Print this Article


පරලොවදී පිහිට වන ඥාතියා

පරලොවදී පිහිට වන ඥාතියා

කෙලවරක් නැති අනන්ත වූ මහා සසරේ සැරිසරන අපට නේවාසික වී සිටීමට බොහෝ ස්ථාන ඇත. එහෙත් එක ස්ථානයක නේවාසික වී සිටිය හැක්කේ ස්වල්ප කාලයකි. එතැනින් අකැමැත්තෙන්ම අස්වීයාමට සිදුවේ. එසේම, බොහෝ තැන්වල නතරවන්නට සිදු වන්නේ ද, බලවත් අකැමැත්තෙන් ය. මෙම කිසිම ස්ථානයක ස්ථිර අයිතියක් කවරෙකුටවත් නැත.

අනන්ත දීර්ඝ වූ මෙම සසරේ ඇවිදින අපට නතරවීමට ඇති ස්ථාන මෙසේය. බ්‍රහ්ම ලෝක, දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝකය, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, නිරය, අසුර නිකාය යන මේවාය.

එම ස්ථාන අතුරෙන් ඇතැම් තැන්වල, විවේකයෙන් ද, පී‍්‍රතියෙන් ද, පස්කම් සැපයෙන් ද, දුක, සැප මිශ්‍රවද, තරමක දුක්වලින් ද, දරුණු දුක්වලින් ද, පිරී ඇත. කෙසේ වෙතත්, මෙම ස්ථාන තාවකාලිකය. එම නිසා විඩා සංසිඳුවා ගැනීම සඳහා අම්බලමක නතරවුණා සේ සිතට ගනිමු. කෙලවරක් නැති මෙම දිග සසරෙහි ගමන් කරන අපට ජය භූමියක් ඇත. යමෙක් එම ජයභූමියට පැමිණියේ නම්, ඔහුට එහි ස්ථිර අයිතියක්, ස්ථිර සැපයක් ඇත.

ඉතා දිග් වූ මේ සසර ගමන නුවණින් හා ප්‍රවේශමෙන් ගමන් කළොත්, සැපයට හේතු වේ. අපේ සිතිවිලි සතුන් මැරීමට, සතුන්ට හිංසා කිරීමට අනුන්ගේ දේ සොරෙන් ගන්නට, වැරැදි ලෙස පස්කම් සැප විඳීමට, බොරුව, කේලාම්, පරුෂ වචන, හිස් වචන කියන්නට පුරුදු වී සිටීද අනිවාර්යයෙන් නිරයට යනු ඇත. එසේම, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, අහංකාරය, රාගය, මසුරුකම, මෝහය, කුසීතකම ආදී නරක ගති ඇති අය ද, දුගතියට ඇද ගෙන යනු ඇත.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, ත්‍යාගය, ප්‍රඥාව ආදි උතුම් ගති ඇති අය යහපත් ස්ථානවල උපදිනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ, යමෙක් යහපත් තැන්වල නවාතැන් ගැනීමට කැමතිනම්, ඔහු යහපත් ගති පුරුදු කර ගත යුතු බවයි.

කය, වචනය, සිත යන තුන්දොර සංවර කරගෙන ඒවායින් සිදුවන අකුසල් නොකර දසකුසල් කරන තැනැත්තාට පරලොවදී සලකන්නේ එම පින නැමැති ඥාතියා ය.

එම නිසා, උතුම් ගති ඇති අයට, ගරු කළ යුතු ය. සත්කාර කළ යුතු ය. මෛත්‍රිය, කරුණාව ආදි ගුණධර්ම ඇති අය අගය කළ යුතු ය. එපමණකින් නො නැවතී එම උතුම් ගති තමන් තුළ ද ඇති කර ගත යුතු ය. සමහර අය මෛත්‍රිය ආදී උතුම් ගතිගුණ ඇති අයට ක්‍රෝධ කරයි. වෛර කරයි.

විවිධ කරුණු ඉගෙනගෙන ජීවිතය හොඳ පැත්තට යොමුකර ගැනීම සඳහා පොත ආධාරවෙයි. එම පොතට වැන්දාට ප්‍රමාණවත් නොවේ. පොත හොඳින් කියවා එහි ඇති කරුණු අනුව ජීවිතය මනාව සකස්කර ගත යුතු ය. එමෙන්, සත් පුරුෂයන්ට ගරු කළාට මදි, එම සත්පුරුෂයන් දෙන අවවාද අනුව තම ජීවිතය හසුරුවා ගත යුතු ය. එයින් පින් සිදුවේ. ඔහු මිය ගිය විට එම පින පරලොව දී යහපත් ලෙස පිළිගනියි. එම නිසා, තමන්ගේ සිත තුළ ඥානය යහපත් වීර්යය, මෛත්‍රිය කරුණාව, ඉවසීම, ත්‍යාග වන්ත බව, අවංක බව, සුවචබව, සිල්වත් බව, ධර්මයට ලැදියාව, ලදදෙයින් සතුටු වීම,කල්‍යාණ මිතුරන් ඇසුරු කිරීම, සුවච බව, වැඩිහිටියන්ට ගරු කිරීම, ධර්මය කියාදීම, යෝනිසෝ මනසිකාරය, ප්‍රඥාවන්තභාවය, ආදී උසස් ගති ගුණ ඇති කරගත යුතු ය. එවැනි අය පරලොව දී පිළිගන්නේ පින නමැති ඥාතියා විසින් ය. එම නිසා, උතුම් ගතිගුණ දියුණු කරගෙන ජය භූමිය නමැති උතුම් නිවන් සැප ලබා ගැනීමට උත්සාහ වැඩිය යුතු ය.