Print this Article


විද්‍යාලංකාර දින සමරු උළෙල දෙසැම්බර් 03 දා සිට 08 දින දක්වා

විද්‍යාලංකාර දින සමරු උළෙල දෙසැම්බර් 03 දා සිට 08 දින දක්වා

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවනේ 138 වැනි විද්‍යාලංකාර දිනය නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.

එම පිරිවෙන ආරම්භ කළ ආදි කර්තෘන් වහන්සේ ප්‍රධාන පිරිවෙන ආරක්‍ෂා කරමින් පෝෂණය කළ ගිහි පැවිදි උතුමන් අනුස්මරණය කොට පින් අනුමෝදන් කිරීම හා වත්මන් පිරිසට කළගුණ සැලකීම පිළිබඳ දැනුවත් කිරීම පින්කම් මාලාවේ අරමුණ යැයි විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ ‘බුදුසරණට’ පැවසූහ.

ඒ අනුව දෙසැම්බර් මස 03 දා රාත්‍රි 9.00 ට ඇරඹෙන තිස් පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනය 07 දින දක්වා පැවැත්වෙන අතර 04 වෙනි දා සවස 5.00 ට ඇරඹෙන සර්වඥධාතු ප්‍රදර්ශනය 06 වෙනි දා දක්වා ජනතාවට විවෘත වේ. මේ හා සමගාමීව සඟසතු මහා දාන පින්කම් මාලාවක් ද සංවිධානය කර ඇත. 06 වෙනි දා සවස 3.00 ට විහාර අස්න ද දේවදූත පෙරහර ද පැවැත්වෙන අතර දේවදූතයා සහිත අලි ඇතුන්ගෙන් සමන්විත පෙරහර වරාගොඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමයෙන් පිටත්ව විද්‍යාලංකාර පිරිවෙන වෙත ළඟා වේ.

සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය ප්‍රථම දින (04) මල්පහන් ගිලන්පස පූජාව ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා ප්‍රමුඛ සැදැහැවතුන් අතින්ද දෙවෙනි දින (05) පූජාව කතානායක චමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස විසින්ද 06 දින පූජාව නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස අතින්ද සිදුකෙරේ. 07 වෙනි දා සවස 07.00 ට ඓතිහාසික වෘත්තාන්තය වටා ගෙතුණු සිරිපැරකුම් චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.

දෙසැම්බර් මස 08 වන ඉරිදා සවස 2.00 ට විද්‍යාලංකාර දින උත්සව මහා සභාව සද්ධර්ම කීර්ති ශ්‍රී දිවියාගහ යසස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. ජාතික, ආගමික, සාමාජික හා ධර්ම ශාස්ත්‍රිය සේවාවන්හි නියුතු ගිහි පැවිදි උතුමන් රැසකට ගෞරව සම්මාන පිරිනැමීම එහිදී සිදු කෙරේ.

විද්‍යාලංකාර පිරිවෙනේ අවසාන විභාගය සමත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේට සහතික පිරිනැමීම විද්‍යාලංකාර, ශිෂ්‍ය සංගමය මඟින් සම්පාදිත ‘සමීක්‍ෂා’ හා ‘සමාධි’ සඟරා පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරෙන විශේෂාංග අතර වේ.

සුපුරුදු පරිදි ආබාධිත ජනතාවට කෘත්‍රිම උපකරණ පිරිනැමීම හා ඉගෙනුමෙහි දක්‍ෂ ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන්ට සිසු උදාන බැංකුපොත් පිරිනැමීමද එදින සිදු කෙරේ. -