UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

 

මැටිවල ශ්‍රී සංඝරතන නාහිමි

දකුණු ලක ගාලු දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැටිවල නම් සුන්දර ග්‍රාමයේ දී ගාල්ලගේ පරපුරේ අන්දායස් අප්පුහාමි සහ එම ලොකුහාමිනේට දාව 1911.09.16 දින උපන් කුමරුගේ මෑණියන් 1912 දී අභාවප්‍රාප්ත වූයෙන් මිත්තණියගේ තුරුලේ හැදෙමින් නිසිකල මැටිවල පාසලෙන් අධ්‍යාපනය ලැබීය.

තෙල්වත්තේ පුරාණ තොටගමු රජ මහා විහාරාධිපති ගම්මැද්දේගොඩ සිරිපියරතන නාහිමි හා පණ්ඩිත බේරතුඩුවේ විමලඤාණ හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1924 දී තොටගමු රජමහා විහාරයේ දී මැටිවල සංඝරතන නමින් පැවිදි බිමට පිළිපන්හ.

සිංහලයින් අවදිකරවමින් යන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා දේශනයක් සඳහා 1925 දී තොටගමු විහාරයට පැමිණියේ සසුන් අභිවෘද්ධිය පිණිස කුඩා සාමණේරයන් වහන්සේගේ සමත් බව පෙනී කොළඹට වැඩමකොට සිය ආරාමයෙහි මල්ලිකා හේවාවිතාරණ මාතාවගේ ඇප උපස්ථාන ලබමින් සමසක් පමණ වැඩ වස්වා අනතුරුව මහනුවර පෝස්ටර් සාමණේර විද්‍යාලයෙන් ධර්මදූත පුහුණුව ලබාදුන්නහ. මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් පණ්ඩිත කහවේ ශ්‍රී රතනසාර නාහිමියන්ගේ පා සෙවණෙන් ත්‍රිපිටක දහම, පාලි බස ද ඉංගී‍්‍රසි, හින්දි, ප්‍රංශ, ආදී භාෂාවෙහි ප්‍රවීණව සංඝරතන හිමියෝ ධර්මපාලතුමා සමඟ 1929 දී ඉන්දියාවට වැඩම කළෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා ශාන්තිනිකේතනයට ඇතුළත් කරන ලදහ.

1930 දී සාරානාත් බලා වැඩම කළ උන්වහන්සේ කල්කටා මහා බෝධි සමාගම භාරව කටයුතු කළහ. ධර්මපාලතුමා පැවිදිවීමෙන් පසු සාරානාත්හි නිත්‍ය වාසය කරගත් ඒහිමියෝ මූලගන්ධිකුටි විහාරය ගොඩ නැඟීම, විවෘත කිරීම ආදී මහත් කටයුතු රැසක් කළහ. 1933 සිරිදේවමිත්ත ධම්මපාල හිමියන්ගේ උපසම්පදාවේ සිට උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ උන්වහන්සේ ධම්මපාල හිමියන්ගේ අපවත්වීමේ දී ඒ පිළිබඳ සියලු කටයුතු බර කරට ගෙන ක්‍රියා කළහ. සාරානාත් මහා බෝධි සමාගම හා මූලගන්ධිකුටි විහාරය භාරගෙන අපමණ කටයුතු කළ උන්වහන්සේ මහා බෝධි සමාගමේ ලේකම්, මූලගන්ධිකුටි විහාරයේ අධිපති ඉන්දියා ධර්මපාල බූදලයේ භාරකාර (1937) උන්වහන්සේ බුද්ධගයා මහා බෝධි විශ්‍රාම ශාලාව තැනවීම, ප්‍රාකාර සංඝාරාම ගොඩනංවමින් ආවතේව පුද පූජා පවත්වමින් නොයෙක් ශාසනික සේවා සිදුකරමින් 1940 දී යළි සාරානාත් කරා වැඩම කළහ. එහි පාඨශාලා, රෝහල්, සංඝාරාම, දාන ශාලා, කැරවීම ආදිමහත් ප්‍රශංසනීය සේවාවක් කළහ. මූලගන්ධකුටි මාවත තනවා, එය ධර්මපාල පාර යයි නම් කරවූ අතර, ධර්මපාල ප්‍රතිමාව, ධර්මපාල උපාධි විද්‍යාලය ඇරඹූහ.

මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී 1943 දී උපසම්පදාව ලැබ යළි 1952 දඹදිව වැඩම කොට සාංචි චේතියගිර විහාර උත්සවය පවත්වා එහි තෙමසක් භාරව කටයුතු කළහ.

1953 දී සැරියුත් මුගලන් ධාතු හා සර්වඥධාතු බුරුමය, කාම්බෝජය, ටිබැට්, සියම, නේපාල ආදී රටවලට වැඩම කරවමින් ද, රජගහ, නාලන්ද, බරණැස ආදී නගරවල ප්‍රදර්ශනය කරවමින් ද කළ සේවාව විශිෂ්ටය. 1954 දී කාම්බෝජයේ සිහනුක් රජු විසින් ‘වරහරු සිරි ධම්මචක්කපාල’ ගෞරව උපාධි සම්මානයෙන් පිදුම් ලද සංඝරතන හිමියෝ 2500 ශ්‍රී බුද්ධ ජයන්ති වර්ෂයේ දී ආචාර්ය අම්බෙක්කාර්තුමා ඇතුළු ලක්‍ෂ ගණන් බුදුසමය වැළඳ ගැනීමේ අවස්ථාවේ ඔවුහු තෙරුවන් පන්සිල්හි පිහිටුවමින් කළ මෙහෙවර කිසිවෙකුට අමතක නොවේ.

උන්වහන්සේගේ මහත් සේවාව අගයමින් 1963 දී මල්වතු මහා විහාරය මඟින් උත්තර භාරතයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමිණි. අලහබාද් විශ්වවිද්‍යාලය මඟින් 1954 දී ‘සාහිත්‍ය රත්න’ ගෞරව උපාධියෙන් පිදුම්ලද උන්වහන්සේ කාගේත් අතිමහත් ගෞරවයට පාත්‍ර වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වූහ.

1968 දී සැවැත්නුවර ජේතවන සංවර්ධන කටයුතු ඇරඹූ උන්වහන්සේගේ කාර්යශූරත්වය එහිදී ද මනාව පිළිබිඹු විණි. ශ්‍රී ලංකාරාමයේ කටයුතු නිමවා 1978 දී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා අතින් විවෘත කළහ. සැබවින්ම ඒ උන්වහන්සේගේ ජීවිතයෙහි අතිවිශිෂ්ට උදාරතර සිද්ධියක් වූයේ ය. දඹදිව ජේතවන ශ්‍රී ලංකාරාමයත් මැටිවල සංඝරතන නාහිමි නාමයත් කිසිසේත් වෙන් කළ නොහැකි සේ බැඳී ඇත්තේ ය. කාලයාගේ ඇවෑමෙන් රුදුරු වග වලසුන්ගේ බිමක්ව පැවති අතිඋත්තම ජේතවන පින්බිම යළි ගොඩනැංවීම සම්බන්ධයෙන් සකල බෞද්ධයෝම උන්වහන්සේට ණය ගැතියහ. එහි පිවිසෙන්නෝ මුන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට අමතක නොකරති.

දඹදිව අප්‍රමාණ ශාසනික කටයුතුවල යෙදුණු සංඝරතන, නාහිමියෝ වරින්වර ශ්‍රී ලංකාවට ද වැඩ නොයෙක් කටයුත්තෙහි නිරතවූහ. සිය පැවිදි මූලස්ථානය වූ තොටගමු විහාරය කිසිසේත් අමතක නොකළහ. පැවිදි සහෝදර මීටියාගොඩ, රාජකීය පණ්ඩිත ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර හිමියන් ගොඩනැංවූ ධර්මශාලා මන්දිරය විවෘත කිරීමට 1969 දී වැඩම කළහ. 1981 දී එහි පුඤ්ඤසාර පුස්තකාලයේ මංගල උළු සෙවිලි කිරීමේ අවස්ථාවට වැඩම කළහ. 1983 දී අවසන්වරට ශ්‍රී ලංකාවට වැඩමවා පුඤ්ඤසාර පුස්තකාලය පිළිගෙන දෙදිනක් ගත කළහ.

දඹදිව සම්බුද්ධ ශාසන චිරස්ථිතිය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් අත්‍යුදාර සේවාවක් කළ මැටිවල ශ්‍රී සංඝරතන නාහිමියෝ අවසන් මොහොත දක්වා ලෝ සසුන් වඩවමින් තෙසැත්තෑවසක් ආයු ශ්‍රී වළඳා 1984.12.31 ලක්නව් වෛද්‍ය විද්‍යාලයීය රෝහලේ දී අපවත් වී වදාළහ.

උන්වහන්සේගේ එකුන් තිස්වන ගුණානුස්මරණ පුණ්‍ය මහෝත්සවය පැවිදි සහෝදර තොටගමු රජමහා විහාරාධිපති ශාස්ත්‍ර විශාරද පණ්ඩිත ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් මීටියාගොඩ කුඩා රාජකන්ද විහාරාධිපති, ශාස්ත්‍රපති රෑකඩහේනේ ඉන්දසාර හිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් දෙසැම්බර් 24 දින මීටියාගොඩ කුඩා රාජකන්ද විහාරස්ථානයේ දී සිදු කෙරිණි. මැටිවල ශ්‍රී සංඝරතන නා හිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා!


දූනගහ ධම්මෝදය මාහිමි

දූනගහ පුෂ්පාරාමාධිපති ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මිනුවන්ගොඩ,, ප්‍රාදේශීය සංඝ සභාවේ අනුවිජ්ජක සිරි ධම්මවංස වංශාලංකාර සිරි සංඝපාල වංශාවතංස විචිත්‍රභාණක, දූනගහ ධම්මෝදය ස්වාමීන් වහන්සේගේ පැවිදි දිවියට 2013 දෙසැම්බර් 21 වන දිනට පනස් වසරක් සපිරීම නිමිත්තෙනි.

ගිහි අවදියේ උන්වහන්සේ හැඳින්වූයේ ජී.ඒ.ගිල්බට් ජයවර්ධන නමිනි. දූනගහ විසූ තම්මිට ආරච්චිගේ බස්තියන් අප්පුහාමි හා පතිරාජ අප්පුහාමිලාගේ දෝන ඇල්පිනෝනා පතිරාජ මිය දෙමාපියෝ වූහ. පියා සුරාබදු සැරයන්වරයෙකු වූ අතර මව ගුරුවරියක වූවාය. ගිල්බට් ළදරුවා උපත සිදු වූ 1945 දෙසැම්බර් 06 වන දිනමවගේ විපත සිදු වී ඇත. පී.ඒ. මැංචනෝනා මිත්තණිය විසින් හා ටී.ඒ. සෝමාවති හා ටී.ඒ. සීලවති යන නැන්දණියන් විසින් තමා සෙනහසින් හදා වඩා ගත් බව උන්වහන්සේද අද ද ගෞරවයෙන් සිහිපත් කරති.

මූලික අධ්‍යාපනය ප්‍රථමයෙන් ලබා ඇත්තේ දූනගහ රණසිංහ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. පියාගේ රාජකාරි මාරුවත් සමග ගිල්බට් දරුවාට වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලයට ඇතුළත් වීමට සිදු වී ඇත.මෙම විදුහලේ සිප්සතර හදාරණ අවධියේ එනම් 1960 –63 කාලයේ ම සති අන්ත දිනවල කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයෙන් සෞන්දර්ය විෂයයන් හදාරා ඇත.

මෙයට දශක හත අටකට පෙර දරුවන් පැවිදි කරවීම සඳහා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය මඟින් දරුවන් තෝරා ගැනීමේ පරීක්‍ෂණ පවත්වා ඇත. ඒ අනුව 1963 පෙබරවාරි 24වන දින පැවැත් වූ පරික්‍ෂණයෙන් වැඩිම ලකුණූ ලබා ප්‍රථමයා හා හොඳම දරුවා බවට පත් වී ඇත්තේ ගිල්බට් ජයවර්ධන කුමරුවාය.

මෙම අවධියේ දූනගහ පුෂ්පාරාමයේ වැඩ විසූයේ විද්‍යා විශාරද කැලෑපිටිමුල්ලේ ශ්‍රී සංඝපාල නා හිමිපාණෝය. උන්වහන්සේගේ ඇරයුමෙන් ගමේ පන්සල වන පුෂ්පාරාමයට පැමිණි ගිල්බට් තරුණයා, තම පියා ඇතුළු ඥාතීන්ගේ අවසරය මත එහි පැවිදි වීමට තීරණය කළේය. සය මසක කාලයක් එහි ආවතේව කරමින්ද බලගල්ලේ සරස්වති පිරිවනේ අධ්‍යාපනය ලබමින් ද සිටි හේ 1963 නොවැම්බර් 21 වන දින දූනගහ ධම්මෝදය නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

ධම්මෝදය හිමියන්ගේ ආචාර්යත්වය විද්‍යා විශාරද කැලෑපිටිමුල්ලේ, ශ්‍රී සංඝපාල නාහිමියන් දැරූ අතර උපාධ්‍යාය දරන ලද්දේ බලගල්ලේ සරස්වතී පිරිවෙන් විහාරාධිපති , ත්‍රිපිටක වාගීෂ්චාර්ය අග්ගමහා පණ්ඩිත හිස්සැල්ලේ ධම්මකිත්ති ශ්‍රී ඥාණෝදය ශ්‍රී‍්‍රලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමිපාණන් වහන්සේ විසිනි.

ධම්මෝදය සාමණේර හිමි 1969 ජූලි 24 වන දින කැලණි ගඟේ කල්‍යාණනදී උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදා වූයේ රාමඤ්ඤ මහා නිකායේ එවකට මහානායකව වැඩ විසූ ඉඳුරුවේ උත්තරානන්ද නාහිමියන්ගේ උපාධ්‍යයත්වයෙනි.

පැවිදි දිවියට ඇතුළත් වූ වසරේ සිටම පන්සලේ පවත්වාගෙන ගිය දහම් පාසලේ ආචාර්යවරයෙකු වශයෙන් මුන්වහන්සේ කටයුතු කළහ. 1971 වසරේ සිය ආචර්යවරයාණන් වන කැලෑපිටිමුල්ලේ සංඝපාල මාහිමියන් අපවත් වීම සිදු වූ අතර එතැන් සිට පන්සලේ භාරකරත්වය මුන්වහන්සේ වෙත පැවරිණි. අචාර්යවරයාණන් වහන්සේ අසනීපව වසර දෙකකට වැඩි කලක් කොළඹ මහ රෝහලේ නතර වී සිටි අතර උන්වහන්සේ සමීපයේ සිට උපස්ථාන කරන ලද්දේ ධම්මෝදය හිමියන්ය. මේ නිසා උන්වහන්සේගේ උසස් අධ්‍යාපනය පවා අඩාල විය.

ධම්මෝදය හිමි,ලේඛකයෙක්ද වේ. ‘මම නොහොත් සක්කාය දිට්ඨිය’ හා ‘සිල් දිනය’ යන ධර්ම ග්‍රන්ථ ඒ අතර වේ.බුදුසරණ ඇතුළු පුවත්පත් රැසකට වසර ගණනාවක්ම ධර්ම ශාස්ත්‍රීය ලිපි සපයා ඇත.

මුන් වහන්සේ දූනගහ වැඩිහිටි නිවාසයේ වියපත් නේවාසිකයින් උදෙසා දශක තුනකට අධික කාලයක් තිස්සේ ආගමික කටයුතු මෙහෙයවා ඇත. දිවුලපිටිය රජයේ රෝහලට ඥානෝදය නමින් භීක්‍ෂු වාට්ටුවක් ස්ථාපිත කිරීමට සමාරම්භකව ක්‍රියා කර ඇත.

ධම්මෝදය හිමි තම පන්සලේ ඇති දහම් පාසලට අමතරව මරඳගහමුල ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස මැතක් වන තුරුම සේවය කොට ඇත. 1976 වසරේ සිට දිවුලපිටිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ උපලේඛකාධිකාරි ලෙසද පසුව ලේඛකාධිකාරි ලෙසද වසර විස්සකකාලයක් ක්‍රියා කර ඇත. මෙයට අමතරව ශ්‍රී ලංකා බුද්ධ ශාසනෝදය භික්‍ෂු සංගමයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරය 1980 වසරේ සිට පුරා දශකයක කාලයක් දැරීය. ශාසන සේවයට කැපවී ඇති ධම්මෝදය හිමියන්ගේ සංකල්ප මත ආරම්භ වී එහි, ලේඛකාධිකාරි’ සභාපති හා අනුශාසක යන ධුර දරන සමාජ ආයතන සංඛ්‍යාව බොහෝය.

මෙබඳු ශාසනික, සංස්කෘතික හා සාමාජීය මෙහෙයන් ඉටු කරන අතරේ තම පන්සල ද අංග සම්පූර්ණ හා දර්ශනීය විහාරස්ථානයක් බවට පරිවර්තනය කර ගැනීමට මුන්වහන්සේ සමත් වී ඇත. ඒ ධම්මෝදය හිමියන්ගේ සමාජගත මනා කළමනාකාරිත්වය නිසාය. හිටපු බෞද්ධ මහෝපාසකයකු හා අවංක දේශපාලනඥයකු වූ සර්. ඩී.බී. ජයතිලක මැතිතුමා වැන්නෝ පවා 1930 ගණන්වල මෙම පන්සලේ පෙහෙවස් සමාදන් වී ඇත.

ධම්මෝදය හිමිපාණන්, විශේෂයෙන් දහම් පාසල් ගුරුවරයෙකු, ප්‍රධානචාර්යවරයෙකු, දහම් පාසල් පිළිබඳ ශාසනාරක්‍ෂක බලමණ්ඩල දෙකක ලේඛකාධිකාරිවරයෙකු වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට කරන ලද අමිල සේවය වෙනුවෙන් බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යංශය විසින් 2001 දී හා 2005 දී සම්මාන හා පූජෝපහාර ප්‍රදානය කර ඇත.

එසේම අප හිමිපාණන් විසින් මෙරට ශාසනයේ අභිවෘද්ධියත් , යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසාත් කරන ලද නිහඬ එහෙත් සුවිසල් සේවය අගයනු වස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභාව විසින් “ සිරි ධම්මාවාස වංශාලංකාර සංඝපාල වංශාවතංස විචිත්‍රභාණක “ යන ගෞරව නාමය 2005 වසරේදී ප්‍රදානය කර ඇත්තේය.

 

උඳුවප් මස අමාවක පෝය

උඳුවප් මස අමාවක පෝය දෙසැම්බර් 31 වනදා අඟහරුවාදා අපරභාග 08.29 ට ලබයි.
2014 ජනවාරි 01 වනදා බදාදා අපරභාග 04.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා බදාදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]