UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරපුර දොළොස් මහේ දාන ශාලාව

අනුරපුර දොළොස් මහේ දාන ශාලාව

අතිගරු ජනපතිඳුන්ගේ ගමන් මගට ආශිර්වාද කරමින් ස්වර්ණමාලී පින්බිමේ ස්ථාපනය කළ දොළොස් මහේ් මහා දාන ශාලාව දෙවර්ෂ පූර්ණය කළ වගයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය වූ අනුරාධපුර පුරවරය ඓතිහාසික බෞද්ධ උරුමයේ කේන්ද්‍රස්ථානය විය. ක්‍රි.පූ. තුන්වන සියවසේ සිදුවූ මහින්දාගමනයෙන් අනතුරුව මේ භූමිය බෞද්ධ සංකල්පයන් ඔස්සේ ගොඩනැගුණ මහා රාජධානියක් විය. ධර්මානුකූල දිවිපෙවෙතකට හුරු වූ ජනතාවක් විසූ එහි ආගමික වත්පිළිවෙත් නිරන්තරවම සිදු විය. ජය ශ්‍රී මහා බෝ රදුන් මෙන්ම එවකට දළදා වහන්සේ ද වැඩ සිටි මේ නගරයේ නිරන්තරව දාන මාන කටයුතු සිදු කළ බව වංශ කථා මෙන්ම ශිලා ලේඛන තුළින්ද තහවුරු වෙයි. සුවිශාල වූ භික්ෂූන් වහන්සේ පිරිසකට සංඝාවාස වූ මේ පුරයෙහි භික්ෂූන් වහන්සේලාට දන් සැපයීම සඳහා හාල් සේදු වතුර ගලා ගිය ඇල මාර්ගය පසුව “හාල්පානු ඇල” ලෙස නම් ලැබූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. පැරණි දළඳා මාලිගය අසල තිබූ මහා පාලි දාන ශාලාව අඛණ්ඩව දානය සැපයු දන්සැලක් ලෙස ප්‍රසිද්ධව පැවති බවට ලේඛන ගත සාක්‍ෂි පවතී.


දොළොස් මහේ දාන ශාලාවේදී ජනපතිතුමන් දන් බෙදීමට එක් වෙමින් .... අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරුද මෙහි වේ

එදා නුවර සතර වාසල දන්සැල් පැවති භූමියේ ශ්‍රී විභූතිය වියැකී යද්දී වල් බිහිවූ පුරවරය යළි ජනාවාස වෙද්දී පෞරාණික බෞද්ධ ස්මාරක පිළිසකර වෙද්දී අපේ දානමය සිතිවිල්ල වෙසක් පොසොන් දිනවලට පමණක් සීමා වී පැවතුණි. එහෙත් දිනපතා අනුරාධපුරය පින් බිමට පැමිණෙන දහස් ගණනක් වූ සැදැහැවතුන් සා පවසින් පීඩා විඳිමින් අනේක විද දුක් පීඩා විඳින බව අත්දැකීමෙන්ම අවබෝධ කරගත් ජන නායකයෙක් මේ තත්වයට විසදුම් සොයමින් පෙරමුණ ගත්තේය. පැරැණි නගරයට එන බැතිමතුන්ට ප්‍රණීත ආහාර වේලකින් සංග්‍රහ කිරීමේ අදිටන පෙරදැරිව මේ සඳහා පෙරමුණ ගත්තේ එවකට ගොවිජන හා වනජීවි අමාත්‍යවරයා වූ එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමාය. එතුමන්ගේ සොයුරු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වන එස්.එම්. රංජිත් සමරකෝන් මැතිතුමා ද මේ සත්කාරය සඳහා සිය සොහොයුරා සමගින් අත්වැල් බැඳගත්තේ පාරම්පරික රාජ්‍ය මෙහෙවරක් යළි මේ බිමේ ඇරඹීමේ අරමුණ පෙරදැරිවය.

බිහිසුනු යුධ බිය නිවාරණය කරමින් තුන් හෙළය පුරා සාමයේ අරුණළු ගලා යද්දී එම ත්‍රස්ත උවදුර මැඩපැවැත්වීමට පුරෝගාමී වූ ශ්‍රී‍්‍ර ලංකා ජනාධිපති අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ දෙවැනි පදවිප්‍රාප්තියේ පළමු වර්ෂය සැමරුන 2011 නොවැම්බර් 17 වැනි දින ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන්ගේ සෙවනේ ඉදිවුණ දොළොස්මහේ මහා දන්සල සුවහසක් සැදැහැවතුන්ගේ හිත සුව පිණිස විවෘත විය.

කුරිරු ත්‍රස්තවාදයෙන් සසල වී ගිය දේශයක් යළි සමෘද්ධිමත්ව නැගී සිටීමට පෙළ ගැසුන මොහොතක අඛණ්ඩව යන දානමය පින්කමක් හේතුවෙන් රටට යස ඉසුරු සම්පත් ලැබේවා යන ප්‍රාර්ථනය මෙන්ම රටක් දිනා දැයක් සුවපත් කළ ජනාධිපතිතුමන්ගේ නායකත්වය චිරාත් කාලයක් දැයට උරුම වේවා යන ආශිර්වාදය ද පෙරදැරිව අරඹන ලද මේ මහා දානමය පින්කම 2013 නොවැම්බර් 19 වන දිනට අති සාර්ථක දෙවර්ෂ පූර්ණය සැමරූහ. මෙම දන් වැට මෙහෙවරේ පුරෝගාමියා වූ එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යතුමාත් සම සභාපතිත්වය දරන උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වන එස්.එම්. රංජිත් සමරකෝන් මැතිතුමාත් නිරන්තරව මෙම දානමය කුසල කර්මයට දායකත්වය සපයමින් නොයෙකුත් ආයතන හා සංවිධානවල අනුග්‍රහය ලබා දෙමින් උපරිම කැපවීමකින් කටයුතු කරන්නාහ.

අදටත් රජ රට ජන නායකත්වයේ පසුවන එස්.එම්. චන්ද්‍රසේන හා එස්.එම්. රංජිත් සමරකෝන් සහෝදර එකමුතුව අර්ථවත් මෙහෙවරකට ඇප කැප වූ නායකයන් වූහ. දේශයම යුධ බියෙන් සසල වූ යුගයක අතිගරු ජනපතිඳුන් ඇතුළු යුධ විරුවන්ට සෙත් පතා ශ්‍රී ලංකා ධරණිතලය එක්සේසත් කිරීමට ආශිර්වාද කරමින් රන්වැලි පින්බිමේ පැවැත්වූ දොළොස්මහේ මහා පරිත්‍රාණ දේශනාව සමස්ත ජාතියේම භක්ති පූජාවට පාත්‍ර වූහ. එවන්වූ මහා ආශිර්වාද පින්කමක් තුළින් ලද සාර්ථක ප්‍රතිඵලයෙන් අනතුරුව ඇරඹි, මේ දොළොස් මහේ බත් දන්සල අද වන විටද සුවහසක් බැතිමතුන් සා පිපාසා නිවා රස මුලින් පෝෂණය කර සුවිශාල ආගමික මෙහෙවරක නියැලෙමින් පවතී.

ගැමි එකමුතුවෙන් ගැමි හැදියාවෙන් ගැමි සාරධර්ම තුළින් මනාව පෝෂණය ලද රජරට ජන නායකත්වය හොබවන මේ සහෝදර එකමුතුව ජාතික මෙහෙවර මෙන්ම ආගමික මෙහෙවරට ද මුල් තැන දෙමින් කටයුතු කිරීම ජනතාවට ආශිර්වාදයකි.

ශ්‍රී‍්‍ර ලංකාව තුළ අතීතයේ සිට යම් යම් කාලවල ඇති වූ යුධ බිය මෙන්ම දුර්භික්ෂ බිය සඳහා ද ත්‍රිවිධ රත්නයේ බල මහිමය හා පරිත්‍රාන ධර්ම දේශනාවල ආශිර්වාදය ද ලබා ඇති බව අපේ වංශකතාවල සඳහන් වේ. එදා මෙන්ම අදත් එවන් ව්‍යසන වලදී ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව ආගමික වත් පිළිවෙත්වල යෙදෙමින් දේශයේ පැවැත්මට අප කැප වුණ රාජ්‍ය නායකයන් අතුරින් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ වේ. එම මාර්ගෝපදේශනයෙන් පන්නරය ලද එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යතුමා මෙන්ම රංජිත් සමරකෝන් ප්‍රධාන අමාත්‍යතුමා ද ජාතික හා ප්‍රාදේශීය වශයෙන් කවර කාර්යයක දී වුවද පන්සල කේන්ද්‍රකොට ගත් වත්පිළිවෙතට ප්‍රමුඛස්ථානය දීම අනිවාර්ය කෙරේ.

මේ දොළොස්මහේ ස්වර්ණමාලි මහා දන්සල ද ඒ ආගමික අනුගාමිත්වයේ විශේෂ අවස්ථාවක් ලෙස හැඳීන්විය හැක. එදා අටමස්ථානයට පැමිණී වන්දනා නඩ දවස මුළුල්ලේ ගමන් මලු කරේ එල්ලාගෙන පා ගමනින් අපරිමිත වෙහෙස විඳිමින් පිපාසාවෙන් පීඩා වින්දහ. අද සිය වන්දනා මානයෙන් අනතුරුව එන්නේ මේ මහා බත් දන්සල වෙතය. පැන් පහසින් විඩා නිවා සිතැගි පරිදි ප්‍රණීත ආහාර වේලකින් සැනහී බැතිබරව සිත් සතන් පහන් වී යන මේ වන්දනා නඩවලින් ලැබෙන ස්තුති ප්‍රශංසා මෙන්ම ලැබෙන පින් අනුමෝදනාව ද මේ මහඟු ආගමික මෙහෙවරේ වඩ වඩාත් පලදායි වීමට මහත් පිටුවහලක් වී ඇත.

ගරුතර මහා සංඝරත්නය අතිගරු ජනාධිපතිතුමාත් ප්‍රමුඛ මැති ඇමැති වරුන්ගේද පහසලත් මේ මහා දන්සල එතුමන්ලාගේ ආශිර්වාදයෙන් මේ සා දියුණු තත්ත්වයට පත් වී ඇති බවද සඳහන් කළ යුතුය. ජාත්‍යන්තරව ඇගයීමට ලක් වූ මෙවන් අති උතුම් පින්කමක බෞද්ධ අනන්‍යතාවයේ උරුමයක් මේ මහා දන්වැට පූජාව නිර්ලෝභී දායකත්වයක ත්‍යාගශීලි බව කියාපාන උදාර කර්තව්‍යයකි.

මානව අයිතිවාසිකම පිළිබඳ ව මත දොඩවන ඇතැම් විජාතික බලවේගයන්ට මානව ගුණ ධර්මයන්ගෙන් පරිපූර්ණ දනට පිනට ලැදි ජනතාවකගේ සැදැහැවැත් බව කියාපාන සංකේතයක් වූ මේ දොළොස් මහේ දන්සැල දෙවර්ෂ පූර්ණයෙන් ඔබ්බට චිරාත් කාලයක් පුරා සැදැහැවතුන්ගේ හිත සුව පිණිස පවත්වා ගැනීමට ඇප කැප වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මැතිඳුන් හා එස්.එම්. රංජිත් සමරකෝන් මැතිඳුන් නිරන්තරව ඇප කැප වී පුරෝගාමී මෙහෙවරක නියැලෙමින් සිටිති.

ගරුතර මහා සංඝරත්නයේ මෙන්ම අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයේ ආශීර්වාද ලද මේ මහා සද්කාර්යය සම්බුද්ධ සාසනයේ උන්නතියට මෙන්ම අතිගරු ජනාධිපතිතුමන්ගේ රාජ්‍ය පාලනයේ චිර ජීවනය සඳහා ද මහෝපකාරි වන මහා පින්කමක් වනු නොඅනුමානය.

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]