Print this Article


මහ පොළොවේ මිදුල සරසන මියුගුණ සෑ රදුන්

මේ දේශයේ බෞද්ධ ශිෂ්ඨාචාර ගමන් මාවත හෙළි පෙහෙළි වන සමාරම්භක පස් පිඩැල්ල කැපෙන්නේ මහියංගණයෙනි.

අපට උරුම ව ඇති උදාර වූ බොදු සංස්කෘතික, ශිෂ්ඨාචාරයක මහා මංගල්‍යයේ පෙර ගමන් කරුවා පැමිණෙන්නේ මහියංගණයේ සිට ය. මහාවංසයට වඩා පැරණි දීපවංශයේ මහියංගණය හඳුන්වන්නේ ‘මහියංපොක්ඛල’ යනුවෙනි. මහාවංසය මහියංගණය වශයෙන් හඳුන්වයි.

මහියංගණය යන්න පාලි නාමයකි. එය සිංහලට මියුගුණ වශයෙන් පරිවර්ථනය වී තිබේ. මෙම නාමය iv වන උදය රජතුමාගේ රාජ්‍ය සමයේ හෝ ඊට පෙර සිට පැවැත එන බව විශ්වාස කළ හැක. ක්‍රි.ව. 1215 - 1236 ‘මිනිපේ සෙල්ලිපියේ’ මහවැලි ගඟ අසබඩ මියුගුණ මහා සෑය පිහිටුවා... ආදී වශයෙන් සටහන්ව තිබේ.

මහිඅංගනය පොළොවෙහි මිදුල ය. බිමෙහි තැන්න බිම් තැන්න පසුව බින්තැන්න වී මහියංගණය බවට පෙරළුණාද විය හැකි ය.

ක්‍රි.පූර්ව 3 වන සියවසේදී පාලි භාෂාව මෙරටට පැමිණීමෙන් පසු බින්තැන්න මහියංගණය වූ බව සිතිය හැකි ය.

මෙතරම් මහන්සියෙන් මේ නාමය මතුකර මින් කතා කළේ ලාංකේය වංශ කතාවේ තීරණාත්මක යුගයක සිට මහියංගණය නම් පුරවර නාමය මේ බිමේ එක් සන්ධිස්ථානයක් වූ නිසා ය.

මීට වසර දෙදහස් හයසීය දෙකකට ආසන්නයේ බුදුන් වහන්සේ මේ දේශයට වැඩම කළ වදාළ දා සිට ශිෂ්ඨාචාරවත් වීමේ කඩුලු විවර වන අතර එම මාවතේ පැහැදිලි මඟ සැකසෙන්නේ බු.වර්ෂ 236 වසරේ සිට ය. එය සිදුවන්නේ මහින්දා ගමනයෙන් අනතුරුව ය. නිනව්වක් නොමැති වූ දේශයක නිශ්චිත පැහැදිලි සංස්කෘතියක් ද ගොඩනැගෙන්නේ ඒ සමගම ය.

නමුත් මහින්දාගමනයට පෙර වසර දෙසීය අසූවකට ආසන්න අතීත කාලයක දුරුතු මාසයේ පූර්ණ පෝය දිනයක දී බුදුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහා වාලුකා නදී තීර්ථයේ පිහිටි ‘මහානාග‘ නම් වනෝද්‍යානයට වැඩිසේක. මහවැලි ගංතෙර අසබඩ ජීවත් වූ යක්ෂ ගෝත්‍රිකයෝ මහානාග නම් වනෝද්‍යානයට පැමිණ එකිනෙකා හා සටන් වැදීමට සැරසුනහ.

ආයුධ සන්නද්ධ වූ සටන බියකරු ය. රුහිරු ධාරා වගුරවන සටන රුදුරු ය. විනාශයක බිමට අවසන අත්වන්නේ ජයග්‍රහණයේ ආලෝකය නොව පරාජයේ ඝනාන්ධකාරය පමණි.

මෙම නිශ්ඵල වූ සටන නවතාලමින් සාම සාධනය උදෙසා බුදුන් වහන්සේ ගේ ප්‍රථම ලංකා ගමනය සිදු විය.

ආගන්තුක උත්තුංග දේහධාරී අසමසම මහා පුරුෂකාය ඉදිරියේදී දහස් ගණන් යක්ෂ සේනා දමනය වූහ. එසේ සාමය සනිටුහන් කළ භූමිය අයමින් තුන් යොදුන් (සැතැපුම් 48ක් ) වූ ද පළලින් සතර ගව්වක් (සැතැපුම් 16ක්) වූ ද යුධ බිම සාමකාමී අඩවියක් බවට පත්කළ රමණීය මහානාග වන උද්‍යානය බව සමන්තකූට වර්ණනාවේ සඳහන් වෙයි.

සන්සුන් කළ යක්ෂ ජනයාට බුදුන් වහන්සේ අපරිමිත කරුණා පෙරදැරිව දම් දෙසූ සේක. මහා නාග වනයට රැස් වූ පිරිස අතර සිටි ධර්මය මනා සේ වටහා ගැනීමේ පෙර පින් පුරා තිබූ සොඳුරු සමනල අඩවියේ සිට පැමිණි සුමන නම් දේව ගෝත්‍රික නායකයා ධර්මය ශ්‍රවණය කර සෝවාන් ඵලයට පත්වූ බව වංශ කතා ප්‍රචාරණය කරයි. එසේ නම් අප මාතෘ භූමියේදී තිසරණ සරණ ගිය ප්‍රථම උපාසකයා සුමන නම් වූ දිව්‍ය රාජයාණන් ය.

මේ අසිරිමත් සන්සිද්ධිය සිහිවීම පිණිස බුදුන්වහන්සේගේ කේශ ධාතු නිදන් කරමින් සුමන දෙව් රදුන් අතින් ලංකාවේ පළමු සෑය ඉදි- වන්නේ සාමය ස්ථාපිත කළ මේ බිමෙහි ය.

ඊජිප්තුවේ පිරමීඩ මෙන් ලෝකය විශ්මයට පත් කරවන්නේ ශ්‍රී ලංකාද්වීපයේ මහා ස්තූප පෙරහරයි. එම වික්‍රමාන්විතයේ සමාරම්භක ස්මාරකය වූ මියුගුණසෑය ඉදිවන්නේ මේ මිහිතලයේ අංගනයේ දී ය.

වසර දෙදහස් හයසිය ද ඉක්මවූ ඒ සම්බුද්ධ උරුමයේ අසිරිමත් සංකේතය කාල විපත් - සතුරු ආපදා පරයමින් අදත් ඔද තෙදවත්ව නැගී සිටිමින් අබිමානවත් ඉතිහාසයක ප්‍රාරාරම්භය මහා ස්මාරකයක් සේ පූජනීය ලෙස සටහන්කර තබයි.

මුලින්ම සමන් දෙවිඳුන් විසින් ඉඳුනිල් මැණිකෙන් සත් රියනක් උසට මහියංගණ මහා සෑය බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ උන් වහන්සේගේ කේශ ධාතු නිධන් කරමින් ඉදිකළ බව මහා වංශයේ සඳහන් වෙයි. ඉන් අනතුරුව ක්‍රි.පූ. 544 දී බුදුන් වහන්සේගේ ග්‍රීවාධාතුව තැන්පත් කර සොළොස් රියනක් උසට ස්තූපය වර්ධනය කරන ලද්දේ සරභූ නම් මහරහතන් වහන්සේ විසිනි. ක්‍රි.පූ.237 වසරේදී දෙවන පෑතිස් රජතුමාගේ සොයුරු උද්ධ චූලාභය යුව රජු තිස්රියනක් උසට දාගැබ කළ බවත් ඉන් අනතුරුව දුටුගැමුණු රජතුමා(ක්‍රි.පූ.161 - 137) එය අසූරියනක් කරවා බැන්ද වූ බවත් කියැවෙයි.

වංශ කතා අනුව එළි වන මහා සෑය හා සබැඳෙන රාජ පරම්පරාව එතැනින් ද නොනවතී. 9 -10 සියවස්හි ii සේන, කාශ්‍යප(869 - 913)  i වැනි විජයබා (1055 - 1110) වැනි රාජ්‍ය අනුග්‍රහයෙන් ද සෑයේ ප්‍රවර්ධනය මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරී තිබේ.

විජයබා රජතුමා මියුගුණ සෑය කරවන ලද්දේ චෝල ආක්‍රමණිකයන් ගෙන් සිදුවූ විනාශයට පසුව බව ඉතිහාසය පිරික්ෂීමේදී දැන ගත හැකි වේ.

කාලවිපත් - පරසතුරු උවදුරු මධ්‍යයේ නැසෙමින් - නැගී සිටිමින් සුරැකුණු මහියංගණ මහා සෑරදුන් රාජ්‍ය වංශ කතාවෙන් පසු එළඹුණු කාලයේ ගරාවැටීමට ලක්වුණි.

නැවත එය ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙන්නේ 1949 වසරේදී නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මැතිඳුන්ගේ අනුග්‍රහයෙනි. මෙහි පූර්ණ අධීක්ෂණය සිදුවන්නේ පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් යටතේ ය.

ජනප්‍රවාද - ලේඛන ඉතිහාස කතා ඔස්සේ සැපැමිණෙන මෙම පුරාවෘත්තයේ විද්‍යාත්මක සාධක මත නිරවද්‍ය නිගමනයකට එළඹීමේ දොර කවුළු කීපයක් හෝ විවර වන්නේ මෙම කැණීම්වලින් පසුව ය.

මෙහිදී පළමුවන විජයබාහු රජතුමා විසින් කළ බව සඳහන් කර තිබූ ප්‍රතිසංස්කරණයන් සනාථ වීම විශේෂ සිද්ධියකි.

ධාතු ගර්භයේ තිබී කුඩා ලෝකඩ අශ්වාරෝහක ප්‍රතිමා, යකඩ ත්‍රීශූල, රන් දද, යකඩ යෂ්ටි, තඹ කලස්, තඹ පත්, බුදු පිළිම, කාසි, ආභරණ, ධාතු කරඬු, රන් තහඩුවෙන් කළ පුෂ්පයන්, මැණික් ගල් සහ වෙනත් පූජා භාණ්ඩ හමු විය.

මෙහි තිබූ ලෝකඩ අශ්වාරෝහක රූප හතර ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ දක්නට ලැබී ඇති අන් කවර පැරැණි මූර්තියකටවත් සම කළ නොහැකි නිර්මාණ බව පරණවිතාන මහතා පවසයි. එසේම ධාතු ගර්භයෙන් සොයා ගැනෙන සිතුවම් මේ අතර විශේෂ වේ. එම චිත්‍ර අතරින් ආරක්ෂා වී තිබුණු විශාලතම චිත්‍ර ඛණ්ඩය අඩි 1ක් අඟල් 4ක් දිග අඩි 1කුත් අඟල් 7 1/2ක් පළල වූවකි. බෝ ගස මුල වැඩසිටින බුදුරුවක් ද ඒ බුදුරුව දකුණින් දිග දැළි රැවුල් ඇති කිසියම් ඍෂිවරයකු වැනි පුද්ගලයකු ද එම චිත්‍ර ඛණ්ඩයෙන් දැක්වේ.

මෙයින් පිළිබිඹු වන්නේ බුද්ධත්වය යි. තුන් ලෝ වාසී නොයෙක් දිව්‍ය බ්‍රහ්මාදීන් බුදුන් වැඳ පුදා ගැනීමට රැස් වූ ආකාරය ද එයින් චිත්‍රනය වී ඇති බව පරණවිතානයන්ගේ මතයයි.

මෙම චිත්‍ර ඉතා උසස් සෞන්දර්ය රසයක් පළ කරන අතර ඒවා එකොළොස්වැනි සියවසේ දී පමණ අඳිනලදැයි සිතිය හැකි බවත් ශෛලිය අතින් ඒවා එකොළොස්වැනි සියවසටත් වඩා පැරැණි අවධියකට අයත් යැයි විශ්වාස කළ හැකි බවත් පරණවිතානයන් සඳහන් කර තිබේ.

මෙම කැණීම් වලදී මහාවංසයේ සඳහන් වන විජයබා රාජ්‍ය සමයේ ප්‍රතිසංස්කරණයේ සත්‍ය සනාථ වෙයි. පරණවිතානයන් පවසන්නේ ඊටත් එපිට කාලයකට අයත් පුරා වස්තූන් මේ තුළ තිබිය හැකි බවය.

මූලාරම්භයේ සත්‍ය සගවා තබා ගනිමින් කැණීම් කළ ප්‍රමාණයන්ටත් වඩා ගැඹුරින් තවත් පුරාවිද්‍යාත්මක සාධක මිහිදන්ව තිබෙන්නට පුළුවන. මහාවංසය මෙන්ම තවත් වංශ කතා මගින් අවධාරණය කරන මහිංයගණ ඉතිහාසයේ මූලාරම්භය ගොඩගැනීමට හැකි වුණි නම් දුටුගැමුණු - සරභූ, මෙන්ම සුමන දෙව් රඳුන් ඉදි කළ ස්තූපයන්ට අදාළ පුරා වස්තූන් ද හමුවෙතැයි විශ්වාසයක් ඇති කරගැනීම අසාධාරණ නොවේ.

මහා වංසය හා සසැඳෙන විජයබා රාජ්‍ය යුගය කැණීම් වල දී හඳුනාගන්නට හැකි වීම නිවැරැදි වූවාසේ ම තවත් ගැඹුරට කැණීම් කළහොත් වංශකතා හඳුන්වා දෙන පෙර කාලය ද සත්‍ය විය යුතු යැයි කෙනෙකුට සාධාරණ සැකයක් මතු කළ හැක. එය එසේ වේ යැයි උපකල්පනය කළහොත් ඇතැම් විට බුදුන් වහන්සේ සපැමිණි වකවානුවෙහි ස්මාරකයන් මේ අසිරිමත් සෑය තුළින් හඳුනා ගැනීමට හැකි වීමට ඉඩ තිබේ.

එය කෙසේ වෙතත් බුදුන් වහන්සේ ගේ පළමු ලංකා ගමනය - මහියංගණය බව වංස කතා ජනශ්‍රැති ඔස්සේ පැමිණ බොදු ජන මනසෙහි පැලපදියම් වී ඇත්තේ එම මතය ඇට - මස් නහර ලේ ධාතුව මත ඇනී පදම් වී කා වැදී නාඩි වැටෙනා රිද්මයේ ස්වරය හා යා වූ හඬක් බවට පත් වෙමිනි. එම නිගමනය වෙනස් කිරීමට යාම පවා බෞද්ධ දේශයම රෝගාබාධයකට පත්කරවන බරපතල විෂබීජයක් වන තරමට මෙම පිවිතුරු සන්සිද්ධිය බෞද්ධ ආත්මයට ජීර්ණය වී හමාරය. මෙසේ ගොඩනැගෙන මේ ඉතිහාස කතාව ඇතැම් විට, ඇතමකු නිශ්ප්‍රභා කිරීමට පෙළඹුණ ද සම්බුදුන් වැඩිය දේශයැයි භාග්‍යවත් කමේ අභිමානයද සියුම් සාඩම්බරයද රැගෙන ගාම්භීර උරුමයක පංගුකාරයන් සේ මේ ශිෂ්ඨාචාර ගමන් මගේ සද්ධාසම්ප්‍රයුක්ත සිතින් ගමන් කරන අපට ප්‍රථමයෙන් ඇස ගැසෙන්නේ සදා පිවිතුරු ධවල පැහැයෙන් දිදුලන මියුගුණ සෑ රදුන්ගේ දසුනය.