UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක පදවිය හා ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ජිනවරවංශ මංගල ධර්ම කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර දේවසුමන’ ගෞරව නාමයෙන් පිදුම් ලබන කළුතර කටුකුරුන්ද ශ්‍රී සුසීමාරාමාධිපති රාජකීය පණ්ඩිත විද්‍යානිධ

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක පදවිය හා ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ජිනවරවංශ මංගල ධර්ම කීර්ති ශ්‍රී සද්ධර්මවාගීශ්වර දේවසුමන’ ගෞරව නාමයෙන් පිදුම් ලබන කළුතර කටුකුරුන්ද ශ්‍රී සුසීමාරාමාධිපති රාජකීය පණ්ඩිත විද්‍යානිධි

ආඳාවල දේවසිරි නා හිමි

අභිනව නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය උත්සවය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම 28 වන දා පස්වරු 3 ට කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී සිදු කැරේ. පිළිගැනීමේ උත්සවය කළුතර කටුකුරුන්ද ශ්‍රී සුසීමාරාමයේ දී මෙම 29 වන දා පස්වරු 3 ට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ධර්ම විනයධර මහ තෙරුන් වහන්සේ නමක්

පිදිය යුත්තන් පුදන සංඝ සභාවක් වන අප උතුම් සංඝ සභාවෙන් කළුතර තොටමුණ සංඝනායක පදවියෙන් බුහුමන් ලබන පණ්ඩිත ආඳාවල දේවසිරි මහාස්ථවිර පාදයන් වහන්සේට උක්ත සංඝනායක පදවිය පිළිබඳ අක්ත පත්‍රය ප්‍රදානය කිරීමට ලැබීම අපට ද විශේෂ සතුටක් ඇතිකරන කරුණක් වේ.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කොට ධර්මවිනයධර මහතෙරුන් වහන්සේ නමක් වන දේවසිරි ස්ථවිර පාදයන් වහන්සේ ආගමික, අධ්‍යාපනික හා සාමාජික වශයෙන් රටදැය සමයට සිදුකර ඇත්තේ බෙහෙවින්ම ප්‍රශංසනීය සේවාවකි. උන්වහන්සේගේ අපවාද උපවාදයන්ගෙන් තොර ආදර්ශමත් චර්යාව පමණක් වුවද බොහෝ දෙනාගේ සම්මානයට පාත්‍ර වූවකි. තව තවත් ලෝසසුන් වැඩ වැඩුමට කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක පණ්ඩිත ආඳාවල දේවසිරි ස්ථවිර පාදයන් වහන්සේට තුනුරුවන්ගේ ආශීර්වාද ලැබේවායි ආශිංසනය කරම්හ.


නිහතමානී යතිවරයෙකි

කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන, කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන හා රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන යන පරිවේණස්ථානයන්හි ආචාර්යවරයන්වහන්සේ නමක් හා පරිවේණාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ආඳාවල දේවසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මඟින් කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක පදවියෙන් බුහුමන් ලබන මේ අවස්ථාවේ දී ආශිර්වාද කරනුයේ අපමණ සතුටකිනි.

තථාගත ධර්මය මෙන්ම සිංහල, පාලි, සංස්කෘත ඇතුළු ප්‍රාචීන භාෂා විෂයෙහි ගැඹුරු පාණ්ඩිත්‍යකින් හෙබි ආඳාවල දේවසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සැබැවින්ම පඬිවරයෙකි. සංඝනේතෘවරයෙකි. සැහැල්ලු පැවැතුම් ඇතිව සංඝ සෝභන ගුණයන්ගෙන් ජීවිතය සරසාගත් නිහතමානී යතිවරයෙකි.

බහුජන හිතසුව පිණිස ධර්මදූත සේවාවේ නියැලීම බුදුරදුන් භික්‍ෂුවට නියම කළ කාර්යයකි. එය මැනවින් ඉටුකළ ධර්ම විනය ධර මහතෙරවරු සැමදා ධර්ම පී‍්‍රතියෙන් යුතුව කාලය ගත කරති. සසුන් අඹරෙහි කනක තරුවක් ලෙසින් දිදුලන කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක පණ්ඩිත ආඳාවල දේවසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට තවදුරටත් ලෝ සසුන් වැඩ වැඩුමට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.


සුවිශාල කාර්යභාරයක් සම්පූර්ණ කළ යතිවරයෙක්

යමෙක් ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධරවේද එසේම ධර්මයට අනුව පවතින්නේ ධර්මචාරී වේද එබඳු භික්‍ෂුව වනාහි සංඝසෝභන යතිවරයෙකි. මෙම බුද්ධවචනය සනාථ කරන ආඳාවල දේවසිරි මහා ස්ථවිර පාදයන් වහන්සේ අප උතුම් සංඝ සභාවෙන් බුහුමනට ලක්කිරීමට අවස්ථාව ලැබීම හැමට සතුට දනවන්නකි.

අල්පේච්ඡ ජීවිතයත්, නිරහංකාර පැවැත්මත්, බණ පොත අනුව ගත කරන ජීවිතයත් නිසා ගිහිපැවිදි හැමදෙනාගේ නොමද ගෞරවයට ලක් වී ඇති දේවසිරි හිමියන් ආගමික වශයෙන් මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද සුවිශාල කාර්යභාරයක් සම්පූර්ණ කළ යතිවරයෙකු වේ.

ශාසනික ප්‍රවෘජ්‍යාව ලැබීමෙන් පුරා වර්ෂ හැටහතක් තුළ කරගෙන ආ ආගමික මෙන්ම ධර්මශාස්ත්‍රීය සේවය ස්වායත්ත සංඝ සභාවේ ඉහළ ඇගයීමට ලක් වූ බව ප්‍රකට කෙරෙන උන්වහන්සේට ප්‍රදානය කෙරෙන කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක පදවිය උපයෝගී කරගෙන ඉදිරියටත් මහඟු ශාසනික සේවාවක් සිදුවනු නොඅනුමානය. සසුන් කෙත තවදුරටත් සරු කරන්නට පණ්ඩිත ආඳාවල දේවසිරි ස්ථවිර පාදයන් වහන්සේට රත්නත්‍රයේ ආශීර්වාද ලැබේවායි ආශිංසනය කරම්හ.


ආශිංසනය කරමු

කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන සද්ධර්ම කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී ආඳාවල දේවසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 2013.12.28 වැනිදින පස්වරුවේ කෝට්ටේ රාජමහාවිහාර සිරිමංගල උපෝෂථාගාරයේ දී අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුරතින් ආඳාවල දේවසිරි ස්වාමිපාදයෝ කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවියේ ශ්‍රී සන්නස්පත්‍ර ලබන උන්වහන්සේ ලෝකශාසනික මහමෙහෙවරක නියුක්ත මහායතිවරයාණ කෙනෙකි.

සිල්වත්බව, නැණවත්බව, සරලබව, ආදී සංඝශෝභන ගුණවලින් යුක්ත උන්වහන්සේ, කළුතර ධර්මවිජය පිරිවෙණ, කෝට්ටේ පැරකුම්බා පිරිවෙන, රත්මලානේ පරමධර්ම චේතිය පිරිවෙණ ආදී ආයතනවල ධර්මශාස්ත්‍රීය සේවයේ නිරත වූහ. පාලි අට්ටකතා සිංහලයට පරිවර්තනය කළහ. එසේම දඹදිව බුද්ධගයාවේ වැඩ සිටිමින් විදේශීය ධර්මදූත සේවයේ ද යෙදුණහ. සියල්ලටම වඩා උන්වහන්සේ ආදර්ශවත් භික්‍ෂූන් වහන්සේ නමක් බව සියල්ලෝම අවිවාදයෙන් පිළිගනිති. උන්වහන්සේට නිදුක්ව නිරෝගීව ශාසනික සේවාව ශතවර්ෂාධික කාලයක් සිදු කිරීමට දිගාසිරි වේවා යැයි මෙම අවස්ථාවේ ආශිංසනය කරමු.


ආඳාවල දේවසිරි නාහිමි

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව විසින් කළුතර කටුකුරුන්ද ශ්‍රී සුසීමාරාමාධිපති, රාජකීය පණ්ඩිත, ආඳාවල දේවසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම 2013 දෙසැම්බර් 28 දින කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කළුතර අලුත්ගම ආඳාවල නම් ගමෙහි විජේසූරිය ආරච්චිගේ කරෝලිස් අප්පුහාමි සහ ජයසුන්දරගේ සාපිනෝනා යන දම්පතීන් දෙදෙනාගේ සයදෙනෙකු වූ දූ පුතුන් අතර, තුන්වන පුත්‍රරත්නය ලෙස 1929 අපේ‍්‍රල් 13 වන දින මෙලොව ජන්ම ලාභය ලැබූ උන්වහන්සේට සිය දෙමව්පියන් විසින් විජේසූරිය ආරච්චිගේ සිරිසේන ලෙස නම් තැබූහ.

කුඩා කල ඩබ්ලිව්. ඒ. සිරිසේන ලෙස පාසල් අධ්‍යාපනය ලැබූවේ අලුත්ගම ආඳාවල මහා විද්‍යාලයෙනි. තම සීයා වූද, කුශාග්‍ර බුද්ධිමත් පඬිවරයෙකු වූ ආඳාවල සාරානන්ද නා හිමිපානන්ගේ සම්බන්ධකම මත 1947 අපේ‍්‍රල් මස වයස අවුරුදු 18 ක තරුණයෙකු වශයෙන් එදා කළුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පරිවේණාධ්‍යක්‍ෂ දෙදියවල දේවසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ආඳාවල දේවසිරි නාහිමිපාණෝ ප්‍රවෘජ්‍ය භූමියට ඇතුලත් විය.

ශාසනික වත්පිළිවෙත් පිළිබඳ මූලික දැනුම සිය ගුරුදේවයන් වූ දෙදියවල දේවසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ලබා ශ්‍රමණාකල්පයන්ගෙන් පරිපූර්ණ වූ ආඳාවල දේවසිරි හිමියෝ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනෙන් මූලික පැවිදි අධ්‍යාපනය ලබා ගත්හ. එහිදී ලබුගම ශ්‍රී ලංකානන්දාභිධාන මහා නා හිමිපාණන්ගේ ඇසුරෙන් උගත මනා බණ දහම් පිළිබඳ ප්‍රවීණත්වයට පත්වීමට තරම් උන්වහන්සේ භාග්‍යවන්ත විය. මූලික පැවිදි අධ්‍යාපනය සාර්ථකව නිම කළ ආඳාවල දේවසිරි සාමණේරයන් වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුලත්ව වර්ග පටිපාටියෙන් පාලි, සිංහල, සංස්කෘත, ඉංගී‍්‍රසි, ව්‍යාකරණ, ඡන්දොලංකාර යනාදි භාෂා ශාස්ත්‍රයන් මනාව හදාරා එම විද්‍යාස්ථානයෙන් පිරිනමන විද්‍යානිධි උපාධිය ලබා ගත්හ. එවක ප්‍රචලිත වූ විද්‍යෝදය ගුරුකුලයේදි දක්ෂ ලෙස ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ උන්වහන්සේ ප්‍රාචීන, භාෂෝපාකාර සමාගම මගින් පවත්වනු ලැබූූ ප්‍රාචීන අවසාන විභාගයෙන්ද සාමර්ථය ලැබූහ. උන්වහන්සේ කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදි උපාධිය ලබා පිරිවෙන් අධ්‍යාපනයෙන් මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන්ද ශික්ෂිතධර්ම විනයධර දැනුමෙන් පෝෂිත වු පඬිවරයාණන් වහන්සේ නමක් වූහ.

1953 ජුනි 18 වන දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභායත්ත සිරි මංගල උපෝසථාගාරයේදි දෙදියවල දේවසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදාවට පත් ආඳාවල දේවසිරි හිමිපාණෝ ගුරුවෘත්තිය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීම සඳහා රත්මලානේ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව දෙවර්ෂ ගුරු පුහුණුවකින් පසුව විශිෂ්ඨ ධර්මාචාර්යවරයෙකු ලෙස පිරිවෙන් කිහිපයකම සේවය කළ අතර, උන්වහන්සේ රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙනේ පරිවේණාධිපති ධුරයද හෙබවූ අතර, ඉන් විශ්‍රාම ලැබීමෙන් අනතුරුව එහි සම්මාන පරිවේණාධිපති ධූරයද හොබවමින් විශිෂ්ඨ වූ ශාසනික අධ්‍යාපන මෙහෙයක් ඉටු කළහ.

ඉන්දීය මහාබෝධි සමාගමේ ආරාධනය පරිදි භාරත දේශයට වැඩම කළ පණ්ඩිත ආඳාවල දේවසිරි නාහිමිපාණෝ බුද්ධගයාවේ හා සාරානාත් බෞද්ධ මධ්‍යස්ථාන වල ආගමික කටයුතු උපදේශකයෙකු ලෙස සය අවුරුද්දක් ධර්ම ප්‍රචාර කටයුතු වල නිරත විය.එහිදී සිල් මාතා වරුන්ටද තෙවළා බුදු දහම මනා ලෙස උගන්වමින් සිල්මාතාවන් රැසක් ධර්ම විනය ධාරිනී බවට පත් කළහ. උතුම් වූ බුද්ධෝත්පත්තිය සිදුවූ භාරත දේශයේ බුද්ධගයාවට තමන් වහන්සේගේ උසස් ශාසනික ධර්ම දූත සේවය ලබාදුන් උන්වහන්සේ බුද්ධගයාවේ වැඩ සිටි අවධියේදි බුද්ධගයාව හා ඒ ආශි‍්‍රත බෞද්ධ ස්ථානවලට ගොස් නිරීක්‍ෂණය කොට ලබාගත් දැණුම හා අත්දැකීම් ආශ්‍රයෙන් “බෝමැඩ කරා” නම්වූ ග්‍රන්ථය රචනා කරන ලදී. භාරත දේශයේ බෞද්ධ පරිසරය පිළිබඳව මෙන්ම ශාක්‍ය,කෝලිය, කපිලවස්තු, පිළිබඳ ත්‍රිපිඨකාගත පුරා වෘත්තයන්ද, ලුම්බිණියේදී සිදුවූ බෝසත් උපතේ සිට බුද්ධගයා බෝමැඩදී බුදුබව ලබා සත් සතිය ගත කිරීම ඇතුළු ප්‍රධාන සිදුවීම් මෙම ග්‍රන්ථයෙන් උන්වහන්සේ මනාව සවිස්තර කොට ඇත. තවද හේතුඵලවාදය නැමැති ග්‍රන්ථයද රචනා කොට ඇති ආඳාවල දේවසිරි නාහිමියෝ අටුවා පරිවර්තන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පාලි අට්ට කථා සිංහලයට පරිවර්තනය කොට ඇත.

දෙදියවල දේවසුමන නාහිමියන් වෙනුවෙන් කටුකුරුන්ද ශ්‍රී සුසීමාරාමයේ විහාරාධිපති ධූරය භාරගැනීම පිණිස ශ්‍රී ලංකාවට නැවත වැඩම කළ පණ්ඩිත ආඳාවල දේවසිරි නා හිමියෝ එතැන් සිට මේ දක්වා එම විහාරස්ථානයේ දියුණුවට මෙන්ම ප්‍රදේශවාසි බෞද්ධ ජනයාගේ බුද්ධාලම්භන සිතිවිලි ප්‍රබෝධමත් කිරීම සඳහාද අතිමහත්වු ශාසනික සේවාවක් සිදු කොට ඇත. කටුකුරුන්ද ශ්‍රී සුසීමාරාමයේ අභිනවයෙන් චෛත්‍යයක් ඉදිකිරීම සහ නව ධර්ම ශාලාවක් ඉදිකිරීම ඇතුලු අඩු පාඩුව පැවති බොහෝ විහාරාංගයන් එකතු කොට දියුණූ පමුණු කළහ. විහාරස්ථ දායක දායිකාවන්ගේ මෙන්ම කළුතර ප්‍රදේශවාසි සියලුම ජනතාවගේ ප්‍රසාදයට ලක්වූ යතිවරයාණන් වහන්සේ නමක් වන පණ්ඩිත ආඳාවල දේවසිරි නා හිමිපාණෝ සැහැල්ලු සිල්වත්, ගුණවත් යුක්තිගරුක, ධර්මකාමී, පැවිදි ජීවිතයක් ගත කරමින් ශාසනය පෝෂණය කරමින් වැඩ වසන බව උන්වහන්සේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසි ජනතාව පවසති.

රාජකීය පණ්ඩිත බෝදාගම සුමනජෝති හිමියෝ මෙන්ම ශාස්ත්‍රපති නෙලුවේ ආනන්ද හිමියෝද ආඳාවල දේවසිරි නාහිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන් වන අතර, ජ්‍යෙෂ්ඨ පැවිදි ශිෂ්‍ය වරයන් වහන්සේ වනුයේ පනාපිටියේ විජිතනන්ද හිමියෝය. නේපාලයේ ධම්මසිරි සාමණේරයන් වහන්සේ ඇතුළු තවත් දෙස් විදෙස් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා කිහිප නමකගේ ගුරුදේවයන් වහන්සේ වශයෙන්ද කටයුතු කරති.

පාලි භාෂාව, පිළිබඳව ප්‍රාමාණික පඬිවරයෙකු ලෙස සම්මානනීය වන දේවසිරි නාහිමියන් විද්වත් ශාස්ත්‍ර ලෝකයට මෙන්ම සැදැහැති ජනයාට සිදු කරනු ලබන ධර්ම ශාස්ත්‍රිය සේවාව අගයනු වස් කෝට්ටේ ශ්‍රී‍්‍ර කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් කළුතර තොටමුණ ප්‍රධාන සංඝ නායක ධූරය පිරිනමා ඇත. එම සංඝ සභාවේ මහානායක ගෞරවාර්හ බෙල්ලන ශ්‍රී ඤාණවිමලාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේගේ සුරතින් දෙසැම්බර් මස 28 වන දින සවස 3 ට කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ සිරිමංගල උපෝසථාගාරයේදී ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමට නියමිතව ඇත. අභිනව සංඝනායක ධූරයට පත් පණ්ඩිත ආඳාවල දේවසිරි නාහිමියන් පිළිගැනීම් වස් දෙසැම්බර් 29 වන දින කළුතර කටුකුරුන්දේ ශ්‍රී සුසීමාරාමයේදි ආගමික උත්සවය පැවැත්වේ. එම උත්සවය සඳහා අභිනව නායක හිමිපාණන් වහන්සේ කලුතර බෝධින් වහන්සේ අභියස සිට පෙරහරකින් ශ්‍රී සුසීමාරාමයට වැඩම කරවති. ප්‍රදේශවාසී ජනතා සහභාගිත්වයෙන් පැවැත්වෙන සියලු උත්සව සඳහා සම්භාවනීය මහා සංඝරත්නයද මැති ඇමතිවරු ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක්ද සහභාගි වීමට නියමිතය.


ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය

කළුතර කටුකුරුන්ද ශ්‍රී සුසීමාරාමාධිපති පණ්ඩිත ආඳාවල දේවසිරි ස්වාමීන් වහන්සේ සසුන්කෙතට සිදු කරන ලද මහා ශාසනික සේවය අගයනු වස් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි, සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාව විසින් උන්වහන්සේට කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම පිළිබඳව විහාරස්ථ දායකයෙකු ලෙස පුන්‍ය සිතින් සතුටුවෙමි.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මුලු ජීවිතයම කැපකොට සිටින දේවසිරිනායක හිමියන්ගේ ශාසනික අවවාද අනුශාසනා මත කටුකුරුන්ද ශ්‍රී සුසීමාරාමය සියලු විහාරාංගයන්ගෙන් පරිපූර්ණ වූ විහාරස්ථානයක් බවට පත් කිරීමේ කාර්යයට විහාරස්ථ දායක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම හිටපු සභාපතිවරයෙකු ලෙසද ප්‍රමුඛව දායක වීමට ලැබීම භාග්‍යයක් සේ සලකමි.

චිරාත්කාලයක් බොදු සිත් සතන් තව තවත් ධාර්මික කිරීමට අභිනව සංඝනායක පණ්ඩිත ආඳාවල දේවසිරි නාහිමියන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!


ආදර්ශවත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්

කටුකුරුන්ද ශ්‍රී සුසීමාරාමාධිපති රාජකීය පණ්ඩිත, විද්‍යානිධි ආඳාවල දේවසිරි ස්වාමීන් වහන්සේගේ ශාසනික සේවය අගයමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝසභායත්ත කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය ප්‍රදානය නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් භක්ති පූර්වකවයි.

සුවිශේෂ වශයෙන් කළුතර පුරවරයටත් මෙම දිස්ත්‍රික්කයටත් පොදුවේ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ආඳාවල දේවසිරි නාහිමියන් අපමණ සේවාවක් සිදුකරමින් වැඩවසති. ප්‍රදේශයේ ආගමික කටයුතු වල දී කවදත් නායකත්වය ලබා දෙන උන්වහන්සේගේ ධර්මඥානය පෘථුලය. තෙවලා බුද්ධවචනය විෂයෙහි තීක්‍ෂණ බුද්ධිප්‍රභාවයෙන් සමන්විත වෙති. බාල, තරුණ, මහලු හැමදෙනාටම ආදර්ශවත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වෙති.

ශතවර්ෂාධික කාලයක් නිරුපද්‍රිතව ලොවට, සසුනට වැඩකිරීමට කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක ආඳාවල දේවසිරි ස්වාමීන් වහන්සේට ශක්තිය, ධෛර්යය හා වාසනාව තුණුරුවන්ගේ ආශීර්වාද බලයෙන් ලැබේවායි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමි.

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි.
26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 01 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]