UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිතේ බලයෙන් සුවය මහාචුන්ද ථේර බොජ්ඣඞ්ග සූත්‍රය

 පිරිතේ බලයෙන් සුවය

මහාචුන්ද ථේර බොජ්ඣඞ්ග සූත්‍රය

ආශිර්වාදාත්මක දේශනාව ලෙස බෞද්ධයෝ සලකනු ලබන පිරිත් පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර අතර බොජ්ඣංග තුනකි. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට අයත් මෙය බුදුරදුන් රෝගී වූ අවස්ථාවේ ඉන් සුවය ලැබීම විෂයෙහි චුන්ද හිමියන් විසින් දේශනා කළහ.

වර්තමානයේදී පවා බොහෝ පිරිස් රෝග පීඩාවන්ගෙන් අත්මිදීම සඳහා මෙහි පිහිට පතා සුවය ළඟා කර ගනිති. ඕනෑම දරුණු රෝගයකදී බොජ්ඣඞ්ග තුළින් මනා සහනයක් ලද හැකිය. කරුණාව, මෛත්‍රය වැනි අනන්ත ගුණයන්ගෙන් යුතුව චුන්ද හිමියන් දේශිත බුදුරදුන් අනුමත කළ දේශනාවක් වන මෙය විශ්ව ශක්තියකි.

බුදුරදුන් වේළුවනාරාමයෙහි වැඩ සිටින කාලයේ දැඩි ලෙස රෝගීව වැඩ වාසය කළහ. මෙය සමවත් සුවයෙන් නැගිට සවස් කල ලොව බලන චුන්ද හිමියන් දැක එතනට වැඩම වූහ. චුන්ද හිමියන් ඇමතූ බුදුරදුන් මෙසේ දේශනා කළහ. චුන්දය බොජ්ඣඞ්ග ධර්මයක් දේශන කරව (පටිභන්තු තං චුන්ද බොජ්ඣඞ්ගාති) ස්වාමීනි ඔබ වහන්සේ මැනවින් දක්වන ලද නිවනට හේතුවන බොජ්ඣඞ්ග ධර්ම හතකි. ඔබ වහන්සේ විසින් දක්වන ලද මෙම බොජ්ඣංග ධර්ම චතුරාර්ය සත්‍යාවබෝධය සඳහාත් මනා අවබෝධය ඇතිවීම සඳහාත් බොහෝ උපකාරි වෙයි.

එසේම මනාව පුරුදු පුහුණු කරන ලද භාවිත කරන ලද මෙම බොජ්ක්‍ධඞ්ග ධර්මයෝ නිවන පිණිස මනාපිටිවහලකි. ස්වාමීනි, මෙම සප්ත බොජ්ඣඞ්ග ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාව දක්වන ලද්දක්මය. පුරුදු පුහුණු කරන ලදහ. එම බොජ්ඣඞ්ග ධර්මයෝ මෙසේ දේශනා කරමි යනුවෙන් බුදුරදුන්ගේ අනුමැතිය සහිතව චුන්ද හිමියන් දේශනා කළහ. මෙය බුද්ධ දේශනාවක් ලෙසම බෞද්ධයන් සලකනු ලබන්නේ මෙම අනුමැතිය නිසාවෙනි.

මෙම සූත්‍ර දේශනාවේ උගන්වනු ලබන බොජ්ඣඞ්ග ධර්ම හත ඍජුවම නිවනට හේතුවන විශේෂයෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම විෂයෙහි පුරණය කළ යුතු බෝධිපාක්‍ෂික ධර්ම තිස්හත තුළ අන්තර්ගත බෝධිපාක්‍ෂික ධර්ම හතයි. මහා සංඝරත්නය අමතා තමන් වහන්සේ මෙය පුරුදු කළේ යැයි දේශනා කරනුයේ බුද්ධත්වය සඳහා සම්පූර්ණ කළ අංග අතර මෙම ධර්මතාවයන්ද මනාව භාවිතා කරමින් පුහුණු කළ නිසාවෙනි.

සූත්‍ර දේශනයේ විශේෂයෙන් බොජ්ඣඞ්ග පිළිබඳ සඳහන් කරමින් බුදුරදුන්ට ආශිර්වාද කරනුයේද එය එතරම්ම බලසම්පන්න ශක්තිසම්පන්න ධර්ම කොට්ඨාසයක් බැවිනි. බුදුන් වහන්සේ පුරුදු කළ භාවිත කළ බොජ්ක්‍ධඞ්ග ධර්ම සත්‍ය ක්‍රියාවක් ලෙස යොදා ගනිමින් බුදුරදුන්ටම ආශිර්වාද කිරීම මෙහි ඇති විශේෂත්වයකි.

එම බොජ්ඣඞ්ග ධර්ම හත මෙසේය. බොජ්ඣඞ්ග යනු බෝධි අංග යන වචනාර්ථය ලබා දෙන අතර සෑම බෝධි සත්වයෙකුම මෙම අංග හතෙන් උපලක්‍ෂිත විය යුතුය.

1.සති සම්බොජ්ඣඞ්ග :- මාර්ග ඥානයට හේතුවන සිහිය හෙවත් යෝනිසෝ මනසිකාරය මෙයින් අදහස් වේ. සත්වයා පාප පක්‍ෂයට ඇද වැටීමට පත් නොමවී කුසල පක්‍ෂයෙහි පිහිටුවීම පිළිබඳ අවදිකම සිහිය වේ. විවිධ හේතුන් නිසා ඇතිවන ප්‍රමාදය දුරුකර අප්‍රමාදී වීම හා එය අවසානයේ මාර්ග ඥානය ඉපිදවීමට සමත්කම් ඇති කිරීම දක්වා වර්ධනය වීම සිහියෙහි වැදගත් බවයි. ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම කෙනෙකුගේ යහපත් ලෞකික සංවර්ධනය සඳහා ද සිහිය අත්‍යවශ්‍යය. මින් ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමට උපකාරවන සිහිය නිවන් ලැබීමට උපකාර වන සිහිය සති සම්බොජ්ඣඞ්ගයයි.

2.ධම්මවිචය සම්බොජ්ක්‍ධඞ්ගය :–

ලෝකයෙහි පවතින සම්මුතික පරමාර්ථ වශයෙන් දෙයාකාර වස්තූන් පිළිබඳ දැනුමත් ලෝකය සත්වයා, පෘථුවි, ස්කන්ධ, ස්පර්ෂ ආදි කොටස් පිළිබඳ හේතුඵල ධර්මතාවයෙන් හෙවත් යථාර්ථවත්ව දැන ගැනීමත්, ත්‍රිලක්‍ෂණ ධර්මතාවය මිනිසා සහිත මේ විශ්වයට කෙසේ බලපාන්නේද යන වගත්, ප්‍රධාන කොට ගත් යථාර්ථවාදීව සියල්ල ගැන දැන ගැනීමේ හැකියාව සහිත තියුණු දියුණු නුවණ ධම්මවිචය සම්බෝජ්ඣඞ්ගයයි.

3.විරිය සම්බොජ්ඣඞ්ගය :- මෙය බුද්ධාංකුර ධර්මයකි. එක් පැත්තකින් පාරමිතාවකි. තම අරමුණට යාම සඳහා කෙතරම් බාධක පැමිණියත් ඉන් කුසීතව ගුලි නොවී කටයුතු කිරීම විරියයි.කෙලෙස් නිසා සිත උකටලී වීමට ඉඩ නොදී සිත ඉදිරියට යවන්නා වූ බලවත් පරිශ්‍රමය වීර්යයි. සම්‍යක් ප්‍රධාන වීර්ය නිවන් මග ගමන් කරන්නන්ට අත්‍යවශ්‍යය . එනම්

නූපන් අකුසල් නූපදවීම
උපන් අකුසල් මැඬ පැවැත්වීම
නූපන් කුසල් ඉපදවීම
උපන් කුසල් වැඩිදියුණු කිරීම

4.පීති සම්බොජ්ඣඞ්ගය :-

සතුට හෙවත් පී‍්‍රතිය උසස් ලාභයක් මෙන්ම ධනයකි. අවශ්‍ය සුදුසු ආහාරපාන නොලබා හෝ තම අරමුණ වූ නිවන ලබා ගැනීමට නිරෝගීව සිටිය හැකි වන්නේ පී‍්‍රතිය නිසාවෙනි. තම අරමුණෙහි කටයුතු කරන අතරතුර පී‍්‍රතියක් ඇති නොවුනහොත් එය ඔහුට එකදිගට කරගෙන යාම අපහසුය. පී‍්‍රතිය සම්බෝධියට අංගයක් වන්නේ එහෙයිනි. පී‍්‍රතිය නිසා යෝගාවචරයාගේ සිත පමණක් නොව කයද පිනවන්නේය. පී‍්‍රතිය නොමැත්තා නිතරම පාහේ පසුබසින අතර ආරණ්‍යවාසීව අල්ප ආහාරයෙන් යැපෙමින් සිටීම අපහසු වේ.

5.පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය :- කාය චිත්තයන්ගේ සන්සිදීම පස්සද්ධියයි. සිතෙහි වෙහෙස හා සැලෙන දැවෙන ස්වභාවය ඇතිතාක් උසස් ඥානය හෝ චිත්ත සමාධිය ඇති නොවේ. එය ලැබීමට සිත සන්සුන් විය යුතුය. කෙනෙකුට කාය හා චිත්ත පස්සද්ධිය තිබීම අත්‍යවශ්‍යය. සිත ස්වභාවයෙන්ම එක අරමුණක නොපිහිටයි. එක ඉරියව්වක සිටීම කයට වෙහෙස දෙන්නක් මෙන්ම සිතද එක අරමුණක සිටීම මනසට වෙහෙස ගෙන දෙන්නෙකි.

සිතෙහි ඒ ඇතිවන සැලසීම විවිධ අරමුණු සොයායාම පස්සද්ධීන් විසින් වූප සමනය කරයි. උපන් අකුසල් නැසීම ආදි සතර සම්‍යක් ප්‍රධානයන්ගෙන් යුක්ත වීමටත් ආර්ය භූමියට පත්වීමට මෙය අවශ්‍යය. මේ අරුතින් ගත් විට පස්සද්ධිය බොධි අංගයකි.

6.සමාධි සම්බොජ්ඣඞ්ගය :- චිත්ත ඒකාග්‍රතාවය සිතෙහි නිවුණ බව වික්ෂෝපය තුරන් වූ බව සමාධියයි. මෙයින් සිදුවනුයේ සිත නානාරම්මණයෙහි යා නොදී ආරක්‍ෂා කිරීමය. අරමුණෙහි දැඩිකොට පිහිටීම සමාධියයි. මෙයම ඉන්ද්‍රියක් සේ බලයක් සේ බෝධිපාක්‍ෂික ධර්ම තුළම විස්තර වේ. සමාධිය අනුක්‍රමයෙන් වැඩීම තුළ කාමච්ඡන්දාදී ක්ලේශයන් දුරුකොට නිර්වාණය සාක්ෂාත් කරගත හැකිය.

07.උපේක්ඛා සම්බොජ්ඣඞ්ග :- උපෙක්ඛා නම් සම, මැදහත් යන අර්ථ සපයන වචනයකි. බෝධි අංග තුළ සම බව නම් වීර්යත්, සමාධියත් සම මට්ටමින් පවත්වාගනිමින් නිවනට අදාළ චරණ ධර්මයන්හි යුක්තවීමයි.

යෝගාවචරයාගේ චිත්ත සන්තානයෙහි වීර්ය හීන වී සමාධිය බලවත් වුවහොත් අලස බව ඇතිවිය හැකිය. සමාධිය හීන වී වීර්ය බලවත් වුවහොත් එවිට උද්ධච්චය (චිත්තවික්ෂිප්ත බව ඇතිවිය හැකිය. ලෝකෝත්තර ඥානය ඇතිවීමට නම් වීර්ය හා සමාධිය සමව පැවතීමට අවශ්‍යය. මෙසේ ඇතිවන උපේක්‍ඛාව සම්බෝධියට අංගයකි.

මෙම බොජ්ක්‍ධඞ්ග ධර්ම දේශනය ශ්‍රවණය කළ බුදුරදුන් චුන්ද හිමියන් අමතා මෙසේ පිළිතුරු දුන්හ. “තග්ඝ චුන්ද බොජ්ක්‍ධඞ්ග තග්ඝ චුන්ද බොජ්ඣඞ්ගාති” චුන්දය දේශිත බොජ්ඣඞ්ග ධර්මයේ ඉතා මැනවි “

දේශනාව අවසන බුදුරදුන්ගේ අසනිපය සුවපත්ව නැගී සිටි අතර එයින්ම බුදුන් වහන්සේගේ ආබාධය සුව විය. (සෝ ආබාධෝ අහෝසීති)

 

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 07 වැනි දා අඟහරුවාදා අපර භාග 09.26 ට ලබයි.
08 වැනි දා බදාදා අපර භාග 09.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 08 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 15 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]