Print this Article


යහපතෙහි පිහිටමු

යහපතෙහි පිහිටමු

මව්පියන් විසින් ආරක්‍ෂා කළ යුතු ශීල ධර්මතා ඵලෙස හඳුන්වා දීමට පුළුවන්. මාතෘ ශීලය නිසි පරිදි රැක නොගත්තොත් තමන්ගේ මාතෘත්වයට විශාල කැළලක් වන බව මව සිතා ගත යුතු වනවා. “මවකට උචිත දේ පමණක් කරමි යැයි සිල්පදයක් නැති වුණාට, පියාට සුදුසු දෙයින් තොර නොවී කටයුතු කරමි.” යනුවෙන් සිල් පදයක් නැතිවුවත් ඔබ සැම විටම පියකු ලෙසින් සිතන්න. ඔබ මවක ලෙස සිතන්න

දරුවන් යහපතෙහි යෙදවීම මව්පියන්ගේ ප්‍රධානතම කාර්යයක් මෙන්ම වගකීමක් බව අප පසුගිය දිනක කතා කළා. දරුවා යහපතෙහි පිහිටුවීමට නම් පළමුව ඔබ යහපතෙහි පිහිටා කටයුතු කළ යුතු වනවා.

යහපත යනු කුමක්ද? ඇත්තෙන්ම මෙහිදී යහපත යනු සදිසා නමස්කාරය ලෙස අපට හඳුන්වාදීමට පුළුවන්. ඔබ මිත්‍ර ප්‍රතිරූපකයෙක් ලෙස කටයුතු නොකරන්නේ නම් ඔබ දරුවාට ලබා දෙන්නේ යහපතෙහි සිටීමට අවශ්‍ය වැදගත් පියවරක්. පංචශීලයට පෙර අප විසින් ආරක්‍ෂා කළ යුතු විශේෂ ශීලයක් තිබෙනවා. ඒ මාතෘ පීතෘ ශීලයයි.

මව්පියන් විසින් ආරක්‍ෂා කළ යුතු ශීල ධර්මතා ඵලෙස හඳුන්වා දීමට පුළුවන්. මාතෘ ශීලය නිසි පරිදි රැක නොගත්තොත් තමන්ගේ මාතෘත්වයට විශාල කැළලක් වන බව මව සිතා ගත යුතු වනවා.

“මවකට උචිත දේ පමණක් කරමි යැයි සිල්පදයක් නැති වුණාට, පියාට සුදුසු දෙයින් තොර නොවී කටයුතු කරමි.” යනුවෙන් සිල් පදයක් නැතිවුවත් ඔබ සැම විටම පියකු ලෙසින් සිතන්න. ඔබ මවක ලෙස සිතන්න. ඔබ සැම විටම මාතෘ ශීලය සහ පීතෘ ශීලය ආරක්‍ෂා කර ගැනීමට කල්පනාකාරීව කටයුතු කරන්න.

“අම්මා අමෘතයයි” මෙයයි අප දකින ඇත්ත තත්ත්වය. රස පිරි බොජුන් සහිත මඟුල් ගෙදරක ගොස් පැමිණෙන විටදී වුවත් මව දුටු විට යළි බඩගිනි ඇතිවන බව පැවසෙනවා. එමෙන්ම ඉතා දරුණු කුස ගින්නේ ගෙදරට පැමිණියත් මව දුටු විට අපට කුස ගින්න නිවෙනවා.

මෙයයි මව හා සම්බන්ධ අමෘතය. මවට දිව්‍යමය තත්ත්වයක් අප ලබා දී තිබෙනවා. ඒ අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. ස්වාමි පුරුෂයා මොනවා කළත්, මම දරුවන් සමඟ හොඳින් ඉන්නවා’ යැයි ඇය සිතට තබා ගත යුතු යි.

හොඳින් සොයා බලන්න. මව වැරැදි පාරේ ගිය සැම විටම එම පවුල විනාශයට ගොස් ඇති බව ඉතා පැහැදිලිව පේනවා. මෙවන් තත්ත්වයකදී ඒ පියාට පුතා ගරු කරන්නේ කොහොමද? ඒ මවට දියණිය ගරු කරන්නේ කොහොමද?

ඔබ යහපෙතහි නොපිහිටීම තුළ සමාජය විශාල ආගාධයකට වැටෙන බව ඔබ නොදන්නවා විය හැකියි. යහපතෙහි පිහිටීමට නම් ලෞකික සියල්ල ධාර්මිකව විඳීමට ඔබ කටයුතු කළ යුතු වෙනවා. සියල්ලට පෙර මුදලට මුල් තැන දීම නිසා සමාජයේ ගුණ ධර්ම වෙනස් වෙලා.

තරුණ ප්‍රජාව මොනතරම් විෂමාචාරයකට යොමුවෙලාද? මීට ප්‍රධාන හේතුව මවගේ පියාගේ ආදර්ශය නොමැතිකමයි. මේ නිසා අප සැම විටම මාතෘ පීතෘ ශීලය ආරක්‍ෂා කර ගත යුතු වෙනවා.

ඔබ නැටුම් ගැයුම් තිබෙන ස්ථානවලට යනවා. මත් වතුර පානය කර එතැන හැසිරෙන ආකාරය අනුව සිදුවන්නේ කුමක්ද? දූ දරුවන් පියා යන නමින් ඇමතිය හැකි ආකාරයෙන් ඔබ කටයුතු කරනවාද?

අනෙක් පවුලට හෙනගැහුණත් කමක් නෑ මට හොඳට හැදෙන්න පුළුවන් නම්, යන සංකල්පයට මුල් වූ පිරිස් සමාජයේ බහුලව දකින්නට ලැබෙනවා.

තමන්ගේ භර්යාවට අවශ්‍ය පහසුකම් සපයා දී ඇය නිසි මාර්ගයේ යොමු කිරීමට සියලුම ස්වාමි පුරුෂයන් කටයුතු කළ යුතු වනවා. එසේම භාර්යාව ද ඒ අනුව කටයුතු කළ යුතු වනවා. සදිසා නමස්කාරයේ දැක්වෙන ස්වාමි, භාර්යා, දූ දරු සබඳතාව නිසි අයුරින් තහවුරු වන්නේ එවිටයි.

තමන්ගේ භාර්යාව කුමන නොමනා කාර්යය කළත් ඒ දෙස නිහඬව බලා සිටින පුරුෂයන්ද සමාජයේ අප අතර සිටිනවා. එය ඉවසීම නොවේ.

එය ඇත්තෙන්ම නිවට කමක්. එයින් අදහස් කරන්නේ භාර්යාවට අතින් පයින් පහරදීම හෝ ඇයට වෙනත් අපල උපද්‍රවයක් කිරීම නොවේ. ඕනෑතරම් බෞද්ධ උපදේශන සේවා තිබෙනවා. මේ සියල්ලම විවෘතයි. බුදුදහමට අනුව කටයුතු කරන කිසිවකුට වරදින්නේ නැහැ.

දරුවන් වරදින් මුදවාගෙන යහපතෙහි යෙදවීමට නම් මවුපියන් විසින් දරුවන් නිසි පරිදි දැනුම්වත් කළ යුතු වෙනවා. ‘පුතේ.. දුවේ.... ඒ ඔබගේ බාප්පා තමයි, ඒ ඔබගේ මාමා තමයි, ඔබගේ වැඩිමහල් සහෝදරයෙක් තමයි. ඔබ ඔහු සමඟ ඇසුරු කළ යුත්තේ මේ ආකාරයෙන්, ඔහුට කතා කළ යුත්තේ මේ ආකාරයෙන්” මේ ආදර්ශය අප දුවට, පුතාට ලබාදිය යුතු වෙනවා. විශේෂයෙන්ම දියණිවරුන්ට මේ ආදර්ශ අනුශාසනාව ඉතා වැදගත්.

දරුවන් කියන්නේ පාවෙන පුළුන් රොදක් ඒ පුළුන් රොදට බරක් දෙන්න නම් එය චරිත බරින් ආරක්‍ෂා කළ යුතුයි.

ලක්‍ෂයක් කෝටියක් ධන සම්පත් තිබුණත් චරිතයට හානියක් වුවහොත් ඉන් සමාජයේ කැළලක් වූ අයෙක් බවට පත් වෙනවා. එම නිසා දූ දරුවන්ට දිය යුතු මහඟු දායාදය චරිතවත්ව යහ මඟ නිසි මඟ පෙන්වාදීමයි.

විශේෂයෙන්ම ගැහැනු දරුවන් පා පැදියක, යතුරු පැදියක පවා ගමන් කළ යුත්තේ කා සමඟින් ද යන්න ඔවුන්ට පැහැදිලි අවබෝධයක් ලබා දිය යුතු වනවා.

වර්තමානයේ අන්තර්ජාලයේ ඇති නැඹුරුව නිසා වැඩි වශයෙන් කාමුක තත්ත්වයට විශේෂයෙන් පිරිමින් පෙළඹිලා තියෙනවා. එම නිසා කාමය පිළිබඳව දරුවන් දැනුම්වත් කළ යුතු වෙනවා. ඒ දරුවන්ට අත්හදා බැලීමට නොව වෙනත් අයගේ අපහරණයෙන් දරුවන් ගලවා ගැනීමටයි. එය විධිමත්ව ආගමානුකූලව සිදු කළ යුත්තේ එම නිසයි.