Print this Article


දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර – 2014 බුද්ධ චරිතය – 3 අභ්‍යාසය

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර – 2014 බුද්ධ චරිතය – 3 අභ්‍යාසය

1.අ.භික්ෂුණී ශාසනය පිහිටුවීම පිළිබඳව විස්තරයක් සපයන්න .

පිළිතුර :- බුදුරජාණන් වහන්සේ පස්වෙනි වස් කාලය විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙද්දී උන්වහන්සේ වෙත පැමිණි ප්‍රජාපතී ගෝතමිය පැවිද්ද ලබා දෙන්නැයි හඬමින් විහාර දොරටුවෙහි සිටියාය. ආනන්ද තෙරණුවන් විසින් මේ බව බුදුරජාණන් වහන්සේට දන්වන ලද නමුත් උන්වහන්සේ එය තුන්වන වර දක්වා ප්‍රතික්‍ෂේප කළහ.අනතුරුව ආනන්ද තෙරණුවෝ මව් ගුණ වර්ණනා කරමින් නැවත නැවතත් කරන ලද ඉල්ලීම නිසා කාන්තාවන්ගේ මාතෘත්වයට කරන ලද ගෞරවයක් වශයෙන්ද බුද්ධියට කරන ලද ඉල්ලීම නිසා ද කාන්තාවන්ගේ මාතෘත්වයට කරන ලද උපහාරයක් වශයෙන්ද අෂ්ටගරුධර්ම පනවා ප්‍රජාපතී දේවිය ප්‍රමුඛ කාන්තා පිරිසට පැවිදි උපසම්පදාව ලබා දීමෙන් බුද්ධ ශාසනයේ භික්‍ෂුණි ශාසනය ආරම්භ කරන ලදී. මෙය වනාහි බුද්ධ ශාසනයේ තවත් විශිෂ්ට ඉදිරි පියවරක් වූ අතර මිනිස් ඉතිහාසයේ කාන්තා පිරිස ලද විශිෂ්ට ජයග්‍රහණයක්ද විය.

ආ. ආනන්ද බෝධි රෝපණය පිළිබඳව කෙටි විස්තරයක් කරන්න.

පිළිතුර :-

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර නැති විට පැමිණෙන සැදැහැවතුනට වැඳ පුදා ගැනීම පිණිස ආනන්ද තෙරුන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් රැගෙනවිත් සැවැත්නුවර ජේතවනාරාමය ඉදිරිපිට රෝපණය කරන ලදී.ආනන්ද තෙරුණුවෝ ද අනාථපිණ්ඩික සිටුවරයාද මැදිහත් වී සිදු කළ නිසා “ආනන්ද බෝධිය” නමින් ප්‍රකට වූ අතර මෙය පාරිභෝගික චෛත්‍යයක් ලෙසින්ද සලකනු ලැබේ.

ඉ. දේවදත්ත භික්‍ෂූන් වහන්සේ ඉදිරිපත් කළ පංචවරය නම් කරන්න

1.භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තය තෙක් ආරණ්‍ය වාසී විය යුතුය
2. පිණ්ඩපාතික විය යුතුය
3.පාංශුකූලික විය යුතුය
4. වෘක්‍ෂ මූලික විය යුතුය
5. මත්ස්‍ය මාංශයෙන් වැළකිය යුතුය

02. අ.අන්තිම බුද්ධ වචනය කුමක්දැයි ලියා තථාගත පරිනිර්වානය සිදු වූ අකාරය ලියා දක්වන්න

අවසාන වරට භික්‍ෂු සංඝයා ඇමතූ බුදුරජාණන් වහන්සේ “ධර්මය පිළිබඳව යම් සැකයක් ඇතොත් දැන්ම විචාරා දැන ගන්න “ පසුවට පසුතැවිලි නොවන්න ” යැයි තුන්වන වර දක්වා ප්‍රකාශ කළහ. තමන්ට ධර්මයෙහි සැක තැන් නැති බව දන්වා භික්‍ෂූන් වහන්සේලා නිහඬ වූහ.

“හන්දානි භික්‍ඛවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” යැයි මහණෙනි, ඔබ අමතමි හේතු ප්‍රත්‍යයෙන් හට ගත් සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු වෙති. එබැවින් අප්‍රමාදව කුසල් දහම් සම්පාදනය කරන්න. මෙය බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනය වේ.

බුද්ධ පරිනිර්වානය සිදු කළ ආකාරය පිළිබඳව පෙළ දහමෙහි විස්තර වන්නේ ප්‍රථම ධ්‍යානයේ සිට චතුර්ථ ධ්‍යානය දක්වා පිළිවෙළින් වෙන, වෙනම සමාපත්තීන්ට සමවැදී අනතුරුව පෙරදිගින් අරුණලු නැගෙද්දි සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පැහැදිලි කරමින් තථාගත බුදුරජාණන් වහන්සේ නිරුපධිශේෂ පරිනිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ බවයි. වෙසක් පුන් පොහෝ දින පශ්චිම යාමයේ පිරිනිවන් පෑ වදාළ උන්වහන්සේගේ ශ්‍රී දේහයට මල්ල රජ දරුවන් විසින් සත් දිනක් පුරා පූජෝපහාර දක්වා සක්විති රජකෙනෙකුගේ මෙන් ශ්‍රී දේහය කපු පුළුනින් වෙලා රන් දෙනක තැන්පත් කොට ‘මකුට බන්ධන’ නම් ස්ථානයේ සඳුන් දර සෑයක් තුළ ආදාහන පූජෝත්සවය සිදු කරන ලදී.

ආ. බුදුරජාණන් වහන්සේගේ දෛනික දින චර්යාව ලියා දක්වන්න

පිළිතුර :-

බුදුරජාණන් වහන්සේ කවර ස්ථානයක වාසය කළත් උන්වහන්සේ නියමිත දින චර්යාවක් හෙවත් කාල සටහනකට අනුව දවසේ කටයුතු සිදු කළහ. ඒ අනුව උන්වහන්සේ දවස ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන් කොට ගෙන ඇති බව පෙනේ. එනම්

1.පෙරබත් කිස
2. පසුබත් කිස
3. පෙරයම් කිස
4. මැදියම් කිස
5. පැසළුයම් කිස

පෙරබත් කිස යනු පෙරවරු කාලයයි. එම කාලය තුළ උදෑසන මුව දෝවනය කිරීම, පිඬුසිගා යෑම, මදක් විවේකයෙන් ගත කිරීම, ආරාධනයක් ඇතොත් ධර්මය දේශනා කිරීම, භික්‍ෂූන් වහන්සේලාගේ සියලු දෙනාම වැඩම කළ බව උපස්ථායක තෙරණුවන් දැන්වූ පසු ගඳකිළියට වැඩම කිරීම මෙම කාලය තුළ සිදුවූ වැදගත් දේවල්ය.

පසුබත් කිස යනු දහවල් කාලයේ සිට හිරු බැස යන තෙක් කාලය තුළ සිදු වන වැදගත්ම දේවල්ය.

පෙරයම් කිස කාලය තුළ නහන කොටුවට වැඩමවා පිරිසුදු වීම උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි පිරිස සමග සාකච්ඡා කිරීම සිදුවේ.

මැදියම් කිස වෙන්වන්නේ දෙවි බඹුන් උදෙසාය. ඔවුන් විවිධ ප්‍රශ්න විචාරති. ඔවුනට ඒවා තෝරා දෙමින් දහම් දේශනා කරති.

පැසුළුයම් කිස අවස්ථාව යාම තුනකට බෙදා ගෙන කටයුතු කරති. එහි මුල් කොටස සක්මන් කරමින් කාලය ගත කරති. දෙවන අවස්ථාව ගඳකිළියට ගොස් සිංහ සෙය්‍යාවෙන් දකුණු ඇළයට හැරී සුවසේ සැතපී වදාරති. පශ්චිම යාමයේ එනම් අලුයම කාලයේ මහා කරුණාවෙන් ලොව දෙස බලා ඔවුන්ට පිහිට වෙති. බුදුරජාණන් වහන්සේ සිය දින චර්යාව ගත කරන්නේ මේ ආකාරයෙන්ය.

ඉ. බුදු සසුනෙහි අග්‍රස්ථාන ලත් මහ තෙරවරුන් සතර දෙනෙක් හා තෙරණියන් වහන්සේලා සතර දෙනෙක් නම් කරන්න.

බුදුරජාණන් වහන්සේ සිය ශාසනයෙහි විවිධ දක්‍ෂතා ඇති රහතන් වහන්සේලාට ඔවුන්ගේ හැකියාව මුල් කරගෙන තනතුරු ප්‍රදානය කොට තිබේ. එවැනි තනතුරුධාරි රහතන් වහන්සේලා (42) හතළිස් දෙනමක් පමණ සිටිය බව පොත්පත්වල සඳහන් වේ. එම පිරිස අතුරින්,

1. දිවැස් ඇත්තවුන් අතරින් අග්‍ර වූයේ අනුරුද්ධ තෙරණුවන්ය
2. මධුර ස්වර ඇත්තවුන් අතර අග්‍ර වූයේ ලකුණ්ඨක භද්දිය තෙරණුවන්ය
3. අග්‍රලාභීන් අතර අග්‍ර වූයේ සීවලී තෙරණුවන් ය
4. විචිත්‍ර කථිකයන් අතර අග්‍ර වූයේ කුමාර කාශ්‍යප තෙරණුවන්ය

තෙරණියන් වහන්සේලා 13 දෙනෙකු පිළිබඳ සඳහන් වන අතර,

1. ධර්ම කථිකාවියන් අතර- ධම්මදින්නා තෙරණිය අග්‍ර විය
2. දිවැස් ඇත්තියන් අතර – සකුලා තෙරණිය අග්‍ර විය
3. අධික ශ්‍රද්ධා ඇත්තියන් අතර – සිගාලමාතා තෙරණිය අග්‍ර විය
4. විනයධර ඇත්තියන් අතර – පටාචාරා තෙරණිය අග්‍ර විය