Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය :- මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සාමාජිකත්වය තහවුරු කර ගනියි. එම සමාජය ස්ව ශක්තිය (සක්කෝ) මෙන් ම හැකියාව අනුව මිනිසාට තම ඉහළම ස්ථරය වූ රහත්ඵලය හා බුද්ධත්වය දක්වා ම ගමන් කළ හැකි බව බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත විස්තර කථාවලින් බුදු දහමේ ගමන් මඟ හුදු කල්පිතයක් නොවන බව පැහැදිලි වේ. දුරාචාරය ද මිනිසා වෙතින් ආරම්භ කොට අදාන්ත වූ අසාන්තු අධම සමාජය බිහි කරන්නේ ද මිනිසා විසින් ම ය. එය වූ කලී දුශ්චරිත සමාජයකි. බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.

පිළිතුර :– අංගුත්තර නිකාය පෙළ දහමට අනුව මෙම පාඨය ශබ්ද නගා කියවන්න . “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං රත්තඤ්ඤනං යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤ” මහණෙනි! යම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේද? චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍රවෙයි. බෞද්ධ ශාසනික සම්ප්‍රදාය කෙතරම් විනිවිද දක්නා සුළු දැක්මක් ද? මේ තනතුර සඳහා ප්‍රශ්නාර්ථයක් හෝ අභියෝගයක් ඡන්න වෙතින් වත් ප්‍රකාශ කළේ නැත. ඊළඟ අවස්ථා දෙක මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තො ඉද්ධි මන්තානං යදිදං මහා මොග්ගලානො මහ ප්‍රඥා වූ (නුවණින් යුතු) ශ්‍රාවකයන් වහන්සේ අතරෙන් සාරිපුත්ත හිමියන් ද ඍද්ධිමතුන් අතුරෙන් මොග්ගල්ලාන හිමි නම් කෙරෙන් මුහුණ බලා තනතුරු ප්‍රදානය කළ බවට පසුකාලීන ශ්‍රාවකයන් වහන්සේ අතරෙන් මතවාද ගොඩ නැඟුණ ද ඒවාට පැවැත්මක් බුදු සමය තුළ නොලැබුණේ සුදුස්සාට සුදුසු තැන ඔහු විසින් ලබා ගැනීමයි. ප්‍රදානයක් නොව ශක්‍යතාවය මත ලබාගත්තකි.

එහෙත් අගතනතුරු හා උපස්ථායක තනතුරුවලට පිළිවෙළින් සැරියුත් මුගලන් මහ තෙරුන් වහන්සේ හා ආනන්ද හිමියන් ගේ පත්වීම බුදුන් වහන්සේ විසින් ප්‍රදානය කෙරුණකි. ඡන්න මුල් තනතුරු කෙරෙහි බලවත් විරෝධතාවය ප්‍රකාශ කළේය. අභිනිෂ්ක්‍රමණ ගමනෙහි මූලික අනුග්‍රාහකයා මෙන්ම බැරෑරුම් වගකීම් ද ඔහු සතු විය. පිය මහ රජාණන් ආදරණීය බිරිඳ හා මාලිගාවෙහි රැකවලුන් සියල්ලන්ගෙන් මේ ගමන පිළිබඳ රහස්‍යභාවය ඔහු විසින් අකුරට ම පිළිපදින ලදී. ඔහු මේ සියල්ල බුදුරජාණන් වහන්සේ වෙත ඉතා යටහත්ව සැල කළේය. එපමණක් නොව සමීපතම හිතවත් සගයාට බුදුහිමියන් හමුවීම පවා ඡන්නට දුෂ්කර වන බව පැහැදිලි කළේය.

සියල්ලටම ඉතා කරුණාවෙන් සවන්දුන් බුදුරජාණන් වහන්සේ ඡන්න ඉක්මන් නොවන්න. ඔබ මට කළ උපකාර අනන්ත ය. එහෙත් මම පෙන්වා දුන් මාර්ගයේ මාර්ගඵලයක් වත් ඔබ තවම ලබා නොගත්තෙහි ය. එසේ උත්සාහ නොකොට මෙසේ ශ්‍රාවකයන් වහන්සේලාට දොස් පැවරීම සුදුසු නැති බව දෙතුන් වර පැහැදිලි කළත් බුද්ධ පරිනිර්වාණය තෙක්ම ඔහු මෙල්ල නොවී අවසානය හිදී සංඝ සම්මුතියෙන් බ්‍රහ්ම දණ්ඩනය (මූලික අයිතිවාසිකම්) තහනම් විය.

මේ කරුණු වලින් පැහැදිලි වන එක් කරුණක් නම් සුදුසුකම් හැර හිතවත්කම් හා වෙනත් සමීපතම කරුණු පුද්ගල පැවැත්ම සඳහා බෞද්ධ මාර්ගයෙහි වැදගත් නොවන බවය. ඒ නිසාම කෙතෙක් ගැටලු ඇති වුවත් බුද්ධකාලය තුළ සංඝ සාමගි‍්‍රය පැවැතීමට එක් සද්ගුණයක් නම් සුදුස්සාට සුදුසු තැන නිරායාසයෙන් ලැබීමය.

ප්‍රශ්නය :– බෞද්ධ පෙළ දහමටය අනුව දේශනා පාඨයන් ඇසුරෙන් දෙමව්පිය දූ දරු සබඳතාව පැහැදිලි කරන්න.

පිළිතුර :- අංගුත්තර නිකාය, සමචිත්ත වග්ගයේ එන දේශනා පාඨයකි මේ. ද්වින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි. මාතුච්ච පිතුච්ච, මහණෙනි! මව්පිය පෝෂණය ප්‍රමාණයකින් කෙළවර කොට දැක්විය නොහැකියි.

යම් කිසිවෙකු දෙමව්පිය පෝෂණයෙන් ණයෙන් නිදහස්වීමට කැමැතිව, සිය වසක් එක් උරහිසක එකෙන අංසෙන මාතරං වපරිහරෙය්‍ය පිතරං පරිහරෙය්‍ය මවද අනෙක් උරහිසෙහි පියා ද තබා ගනිමින් කිසිවිටකත් බිම නොතබා මළ , මුත්‍ර දෙවුරයෙහිම තබා පිරිසුදු කොට සුවඳ ගල්වා නහවා පිරිසුදු කොට බෙහෙත් ගල්වා උණු පැන් සිහිල් පැන් තබා උපස්ථාන කෙරේ ද දෙමව්පිය උපකාරයෙහි ප්‍රත්‍යුපකාරයක් නොවන්නේමය.

බොහෝ සත් රුවන් ඇති මේ මහා පෘථීවියෙහි මව්පියන් සක්විති රජ බවට පත් කළත්, ඉස්සරායි පච්චේ රජ්ජේ පතිට්ඨාපෙය්‍ය ඇතිණයෙන් දරුවන්ට නිදහස් විය නොහැකිය.

තං කිස්ස හේතු බහුකාරා, භික්ඛවෙ මාතා පිතරො පුත්තානං අපාදිකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සේතාරො එයට හේතු කවරේද? මව්පියෝ දූ පුතුනට බොහෝ උපකාර ඇතියහ.

එසේ නම් මව්පියන් උදෙසා කළ යුත්තේ කුමක්ද? බුදුරදුන් වදාළේ එත්තාවතා ඛෝ භික්ඛවෙ මාතා පිතුන්නං කතංච හොති

ලද්දේත් ප්‍රත්‍යුපකාර කරන ලද්දේත් අධික උපකාර කරන ලද්දේත් වෙයි. ඒ සඳහා කළ යුතු වන්නේ.

1. ශ්‍රද්ධා නැති මව්පියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවාලීම

2. දුසිල්වත්හු සීලයෙහි පිහිටුවාලීම

3. මසුරු වූ මව්පියන් ත්‍යාග සම්පතෙහි පිහිටුවීම

4. අනුවණයන් ප්‍රඥාවෙහි පිහිටුවීම

දූ දරු මව්පිය සම්බන්ධය පිළිබඳව සිඟාලෝවාද මහා මංගල, පරාභව, වසල ආදී සූත්‍රගත දේශනා රැසක් වේ.