Print this Article


ගිරිඋල්ල උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය මත ඉදිකිරීමට යෝජිත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

ගිරිඋල්ල උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය මත ඉදිකිරීමට යෝජිත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

බඹර වාහල්කඩ, විහාර කන්ද, ලාහුගල ආදි කඳු පන්තීන්ගෙන් වටවුණ කඳු වළල්ලකින්ද මාහෝ නදී තෙරින්ද වටවූ සොඳුරු මල් මිටියාවත මල්ගමුව ගම්මානයයි. ඓතිහාසක දඹදෙණි රාජධානි සමයේ දළදා මැදුරට මල් සැපයීමට බාරව සිට මේ ගම්වැසියන් විසින් ඒ සඳහා අවශ්‍ය මල් කඩා රැස්කිරීම සඳහා සකසන ලද ඉතා අලංකාර මල් උයන උයන්වත්ත ලෙසින් හඳුන්වන ලදී.

දඹදෙණි රාජධානි සමය අවසන් වීමත් සමගම මෙම මල් වත්ත ක්‍රමයෙන් වල් බිහිවීමට පටන්ගත් අතර 1953 වසර වන විට තැනින්තැන ශේෂ වූ අරලිය ගස් කීපයක් හා දිරාපත්වුණ කුඩා මුර කුටියක් හැරෙන්නට අන් සියල්ල වනාන්තරය විසින් ගිලගෙන තිබුණි. සුපේසල ශික්‍ෂාකාමී මහ තෙරුන් වහන්සේ නමක් ලෙස එවකට මහත්සේ ප්‍රකටව සිටි මස්නොරුවේ බෝධිසිහ නම්වූ මහා යතිවරයාණන් වහන්සේ තමන් දැරූ පදවි තානාන්තර යස ඉසුරු සියල්ල අත්හැර ලන්තෑරුමක් පමණක් අතැතිව 1953 වසරේ මහා රාත්‍රියක මෙම භූමියට වැඩමවා මෙහි තිබුණ ගරා වැටුණු මුරකුටිය තම අවාසකුටිය බවට පත් කර ගනී.

එතැන්සිට උන්වහන්සේත් උන්වහන්සේ වටා එකතුවූ ප්‍රදේශයේ දායක දායකාවන්ගේද ලේ දහඩිය කඳුළු මේ පොළෝ මත වපුරමින් ක්‍රමක්‍රමයෙන් පිළිමගේ,වෙහෙර වහන්සේ,ජයශ්‍රී මහා බෝධි ශාඛාවක්, ධර්මශාලාවක්, ආවාස ගෙය ආදි සකලාංග සපිරි රමණීය පුණ්‍ය භූමියක් බවට පත් කර ගැනීමට ඉතා කෙටි කාලයක් තුළදි හැකියාව ලැබුණි.

1994 වසරේදී උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු වර්තමාන පරපුර වන අප විසින්ද තව තවත් මෙම භූමිය පූජනීයත්වයට පත්කරමින් අලංකාර නව විහාර මන්දිරයක්ද අපේ මුතුන්මිත්තන් පරිහරණය කළ අපේ ඇසුරෙන් ඈත්වන විවිධ ගැමි උපකරණ එකතුවක් ලෙස ගැමි කෞතුකාගාරයක්ද, පුණ්‍යභූමියට එකතුකළ අතර විහාරස්ථානයට පිවිසෙන බැතිමතුන්ගේ පහසුව, ආරක්‍ෂාව, අලංකාරය උදෙසා පියගැටපෙළ, වාහල්කඩ සහිත රමණීය ප්‍රාකාරයක්ද මේ වන විට මෙම භූමියට එකතුවෙමින් පවතී.

අද වන විට මෙම පුණ්‍ය භූමිය මෙරට සතර දෙසින් ඇදී එන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ පූජෝපහාරයට ලක්වන රමණීය පුණ්‍ය භූමියක්ව පවතී. වර්තමාන තරගකාරි සමාජ රටාව විසින් මිනිසා තුළ ඇති කර ඇති අතෘප්තිකර අසහනකාරි චංචල මානසිකත්වයෙන් මිදී බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පී‍්‍රතිමත්ව සතුට සැනසුම හා මානසික ඒකාග්‍රතාවය ඇති කර ගැනීමට ඔවුන් හට අවස්ථාව සලසාදීමේ මූලික අරමුණ ඇතිව මේ පුණ්‍ය භූමිය තුළ පිහිටි උස්කඳු මුදුන මත 88 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීම අපේ ඊළඟ ඒකායන අරමුණයි. එය විශාල ධනයක් වැයවෙන තරමක් අපහසු ඉලක්කයක් වුවද අවශ්‍යතාවය, උත්සාහය, අධිෂ්ඨානයෙන් පොහොසත් වූ අපට එය එතරම් අභියෝගයක්ද නොවේ. ඒ සඳහා අපට ශක්තියත් වන්නට ඔබටත් ආරාධනා කරමු.

මේ මාගේ බුදුරජාණන් වහන්සේ මාගේ මේ සියලු පරිත්‍යාගයන් මා හෙළන සියලු දා බිඳු බුදු සසුනේත් බෞද්ධ සංස්කෘතියේත් චිර පැවැත්ම සඳහාමයි යන දැඩි අධිෂ්ඨානයෙන් ඔබ අප සියලු දෙනා එක්සිත්ව කටයුතු කරන්නේ නම් උයන්වත්ත ශ්‍රී මේධාංකරාරාම විහාරස්ථ මෙම භූ®මිය මත ගොඩ නැඟුණ අසු අට රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස සුදු නෙළුම් මල් දෝතක් තබා සදෙව් ලොවටම ඇසෙන්නට සාදු හඬ නගන්නට වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ අපට හැකියාව ලැබෙනු ඇත.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ රූපශ්‍රී මෙන්ම උන්වහන්සේ විසින් දෙසා වදාහල සදහම් සිසිලසද තව චිරාත් කාලයක් මෙම මිහිමඩල මත වැජඹී ඇවුණු තැවැණු සිත් සුවපත් කිරීම සඳහා අප විසින් සිදු කරනු ලබන මෙම මහඟු පුණ්‍ය කර්මයෙහි අනුසස් බෙලෙන් අප අපටත් අපව හැදු වැඩු දෙමාපියනටත් ගුරුභවතුන්ටත් දෙලොව සැප කෙළවර අමාමහ නිවනින් සැනසීම ලැබේවා