UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ වියයි බුදු දහමයි - 02 බුදු දහමේ චිරස්තිථියට තාරුණ්‍යයේ දායකත්වය

තරුණ වියයි බුදු දහමයි - 02

බුදු දහමේ චිරස්තිථියට තාරුණ්‍යයේ දායකත්වය

බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහලුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය, අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.

පසුගිය ලිපියෙන් අවධානය යොමු වූයේ තරුණ යන වචනය වෛදික දහම තුළ අර්ථකථනය වී ඇති අයුරු හා බුදුදහමේ තරුණවිය අර්ථකථනය වන අයුරු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ බුදුසසුනේ චිරස්තිථිය වෙනුවෙන් සිදුකළ තාරුණ්‍යයේ දායකත්වය විමසා බැලීමටයි.

තම පියරජු විසින් දුක යන වචනය පවා ඇසීමට අවස්ථාව නොදෙමින් අපිරිමිත සැප සම්පත් වලින් ආඪ්‍ය වු දිවියක් ගත කිරීමට සැලැස් වූ සිදුහත් කුමරු අවසානයේ සියලු සැපසම්පත් කෙරෙහි කළකිරී ගිහිගෙය අතහැර ගියේ අවුරුදු 29 දී බව අපි කවුරුත් දනිමු. සිද්ධාර්ථ තාපසතුමා උතුම් වූ බුද්ධත්වයට පත් වූයේ අවුරුදු 35 දීයි.මේ කාල දෙකම සුත්‍ර ධර්මයන්හි හඳුන්වා ඇත්තේ භද්‍ර යෞවනවිය ලෙසය. බුදුරජාණන් වහන්සේගේ දහම කෙරෙහි පැහැදී පැවිදි බව ලබා ගත් බොහෝ දෙනෙක් යොවුන් වියේ පසුවූවන් ය. එයිනුත් බොහෝ දෙනෙක් භද්‍ර යෞවන වියේ පසුවූහ. විශේෂයෙන් පළමු රහත් හැට නමට එකතු වූ යස කුළ පුත්‍රයා ඇතුළු පිරිස අතිශය යොවුන් වියේ පසු වූවන් ය. යසකුල පුත්‍රයා තමාට පිය උරුමයෙන් හිමි වූ අපිරිමිත සැප සම්පත් කෙරෙහි කළ කිරී මානසික සහනය සොයමින් මහමඟට බට අයෙකි.

දිනක් බුදුරජාණන් වහන්සේ අතිශය යොවුන් වියෙහි පැවිදි දිවියට එළැඹි අනුරුද්ධ, භද්දිය,භගු, කිම්භිල කුණ්ඩධාන, රේවත හා ආනන්ද යන තරුණ හිමිවරුන් මුල්කොට ගෙන තාරුණ්‍ය පිළිබඳ කළ වැදගත් දම් දෙසුමක් මැඳුම් සඟියෙහි ඇතුළත් නළකපාන සූත්‍රයෙන් අපට හමුවෙයි. මේ තරුණ හිමිවරු සත් නම එකට පැවිදිව එකට මහණදම්පිරූ සබ්බ්‍රහ්මචාරිහූය. එම දම්දෙසුම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ නළකපාන ගමෙහි මහවන මැද සසුන්බඹරෙහි වෙසෙන මේ යෞවනයන්ගේ දිවිය පිළිබඳ වූ අතිශය කාරුණික හැඟීමෙනි.

මේ තරුණ හිමිවරු ඇමතූ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මහණ දම් පුරන්නේ කැමැත්තෙන් ද එසේ නැතිනම් අකැමැත්තෙන්ද යනුවෙන් විචාළහ. උන්වහන්සේලා නිශ්ශබ්දව හුන්හ. බුදුරජාණන් වහන්සේ දෙවැනි වරටත්, තෙවැනි වරටත් එසේ විමසුව ද මේ තරුණ හිමිවරු නිශ්ශබ්දවම හුන්හ. නමකින් නොවිචාල හොත් කිසිසේත් පිළිතුරු නොලැබෙන බව දැනගත් බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හිමියන් අමතා ඒ පිළිබඳ විචාළහ. එවිට උන්වහන්සේගේ පිළිතුරු වූයේ “ස්වාමිනි අපි ඒකාන්තයෙන් අපි මේ බඹසර දිවියෙහි ඇළෙමින් කැමැත්තෙන්ම මහණදම් පුරන්නෙමු” යනුවෙනි. ඒ පිළිබඳ අගය කරන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා මේ භද්‍ර යොවුන් වියෙහි ගත කරන බඹසර දිවියෙහි වටිනාකම පෙන්වා දෙයි.

යෙන තුම්හෙ අනුරුද්ධා, භද්‍රෙනා යොබ්බනෙන සමන්නාගතා, පඨමෙන එයසා සුසුකාළකෙසා කාමේ පරිභුඤ්ජෙය්‍යාථ තෙන තුම් හේ. අනුරුද්ධා, භද්‍රෙනපි යොබ්බනෙන සමන්නාගතා පඨමෙන එයසා සුසුකාළකෙසා අගාරස්මා අනගාරියං පබ්බජිතා තෙ ච ඛො පන තුම්හෙ,අනුරුද්ධා නෙව රාජාභීනිතා අගාරස්මා අනගාරියං පබ්ජිතා න වොරාහිනිතා අහාරස්මා අනගාරියං පබ්බජිතා න ඉණට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා න හයට්ටා අගාරස්මා අනගාරියං පබ්බජිතා , නාජිවිකාපකතා අගාරස්මා අනගාරියං පබ්බජිතා අපි එ ඛොම්හි ඔතිණ්නො ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සයෙහි උපයාසෙත. දුක්ඛොතිස්ණෙ, දුක්ඛපරෙතො, අප්පෙව නාම ඉමස්ස කොවස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති.

අනුරුද්ධයෙනි, ඔබලා මේ භද්‍ර යෞවන වියෙහි මුල් කාලයේම කාලවර්ණලංකෘත වූ කේශ ඇති කාමයෙහි, ලොල්වන කාලසීමාවෙහිම ඒ සියල්ලම ඔබලාට මනාව තිබිය දී කාමයන්ගෙන් වෙන්ව පැවිදිව උතුම්වු ශාසන බ්‍රහ්මචරියාවෙහි වසන්නාහ. අනුරුද්ධයනි,ඔබලාගේ ඒ පැවිදිවීම රජුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. සොරුන්ගේ බලකිරීමක් නිසා නොවූවකි. ණයෙන් මිදීම පිණිස හෝ රාජචොරාදීන්ගේ භයෙන් මිදීම පිණිස නොවූවකි. යැපීම පිණිස පැවිදි වූවෝ නොවෙති. හුදෙක් ජාති, ජරා , මරණ ශෝකාදියෙන් යුක්ත වූ මේ දුක්ඛ දෝමනස්ස උපායාසයෙන්ගෙන් මිදීම පිණිසම පැවිදි වූවෝ වෙති. ඒ උදෙසාම බඹසර වසන්නෝ වෙති. එබැවින් පැවිදිවීමත් බඹසර විසීමත් උතුම්ය. ඔබලාගේ අරමුණ විය යුත්තේ භාවනාභීරතව ප්‍රථමජ්ඣාන, ද්වීතියජ්ඣාන , තෘතීයජක්‍ධානාදිය ලැබී අභිද්‍යා, ව්‍යාපාද,කාමච්ඡන්ද , ථීනමිද්ධ උද්දච්චකුක්කුච්චාදී වූ පඤ්ච නීවරණයන්ගෙන් සිත නිදහස්කොට පී‍්‍රතිය හා සුවය ඇති නිවන ළඟාකර ගැනීම බවයි.

මෙය පිය කෙනෙක් තරුණවියේ පසුවන පුත්‍රයන්ට ලබාදෙන උපදෙස් මාලාවක් හා සමානය.බුදුරදුන් සිය ඖරස පුත්‍ර වූ තරුණ භික්‍ෂූන් වහන්සේලා දෙස බලා ඇත්තේ අසහාය කරුණාවකිනි. අනුකම්පාවකිනි. එයට හේතුව තමාගේ මේ භද්‍ර යෞවන වූ තරුණ කාලය ශාසන බ්‍රහ්මචර්යාව වෙනුවෙන් යොදවා කළ අසහාය කැපකිරීම නිසාමය. මෙය සුළුපටු කැපකිරීමක් නොව උතුම්ම කැප කිරීමක් බව බුදුරජාණන් වහන්සේ ද දත් නිසාය.

බුදුදහම කෙරෙහි මුල් යුගයේ පැහැදී උතුම් පැවිදි භාවය ලැබූ බොහෝ පිරිස තරුණවියේ මෙන්ම භද්‍ර යෞවන වියේ වූ පිරිසක් බවයි. තෙරවරු පමණක් නොව තෙරණියන්ද තම යොවුන් දිවිය බුදු සසුන වෙනුවෙන් කැපකළ අයුරු ථේරගාථා හා ථේරීගාථාවන්ගෙන් පැහැදිලි වෙයි.

බොහෝ දෙනෙක් සිතන්නේ තරුණවිය යනු ස්වාභිමතයට අනුව දිවි ගෙවමින් කාමභෝගි දිවියක් ගතකළ යුතුය යන්නයි. ධාර්මික ජීවිතය යනු මහලුවියේ ප්‍රායෝගිකව අත්විඳිය යුත්තක්ය යන්න ඔවුන්ගේ මතයයි. මෙය අද මිනිසුන් අතර පවතින මතයක් පමණක් නොව එදා දෙවියන් අතරද පැවැති මතයක් බව සංයුක්ත නිකායේ සගාථක වර්ගයේ එන සමිද්ධී සුත්‍රයෙන් පැහැදිළි වෙයි. එනම් එක්තරා දෙවඟනක් තරුණ වියෙහි පැවිදිව ශාසනාභීරතව බවුන් වඩන භික්‍ෂූන් වහන්සේ නමක් වෙත පැමිණ කළ මෙම ප්‍රකාශයයි.

“දහරෝ ත්වං භික්ඛූ පබ්බජිතෝ සුසුකාළ කෙසො භද්‍රෙන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අනිකිලිකාවි කාමේසු භුඤ්ජ භික්ඛු මානුසකෙ කාමේ මා සන්දිට්ඨිකං භිත්වා අකාලිකං අනුධාවී “

ශ්‍රමණය, ඔබ තරුණ පැවිද්දෙකි.කළු කෙස් ඇත්තේය. භද්‍ර යෞවන වියෙහි සිටින කෙනෙකි. තාරුණ්‍යයේ ප්‍රථම වයසෙහි සිටියි. එහෙත් ඔබ තරුණවියෙහි විඳීය යුතු කම්සැප නොවිඳීන කෙනෙකි. එය නොසුදුස්සකි. මානුසික වූ විඳිය යුතු කම් සැප විඳීන්න. පෙනෙන දේ අතහැර නොපෙනෙන දෙයක් පසුපස නොයන්න.

මෙම ප්‍රකාශය හුදෙක් සාමාන්‍ය ජනයා සමාජය දෙස බලන අයුරින් කළ ප්‍රකාශයකි.එයින් කියවෙන්නේ තරුණ කල අනිවාර්යයෙන්ම කම්සැප විඳීයයුතු යන්නයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහළුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය,අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.

තාරුණ්‍යයේ වටිනාකම අගය මනාව වටහාගත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සිතුම් පැතුම් පමණක් නොව හැකියාවන්ද මනාලෙස හඳුනාගෙන අවශ්‍ය ධර්ම කරුණු පෙන්වා දී ඔවුන් සමාජ විශෝධන ක්‍රියාවලියෙහි යෙදවු ආකාරය මුළු මහත් සූත්‍ර දේශනාවන් පුරාවට පැහැදිළිව පෙනෙයි. ඇතැමෙක් සැනසීම සොයා බුදුරදුන් වෙත පැමිණියේ දුක පිළිබඳ පමණක් නොව සැප පිළිබඳවද කළ කිරුණු මනසින් යුක්තව ය. ඇතමෙක් ජීවිතයේ තමා ලත් අපමණ දුක් ගැහැට නිසා ජීවිතය පිළිබඳ කළකිරී පැමිණියහ. තවත් සමහරෙක් විවිධ ප්‍රශ්න නිසා ජීවිතය ව්‍යාකූල කරගනිමින් බුදුරදුන්වෙත පැමිණියහ. මේ සියල්ලන්ගේම අරමුණ හා අවබෝධයේ මට්ටම් තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ සියල්ලන්ට එම යථාර්ථය අවබෝධ කොට දී ඇත්තේ අසහාය ශාස්තෘවරයෙකු ලෙසය. අසහාය සමාජ විශ්ලේෂකයෙකු ලෙසය. අසහාය මනෝවිද්‍යාඥයෙකු ලෙසය. ඇත්තෙන්ම බුදුසසුනට මේ තරුණ භික්‍ෂූන් ගෙන් ලැබුණූ පිටුබලය අති මහත්විය. එය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශීඝ්‍රයෙන් සන්නිවේදනය වීමට මෙන්ම ජනපි‍්‍රය වීමට ද මහත් ශක්තියක් වී ඇත.

මතු සම්බන්ධයි


තරුණ විය යි බුදු දහම යි

 

උඳුවප් මස අමාවක පෝය

උඳුවප් මස අමාවක පෝය දෙසැම්බර් 31 වනදා අඟහරුවාදා අපරභාග 08.29 ට ලබයි.
2014 ජනවාරි 01 වනදා බදාදා අපරභාග 04.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා බදාදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]