UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණින් කතරගම වාර්ෂික පින්කමක්

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණින් කතරගම වාර්ෂික පින්කමක්

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමය මූලස්ථාන කොටගත් ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ සිදුකරන වාර්ෂික පින්කම් මාලාවේ අවසාන පින්කම වන කතරගම පුණ්‍යානුමෝදනා මහා පිනක්ම 55 වැනි වරට 2013 දෙසැම්බර් මස 26 - 27 දෙදින කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් සහ අෂ්ඨඵලරුහ බෝධි රාජයාණන් අභියස දී ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණේ අනුශාසක මිරිහානේ නන්ද ස්වාමින්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පවත්වනු ලැබේ.

ප්‍රථමයෙන් මහනුවර ශ්‍රී දත්ත ධාතුන් වහන්සේ වැඳපුදා උපහාර දක්වා සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනා පවත්වා කිරි ආහාර පුජා කොට පින්කම් මාලාව ආරම්භ වු අතර දෙවැනි පින්කම අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි මහසෑය ඇසුරු කොට පැවැත්වේ. තුන්වැනි පින්කම කැලණි රජමහා වෙහෙර ඇසුරු කොට වාර්ෂිකව පවත්වනු ලැබේ. සතර වැනි පින්කම නවගමුව රජමහ විහාරයේ පැවැත්වෙන අතර පස් වැනි පින්කම වනුයේ මෙකී කතරගම පුණ්‍යානුමෝදනා මහ පින්කමයි.

‘කල්‍යාණධර්ම’ හෙවත් ජීවිත සැනසිල්ලට උපකාර වන ගුණධර්ම ප්‍රගුණ කිරීමත් ඒ සඳහා අනුබල දීමත් ඒවා දියුණු කර ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීමත් ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණේ් ප්‍රධාන පරමාර්ථය වේ. මේ පෙරමුණට සම්බන්ධ වී සිටින හැම දෙනාම සංවිධානය වී සිටින්නේ මේ උතුම් පරමාර්ථය පෙරදැරි කරගෙන ය.

මෙකී පරමාර්ථය සපුරා ගැනීම අරමුණු කොට ගත් වැදගත් කටයුතු රැසක් මේ පෙරමුණ විසින් ඉටු කරනු ලැබේ. මසකට දෙවරක් පෙහෙවස් සමාදන්වීම ‘තිසරණ’ දහම් සගරාව මුද්‍රණය කරවා ප්‍රකාශයට පත්කිරීම, ලේ දන්දීම, මරණයට කැප වූ ගවයින් නිදහස් කොට ගොවීන්ට භාරදීම, සතිපතා ධර්ම දේශනා, දිනපතා බෝධි පූජාව සෙත් පැතීම සඳහා වෙන්වූ ශාන්ති මණ්ඩලය, ධර්ම ග්‍රන්ථ සිංහල භාෂාවෙන් මුද්‍රණය කරවා පළ කිරීම, ධර්ම මණ්ඩප සහ ධර්ම සාකච්ඡා පැවැත්වීම යන මේවා ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණ විසින් නිති පතා සිදු කරනු ලබන සත් කාර්යයන් අතර වේ.

උදාර පරමාර්ථ පෙරදැරි කරගෙන ඉහත කී කටයුතු නිස්සරණාධ්‍යාශයෙන් ආරම්භ කරන ලද්දේ මින් වසර විසි දෙකකට ඉහත දී අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී දේවානන්ද මා හිමිපාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක රාජකීය පණ්ඩිත පුජ්‍යපාද කඩවැද්දුව ශ්‍රී ජිනවංශ නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයකි.

මේ වසරේ ජනවාරි පළමුවැනි දින නිදහස් කරන ලද ගවයින් සංඛ්‍යාව 120 ක් වූ අතර අගෝස්තු මාසයේදී ගවයින් 45 ක් මරණයෙන් නිදහස් කරන ලදී. සෑම වසරකම අගෝස්තු මාසයේ ලේ දන්දීමේ පින්කම සිදුකෙරේ.

වසර පුරා විහිදී යන මෙකී පුණ්‍ය කටයුතු කතරගම දිව්‍ය රාජයාණන් ඇතුළු සියලු දිව්‍යරාජ සමූහයාට අනුමෝදන් කිරීම සඳහා කතරගම පින්කම පැවැත්වේ. දෙසැම්බර් 25 වැනිදින හිමිදිරි උදෑසන බොරැල්ලේ ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමයෙන් පිටත්වෙන බැතිමත් පිරිස සියලු දෙනාම බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී අෂ්ඨාංග උපෝසථ ශීලයෙහි පිහිටති. කළුතර බෝ සමිඳුන් වැඳපුදා දෙවියන්ට පින් අනුමෝදන් කොට ගමන් අරඹන පිරිස දහවල් දානයට දෙවිනුවරට පැමිණීමට නියමිතය. දෙවිනුවර ඓතිහාසික සිද්ධස්ථානයත්, ඉන් අනතුරුව තිස්සමහාරාම චෛත්‍යරාජයාත් වැඳ පුදා සන්ධ්‍යා භාගයේදී කතරගමට සැපත් වෙති.

විසිහය වැනි දින කිරිවෙහෙර භූමියේදී අටසිල් සමාදන්වන පිරිස සවස් භාගයේ කිරිවෙහෙර වෙත සර්වඥ ධාතු කරඬුව පෙරටු කොට පෙරහරින් ගමන් කරති. ඉන් අනතුරුව අෂ්ටඵලරුහ බෝ සමිඳු අභියස විශේෂ බෝධි පූජාවක් පවත්වති. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් අනතුරුව 27 වැනිදා උදේ කිරි ආහාර පුජා කොට දිව්‍යරාජයින්ට පින් අනුමෝදන් කර ලක්වැසි සියලු දෙනාට සෙත් පැතීමෙන් කතරගම පින්කම අවසන් වේ.

ආපසු එන ගමනේදී රත්නපුර මහ සමන් දේවාලයට පැමිණෙන පිරිස බුද්ධ පූජාව පවත්වා සුමන දිව්‍ය රාජයන්ට පුණ්‍යානුමෝදනා කරති.

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි.
26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 01 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]