Print this Article


මා හඳුනා ගත්විට ඒ අමා දම්රසය විඳගත හැකිය

මා හඳුනා ගත්විට ඒ අමා දම්රසය විඳගත හැකිය

සැබවින්ම මම කියා ගත හැකි කිසිවක් නැති විට මම කියා සිතාගෙන එම ප්‍රතිරූප ගොඩනගන්නට ඕනෑම හොඳක් මෙන්ම නරකද කරන්නට පොළඹවන්නේ කුමක් අරබයාද? ඒ මගේ පැවැත්මට , මගේ ආරක්‍ෂාවට, මගේ දියුණුවට යනාදී වශයෙන් සැබවින්ම සොයාගන්න නැති මම නම් ප්‍රතිරූපයක් උදෙසා නොවේද? සෑම කෙනෙක්ම පාහේ තම තමන් පිළිබඳව නොයෙක් ප්‍රතිරූප ආරූඪ කරගෙනයි සිටින්නේ . මම මෙවැනි ගුණ ඇති හෝ නැති උගත්කම් ඇති හෝ නැති බලවත් කම් ඇති හෝ නැති මෙවැනි ආකාරයේ අයෙක්මි යන මිම්මක් පවතී

ඔබ තුමාලා ඔබ තුමියලා මම ගැන අසා ඇති, එහෙත් මම කවුද? කියා ඔබලා අතුරින් වැඩි දෙනෙකු හඳුනාගෙන නැති බව නම් දනිමි. කවදා හරි දවසක මම කවුද කියා දැන ගත්විට බුදුපියාණන් වහන්සේගේ අමා දම්රසය ඔබටත් දැනේවි.

එදා ඇසළ මාසේ පුරහඳ පායල තිබුණ පසළොස්වක පොහොය දවස බරණැස ඉසිපතනාරාමයේ මිගදායම සඳ කිරණෙන් නැහැවිල හමා එන මද පවනට ගස්, වැල්ද ඒ දෙසට නැමෙන්නේ බුදුරජාණන් වහන්සේට වඳින්නාක් මෙනි. පස්වග තවුසන් ඉටිරූප මෙන් බුදුරජාණන් වහන්සේ දෙස බලාගත් විටම නොසැලී සිටිනව.

අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ගලා බසින ඒ අමා දහම් ගඟුලෙන් සහ ශ්‍රී ලෝක ධාතුවම තෙත් වී ගියා. එදා දම්සක් සූත්‍රය දේශනා කොට හමාර වන විට කොණ්ඩඤ්ඤ තවුස්තුමා පමණක් මෙතුවක් කල් හඳුනාගෙන සිටියේ නැති මම කවුද? කියල හඳුනා ගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ බව දැන ගෙන අඤ්ඤා කොණ්ඩඤ්ඤ යැයි සිය සතුට පළ කළා.

ඔබ කවුද? කියා යමෙකු ප්‍රශ්න කළොත් ඔබ කියාවි තම නම, ගම, පළාත දිස්ත්‍රික්කය, රැකියාව, මව, පියා ගැන මේ ආදී තමන් පිළිබඳ බොහෝ තොරතුරු . ඒ සියල්ල ඔබගේ බාහිර ස්වරූපයන් මිස ඔබ කවුද? යන ප්‍රශ්නයට දුන් සත්‍ය පිළිතුරද? සම්මුති සත්‍යයට අනුව එය නිවැරැදි වුවද පරම සත්‍යයේදී ඔබගේ පිළිතුර වැරැදිය. එය වැරැදි බැව් නොදන්නේ නම් මම කවුද? කියා ඔබගේ නොදන්නා කම ඔබේ අසහනයට දුකට මුල් වී ඇත.

සදා නොසිඳි ගලා බසින්නා වූ සදහම් අමා ගංගාවේ ප්‍රවාහයට ඇතුළු වීමට නම් සෝතාපන්න විය යුතුමය. එහිදී සක්කාය දෘෂ්ඨිය හෙවත් ශරීරය පිළිබඳව ඒ තාක්කල් නොදැන සිටි මා කවුද? යන්න නිවැරැදිව හඳුනා ගැනීමත් සමග විචිකිච්ඡාව හෙවත් බුද්ධාදී අට තැනක් පිළිබඳව හටගත් සැක පහව යයි. ශීලබ්බත පරමාස හෙවත් මිත්‍යා ඇදහීම් හා විශ්වාස පිළිපැදීමෙන් වැළකීම යන සිතේ පැල පදියම් වී පැවති ගති හෙවත් සංයෝජන ප්‍රහීණ වී යයි.

සැබවින්ම මම කියා ගත හැකි කිසිවක් නැති විට මම කියා සිතාගෙන එම ප්‍රතිරූප ගොඩනගන්නට ඕනෑම හොඳක් මෙන්ම නරකද කරන්නට පොළඹවන්නේ කුමක් අරබයාද? ඒ මගේ පැවැත්මට , මගේ ආරක්‍ෂාවට, මගේ දියුණුවට යනාදී වශයෙන් සැබවින්ම සොයාගන්න නැති මම නම් ප්‍රතිරූපයක් උදෙසා නොවේද? සෑම කෙනෙක්ම පාහේ තම තමන් පිළිබඳව නොයෙක් ප්‍රතිරූප ආරූඪ කරගෙනයි සිටින්නේ . මම මෙවැනි ගුණ ඇති හෝ නැති උගත්කම් ඇති හෝ නැති බලවත් කම් ඇති හෝ නැති මෙවැනි ආකාරයේ අයෙක්මි. යන මිම්මක් පවතී. මෙම හැගීම රහත් වන තුරුම පවතින අතර එය දහමට අනුව හඳුන්වන්නේ අස්මි මානය යනුවෙනි. එසේ නම් සෝවාන් ඵලයට පත්වීමේදී සක්කාය දෘෂ්ඨිය නැතිවීම යනුවෙන් හැඳින්වූයේ කුමක්ද? එහිදී වෙනස් වන්නේ දෘෂ්ඨිය හෙවත් දැකීමයි. මානය පවතී සෝවාන් ඵලයෙන් දෘෂ්ඨිය වෙනස් වීම නිසා පේ‍්‍රත, තිරිසන්, සතර අපාය ආදී දුගති වල පුනර්භවයන් ඇතිවන විදියේ අකුසල කර්ම පාපයන් මොනම හේතුවක් නිසාවත් නොකරන දැක්මක් හා සුරක්‍ෂිත භාවයක් ඇති වන නිසා ඉතිරි මාර්ග ඵලයන් වැඩීම වුනොත් පුනර්භවයන් හතක් තුළදී අවබෝධ කර ගැනීමේ මහා භාග්‍යයක් උදාවෙයි.

එසේනම් මා කවුද? යන්න නොව මාගේ සත්‍ය ස්වභාවය කුමක්ද? යන්න විමසා බැලිය යුතුය. ප්‍රඥාවන්තයන් අතුරෙන් අග්‍රස්ථානයට පත් අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පැවිදි වීමට පෙර උපතිස්ස තරුණයා වශයෙන් සත්‍ය ධර්මය සොයා යන අවස්ථාවේදී අස්සජි මහරහතන් වහන්සේ හමුවිය. උන්වහන්සේගේ දර්ශනයෙන්ම මෙ නම් උත්තමයෙකු බැව් වටහාගත් උපතිස්ස තරුණයා ඔබ වහන්සේ කවර ශාස්තෘවරයෙකු උදෙසා පැවිදි වූයෙහිද, ඔබ වහන්සේගේ ආචාර්යවරයා කවුද? ඔබ වහා කවරෙකුගේ කිනම් ධර්මයකට රුචි කෙරේදැයි ඇසීය.

එවිට අස්සජි මහ රහතන් වහන්සේ ලෝකයේ ගෞතම නම් වූ බුදුවරයන් වහන්සේ නමක් පහළ වී වැඩ වාසය කරන බවත් තමන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ බවත් උන්වහන්සේ තම ආචාර්යවරයා බවත් උන්වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කරන බවත් මෙසේ වදාළේය.

යෙ ධම්මා හේතුප්පභවා
තේසං හේතං තථාගතො ආහ
තෙසං ච යො නිරෝධො
එවං වාදි මහා සමණො

යම් ධර්ම කෙනෙක් හේතු ප්‍රත්‍යයෙන් උපදිද්දී ඔවුන්ගේ හේතුව තථාගතයන් වහන්සේ වදාළහ. ඔවුන්ගේ යම් නිරෝධයක් වේද එයද වදාළහ.මහා ශ්‍රමණ තෙමේ මෙබඳු වාද ඇත්තේ යැයි පැහැදිලි කළේය. මෙම ගාථා ධර්මයේ පළමු දෙපදය අසනවාත් සමගම උපතිස්ස තරුණයා සෝවාන් ඵලයට පත්විය. ඉතිරි පද දෙක අසන ලද්දේ සෝවාන් වීමෙන් පසුවය.

මම කවුද? යන්නට හොඳම නිවැරැදි පිළිතුර මේ තුළ අන්තර්ගතව ඇත. උපතින්ම ඉහළම ප්‍රඥාාවක් ඇති උපතිස්ස තරුණයා ක්ෂණයකින් ඒ බැව් තේරුම් ගත් නිසා ප්‍රථම මාර්ග ඵලයට පත්විය.

බුදුදහමේ ඵලයන් සොයා ගමන් කරන්නන් වශයෙන් මෙවැනි සුවිශේෂ ධර්මස්ථාන විමර්ශනය කර බලන්නන් හටද මම කියා ගත හැකි කයක් හෝ මම කියා ගත හැකි සිතක් හෝ නැති බවත් හේතුන් නිසාම හට ගන්නා නාම රූප ධර්මයන් හේතුන් නිසාම නිරුද්ධ වී යන බවත් අවබෝධ වනු ඇත.

මම යැයි සිතාගෙන ගොඩනගා ගෙන සිටින හා ගොඩගන්නට වෙර දරන ඇසට පෙනෙන රූපයේ මෙන්ම නොපෙනෙන නාමය සිතේ සත්‍ය ස්වභාවය ගැන විමසා බලන්න. එවට මම කවුද? කියා තම තමන්ටම පෙනේවි. එම දැකීම තුළින්ම සක්කාය දෘෂ්ටිය දුරුවී යයි. බුදුරජාණන් වහන්සේ මේ සඳහා අනුගමනය කළ යුතු ඒකායන මාර්ගය ලෙස වදාළේ සතර සතිපට්ඨානය මෙනෙහි කරමින් දෛනික ජීවිතයේ සියලු වැඩකටයුතුවල නිරතවන ලෙසය.කයේ ස්වභාවය මෙනෙහි කරමින් විමසා බැලීම.

දුක,සැප,උපේක්ඛා සහගත විදීම් විමසා බැලීම

සිතේ ස්වභාවය විමසා බැලීම

සෑම දෙයකම ඇතිවීම, නැතිවෙමින් පැවතීම නැතිවීම විමසා බැලීම

එසේ සතර සතිපට්ඨානයෙන් යුතුව වසන්නෙකුට ඒකාන්ත වශයෙන්ම මම කවුද? යන්න අවබෝධ වන බව සඳහන් වේ.