UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සත්ත්වයා සසරට ගැටගසන කර්ම නිබන්ධනය

සත්ත්වයා සසරට ගැටගසන කර්ම නිබන්ධනය

ලොව මෙතෙක් පහළ වූ නානාවිධ ආගමික දර්ශනයන් විමර්ශනයෙහි යෙදෙන කවරෙකුට හෝ වේවා අන්‍ය දර්ශනයන් අභිභවා බෞද්ධ දර්ශනයෙහි විශිෂ්ටත්වය ප්‍රත්‍යක්‍ෂ වීම වැළැක්විය නොහැකි ය. සත්ත්වයා අනන්තවත් දුක්ගැහැට විඳිමින් සසර සැරිසරන්නේ කර්ම බන්ධනය හේතුවෙනි. කර්ම රැස්කිරීම නිසා නැවත නැවත සත්ත්වයා භවගාමී වෙයි. මේ නිසා කර්ම දර්ශනය මැනවින් අවබෝධ කොටගෙන සතිසම්පජඤ්ඤයෙන් යුක්තව ක්‍රියා කිරීම භව නිරෝධය සඳහා හේතු වේ.

තථාගත දේශනයෙහි පඤ්චස්කන්ධයේ උපාදාන ශක්තිය පවතිනතාක් සත්ත්වයා කර්ම රැස්කිරීමට නිරතුරු යොමු වන බව අවධාරණය කෙරේ. එසේම සංසාර චක්‍රය ක්‍රියාත්මක වීමෙහිලා ප්‍රධාන වශයෙන් හේතු වන්නා වූ කරුණු ත්‍රිත්වයකි.

“ඉති ඛෝ ආනන්ද කම්මං ඛෙත්තං විඤ්ඤාණං බීජං තණ්හා සිනේහෝ”
(අං.නි.ආනන්ද වග්ග, 394 පිට බු.ජ.මු.)

යථෝක්ත බුදු වදනට අනුව සත්ත්වයා භවගාමී වන්නේ නිරන්තරයෙන් ප්‍රතීත්‍ය සමුත්පන්නව සැකසෙන විඤ්ඤාණය හේතුවෙනි. එහිදී කර්මය කුඹුර හෙවත් ක්‍ෂේත්‍රය ලෙසත්, විඤ්ඤාණය බීජය ලෙසත්, තෘෂ්ණාව තෙතමනය ලෙසත් ක්‍රියා කරන ආකාරය මැනවින් ප්‍රඥායමාන වේ. කර්ම ඇති කල භවය වේ. කර්ම නැති කල භවය ඇති නොවේ.

අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයට අනුව කර්මයන්ට නිදානය හෙවත් හේතුව වන්නේ ස්පර්ශයයි. “කතමෝච භික්ඛවේ කම්මානං නිදාන සම්භවෝ? එස්සෝ භික්ඛවෝ කම්මානං නිදාන සම්භවෝ” යන්නෙන් එය පැහැදිලි වේ. එය එසේ වුවද පඤ්ච ඉන්ද්‍රියයන් මගින් ඇති කරවන ස්පර්ශයන් ඉන්ද්‍රිය ශික්‍ෂණයට ලක්කිරීමෙන් ඒවා ස්පර්ශයට පමණක්ම සීමා කොට වේදනා, සඤ්ඤා, සංඛාර කරා වර්ධනය වන්නට නොදී මැඩ පැවැත්විය හැකි ය. සුක්කධම්ම ක්‍රියාවට නැගීමෙන් හොඳ ප්‍රතිඵලත් කණ්හධම්ම ක්‍රියාවට නැගීමෙන් නරක ප්‍රතිඵලත් ලැබෙන්නේ බීජයට අනුව අස්වැන්න ලැබන්නාසේ ය. ඒ බව:-

යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී ච කල්‍යාණං
පාපකාරී ච පාපකං

යන්නෙන් විෂද කෙරේ.

අභිණ්හ පච්චවෙක්ඛණ සූත්‍රයෙහි දී යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කළයුතු ධර්ම කාරණා අතර පස්වැනිව දක්වා ඇත්තේ කර්ම මනසිකාරයයි. “සැපදුක් වේදනා විහිඳුවමින් සෙවණැල්ලක් සේ තමා අනුව ම පසුපස ගමන් කරන එක ම දෙය නම් කුසලාකුසල කර්මයන් ය. එබැවින් අප සිත් තුළ හටගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන් ම උපදවා ගැනීමට නිරතුරු උත්සාහ දැරීම කළයුතු වේ. ඒ අපගේ උත්සාහය සියලු භවගාමී බැමි සිඳලන රහත් නුවණ සඳහා ය. එසේ හෙයින් අප සැදැහැවත් සීලසම්පන්න භාවනානුයෝගීන් බවට පත් විය යුත්තෙමු ය යන අදහස එකී සූත්‍රයෙන් කුළුගැන්වෙන ප්‍රධාන අනුශාසනාවයි. එහිදී තවදුරටත් මෙසේ ද සඳහන් වී ඇත.

“කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධූ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං”

“මම කර්මය ස්වකීය කොට ඇත්තෙමි. කර්මය දායාද කොට ඇත්තෙමි. කර්මය ඤාති කොට ඇත්තෙමි. කර්මය පිළිසරණ කොට ඇත්තෙමි. කුසල් හෝ අකුසල් හෝ යම්කිසි කර්මයක් කරන්නෙම් නම් එයට උරුමකරු වන්නෙමියි නිතර නුවණින් මෙනෙහි කළ යුතු ය”

උතුම් අර්හත් තත්වාධිගමය අපේක්ෂා කරන්නෙකු විසින් පව පමණක් නොව පින ද අවසන් කළ යුතුම ය. හේතුව පුණ්‍ය බීජ වුව ද නැවත පැළවීමකට ලක් වන බැවිනි.

“පුඤ්ඤ පාප පහීනස්ස - නත්ථී සෝකෝ කුතෝ භයං” යන්නෙන් භයානක සංසාරයෙහි නිර්භයත්වය කරා යාහැකි එකම මග පින් පව් දෙක ම දුරලීම බව කර්ම දර්ශනය විමර්ශනයෙන් වටහාගත හැකි ය. මේ අනුව පවට විකල්පය පින වන අතර එයට විකල්පය කුසලය යි. කුසලය යනු ලොවෙහි නොඇලීමට සහ නොගැටී සිටීමට ඇති කෞශල්‍යය වේ. කර්මක්‍ෂය කිරීමෙන් අප තුළ මහරහතුන් කෙනෙක් නිර්මාණය කළ හැකි ය.

ඛීණං පුරාණං නවං නත්ථී සම්භවං
විරත්ත චිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණබීජා අවිරූල්හිච්ඡන්දා
නිබ්බන්තිධීරා යථායම් පදීපෝ
(රතන සූත්‍රය, ඛුද්දක නිකාය).

රහතුන්ගේ අතීත කර්ම ක්‍ෂය වී ගොස් ය. නව කර්ම රැස්කිරීමක් ද නැත. උන්වහන්සේලා මතු භවයන්හි ද නොඇලුන සිත් ඇත්තාහු ය. ඒ ක්‍ෂය වූ කර්ම බීජ ඇත්තාහු නැවත ඉපදීම් වශයෙන් වැඩීමක් නැත්තාහූ ධෘති සම්පන්න වූ ඒ රහත්හු ප්‍රදීපයක් සේ නිවී ගියාහු ය යනු උක්ත උධෘතයේ අදහස යි.

බුදුන් වහන්සේ හැර අන් අයෙකු විසින් නිවැරැදිව වටහාගත නොහැකි එසේම දිගින් දිගට ම චින්තනය කරන්නට ගියහොත් උමතු බවට පත්කරවන අචින්තෙය්‍ය ධර්ම සතරක් අංගුත්තර නිකායේ එන ඉගැන්වීමකදී පෙන්වා දෙනු පෙනේ.

“චත්තාරිමානි භික්ඛවේ අචින්තෙය්‍යානි න චින්තේතබ්බානි, යානි චින්නේතෝ උම්මාදස්ස විඝාතස්සභාගී අස්ස. කතමානි චත්තාරි? බුද්ධානං භික්ඛවේ බුද්ධ විසයෝ අචින්තෙය්‍යානි න චින්තේතබ්බානි, යානි චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්සභාගී අස්ස. ඣායිස්ස භික්ඛවේ ඣාන විසයෝ.... ලෝක විසයෝ.... කම්ම විපාකෝ භික්ඛවේ අචින්තෙය්‍යානි න චින්තේතබ්බානි, යානි චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස.(අං.නි.2, අචින්තෙය්‍ය සූත්‍රය, බු.ජ.මු.)

මෙහි කියැවෙන අචින්තෙය්‍ය ධර්ම සතර නම්:-

1. බුද්ධ විෂය
2. ධ්‍යාන විෂය
3.ලෝක විෂය
4. කර්ම විෂය වශයෙනි.

ඒ අනුව බුදු දහමෙහි කියැවෙන කර්ම දර්ශනය සිතා අවසන් කිරීම කළ නොහැකි බවත් එය ඉතා ගැඹුරු මෙන්ම බුදු නුවණකින් පමණක් ම කළ හැක්කක් බවත් අවබෝධ වේ.

යථෝක්ත සූත්‍රාගත කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීමක් වන කර්ම දර්ශනය ගැඹුරු ඉගැන්වීමක් බව යි. කර්මය පිළිබඳ ඕනෑතරම් දේ නොව ප්‍රාමාණික අවබෝධයකින් යුතුව ජීවත්වීම වනාහී මහත් ශාන්තියකට පත්වීමකට මෙන්ම සාංසාරික බන්ධනයෙන් ගැළවී නිදහස් වීමට ද මග පෑදෙනු නොඅනුමාන ය.

අපාරුතා තේසං අමතස්ස ද්වාරා
යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං
(අරියපරියේසන සූත්‍රය - ම.නි.)

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]