂා පද පැනවීමේදී අරමුණු හෙවත් අභිමතාර්ථයන් 10 ක් දක්වා ඇත. ඒවා සාරාංශ වශයෙන් මෙසේය.

1. සංඝයාගේ යහපත් බව සඳහාය.
2. සංඝයාගේ පහසුව සඳහාය.
3. නොහික්මුණු පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිසය
4. ශික්‍ෂාකාමි භික්‍ෂුන්ගේ පහසු විහරණය සඳහා ය.
5. මෙලොවදී ඇති වන ආශ්‍රවයන්ගෙන් ආරක්ෂා වීම පිණිසය.
6. පරලොවදී ඇති විය හැකි ආශ්‍රව දුරු කිරීම පිණිසයි.
7. නොපැහැදුණු වන්ගේ පැහැදීම ඇති කිරීම පිණිසය.
8. නොපැහැදුණු අයගේ පැහැදීම තවත් වැඩි දියුණු කිරීම පිණිසය
9. සද්ධර්මය බොහෝ කලක් පැවැතීම සඳහාය.
10. හික්මීමට අනුබලයක් වීම සඳහාය.

ඉහත කරුණු පොදුවේ ගිහි පැවිදි සමාජය විසින් රැකිය යුතු සිරිත් විරිත් හෙවත් චාරිත්‍ර වාරිත්‍ර ධර්මයන්ය.

(ඉ) පැවිදි වීමට අවශ්‍ය සුදුසුකම් සහ ඒ පිළිබඳව පවත්නා චාරිත්‍ර විධි ලියා දක්වන්න.

පිළිතුර : තම දෙමාපියන්ගේ අනුමැතිය ලද සත් අවුරුදු විය ඉක්ම වූ පිරිමි දරුවෙකුට පැවිදි බිමට ඇතුළත් විය හැකිය එහෙත් විරූපී පුද්ගලයන්ට පැවිදි භූමියට ඇතුළත් වීමට ඉඩක් නැත.

පැවිද්දෙහි චාරිත්‍ර වශයෙන් පැවිද්ද අපේක්ෂා කරන දරුවෙක් රජ කුමරකු පරිද්දෙන් සරසා පැවිදි කරනු ලබන විහාරයට ගෙන යනු ලැබේ. සිදුහත් කුමරුගේ මහා අභිනිෂ්ක්‍රමණය සිහිගැන්වීමක් මෙම චාරිත්‍රයෙන් නිරූපණය වේ. අනතුරුව රැස්ව සිටින භික්‍ෂූන් වහන්සේ වෙත ඉදිරිපත් කරන මේ දරුවාගේ හිස මුඩු කිරීම හෙවත් පණ්ඩු කර්මය කිරීමට මහා සංඝයා වෙත ඉල්ලීමක් කරනු ලැබේ. මුල් කෙස් රොද දරුවාගේ අතට දී තච පංචක භාවනා කර්මස්ථානය කියා දීමද සිරිතකි. තව පංචකය නම් කෙස්, ලොම්, නිය, දත්, සම යන පහයි. මේ එක එකක් පිළිකුල් සහිත බව සිත්හි කා වැදීමක් ඇතිව වටහා දීම මෙයින් බලාපොරොත්තු වේ. අනතුරුව හොඳින් නහවා දරුවා සුදු වතින් හා උතුරු සළුවෙන් සරසනු ලැබේ. අනතුරුව දෙමාපියන්ගේ පා වැඳ සමුගන්නා දරුවා උපාධ්‍යායන් වහන්සේ ඇතුළු රැස්ව සිටින සංඝයා වහන්සේටද වැඳ නමස්කාර කරයි. අනතුරුව අටපිරිකර ඇතුළු මෙම කුල දරුවා උපාධ්‍යායන් වහන්සේ ලග උක්කුටුකයෙන් හිඳ පැවිද්ද ඉල්ලනු ලැබේ. තෙවන වර දක්වා ඉල්ලීිම් කළ පසු ඔහුට සිවුරු පෙරවීම කරනු ලැබේ. සිවුරු හඳීද්දී, පොරවද්දී චීවර ප්‍රත්‍යාවේක්‍ෂාව කරවනු ලැබේ. මේවා පැවිදි කිරීමේ චාරිත්‍ර වේ.