Print this Article


මක්කානිගොඩ අස්සජි හිමි

 මක්කානිගොඩ අස්සජි හිමි

දසවන වියෙහිදී පැවිදි දිවියට පත්ව, සැට වන විය දක්වා පනස් වසරක් පුරා අඛණ්ඩව පැවිදි පිළිවෙත් සුරැකිමින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ රැඳෙමින් හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ විහාරාධිකාරීව වැඩ වෙසෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසලෙහි විද්‍යාලයාධිපති ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජි හිමිපාණෝ සසුනඹර පෑයූ පුරසඳක් සේ බැබළෙමින්, ඉතා කැපවීමෙන් යුක්තව අධ්‍යාපන, සමාජයීය, සාසනික හා ආගමික කටයුතුවල යෙදෙමින් වැඩ වෙසෙති.

මෙම අධ්‍යාපන වර්ෂය නිමවීමත් සමඟ උන්වහන්සේ තිස් පස් වසරක අඛණ්ඩ ගුරු සේවාවෙන් හා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයෙහි ධ්ධ්ධ් පන්තියේ රැඳී සිටියදී මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසලෙහි විද්‍යාලයාධිපති තනතුරෙන් විශ්‍රාම ලැබීමට නියමිතය.

මීට හැට වසරකට පෙර ඒ. පී. ජේමිස් අප්පුහාමි හා ලොකුගමගේ ඇලිස්නෝනා යන උපාසක, උපාසිකා යුවළට දාව මක්කානිගොඩ ග්‍රාමයේදී ජන්ම ලාභය ලැබූ උන්වහන්සේගේ ගිහි නාමය ඒ. පී. සුබසිංහ විය. හාපිටිගම මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ අස්සජි හිමියෝ 1964 අප්‍රේල් 22 දින කල්එළිය හාපිටිගම ශ්‍රී ජයසුමනාරාම මූල මහා පිරිවෙන් විහාරස්ථානයේදී හාපිටිගම ශ්‍රී ජයසුමනාරාම පරිවේණාධිපති පණ්ඩිත මක්කානිගොඩ ඤාණකිත්ති මාහිමියන්ගේ ආචාරත්වයෙන් සසුන් ගතවූහ.

පැවිදි වීමෙන් පසු කළුතර තෙඹුවන ග්‍රන්ථාකර පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනය ලත් අස්සජි සාමණේර හිමියෝ ඉන්පසුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ මාහිමිපාණන් යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයීය මහ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූහ. මේ යුගය උන්වහන්සේගේ ප්‍රවුජ්‍යා දිවියෙහි දීප්තිමත්ම කාලය විය.

ඊට මූලිකම හේතුව වූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත මාතලේ සාසන තිලක මාහිමිපාණන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහාලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත මාතලේ ධම්මකුසල මාහිමිපාණන් ඇසුරෙහි මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමයෙහි නේවාසිකව සිට සසුන් පිළිවෙත් හා අධ්‍යයන කටයුතු කරගෙන යෑමට හැකිවීමය.

1974 ජුලි මස කළුතර කලුගඟේ උදකුක්ඛෙප සීමාමාලකයේදී උපසම්පදාවෙහි පිහිටීම සිදුවූයේ කීර්තිමත් යතිවරයාණන් වහන්සේ නමක වූ පූජ්‍යතර හාපිටිගම සිරිනන්ද නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙනි.

1979 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලත් උන්වහන්සේ 1992 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියද දිනා ගත්හ. 1993දී බෞද්ධ හා පාලි හා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද ලැබූහ. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ i හා ii ශ්‍රේණි විභාග සමත් වූ උන්වහන්සේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයෙහි iii පන්තියට ද උසස්වීම් ලැබූහ. 2001 බස්නාහිර පළාත් ගුරු උපහාර උළෙලේදී ජනාධිපතිනිය අතින් විද්‍යානිකේත කීර්ති ගෞරව නාම සම්මානය සමඟින් රන් පදක්කම් ලැබීම හා 2012 අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ගුරු ප්‍රතිභා උපහාර උළෙලේදී ජනාධිපතිතුමා වෙතින් සම්මාන ලැබීමද උන්වහන්සේ ලත් භාග්‍යයකි. උප ගුරුවරයෙකු ලෙස 1979 වර්ෂයේදී කුරුණෑගල ගල්ගමුව මයිලෑව මහ විද්‍යාලයට සබඳ වූ උන්වහන්සේ සිය අධ්‍යයන චාරිකාව තුළ 1984 වසර ආරම්භයේ සිට කෙටි කලක් ගම් / පෑලියගොඩ විජය විද්‍යාලයෙහිද, සේවය කොට එම වසරේ මධ්‍ය භාගයේ සිට 1998 වසරේ අවසාන භාගය දක්වා කොළඹ මෝදර ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයෙහි විද්‍යාලයාධිපති ධුරය දරමින් විශිෂ්ට සේවාවක නිරත වූහ.

එම යුගය තුළ එම පාසල ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පරිවර්තනය කළ උන්වහන්සේ එහි ප්‍රථම වරට උසස් පෙළ පන්ති ආරම්භ කිරීම, තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම, දර්ශනීය පිවිසුම් දොරටුව ගොඩනැ¼ගීම, පාසල් දරුවෝ ආරක්ෂා කර ගැනීම සඳහා පාසල වටකොට තාප්පයක් ඉදිකිරීම හා වාර්ෂිකව පවත්වන මිහිඳු පෙරහර ආරම්භ කිරීම සිය පාලන කාලය තුළ මා පිය, ආදි සිසු හා රාජ්‍ය සබඳතා උපරිම ලෙස සම්බන්ධී කරගෙන සිදු කිරීමට සමත්වූහ.

මිනු / පස්යාල මහා විද්‍යාලයෙහි නව පරිපාලන ව්‍යුහයක් ඇති කිරීමේ අභියෝගයද සමගින් 1999 වර්ෂයේ ජනවාරි පළමුවන දින උන්වහ්නසේ එහි විද්‍යාලයාධිපති ධුරයට පත්කරනු ලැබූහ. කොළඹ පාසලක විදුහල්පතිවරයෙකු වශයෙන් ලැබූ විවිධාකාර අත්දැකීම් නිසාවෙන් උන්වහන්සේ, එම පාසල යළි ප්‍රතිසංවිධානය කොට ගුරු දෙගුරු, සිසු ගුරු හා ආදි සිසු බල මුළු සම¼ගින් උරෙනුර ගැටී කටයුතු කිරීමෙන් එම පාසල ප්‍රදේශයේ ඇගැයීමට පත්වූ පාසලක් ලෙස නගා සිටුවීම සඳහා සිය නායකත්ව භූ®මිකාව මෙහෙයවීමට සමත් වූහ. එම කාල පරාසය තුළ විදුහලෙහි රැස්වීම් ශාලාව, උසස් පෙළ විද්‍යාගාරය, පිවිසුම් ද්වාරය, මායිම් තාප්පය, පරිගණක විද්‍යාගාරය හා මිහිඳු පෙරහර ඇරඹීම ආදී විවිධාකාරවූ කටයුතු රාශියක් උන්වහන්සේ විසින් ක්‍රියාවට නංවන ලදී.

දස වසරකට ආසන්න කාලයන් එහි විදුහල්පතිධුරය දැරූ අස්සජි නාහිමිපාණෝ අනතුරුව සිය උපන් ප්‍රදේශයට වඩාත්මැ සමීප මීරිගම ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍ය්‍යාලයීය ජාතික පාසලේ අධිපතිත්වයට 2008 වසරේ ජූලි මස 21 වන දින සිට පත්වූහ.

එදා සිට අද දක්වා වූ කාලාන්තරය උන්වහන්සේගේ අත්දැකීම් බහුල අධ්‍යාපන චාරිකාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකීමට පිළිවන.

උන්වහන්සේ බොහෝ විට නිහඬය, නිසලය, එහෙත් අවැසි තැන නිර්භීතය, එඩිතරය, ක්‍රියාශීලීය, ඒ වගේම තීරණ ගැනීමේදී පැතිපිල්, වරප්‍රසාද හා තනතුරු තානාන්තර වෙනුවෙන් යථාර්තයට පිටුපාන අන්තගාමී භූ®මිකා වල කටයුතු නොකළ සෘජු ගතිවලින් පිරිපුන් චරිතයක්ම වූහ.

මේ යතිවර ගුණයම නිසා පාසල උන් වහන්සේගෙනුත්, උන්වහන්සේ පාසල නිසාත් බැබළීය.

35 වසරක්ද ඉක්මවා ගිය සිය වෘත්තීය කාලය තුළ උන්වහන්සේ ලබාගත් වරප්‍රසාද නිවාඩු සංඛ්‍යාවද ඉතාම අල්පය. එයද අත්‍යවශ්‍ය නොවැළැක්විය හැකිම කාරණාවක්ම හේතුවෙනි.

සිය ධුර කාලය තුළ අඛණ්ඩව වැඩ කළ දීර්ඝ කාල පරාස කිහිපයක්ම ඇති බැව් උන්වහන්සේම ප්‍රකාශ කළ අවස්ථා අපිද අසා ඇත්තෙමු.

උන්වහන්සේ වැඩ විසූ විහාරස්ථානයන්හි ප්‍රගතිය හා උන්නතිය වෙනුවෙන් හතර පේරුවේම දායක දායිකාවන් හා සබඳවී විහාරස්ථාන පිළිසකර ‍ෙකාට දර්ශනීය පුද බිම් සේ ඒවා නගා සිටුවීමටය.

එහි පාරදෘශ්‍ය නිදර්ශනය නම් හාපිටිගම ජයසුමනාරාම මූල මහා පිරිවෙන් විහාරස්ථානයයි.

හැටවන වියද සපුරන උන්වහන්සේ මේ දක්වාම සිය දිවි පෙවෙත කැප කළේ සසුන් දිවිචරියාවත්, රටට වැඩදායි දූ පුතුන් ජාතියට දායාද කිරීමට පාසල් පද්ධතිය හරහා සිය දැනුමත්, නිපුණත්වයත්, හැකියාවත් නිර්ලෝභීව ජනගත කිරීමටය.