Print this Article


ලොවෙහි උතුම් සරණ

බෞද්ධයන් ත්‍රිවිධ චෛත්‍යයන්ට වැඳුම් පිදුම් කරන්නේ තෙරුවන් කෙරෙහි සිතෙහි පවතින ශ්‍රද්ධාව වැඩි දියුණු කරගැනීම තුළින් ජීවිතය යහපත් මාවතකට යොමුකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. භයක්, තැතිගැන්මක් ඇති වූ විට තෙරුවන් සිහිපත් කරගන්නැයි ධජග්ග සුත්‍රයෙහි දී බුදුරදුන් උපදෙස් දුන්නේ නොබියව සිටීමේ චිත්ත ධෛර්යයක් එමගින් උපදවා ගත හැකි බැවිනි. එය සත්‍යබලය පදනම් වූවකි.

බහුං වේ සරණං යන්ති - පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛචේත්‍යානි – මනුස්සා භය තජ්ජිතා
නේතං ඛෝ සරං ඛේමං – නේතං සරණමුත්තමං
නේතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති

බියෙන් තැතිගත් බොහෝ මිනිස්සු, පර්වත, වනාන්තර,ආරාම වෘක්ෂ චෛත්‍යයන්ගේ පිළිසරණ පතති. එහෙත් ඒ සරණ යාමෙන් පිහිටක් නොලැබේ. ඒ සරණ යාම උතුම් නොවේ. එවැනි දේවල් සරණ යාමෙන් ඔවුහු සියලු දුක්වලින් නිදහස් නොවෙති. යම් කෙනෙක් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන සරණ යයිද, ඒ තැනැත්තා දුක, දුක ඇතිවීමට හේතුව දුක නැතිකිරීම සහ දුක නැතිකිරීමේ මග නුවණින් දැක සියලු දුක්වලින් මිදෙයිි. එම නිසා සියලු අන්දමේ තැතිගැනීම් , දුක් දොම්නස් කම්කටොලුවලින් මිඳීමට තිබෙන එකම මාර්ගය තෙරුවන් සරණ යාමයි.

බුදුරදුන් වැඩ සිටිය සමයේ “අග්ගිදත්ත” නම් බමුණෙක් වැලි ගොඩක් ඇසුරු කරගෙන සිටි නාගයකුට දෙවියකු යැයි සිතා මහත් බියෙන් එම වැලිගොඩට වැඳුම් පිදුම් කළේය. එම බමුණාගේ දහසක් පමණ වූ තවුස් පිරිවර ද එය අනුගමනය කළහ.ධම්මපදයේ බුද්ධ වර්ගයේ ඇතුළත් ඉහත සඳහන් ගාථාව බුදුරදුන් දෙසුවේ බියට පත් බමුණන් පිළිසරණක් පතා සිදුකරන වැඳුම් පිදුම්වල නිසරු බව පෙන්වා දීමටයි.

ඉහත සඳහන් ගාථාව බණපොත්වල පැහැදිලි කර තිබෙන්නේ, රජුන්ට හා සොරුන්ට බියෙන් පර්වත වන ලැහැබ් ආදියෙහි මිනිසුන් සැඟ වී සිටින බවයි. එසේම දුක්වලින් මිදෙන්නට සිතාගෙන ගස්, ගල්, වනාන්තර ආදියට අරක් ගෙන සිටිනවා යැයි විශ්වාස කරන දෙවියන්ගෙන් හා යකුන්ගෙන් පිහිට පැතීමයයි “රුක්ඛචේත්‍යානි” යනු එකට බැඳුන වදන දෙකකි. අමනුෂ්‍යයන් අරක්ගෙන ඇතැයි මිනිසුන් විශ්වාස කරන පූජනීය වෘක්ෂයන් රුක්ඛ යන වචනයෙන් අදහස් කෙරේ.චේතිය යනු පූජා ලබන වස්තුන් සඳහා යෙදෙන පොදු වචනයකි. ඒ බව නිධිකණ්ඩ සූත්‍ර අට්ඨ කථාවේ පැහැදිලි කර ඇත. අද “චේතිය” යන වචනය භාවිතයේ යෙදෙන්නේ දාගැබ් සඳහා පමණි. නමුත් බුදුරදුන්ගේ ශාරීරික පාරිභෝගික හා උද්දේශික යන සියල්ලම වැදුම්පිදුම් ලබන පූජනීය වස්තු බැවින් ඒවා චේතිය වශයෙන් සැලකෙයි.

බෞද්ධයන් ඒවාට වන්දනා කරන්නේ යකුන් අරක්ගත් වස්තූ®න් ලෙස සිතාගෙන නොවේ. එහෙත් ‘රුක්ඛචේත්‍යානි” යන වචනයේ නිශ්චිත තේරුම නොදත් ඇතැම්හු ඉහත සඳහන් ගාථාවේ අදහස මතුපිටින් ගෙන චෛත්‍ය හා බෝධි වන්දනාව බුදුරදුන් විසින් ප්‍රතික්ෂේප කරන ලදැයි කියමින් මිථ්‍යා මතවාද පතුරවති. සූත්‍රධර්ම මැනැවින් කියවා නැති, ඔවුහු ආමිස පූජාවෙන් බෞද්ධයන් ඈත්කරවති. එය බලවත් වරදකි. බුදුරදුන් නිසරු යැයි වදාළේ බියෙන් හා තැතිගැන්මෙන් මිඳෙන්නට හැකියැයි සිතාගෙන මිනිසුන් ගස්, ගල් වනාන්තර ආදිය සරණ යාමයි. බෞද්ධයන් ත්‍රිවිධ චෛත්‍යයන්ට වැඳුම් පිදුම් කරන්නේ් තෙරුවන් කෙරෙහි සිතෙහි පවතින ශ්‍රද්ධාව වැඩිදියුණු කරගැනීම තුළින් ජීවිතය යහපත් මාවතකට යොමුකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. භයක්, තැතිගැන්මක් ඇති වූ විට තෙරුවන් සිහිපත් කරගන්නැයි ධජග්ග සුත්‍රයෙහි දී බුදුරදුන් උපදෙස් දුන්නේ නොබියව සිටීමේ චිත්ත ධෛර්යයක් එමගින් උපදවා ගත හැකි බැවිනි. එය සත්‍යබලය පදනම් වූවකි.

බුදුරදුන් දෙව්රම් වෙහෙරෙහි නොමැති වී උන්වහන්සේ දකින්නට සුවඳ මල් රැගෙන පැමිණෙන සැදැහැවතුන්ට මල් තැබීමට සුදුසු පූජනීය ස්ථානයක් ලෙස බුද්ධෝපස්ථායක ආනන්ද හිමියන් බෝධියක් රෝපණය කළේ බුදුරදුන්ගේ අනුමැතියෙනි. බුදුගුණ හා දහම් ගුණ සිහියට නංවා ගැනීමේ පහසුවට බුදුපිළිම නෙලීම සිදුවුණි.

දාගැබ්, බුදුපිළිම සහ බෝධි වන්දනාවේ අරමුණ නිසි ලෙස තේරුම් ගත් කෙනෙකුට ඒ පිළිබඳ ගැටලුවක් නොමැත. මිථ්‍යාවෙන් වෙලී ගස්, ගල් පිළිමවලට වැඳුම් පිදුම් කරන්නට පුරුදුව සිටි ජනයා යහපත් පැත්තකට යොමුකරලීමේ අරමුණින් ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව ඇරඹුන බව පැහැදිලි කරුණකි.ජීවිතයේ නොයෙකුත් කරදර ලෙඩදුක් , ග්‍රහ අපල ආදිය දුරුකරගන්නටත්, විභාගවලින් ජය ලබාගැනීමටත්, බෞද්ධයෝ බෝධිපූජා පවත්වති. බුදුගුණ, දහම්ගුණ, හා සඟ ගුණ ඇතුළත් කවි හා ගාථා ඒ සඳහා යොදාගනිති. එය අන්ධ විශ්වාසයකින් නොව කායික හා මානසික ශක්තියත්, සංවරයත් ඇතිකරගැනීමට සිදුකරනු ලබන්නකි. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහාබෝධි අංකුරයක් ලක්දිවට වැඩම කරවූයේ යකුන්ගේ පිළිසරණ පතා ගස්ගල් ආදියට පුද පූජා පැවැත්වූ අපේ රටේ ජනයා යහපත් පැත්තකට යොමු කිරීමේ අදහසිනි. වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ පවතින බෝධි වන්දනාව මුල්කරගෙන අපේ රටේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් බිහි වී තිබේ.

බෞද්ධයන් වන්දනාමාන කරන විට ඔවුන්ගේ සිත් තුළ පවතින්නේ තෙරුවන් අරමුණු කරගත් පිවිතුරු අදහස්ය. මල් පුදන්නේ ජීවිතයේ අනිත්‍යතාවය හා තෙරුවන් ගුණ සිහිකරමිනි. එය බොදු පිළිවෙතට එකඟය. එහි අරුත නොදත් මිනිසුන්ට එය පෙනෙන්නේ මිථ්‍යා ඇදහිල්ලක් ලෙසිනි. බුද්ධාගම යනු ගස් වලට හා මැටි පිළිමවලට වඳින ම්ලේච්ඡ ආගමකැයි ඇතැම් විදේශිකයන් කීවේ එබැවිනි. දාගැබ් , බුදුපිළිම හා බෝරුක්වලට වඳින්නට එපා යැයි කීම බුදුසසුනට හානියකි. එයින් සිදුවන්නේ කායික හා මානසික සුවය සඳහා මිනිසුන් පන්සලට යාම වෙනුවට අන්‍යාගමික යාච්ඥා මධ්‍යස්ථාන වෙත යොමුවීමයි. සමාජයේ හැමදෙනාගේම මානසික මට්ටම එක සමාන නොවේ. ඇතැමුන් දහමට නැඹුරු කරගත හැක්කේ පුද පූජා පෙරහර, පින්කම වැනි ක්‍රියාකාරකම් මගිනි. ඒ නිසා ඒවා වුවමනාය.

බුදුපිළිමයට හා දාගැබට බාධාවක් නම් බෝ අතු කපා දැමීම වරදක් නොවේ යැයි පස්වන සියවසට අයත් මනෝරථපූරණී අටුවාවෙ දැක්වෙයි.අනුරාධපුර යුගයේ දී පවා දාගැබ, බෝධිය හා බුදුරුව පන්සලක මූලික අංගයන් ලෙස පැවැති බව එයින් පෙනේ. බුදුරදුන් සිහිපත් කරගැනීමේ පහසුව සඳහා වැලිවලින් දාගැබක් තනාගෙන වැඳුම් පිදුම් කළ පුලිනථූපිය නම් තෙරනමක් ගැන ථේරාපදානයේ සඳහන් වෙයි.ත්‍රිවිධ චෛත්‍යයන්ට වන්දනාමාන කිරීමෙන් තෙරුවන් කෙරෙහි සැදැහැ සිත වැඩෙයි. බුදුරදුන්ට ගරු බුහුමන් දැක්වීම, උන්වහන්සේගේ ධර්මය කෙරෙහි යොමුවීම, සංඝරත්නයෙන් අවවාද අනුශාසනා ලැබීම හා සංඝෝපස්ථානය සඳහා අවස්ථාව ලැබෙයි. සසර සියලු දුක්වලින් නිදහස් වන්නට වුවමනා කරන චතුරාර්ය සත්‍යය අවබෝධයට එයින් පසුබිම සැලසෙයි. ඒ අනුව බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ යාම අපට ඇති එකම පිළිසරණයි .