UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපේක්ෂාව පුහුණු කරමු

උපේක්ෂාව පුහුණු කරමු

බුදු දහමෙහි උගන්වන්නේ මෙම මිනිස් ගති සිරිත්වලදී කළකිරීමට පත්වන්නේ නැතිව මේවා දැකීමෙන් අත්දැකීම් ලබා ගෙන සමාජයේ ජීවත්වීම කළ යුතු බවය. විවිධ අපේක්‍ෂාවන්ගෙන් ලෝකය දිහා නෙත් දල්වා බලා සිටිනවාට වඩා ලෝකය දෙස බැලීමට උපේක්‍ෂා සහගත සිතකින් සිතීම වැදගත් බවයි. එබඳු තත්ත්වයකට මනස හදාගන්න එක එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන කාලයේ උන්වහන්සේ ළග පැවිදිවී බණ භාවනා වඩා අරහත් භාවයට පත්වූවෝ බොහෝ සිටියහ. උන්වහන්සේලා අතර එන නමක් ලෙස ලකුණ්ඨක භද්දිය තෙරණුවෝ හැඳින්විය හැකිය.උන්වහන්සේ ඉතාමත් ගුණවත් කමින්ද , නැණවත්කමින්ද පිරුණු කෙනෙකි.

ලකුණ්ඨක භද්දිය හිමියෝ මිටි සිරුරක් සහිත කෙනෙකු නිසා සහ උන්වහන්සේගේ ගුණවත්කම නිසා බොහෝ අය විහිළුවට ගත්හ. බුදු සසුනේ රහත් වන්නට තරම් පින් මහිම ඇති ලක්ඛණ භද්දිය හිමියෝ මෙසේ ශරීරය ඉතා මිටි කෙනකු වශයෙන් උපත ලබනු ලැබුවේ කුමන කරුණක් නිසාදැයි යන්න බෞද්ධ පොත් පත්වල කරුණු කාරණා සඳහන් වෙයි.

පෙර එක්තරා ආත්මයක වෙනත් පුද්ගලයකු විසින් බොහෝ විය පැහැදම් කොට ඉතා සරුසාර අන්දමින් සකස් කළ මහා පින්කමක් වියදම් අඩු කොට කුඩාවට කරවන ලෙස උපදෙස් දී ඒ පින්කම ඒ ආකාරයට කරවනු ලැබීය. විශාල වශයෙන් කළ හැකිව තිබූ පින්කම ඉතා කුඩාවට කරවීමට උපදෙස් දුන් නිසා එම කර්මයෙන් උන්වහන්සේ මෑත භවයේදීම උපත ලබා මිටි ශරීර ස්වභාවය ඉතාමත් කුඩා විය. ලකුණ්ඨක භද්දිය හිමියෝ ශරීරයෙන් කුඩා වුවද ප්‍රඥාවෙන් ඉතාම උසස් කෙනකු බවට පත්වූහ. පිළිවෙත් සරු සාර ලෙස බණ දහමට අනුව වැඩූ උන්වහන්සේ අරහත් භාවයට පත්වූයේ එම නිසාය. උන්වහන්සේ අරහත් භාවයට පත් වුවද තමන් ලැබූ ඉහළ ඥානය පිළිබඳ අනෙක් අය හමුවේ ප්‍රකාශ කළ හැකිය. උන්වහන්සේගේ ගුණවත්කම් නිසාම අනෙක් සියලු දෙනාටම උදවු පදව් කරන නිසාද ඇතැම් අය උන්වහන්සේ ගණන් ගත්තේ ද නැත. දෙව්රම් වෙහෙර වසන අවස්ථාවන්හිදී වෙනත් පුංචි පුංචි හාමුදුරුවරු පවා ලකුණ්ඨක භද්දිය හිමියන් සෙල්ලමට ගෙන විවිධ විහිළු තහළු කරති. කෙළිකවට කම් කරති. කන් පෙත්තෙන් පවා අල්වාගෙන විහිළු කරති. නමුත් උන්වහන්සේ ඒවා ගණනකටවත් ගත්තේ නැත. නිහඬව උපේක්‍ෂාවෙන් සියල්ල උහුලාගෙන සිටිති.

එක දවසක් දම්සභා මණ්ඩපයේදී භික්‍ෂූන් වහන්සේලා එකතුවී ලකුණ්ඨක භද්දිය හිමියන්ගේ මෙම ස්වභාවය පිළිබඳව කතාබහ කරමින් සිටියහ. උන්වහන්සේ තුළ පැවැති වහා නොකිපෙන බව කොයිකාටත් මිත්‍රත්වයේ සෙනෙහස පෑම, අන්‍ය අයගෙන් කිසිවක් බලාපොරොත්තු නොවීම, උට්ඨාන වීර්යය යනාදි කරුණු කාරණා උන්වහන්සේලා ගේ කතාවෙහි අන්තර්ගත විය. එම අවස්ථාවේ එම ස්ථානයට වැඩි බුදුරජාණන් වහන්සේ මා මෙහි පැමිණීමට පෙර කුමන කතාවකින් යුක්ත වූයේ දැයි විමසා ලකුණ්ඨක භද්දිය හිමියන් ගැන යැයි පැවසූ විට උන්වහන්සේගේ ස්වභාවය පැහැදිලි කරනු ලැබූහ.

සාමාන්‍යයෙන් ලෝකයේ ජීවත්වන පුද්ගලයා ගේ ස්වභාවය වන්නේ තමන්ට නින්දා කරන අය කරන නින්දාවන් අසා දුකට පත්වීමය. තමන්ට නින්දා කරන්නන්ට පෙරළා නින්දා කිරීමය. ඔවුන් හා උරණ වීමය. ප්‍රශංසා කරන්නන්ගේ ප්‍රශංසා අසා සතුටු වීමය. එසේ ප්‍රශංසා කරන්නන් හට පෙරළා ප්‍රසංශා කිරීමය. තමන්ට ප්‍රශංසා කරන මිනිසුන් යහපත් මිනිසන් ලෙස සැළකීමය. ලෝකයේ සාමාන්‍ය මිනිස් ස්වභාවය මෙබඳු වුවද බුදු දහමෙන් බලාපොරොත්තු වන්නේ එබඳු මිනිසුන් සමාජයට හඳුන්වාදීම නොවේ. බුදු දහමෙහි උගන්වන්නේ විශේෂ මිනිසුන් පිළිබඳව වෙනවා නම් නුවණින් විය යුත්තේ විශේෂ කෙනෙකි. අද ලෝකයට අවශ්‍යවී තිබෙන්නේ ද විශේෂ පුද්ගලයන්ය.

සාමාන්‍ය ලෝකයේ ස්වභාවය වන්නේ ආසාවෙන් යමක් කරන ඔහුට ඊෂ්‍යාව කිරීමය. නිවැරැදිව යමක් කරන විට එහි වැරැදි පෙන්වා හෙළා දැකීමය. අප ජීවත් වන්නේද මෙබඳු මිනිසුන් ජීවත්වන සමාජයකය. අප වටේ සිටින මිනිසුන්ද මෙබන්දෝම වෙති.

බුදු දහමෙහි උගන්වන්නේ මෙම මිනිස් ගති සිරිත්වලදී කළකිරීමට පත්වන්නේ නැතිව මේවා දැකීමෙන් අත්දැකීම් ලබා ගෙන සමාජයේ ජීවත්වීම කළ යුතු බවය. විවිධ අපේක්‍ෂාවන්ගෙන් ලෝකය දිහා නෙත් දල්වා බලා සිටිනවාට වඩා ලෝකය දෙස බැලීමට උපේක්‍ෂා සහගත සිතකින් සිතීම වැදගත් බවයි. එබඳු තත්ත්වයකට මනස හදාගන්න එක එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. කාලයක් තිස්සේ මනස හුරු පුරුදු කිරීමෙන් ඇතිකර ගත යුත්තකි. සමාජයේ සිටින පුද්ගලයන්ගෙන් ප්‍රතිචාර බලාපොරොත්තු විය යුත්තේද කිසියම් සීමාවක සිටය. අසීමිතව සමාජ ප්‍රශසාවලදී අන්ධවී කටයුතු කළහොත් ඔහුට වරදින තැන අත ළඟය.

ගල් පර්වතය සුළඟට සෙළවෙන්නේ නැතැයි යන උපමාව බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අත්දැකීම් බහුල බුද්ධිමතා සමාජයේ ජීවත්වන්නේ ගල් පර්වතය මෙන් ශක්තිමත්වය. උපේක්‍ෂාවෙනි. එබඳු පුද්ගලයෝ නිතර දෙවේලේ සමාජයේ තමන්ට සිදුවන අකටයුතු. අපහසුතා උපේක්‍ෂාවන් විඳීමින් ජීවිතය ගොඩනඟා ගන්නට වෙහෙස දරයි. සුළඟ උපමා කරනු ලබන්නේ කෙනෙකුට ලෝකයෙන් ලැබෙන නින්දා සහ ප්‍රශංසාය. අපේ ජීවිතයට අවශ්‍ය සුළඟට වරෙක සුළිසුළඟක් වී අපිටම විණ කරයි. සමාජයේ පළමු ගැරහුම තමන්ට ලැබෙන්නේද තමන්ට ප්‍රශංසා කළ පුද්ගලයින්ගෙන්මයි.

ජීවත්වන සමාජය එදාට වඩා අද බොහෝ වෙනස්වෙලා යැයිද මේ වෙනස්වීම මෙහෙමම ගිහයොත් මතු අනාගතයේ කුමක්වේදැයි සිතා ගන්නටවත් බැරි යැයි බොහෝ දෙනා කියති. ඔවුහු එසේ කියන්නේ සමාජය පිළිබඳව හෝ සමාජ ප්‍රවාහයේ රද්මය පිළිබඳව හෝ දැනුම් තේරුම් ඇතිකමින් නොවේ. ඔහේ කියන්නන් වාලේ කියති. කෙනෙකුට වැදගත් වන්නෙ සමාජයේ දියුණුව ද, සමාජ සිද්ධි පිළිබඳව තමා කල්පනා කරන විදිහද යනුවෙන් විමසා බැලිය යුතුයි. සමාජය කොපමණ දියුණු වී තිබුණ ද තමා ආර්ථිකයෙන් කොතරම් පිරිපුන් වුවද, සමාජ පොදු සංසිද්ධීන් පිළිබඳව මැදහත්ව කල්පනා කරන්නට නොහැකි නම් තමා ලැබූ භෞතික සම්පත් වලින් හෝ සමාජය ලැබූ දියුණුවේ ඇති අර්ථය කුමක්ද?

බුදුරජාණන් වහන්සේ පණ්ඩිතයා නින්දා ප්‍රශංසා දෙකෙහි නොසැළෙන පුද්ගලයකු ලෙස මෙහිදී දක්වනු ලබන්නේ ඒ හැම සිද්ධියක්ම අධ්‍යාපනය ක් ලෙස ඔහු සිතන නිසාය. ඒවා සමාජ සිද්ධි ලෙස මිස සමාජ ප්‍රශ්න ලෙස කල්පනා නොකරන නිසාය.

කෙනකුගේ ජීවත්වීම දවසින් දවස අලුත් විය යුත්තේ සමාජය තුළ සිටින ධාර්මික පුද්ගලයන්ගේ ගති සිරිත් ඇසුරෙන්ය. තම තමන් පි‍්‍රය කරන දේවල් තමන්ට ලැබෙන විට සමාජය හොඳ යැයි ද තමාට අලාභ පිණිස පවතින විට සමාජය නරක යැයිද යනුවෙන් තමා තුළින්ම සමාජය දෙස බලා සමාජයට නිර්වචන සපයන්නා ස්වාර්ථකාමී පුද්ගලයෙකි. පණ්ඩිතයකු නොවේ. පණ්ඩිතයා හැම අවස්ථාවකදීම සමාජ අත්දැකීම් ඇසුරෙන් ඉගෙන ගනු ලබන්නේ ඔහුට හැම සිදධියක්ම අත්දැකීමෙනි.අධ්‍යාපනයෙනි.

අපේ බොහෝ අය හිතන්නේ එයා දැන් ඉගෙන ගෙන ඉවරයි කියාය. නමුත් බෝධි සත්ත්වයන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක්ම සිදුකරනු ලැබුවේ ඉගෙන ගැනීමය. ලෝකය උගන්වන්නට ගියේ එපමණ කාලයක් ඉගෙන ගැනීමෙන් ලැබූ සමාජ අත්දැකීම් වලිනි. අපේ සමාජයේ සිටින බොහෝ අය ඉගෙන ගන්නට කැමැති නැත.

ඔවුන්ට ඕනෑ කරන්නේ අනුන්ට උගන්වන්නට නිවැරැදි දේ. පෙන්වා දීමටය. ඔවුන්ගේ අඩුපාඩු විමසා බැලීමටය.

සමාජයේ තමන්ට ලැබෙන අමිහිරි දේ තමන් විඳ දරාගෙන සමාජයට මිහිරි දෙය ලබාදීම සඳමඩලේ ස්වභාවයයි. බොහෝ දැනුම් තේරුම් සහිත මිනිසුන්ගේ ස්වභාවයද සඳමඩල වගේය. සමාජයෙන් ලැබෙන අපහාස නින්දා ආදී දේවල් තමා ලබාගෙන සමාජයට ප්‍රශංසා වැනි හොඳ දේවල් ලබාදීමට කටයුතු කිරීමය. සමාජයට තමන් දිය යුතු උතුම් සරුසාර ගුණ ධර්ම අන්‍යයා කෙරෙහි ලබාදීමට කටයුතු කරයි.

සටහන: හේමමාලා රන්දුනු

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි.
26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 01 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]