Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

කොස්ගොඩ සරණංකර තිස්ස මහා නා හිමි

අමරපුර මූලවංශික මහා නිකායේ මහා නායක, ශාස්ත්‍රවේදී සිරි පවර සරණපාල ශ්‍රී වංසාවතංස සරණ කීර්ති ශ්‍රී මානව හිත සුධීශ්වර ප්‍රවචනාලංකාර ශාසනජෝති කොස්ගොඩ සරණංකර තිස්ස මහා නාහිමියන්ගේ දිවි ගමනෙහි හැත්තෑ නව වන ජන්ම දිනය 2013.12.15 දිනට යෙදී තිබිණි.

බලපිටි පුරවරයේ කොස්ගොඩ ග්‍රාමයේ දී 1935 දෙසැම්බර් මස 15 වන දින අහුන්ගල්ලේ එගොඩමුල්ල උස්වත්තේ විසූ විතාරණ ලිසින්හාමි ද සිල්වා මාතාවට හා කොස්ගොඩ ගොඩගම විසූ එම් ඉරාලිස් ද සිල්වා පියාණන්ගේ පස් වැනි පුත්‍රරත්නය වශයෙන් මෙලොව උපත ලද කුමරුවාණන් 1948 වසරේ මැයි මාසයේ දී සිදු වූ දෛවෝප ගත සිදුවීමකින් පසු 1949 වසරේ අගෝස්තු 03 වන දින පැවිදි දිවියට ඇතුළත් වූයේ කොස්ගොඩ සරණංකර යන පැවිදි නාමය සහිතවය.

පැවිදි බිමට ඇතුළත් වූ උන්වහන්සේ සසුන්කෙත සරණට අවැසි සිප්සතර විද්‍යාස්ථාන පහකින් ලබා ගෙන ඇත. එනම් කොස්ගොඩ ගොඩපිටිය සිරි රතන පිරිවෙණ, බලපිටිය වැලිතර අඹගහපිටියේ සුගත සාසනෝදය පිරිවෙණ, කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන හා කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය හා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ යන විද්‍යාස්ථාන වේ. ඉගෙනීමෙහි අති දක්‍ෂ වූ උන්වහන්සේ 1965 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය දිනා ගත්හ.

සරණංකර තිස්ස මහා නාහිමිපාණෝ තම පැවිදි දිවි මඟට ආලෝකයක් ශක්තියක් ළ¼ගා කර ගනිමින් 1957 ජූනි 11 දින බලපිටිය මෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදා භූමියට ඇතුළත් වූහ. කොස්ගොඩ සරණංකර තිස්ස මහා නාහිමිපාණන් ගේ පැවිදි දිවි මඟට ආලෝකය ළඟා කර ගැනීමට නිබඳව ශක්තියක් වූයේ උන්වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ වූ රාජකීය පණ්ඩිත අහුන්ගල්ලේ විමලකිත්ති තිස්ස මහා නාහිමියන් හා ආචාර්යවරයාණන් වහන්සේ වූ කොස්ගොඩ සරණපාල තිස්ස හිමියන් ය.

ආගමික, සංස්කෘතික චිරස්ථිතිය උදෙසා අමරණීය මෙහෙයක් ඉටු කරමින් නිර්මල බුදු දහම තහවුරු කරනු පිණිස කැප වූ කොස්ගොඩ සරණංකර තිස්ස මහා නාහිමිපාණෝ තමන් ලද දැනුම සමස්ත සමාජයේ යහපත උදෙසා යෙදවීම උන්වහන්සේගේ අභිප්‍රාය විය. උන්වහන්සේ 1967 දී කයිකාවල ප්‍රාචීණ භාරතී පිරිවෙනෙහි හිමිවරුන්ට අධ්‍යාපනය ලබා දුන් අතර 1972 දී වැලිතර පුෂ්පාරාමස්ථ විද්‍යෝභාෂ පිරිවෙණ අරඹා එහිද අධ්‍යාපනය ලබා දුන්හ. 1976 දී මොණරාගල, තණමල්විල මො/කලවැල්වල කනිටු විදුහලේ ද 1978 – 1995 වන තෙක් කොස්ගොඩ හෑගල්ල මහා විද්‍යාලයේ ද 1980 සිට සේවයෙන් විශ්‍රාම යනතුරු නාහිමියෝ හෑගල්ල මහා විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයාණන් ලෙසින් කටයුතු සිදු කරමින් මතු පරපුරෙහි නැණ පහන් දැල්වීම උදෙසා මහත් කැපවීමෙන් ක්‍රියා කළ හිමිනමකි.

ශාස්ත්‍රීය අංශයට සේම මිනිසුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා නිරතුරු කැප වෙමින් උන්වහන්සේ අභිනවයෙන් චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ඉදිකොට 1992 දී වැඩම කිරීම, ගොඩගම පුරාණ චේතියාසන්න ආරාමය අංගසම්පූර්ණ කිරීම හා 1971.10.01 දින සිරි සරණපාල නමින් දහම් පාසලක් ආරම්භ කරමින් දැයේ දූ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දී සමාජය සාරධර්ම වලින් පරිපූර්ණ කරලීමට අවැසි වටපිටාවක් මෙලෙසින් දායාද කිරීමට උන්වහන්සේ කැප වී ක්‍රියා කළහ.

කොස්ගොඩ සරණංකර තිස්ස මහා නා හිමියන්ගේ ජීවන චරිතයෙහි ඉතා වැදගත්ම අංගය නම් පරාර්ථචර්යාවයි. ආගමික කටයුතු වලින් පමණක් නොව සමාජීය කටයුතු වලින් ද උන්වහන්සේ ඉතා විශිෂ්ට සේවාවක් ඉටු කරන ලදී. නිරන්තරයෙන් සමාජ සේවයට කැපවුණු උන්වහන්සේ 1980.02.09 දින ගොඩගමට විදුලිය පහසුකම් ලබා දීම තුළින් ගොඩගම ග්‍රාමය විදුලියෙන් ආලෝක කිරීමට අවශ්‍ය සියලු වියදම් දැරුවේ උන්වහන්සේ ස්වකැමැත්තෙනි. එමෙන්ම ගොඩගම, නාපේ සම්බන්ධ කර 1981 දී තම පෞද්ගලික වියදමින් ගමනාගමනය උදෙසා විධිමත් ලෙසින් මාර්ගයක් සකස් කර දෙමින් සමාජීය මෙහෙවරට උන්වහන්සේ සිය දායකත්වය සැපයූහ.

කොස්ගොඩ සරණංකර තිස්ස මහා නාහිමිපාණන්ට තව දුරටත් මෙවන් වූ ආගමික සාමාජික මෙහෙවරයන්හි නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන අතර සිය හැත්තෑ නව වන ජන්ම දිනය සමරන ලද නාහිමිපාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනුහසින් දිගාසිරි පතනෙමු.


බටපොල නන්ද නා හිමි

දක්‍ෂිණ ලංකාවේ ගාලු වැල්ලබඩ පත්තුවේ අම්බලන්ගොඩ බටපොල ග්‍රාමයේ සුභද්‍රාරාම විහාරයේ අධිපතිව වැඩ විසූ ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ මහානායක බටපොල අනෝමදස්සී මහ නා හිමියන්ගේ ශිෂ්‍ය ශාස්ත්‍රපතිබටපොල නන්ද හිමියෝ බටපොල සුභද්‍රාරාම මහා විහාරයෙහි අධිපති ධුරය හොබවමින් 2013 දෙසැම්බර් මස 29 වන දිනට ස්වකීය පැවිදි දිවියේ පනස් වසර සම්පූර්ණ කරති.

1955 අපි‍්‍රයෙල් 29 වන දින බටපොල පොල්ලැව්වේ කේ.ටී. පේදිරිස් සිල්වා සහ ඒ.එම්. ලෝරනෝනා යන මවුපිය යුවළගේ කනිටු පුතු ලෙස ජන්ම ලාභය ලද කුමරුවන්ට ආනන්ද ලාල් නම ලැබුණේය.

ශාස්ත්‍රෝද්ග්‍රහණය පිණිස “පන්සලේ ඉස්කෝලය “ නමින් හැඳින්වුණු බටපොල බෞද්ධ මිශ්‍ර‍්‍ර පාඨශාලාවට ඇතුළත් කෙරුණේය. පසුව කල්‍යාණතිස්ස විද්‍යාලයට ඇතුළත්ව අට වන විය ගෙවෙන්නට මත්තෙන් ඔහු පැවිදි කරවීමේ තීරණයට මවුපිියෝ එළඹ සිටියහ.

1963 දෙසැම්බර් මස 29 වන දින එකුමරු හට බටපොල අනෝමදස්සී නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බවත් “බටපොල නන්ද” අභිධානයත් ලැබෙන අතර, බද්දේගම රතනසාර විශ්වවිද්‍යාල පිරිවෙනට පිවිසීමේ භාග්‍ය උදා කර ගත්හ.

උන්වහන්සේ 1975 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

1979 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගන්නා උන්වහන්සේ එම වසරේදී ම සාමණේර අවධියේ පටන් තමන්ට ඥානා ලෝකය සැපයූ බද්දේගම රතනසාර විශ්වවිද්‍යාල පිරිවෙනෙහි ආචාර්ය පදවියකට පත්වූහ.

1983 රජයෙන් ලද ගුරුපත්වීමකට අනුව නන්ද ස්වාමීන්ද්‍රයෝ මැදිරිගිරිය යාය 8 විදුහලට වැඩම කර එහි වැඩ භාර ගත්හ. 1989 කොළඹ ශාන්ත මයිකල් විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස උසස් වීමක් ද සහිතව ස්ථාන මාරුවක් ලබන නන්ද හිමියෝ 2001 වසර දක්වා එහි සේවය කළහ.

බෝධිය වටා රන් වැටක් සවිකරවු උන්වහන්සේ විහාරස්ථානය වටා මීටර් 500 පමණ දිගට විහිදෙන අඩි 12කට වඩා පුළුල් මාවත කාපට් අතුරවා පැති බැමි බැඳ පන්සල් භුමිය වටා සුවිසල් ප්‍රාකාරයක් ඉදිකර වුහ.

බටපොල සුභද්‍රාරාම මහා විහාරාධිපති , විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය බටපොල නන්ද නා හිමිපාණන් ලෝ සසුන් වැඩ වඩනු සඳහා නිදුක් නීරෝගීව සත වස් කල් ආයු රක්‍ෂා කෙරේවා!


සිටිනාමළුවේ ශ්‍රී පියතිස්ස මා හිමි

දකුණුලක රුහුණු ගිරුවාපත්තුවේ තංගල්ල, සිටිනාමළුව අලුත්වැවමුලන ග්‍රාමයේදී 1924 අගෝස්තු මස 03 වන දින මෙලොව එළිය දුටු දොන් නිකුලස්හාමි පින්වත් කුල කුමරුවාගේ දෙමාපියන් වූයේ දොන් අන්දිරිස් එදිරිසිංහ උපාසක මහතා සහ මුණසිංහ ආරච්චිගේ එන්සොහාමි මහෝපාසිකාව යන දම්පතීන්ය.

මෙම කුමරා පාසල් අධ්‍යාපනය මනාව ලබමින් සිටියදී තංගල්ල වගේගොඩ රන්කොත්මළු රාජමහා විහාරය ඇතුළු විහාරයන්හි ආධිපත්‍ය ඉසුලූ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී ස්වර්ණජෝති මහෝපාධ්‍යාය වගේගොඩ ශ්‍රී සුමංගලාභිධාන නා හිමියන් වෙත පැවිදි කිරීම සඳහා මවුපියන් විසින් භාරදෙන ලදී, මූලික බණ දහම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වගේගොඩ රන්කොත්මළු රාජමහා විහාරාධිකාරි විචිත්‍රභාණී මුරුංගස්යායේ පියරතන හා විචිත්‍රභාණී නාරද්දේ පේමසිරි මහා සවාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් වගේගොඩ සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් 1939 ජූලි මස 29 වන දින සිටිනාමළුවේ පියතිස්ස නමින් සඟ සසුනට එක්විය.

ස්වකීය ගුරුවරුන්ගේ ආභාෂයෙන් මූලික බණ දහම් සපුරා අධ්‍යාපන කටයුතු සඳහා තංගල්ල වනවාසී කුඩා විහාරස්ථ ශ්‍රී ධම්මදින්න පිරිවෙණට ඇතුළත් වූහ. වැඩිදුර අධ්‍යාපනය සඳහා කැලණිය පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුලත්ව ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම විභාග සමත්ව 1944 මැයි 26 වන දින මල්වතු මහා විහාර උපෝසථාගාරයේදි උපසම්පදා ශීලයෙහි පිහිටියහ. 1950 දී ඓතිහාසික කැලණිය රාජමහා විහාරයට අයත් කිත්සිරිමෙවන් රාජමහා විහාරස්ථානයට ලෝක පූජිත වත්තල සීලරතන හා විද්‍යාවේදී තලේවෙල විජිත ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ඇරයුමෙන් වැඩමකොට එම ප්‍රදේශය මූලික කරගෙන ආගමික, සාමාජික, සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කරන ලදී. සියලු විහාරාරාංගයන්ගෙන් සමන්විත විහාර භූමියක් ලෙස කිත්සිරි මෙවන් රාජමහා විහාරය ගොඩ නංවන ලදී. 2007 වර්ෂයේ තම ජීවන මගෙහි 84 වන වියට පා තබද්දි තම පැවිදි භූමියට වැඩම කිරීමට තීරණය කලහ. එවකට රන්කොත්මළු රාජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදි දබරැල්ලේ වනරතන නායක මාහිමිපාණන් වහන්සේ ගේ ආශිර්වාද මැද තම පැවිදි භූමියට පා තැබූ සිටිනාමළුවේ හාමුදුරුවෝ අපවත් වන තුරුම රන්කොත්මළු වෙහෙර බිම ප්‍රතිසංස්කරණයට ලක් කරමින් සැමදා දියුණුව ප්‍රාර්ථනා කලහ.

2012 දෙසැම්බර් 02 වන දින උන්වහන්සේ අපවත් වී වදාලහ. අපවත් වීමෙන් වසරක් සපිරි 2013 දෙසැම්බර් මස 02 වන දින රන්කොත්මළු විහාර පූජාභූමියේදී සුවිශේෂී ගිලන්පස බුද්ධපූජා වැඩසටහනක්ද දෙසැම්බර් 16 වන උදුවප් පොහෝය දින දවස පුරා විශේෂ ආගමික වැඩසටහන් සිදු කොට 17 වන දින සතාධික මහා දානමය පින්කමක් පැවැත්විණි. මෙකී පින් බලෙන් අපවත් වී වදාල සිටිනාමළුවේ ශ්‍රී පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව අත්වේවා!