Print this Article


හෙළ කතට සැනසුමේ මඟ විවර කළ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ

හෙළ කතට සැනසුමේ මඟ විවර කළ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ

ක්‍රි.පූ. 236 දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුදහම හඳුන්වා දී නොබෝ දිනකින්ම ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ විය. උන්වහන්සේ ලක්දිවට වැඩම කළ දෙවන දිනයේම රජගෙදර පිරිසට දහම් දෙසූහ. ධර්මය ශ්‍රවණය කළ පිරිස අතර වැඩි දෙනෙක් කාන්තාවෝ වූහ. බණ අසා බුදුදහම කෙරෙහි ප්‍රසාදයට පත් අනුලා දේවිය ඇතුළු කාන්තාවෝ බුදුසසුනේ පැවිදි වීමට කැමැත්ත පළ කළහ.

මේ කරුණ මිහිඳු මහ රහතන් වහන්සේ වෙත දේවානම්පියතිස්ස රජතුමා විසින් දන්වනු ලැබුවද බුද්ධ නියමය අනුව භික්ෂූන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බව මිහිඳු මාහිමියෝ රජුට පැවසූහ. ඒ සඳහා ධර්මාශෝක රජතුමා වෙත දූතයන් යවා තම නැගණිය වූ සංඝමිත්තා තෙරණිය කැඳවා ගත යුතු බවද දන්වා සිටියහ. ඒ අනුව මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දෙවන පෑතිස් රජතුමා විසින් සඟමිත් තෙරණිය කැඳවාගෙන ඒම පිණිස අරිට්ඨ ඇමැති ප්‍රමුඛ දූත පිරිසක් ධර්මාශෝක රජු වෙත යවනු ලැබීය. සංඝමිත්තා මෙහෙණීන් වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් අනුලා දේවිය ඇතුළු බොහෝ කුල ස්ත්‍රිහු දස ශීලය ආරක්ෂා කරමින් තමන් වෙනුවෙන් කරවන ලද උපාසිකාරාමයක දවස් යැවූහ. දෙවන පෑතිස් රජුගේ ඉල්ලීමට අනුව ධර්මාශෝක රජතුමා විසින් සංඝමිත්තා තෙරණිය ප්‍රමඛ භික්ෂුණීන් පිරිසක් ලංකාවට එවන ලදී. බුද්ධ වර්ෂ 237 දී උඳුවප් මස පුරපක්ෂයෙහි පෑළවිය දවස්හි ඉන්දියාවේ තාමුලිප්තියෙන් නැව් නැඟි සංඝමිත්තාවන් ප්‍රමුඛ පිරිස සත් දිනකින් ලක්දිව දඹකොළ පටුනට වැඩම කළහ.

ලක්දිව භික්ෂුණී සමාජය ඇති කිරීම සඳහා පැමිණි සංඝමිත්තා තෙරණිය ඇතුළු තරුණ, භික්ෂුණීන් දස දෙනෙකු වන උත්තරා ,හේමා, මසාරගල්ලා, අග්ගිමිත්තා , දාසිකා, ඵෙග්ගු පඛ්බතා, මත්තා, මල්ල, ධම්ම දාසියා යන පිරිස උත්තර භාරතයේ සිට රාජධානි තුනක් පසු කරමින් වින්ධ්‍යා කඳුකරය ඔස්සේ ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් මුහුදු වෙරළට පැමිණ ලක්දිවට ගොඩබැසීම සඳහා නැව් නැංග ආකාරය දීපවංශය සඳහන් කරයි.

සඟමිත් තෙරණිය සමඟ පැමිණි භික්ෂුණීහු” පහ වූ රාග ඇති සමාහිත සිත් ඇති පිරිසුදු සිත් සතන් ඇති ධර්ම විනයෙහි ඇළුණු සිව් ආශ්‍රව ක්ෂය කළ ති‍්‍රවිධ්‍යා ප්‍රාප්ත වූ ඍද්ධි විකුර්වණයෙහි අති දක්ෂ අරිහත් ඵලයෙහි පිහිටියා වූ අය බව

“ එත්තකා තා භික්ඛුණියෝ වීතරාග සමාහිතා
ඕදාත මන සංකප්පා සද්ධම්භ විනයේ රතා
ඛීණාසවා වසිප්පත්තා තේ විජ්ජා ඉද්ධි කෝවිදා”
(දීපවංශය)

රජ ගෙදරක ඉපිද සියලු සැප සම්පත් විඳි සංඝමිත්තාවෝ නිසි වයසට පත්වුණ විටදී, අශෝක අධිරාජ්‍යයා විසින් අග්ගි බ්‍රහ්ම නම් කුමාරයාට විවාහ කර දුන්නේය. මෙම දෙපළ ඉතා වාසනාවන්ත ගිහි ජීවිතයක් ගත කළහ. මේ යුවළට “සුමන” නම් පුණ්‍යවන්ත කුමරෙකු ලැබුණි. පසු කාලීනව අශෝක අධිරාජ්‍යයාගේ ධර්ම විජය ප්‍රතිපත්තිය මගින් බුදුදහම ව්‍යාප්ත කෙරුණු අතර වෙහෙර විහාර පමණක් නොව තම දරුවන් වන මහින්ද කුමරු සංඝමිත්තා කුමරිය, අග්ගි බ්‍රහ්ම කුමරු 05 හැවිරිදි සුමන කුමරුද සසුන් ගත වූහ. ආයුපාලී නම් මහරහත් මෙහෙණීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ද ධම්මපාලී නම් මහරහත් මෙහෙණින් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සංඝමිත්තා කුමරිය භික්ෂුණී ශාසනයේ පැවිදි වූවාය. නොබෝ දිනකින් සඟමිත් තෙරණිය සියලු කෙලෙසුන් නිසා උතුම් වූ රහත් ඵලයට පත් වූවාය.

සඟමිත් කුමරිය පැවිදි නූනත් මිහිඳු කුමරුගේ පැවිද්දෙන් පමණක් වුවද ධර්මාශෝක රජතුමා ශාසනයේ උරුමකරුවකු බවට පත්වේ. එහෙත් ඇයද සිය කැමැත්තෙන් ඉදිරිපත් වීමෙන් සලසා ගත්තේ මහත් සෙතකි. විශේෂයෙන් ලක්වැසියනට එතුමියගේ පැවිද්ද නිසා සිදූවූයේ මහත් සැනසීමකි. අර්ථ සිද්ධියකි. මහින්ද තෙරුන්ගේ ඉල්ලීම අනුව පිය රජතුමාගේද ආශිර්වාදය ඇතිව සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කළසේක.

සඟමිත් තෙරණියගේ ලංකාගමනය නිසා මෙහි ශාසන වංශ කථාවේ අතිශයින් වැදගත් සිද්ධි 02 ක් සටහන්ව ඇත.

1. එකල ලක්දිව යුවරජුගේ බිසව වූ අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් පැවිදි කිරීමෙන් ලංකා භික්ෂුණි සමාජය ආරම්භ වීම

2. අනුරාධපුර ශුද්ධ භූමියේ අද දක්වාම ආරක්ෂා වී ඇති ශ්‍රී ලාංකික බෞද්ධයාගේ ඉමහත් ගෞරවයට පාත්‍රවූ ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය කිරීමයි.

බුදුසමය ලක්දිවට පැමිණෙන විට ලාංකේය ජනයා වෘක්ෂ වන්දනාවට පුරුදුව සිටියහ. ඔවුනට ඊට වඩා අර්ථවත් වන්දනා ක්‍රමයක් හඳුන්වා දීමේ අරමුණ ශ්‍රී මහා බෝධි ශාඛාව මෙරටට වැඩම වීමට හේතුවිය. ජනතාවට බුදුදහම වඩාත් සමීප කරවීමේ මාධ්‍යයක් ලෙසත් බෞද්ධ පූජා විධි හඳුන්වා දීමේ මුල් පියවරක් ලෙසත් ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වීමේ සිද්ධිය අතිශය වැදගත්ය. කලා ශිල්ප පිළිබඳව මෙරට ඇතිවූ පුනරුදය එහිලා ප්‍රධානය.

අශෝක රජතුමා මහා බෝධිය ආරක්ෂා කරනු පිණිසත් එයට තේවා විධි පැවැත්වීම පිණිසත් රජ කුමරුවන් අට දෙනෙකුන් ප්‍රධාන කොට ඇති කුල රැසකට අයත් විශාල පිරිසක්ද එවීය. මේ අතර ශිල්ප ශ්‍රේණිය 18 කට අයත් ශිල්පීන් සිටි බව වංශ කථාවේ සඳහන්වේ. ඔවුන් විසින් එවකට ඉන්දියාවේ වැඩි දියුණු වී පැවැති ගෘහ නිර්මාණ, කැටයම් මූර්ති චිත්‍ර මෙන්ම වෙනත් කර්මාන්ත ද ලංකාවට හඳුන්වා දෙන ලදී.ගංඟා නම් නදියේ සරසන ලද නැවක ශ්‍රී මහා බෝධින් වහන්සේ වඩා හිඳුවා තාමුලිප්ති තොටට පැමිණියේය. රජතුමා මුහුදු තීරයෙහි බෝධින් වහන්සේ වඩා හිඳුවා දඹදිව රාජ්‍යයෙන් පිදීය .උඳුවප් මස ශූක්ල පක්ෂයෙහි පෑලවිය දිනයෙහි බෝධිරාජයා ඔසවාගෙන ගී‍්‍රවය දක්වා ජලයේ බැස නැවෙහි තැම්පත් කළේය. නැවේ සිටි පිරිස අමතා අශෝක රජු ප්‍රකාශ කළේ “ මම තුන් වරක් දඹදිව රාජ්‍යයෙන් බෝධිරාජයා පිදුවෙමි. මගේ මිත්‍ර රජතුමාද එසේම කෙරේවා..” යනුවෙනි. ලක්දිවට වැඩම කළ මෙම පිරිස දෙවනපෑතිස් රජු විසින් මහත් හරසරින් පිළිගත්තේය. අලංකාර පෙරහරකින් අනුරාධපුර මහමෙව්නා උයන වෙත කැඳවාගෙන ගියේය.

සඟමිත් තෙරණිය විසින් වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධින් වහන්සේ ද මෙරට සංස්කෘතික පෝෂණයට මහත් සේ බලපා ඇත. බෝධින් වහන්සේ මුල්කරගෙන බෝධි වංශය වැනි සාහිත්‍ය කෘතිද බෝධිඝර වැනි විවිධ කලාකෘතිද ද බිහි විය. බෝධි වන්දනාව මෙරට ජන සංස්කෘතිය නව මඟකට යොමු කළේය. මේ සියල්ලෙන් පෙනී යන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතික පෝෂණයට සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගෙන් සිදුවූ සේවයයි.

සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කළේ භාරතයේ භික්‍ෂූණී ශාසනය ආරම්භ වී සියවස් 03 කට පසුවය. දහස් සංඛ්‍යාත කාන්තා පිරිසක් සංඝමිත්තාවන්ගෙන් පැවිද්ද ලැබීය. උපාසිකා විහාරය ඔවුන්ගේ වාසය සඳහා ප්‍රමාණවත් නොවීය. එබැවින් දෙවන පෑතිස් රජු මෙහෙණින් සඳහා එහි චූලංගන , මහාංගන සිරිවඩ්ඪ යන මන්දිර 03 ඇතුළුව ආරාම 12 ක් ඉදිකරවා දුන් බව මහාවංශයේ සඳහන් වේ. සංඝමිත්තාවන් ඇතුළු පිරිස පැමිණි නැවෙහි උපකරණද මෙම මන්දිරවල තැම්පත් කර ඇත. සංඝමිත්තා තෙරණිය උපාසිකා විහාරයෙහි වාසය කළද එය භික්ෂුණීන්ගෙන් ආකීර්ණ වූ නිසා විවේකීව වසනු කැමැතිව චේතියගිරියට පැමිණියාය. ඒ බව දැනගත් දෙවන පෑතිස් රජතුමා හත්ථාළ්හක මෙහෙණවර කරවා පිදූ බව මහාවංශයෙහි සඳහන් වේ.

ශතවර්ෂ ගණනාවක් යනතුරුම ක්‍රියාත්මක වූ ලංකා භික්ෂුණී සමාජය නිසා කාන්තාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ඉමහත් ශාන්තියක් සැලසුණි. විශේෂයෙන් ශ්‍රී ලාංකේය කාන්තාවගේ අධ්‍යාත්මික ප්‍රබෝධය කෙරෙහි එය මහත් බලපෑමක් කළේය. ශ්‍රී ලාංකික කාන්තාවගේ විමුක්තිදායිකාව සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේය. ලක්දිව කාන්තාවට පැවිදිව සසර දුකින් මිදීමටත් පැවිදි නොවූ අයට වුවද සමාජයේ ඉදිරියෙන් සිටීමටත් ඉඩකඩ සැලසුනේ සඟමිත් තෙරණිය වැඩම කළ නිසයි. සඟමිත්තෙරණිය ධර්මාශෝක මහරජතුමාගේ සහ දේවි නම් බිසවගේ එකම දියණියයි. මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණියයි. තරුණ වියේ පසු වූ ඇය රජ සැප හැර දමා පැවිදි වීමෙන් කළේ උදාර පරිත්‍යාගයකි. එසේම තම පියාණන් සිදුකළ වටිනා ශාසනික සේවයට අර්ථවත් අයුරින් දායක වීමකි. එතෙක් බුදුසසුනේ ප්‍රත්‍ය දායකයෙකු පමණක් වූ පිය රජතුමාට සසුනේ උරුමකරුවකු වීමට සංඝමිත්තා කුමරියගේ පැවිදි වීමද හේතුවිය. සංඝමිත්තා තෙරණිය අනුලා බිසව ඇතුළු දහස් ගණන් මාගමුන් මහණ කරවා සික්ඛමානා සාමණේරියන් උපසම්පදා කරවා අධිශීල, අධිචිත්ත අධිප්‍රඥා සංඛ්‍යාත ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මවා සර්වඥ ශාසනය වර්ධනය කළ බව සිංහල බෝධිවංශයෙහි දැක්වේ.

දෙවන පෑතිස් රජු දවස ආරම්භ වූ භික්ෂූණී සමාජය ඒ කාලයේදීම සීඝ්‍රයෙන් දියුණු වූ නමුත් ඉන් පසුව රජ වූ උත්තිය රජුගේ රාජ්‍ය සමයේ 9 වන වර්ෂයේ සංඝමිත්තා මහා රහත් තෙරණියගේ පිරිනිවන් පෑමෙන් පසු ක්‍රමයෙන් භික්ෂුණී සමාජයේ පරිහානියක් දක්නට ලැබේ. උත්තිය රාජ සමයේ සඟමිත් තෙරණිය පිරිනිවන් පාන විට පනස් නව වැනි වියෙහි පසු වූවාය. මෙරටට වැඩම කළදා සිට පිරිනිවන් පාන තෙක්ම උන්වහන්සේගේ ජීවිතය කැපවූයේ ලාංකිකයන් වෙනුවෙනි.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලු දෙනාම සංඝමිත්තා රහත් තෙරණියගේ ගුණයට ගෞරව දක්වනු වස් වාර්ෂික සංඝමිත්තා පෙරහර ශීල භාවනා වැඩසටහන්, සඟමිත්, පිළිරුවට පූජා සත්කාර සිදු කිරීම ආදි කුශලමය ක්‍රියාවන්ගෙන් පැහැදිලිය.