Print this Article


පූජාච පූජනීයානං

රද්දොළුවේ අමරවංශ නා හිමි

ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අලුත්කූරු කෝරළයේ සීදූව රද්දොළුව ගම් පියසේ දැහැමෙන් දිවි ගෙවූ වතු පාලක කේ. විල්සන් රොවෙල් මහතා හා කේ.පුංචිනෝනා මහත්මිය යන දම්පතීන් වෙත පුත් රුවනක් ලැබිණි.

1933 ජනවාරි 19 වැනිදා උපත ලද ඒ කුමරුවාට රෝලන්ඩ් රොවෙල් යන නම තැබිණි. රද්දොළුව මෙතෝදිස්න පාසලෙන් හා රද්දොළුව මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා වයස අවුරුදු 11 දී රද්දොළුව සුබෝධාරාම විහාරාධිපතිව වැඩ විසූ කොටුගොඩ ශ්‍රී ධම්මානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1944 දී රද්දොළුව අමරවංශ නමින් පැවිදි බිමට පත්විය. උන්වහන්සේ තම ගුරු දේවයාණන් වෙතින් මූලික අධ්‍යාපනය ලබා ද්විතීය අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙනට ඇතුළත් විය. එහිදී සිංහල, පාලි, සංස්කෘත භාෂා දැනුම පිළිබඳව හා සූත්‍ර, අභිධර්ම, විනය පිටක දැනුම ලබා විද්‍යෝදය අවසන් පරීක්‍ෂණයෙන් ද සමත් විය.

අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යාය බේරුවල සිරිනිවාස මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල උපසම්පදාවද ලබාගත් උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් සමත් වී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සූදානම් වන අවස්ථාවේදී තම ගුරු දේවයන් හා පැවිදි සහෝදර අරියවංශ හිමියන්ගේ හදිසි අපවත්වීම නිසා ගුරු දේවයාණන් අතින් ඉටුවූ සියලු ආගමික සහ සාමාජීය කටයුතු උන්වහන්සේ වෙත පැවරීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට සිදු විය. තම ගුරු දේවයාණන් අපවත්වීමෙන් පසු රද්දොළුව සුබෝධාරාමය, රද්දොළුව අභිනවාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති ධුරයට අමරවංශ නාහිමියෝ පත්වූහ.

උන්වහන්සේ විහාරාධිපති ධුරයට පත්වීමෙන් පසුව විහාරස්ථාන වල දහම් පාසල් ආරම්භ කර ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම දියුණු කිරීමටත් විහාරස්ථානය කේන්ද්‍රකොටගත් ළදරු පාසල් ආරම්භ කිරීමටත් ක්‍රියා කළහ. තමන් වහන්සේ යටතේ පාලනය වන විහාරස්ථාන දෙකෙහි දියුණුවට විශාල සේවයක් අමරවංශ නාහිමියන් අතින් සිදුවුන අතර ප්‍රදේශයේ කිතුනු දේවස්ථානය සමඟද සමීපව කටයුතු කරමින් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ මෙන්ම අන්‍ය භක්තිකයන්ගේද දහම් දැනුම හා ජන ජීවිතය නඟා සිටුවීමට ක්‍රියා කරවීමද උන්වහන්සේ අතින් සිදු වූ මහඟු ක්‍රියාවකි. සීදූව පොලිස් වසම තුළ පොලිස් උපදේශක කමිටුවේ අනුශාසක පදවියද උන්වහන්සේ වෙත පැවරී ඇත.

ප්‍රදේශයේ සියලු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙමින් ශාසනික හා සමාජ සේවයක් ඉටුකිරීම වෙනුවෙන් අමරපුර පාර්ශවයේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව විසින් උන්වහන්සේට ගෞරවනාම සම්මුතියෙන් හා නායක පදවියක් ද කාරක සංඝ සභා සභික ධුරයක්ද පිරිනැමීමට ක්‍රියා කළහ. උන්වහන්සේ සිවු වතාවක් ඉන්දියාවට ද, දෙවතාවක් ජර්මනිය, තායිලන්තය හා ප්‍රංශයට ද වැඩම කර ඇත. 2014 ජනවාරි 19 වන දින උන්වහන්සේට දිගාසිරි පතා අනුරාධපුර ශුද්ධ භූමියේ දී සඟ සතු මහා දානමය පුණ්‍ය කර්මයක් පවත්වනු ලැබේ.


බද්දේගම ධම්මික නා හිමි

ගා/වඳුරඹ, ලේල්වල ගලපාත පුරාණ මහා විහාරය, කුඹළමළහේන ශ්‍රී කස්සප බෝධිරාජාරාමය යන විහාරද්වයාධිපති, වඳුරඹ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති, මුළු දිවයිනටම සාමවිනිසුරු, බද්දේගම ධම්මික ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ‘විනය කීර්ති ශ්‍රී විචිත්‍රභාණක, කස්සප යන ගෞරව නාම සම්මුතිය සහිතව ගාලු ගඟබඩ පත්තුව ඇතුළු ගාලු කඩවත් සතරේ ප්‍රධාන සංඝනායක පදවිය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශද් වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් පිරිනමා ඇත.

ගාලු දිසාවේ වැයිහේන, ග්‍රාමයේ දී රණසිංහ මළිඳු ආරච්චි ජොහානිස් මහතාට හා හීනැටිය පල්ලියගුරුගේ පුංචිහාමි මාතාවට දාව 1967 ඔක්තෝබර් මස 27 වන දින උපන් පින්වත් කුමරු රණසිංහ මළිඳු ආරච්චි ආනන්ද නම් විය. වැයිහේන කනිෂ්ඨ විද්‍යාලයෙන් හා සුදුවැලිපොත මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලේල්වල ගලපාත පුරාණ මහා විහාරාධිපති, ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ආනන්ද ධර්ම කීර්ති ශ්‍රී රේවත සුමංගල ත්‍රිපිටකාචාර්ය වැයිහේනේ කස්සප නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් 1986 මැයි මස 12 වන දා බද්දේගම ධම්මික නමින් පැවිදි විය.

බද්දේගම, ඉඳුරුපත්විල විද්‍යානන්ද විද්‍යායතන පිරිවෙනේ අධ්‍යාපනය ලබා උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්ත වූයෙන් 1987 ජූනි මස 25 වන දින වැයිහේනේ කස්සප නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

වඳුරඹ, කුඹළමළහේන,ග්‍රාමයේ විහාරස්ථානයක් සඳහා රජයෙන් ලද ඉඩම වැයිහේනේ කස්සප නාහිමියෝ තත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය, බද්දේගම ධම්මික හිමියන් වෙත ලබා දුන්හ. විශාල ගල් සහිත බිම් කඩ වසර 13 ක් වැනි කෙටි කාලයක් තුළ දර්ශනීය සකලාංග පූර්ණ පින්බිමක් බවට පත් කිරීමට ධම්මික හිමියෝ දිවා රෑ වෙහෙසුනහ.

ගලපාත මහා විහාර දහම් පාසල ශ්‍රී කස්සප බෝධිරාජ දහම් පාසල යන ආයතනයන්හිද අනුශාසකවරයා ලෙස මෙන්ම ප්‍රාදේශීය සමිති සමාගම් රැසක් තුළින් සමාජීය මෙහෙවරෙහි නිරත වෙති.

අධිකරණ අමාත්‍යාංශය මඟින් මුළු දිවයිනටම සාමවිනිසුරු පදවියක් ද, 2007 ඔක්තෝම්බර් මස 28 වන දින විනය කීර්ති ශ්‍රී විචිත්‍රභාණක ගෞරව නාමය සහිතව කර්මාචාර්ය ධුරයකින් ද පිදුම් ලැබූහ. බද්දේගම ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අලුතෙන් එක් වූ වඳුරඹ තනි ශාසනාරක්‍ෂක බල මණ්ඩලයක් ලෙස 2013 වසරේ දී පත් වීමත් සමඟ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයට ද නිතරඟයෙන් පත් වූ අතර සම්බුද්ධ ශාසනයේ අනාගත ගමන් මඟ උදෙසා ශාස්ත්‍රපති වැයිහේනේ, අමිතසාර ශාස්ත්‍රපති, කිරිළිපන මංගල, ගෞරව ශාස්ත්‍රවේදී, හසලක අමිතසිරි, ඌරල ඉන්දානන්ද, අලුත්වැවේ අස්සජි, අලුත්වැවේ ධම්මිස්සර යන හිමිවරුන් ද ඇතුළු ව කිහිප නමක්ම සසුනට දායාද කර ඇත.අභිනව පදවි ලද නාහිමියන්ට නිරෝගී සුව චිර ජීවනය පතමි.


වල්ගම සෝමසිරි නාහිමි

මාතර, වෙලේගොඩ ශ්‍රී සුනන්දාරාමාධිපති, ශ්‍රී ධම්මරක්ඛිතවංශ මහානිකායේ කාරක සභික වල්ගම සෝමසිරි නාහිමියෝ 2014 ජනවාරි 01වන දා අසූහය වෙනි (86) වියට පා තැබූහ.

මාතර, වල්ගම කොරටුවේ ගෙදර විසූ හේවා ගජමන්ගේ ජේමිස් සිල්වා සහ හමන්දූව ගමගේ සව්හාමි උපාසිකා මාතාවගේ තෙවැනි පුත් රුවන වූ අයෝනිස් සිල්වා 1928 ජනවාරි 01වන දා මෙලොවට ජනිත විය.

වල්ගම මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අයෝනිස් සිල්වා කුඩා කල පටන්ම ආගම දහම කෙරෙහි නැඹුරු වූ කීකරු දරුවෙක් විය.

පැවිදිවීමට තිබූ දැඩි ආසාව නිසාම අයෝනිස් සිල්වා දොළොස් විය සපිරෙද්දී දෙමාපිය ආශිර්වාදයෙන් සසුන් ගත විය.

කඹුරුගමුවේ ,ගොඩකන්ද සමුද්‍රතීර මහා විහාරය වෙලේගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරය යන උභය විහාරාධිපති, විනයාචාර්ය සිරිසුනන්ද මාහිමිපාණන්ගේ අනුමැතිය පරිදි වෙලේගොඩ ශ්‍රී සුනන්දාරාමාධිපති වෙලේගොඩ ධර්මසිරි නාහිමියන්ගේ සිසුවකු ලෙස කඹුරුගමුව දේවගිරි විහාරාධිපති වේරගම්පිට සිරි රේවත මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් වෙලේගොඩ ධර්මසිරි නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අයෝනිස් කුමරුවා 1940 පොසොන් මස 16වන දින වෙලේගොඩ ශ්‍රී සුනන්දාරාමයේදී වල්ගම සෝමසිරි නමින් ප්‍රවෘජ්‍යා දිවියට පත් විය.

1942 වසරේ මාතර මහා මන්තින්ද පිරිවෙනට ඇතුළත් වූ සෝමසිරි හිමියන් 1947 වසර දක්වා එහි අධ්‍යාපනය ලබමින් ප්‍රාචීන ප්‍රාරම්භය සමත්ව සමායාංතර භාෂා ඥානයද ලබා ගත්හ.

1947 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා අහංගම විද්‍යා චන්ද්‍ර පිරිවෙනට ඇතුළත්ව පරිවේණාධිපති රාජකීය පණ්ඩිත කෝදාගොඩ ඥානාලෝක නාහිමියන්ගේ ඇසුරින් පිරිවෙන් අවසන් විභාගය උසස් ලෙස සමත්වීමට සෝමසිරි හිමියන් අතිදක්ෂයෙක් වූහ.

1949 වසරේ පොසොන් මස 28 වන දින උපසම්පදාව ලබාගත් උන්වහන්සේ 1954 දී මාලිගාකන්ද විද්‍යෝදය භික්ෂු ශිෂ්‍ය නිවාසයේ ආරම්භ වූ ශ්‍රී ලංකා ධර්ම දූතයින් පුහුණු කිරීමේ තුන් අවුරුදු පාඨමාලාව හැදෑරීම සඳහා විද්‍යෝදය පිරිවෙනට අතුළත් වූහ.

තමා උගත් දෙය ලොවට බෙදා දීමේ චේතනාවෙන් වල්ගම සෝමසිරි හිමියෝ අග්ග මහා පණ්ඩිත තුඩාවේ අරියවංශ නාහිමියන් සමඟ ඉන්දියාවට ගොස් ධර්ම දූත සේවාවෙහි යෙදුණාහ.

එහි පිහිටා තිබෙන ක්ලෝරාල් ගෝල්ඩ් ෆීල්ඩ් මහින්ද ආශ්‍රමයේ වාසය කරමින් ධර්ම දූත සේවාවේ යෙදුණි උන්වහන්සේට අමරපුර ශ්‍රී ධම්මරක්ෂිතවංශ මහා නිකායේ සංඝ සභාව මගින් ධර්ම රක්ෂිත වංශාලංකාර කාරක සභික යන ගෞරව නාමයද පුද කළහ.

වසර දෙකක පමණ කාලයක් ඉන්දියාවේ වැඩ වසමින් ධර්ම දූත මෙහෙවරෙහි යෙදුණූ උන්වහන්සේ එහිදී හදිසියේම බරපතළ ලෙස රෝගාතුර වූයෙන් නැවත වැඩම කොට වෙලේගොඩ ශ්‍රී සුනන්දාරාමයේ වැඩ විසූහ.

එවකට ශ්‍රී සුනන්දාරාමාධිපතිව වැඩ විසුූ වෙලේගොඩ ධර්මසිරි නාහිමිපාණන් වහන්සේ 1976 වසරේ අපවත්වීමෙන් පසු වල්ගම සෝමසිරි හිමියෝ එහි විහාරාධිපති ධුරයට පත්වූහ.

එතැන් පටන් දායකාරකාදීන්ගේත් ප්‍රදේශවාසීන්ගේත් හොඳ හිත දිනාගනිමින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුකරමින් අභිනව විහාර මන්දිරය ගණ්ඨාර කුලුන ආදිය ඉදිකරවා චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිසකර කොට මාතර ප්‍රදේශයේ ඉතාම පවිත්‍ර දර්නීය විහාරස්ථානයක් බවට වෙලේගොඩ ශ්‍රී සුනන්දාරාමය පත් කිරීමේ ගෞරවය හිමිකර ගත්තහ.

2014 ජනාවරි 01 වනදා යෙදුණු උන්වහන්සේගේ ජන්ම දිනය නිමිති කර ගනිමින් විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට උත්සව කමිටුව මගින් සංවිධානය කොට තිබිණි.

ජනවාරි 01 වනදා උදෑසන භික්ෂූන් වහන්සේලා උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද. එදනම පස්වරුවේ ශ්‍රී සුනන්ද දහම් පාසලේ දරු දැරියන්ගේ කුසලතා එළි දක්වන විවිධ ප්‍රසංගයක් හා ප්‍රදර්ශනයක් පවත්වා ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමෙන් අනතුරුව උත්සව කටයුතු නිමාවට පත් කෙරිණි.

86වන වියට පා තබන ලද වල්ගම සෝමසිරි නාහිමිපාණන් වහන්සේට තව තවත් සසුන්කෙත බබළවන්නට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු.