Print this Article


ලෝ තතු වටහා ගැනීමෙන් උදාවන විවේක සුවය

ලෝ තතු වටහා ගැනීමෙන් උදාවන විවේක සුවය

සංසාරය තවදුරටත් දීර්ඝ වන්නේ අයෝනිසෝමනසිකාරය නිසයි. එයින්ම අසාර දේ සරුකොට ගෙන කර්ම රැස් කරනවා. නැවැත නැවැත කර්ම සකස් කරනවා. ඒ තාක් ජාතිය පහළ වෙනවා. දීර්ඝ සසරට වැටෙනවා. සාමිස සුවය යන්නෙන් අදහස් වන්නේ කෙලෙස් සහගත සිතුවිලි නිෂ්පාදනය කරමින් භවය සකස් කිරිමයි. භවය ප්‍රත්‍ය කොට ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස පරිදේව ආදී දුක් හටගන්නවා.

කායික හා මානසික විවේකය අප කාටත් අවැසියි. එහෙත් පුහුදුන් සත්වයා විවේකය සොයන්නේ සිත ගත පිනවීමෙන් හා සතුටු කිරීමෙන් පමණක් යැයි විටෙක පෙනී යනවා. වින්දනය තුළින් මොහොතක සතුටක් ලබා ගත්තත් එයම දුකක් බවට පත්වන්නත් ඉඩ තිබෙනවා. ඒ පිළිබඳ සාමාන්‍ය ලෝකයාට වැටහීමක් නැහැ.

මෙලොව පුද්ගලයකුට අත්විඳිය හැකි සුව තුනක් තිබෙනවා.

1. සාමිස සුවය - විවේකය සහ නිදහස (කෙලෙස් සහිත)
2. නිරාමිස සුවය – විවේකය සහ නිදහස (විෂ්කම්භන වශයෙන් කෙලෙස් යටපත් වීම)
3. නිරාමිසතර සුවය – විවේකය සහ නිදහස (කෙලෙස් සමුච්ඡේදනය කිරීමෙන් ලබන විවේකය)

කාමලෝකවල (දිව්‍ය, මනුෂ්‍ය, සතරඅපාය) ජීවත්වන සත්වයන් නිරන්තරයෙන් කාමයන්හි ගිජුව, ඇලීමෙන් යුතුව ආස්වාදනීය නිත්‍ය සුවයක් බලාපොරොත්තුවෙන් පස්කම් ගුණයෙහි ඇලී සුඛ වින්දනය බලාපොරොත්තු වනවා. කාම ගුණය යනු, ස්ථීර නැති තාවකාලික වූ දෙයක් තමන් වසඟයෙහි පවත්වා ගැනීම සඳහා දිවා රාත්‍රියෙහි කාම දහනයෙන් යුතුව වාසය කිරීමයි. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම යන අරමුණු කෙරෙහි අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන බැඳී යනවා.

උදාහරණයක් වශයෙන්, බාහිර රූපය කෙරෙහි අවධානය යොමු කරමු. බාහිර රූපය අරමුණු කර ගනිමින් ඇසෙහි හටගන්නා සිත (චක්ඛු විඤ්ඤාණය) පහළවෙනවා. ඇසත්, රූපයත්, චිත්ත වේගයත් යන තුන් දහම එකතුවීම ඵස්ස (චක්ඛු ස්පර්ශය) නම් වනවා. ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නවා. මෙම වේදනාවේ ස්වභාව අනිත්‍යතාවයි. වහා වෙනස් වීමයි. විපරිණාමයට පත්වීමයි. එහෙත් පුහුදුන් ලෝකයා සිතන්නේ ‘මම’ රූපයක් දුටු බවයි. දුටු රූපය ලස්සන නම් එහි ඇලෙනවා. අවලස්සන නම් එහි ගැටෙනවා. ඇලීම සහ ගැටීම දෙකම සිදුවන්නේ තණ්හාව නිසයි. එහෙත් පුහුදුන් සත්වයාට වැටහෙන්නේ නැහැ මා තුළ තණ්හාව හටගත්තා නේද, කෙලෙස් ඇතිවුණා නේද කියා. විවේකය නැතිවුණා නේදැයි වැටහෙන්නේ නැහැ.

ඔහු මිථ්‍යා දෘෂ්ටිකව සිතන තාක් තණ්හාව පෝෂණය වනවා. දැඩි කොට මමය, මගේය, මගේ ආත්මය ලෙස පස් කඳ උපාදානය කරගන්නවා. බාහිර රූපය තුළ සාර වූ දෙයක් ඇතැයි විශ්වාස කරනවා. එය තමා වසඟයෙහි පවත්වා ගැනීමට නැවැත නැවැත කාම සංකල්පනා පහළ කරගන්නවා.පස් ආකාරයකින් බැඳීයනවා.

* ඉට්ඨා (ඉටු කැමැති)
* කන්තා (කාන්තිමත් වූ)
* මනාපා (මනවඩන දෙයක්)
* පියරූපා (පි‍්‍රය වස්තුවක්)
* කාම පසංහිතා රජනීයා (කාමයෙන් යුතු ඇලුම් කටයුතු දෙයක් ලෙස සිතා කෙලෙස් උපදවාගන්නවා.)

මෙම පස්ආකාරයෙන් සිතිවිලි අධ්‍යාත්මයෙහි ඇතිකරගැනීම පස්කම් ගුණලෙස හඳුන්වනවා. තාවකාලික වූ ඇති වී නැති වී යන දේ ස්ථිර වශයෙන් සලකනවා. මේ ආකාරයෙන්, ඇස මුල් කරගෙන වින්දනය ලබනවා. කන මුල් කරගෙන වින්දනය ලබනවා. නාසය මුල් කරගෙන වින්දනය ලබනවා. දිව මුල් කරගෙන වින්දනය ලබනවා. කය මුල් කරගෙන වින්දනය ලබනවා. මනැස මුල් කරගෙන වින්දනය ලබනවා.

අතීත, අනාගත වශයෙන් සිත සිතා ස්ථිර දෙයක් ලෙස සිතෙන් උපාදානය කරගෙන මැවීම ඇතිකරගන්නවා. අරමුණු අල්වාගෙන සිතෙන් මවනවා. මවන්නා වූ සිත අනිත්‍යයි. එහෙත් පුහුදුන් සත්වයා එසේ සිතන්නේ නැහැ. ඔහු සිතන්නේ ස්ථීර සිතක් පවතින බවයි. ස්ථිර වූ කයක් ඇති බවයි. සියල්ල මමයි යන මිථ්‍යාවෙන් කටයුතු කරනවා. එක ද්වාරයකින් ගන්නා අරමුණු එහිම ඉපදී බිඳීයනවා. නැවත සිතක් පහළ වෙනවා. එම සිතද (චිත්තවේග) වහා වෙනස් වනවා. නාම- රූපයන් මොහොතක්වත් ස්ථිර ව පවතින්නේ නැහැ. එහෙත් ලෝක සත්වයා සිතන්නේ මේ මොහොතෙත් සිටින්නේ මමය කියායි. අතීතයට ගිය පැය, වරුව, දවස, සතිය, මාසය, අවුරුද්ද ආදී වකවානුවලත් ජීවත් වූයේ මමය යනුවෙන්. නොපැමිණි අනාගතයෙහි සිටින්නේත් මමය යනු ඔහුගේ හැඟීමයි. මෙසේ අතීත, අනාගත, වර්තමාන යන කලාත්‍රයෙහිම මම ජීවත්වූවා, ජීවත්වෙමි, ජීවත් වන්නෙමි ලෙස මනසිකාරය කරනවා. මෙය අයෝනිසො මනසිකාරයයි.

අයෝනිසෝමනසිකාරය සංසාරය තවදුරටත් දීර්ඝ වීමට හේතුවනවා. එයින්ම අසාර දේ සරුකොට ගෙන කර්ම රැස් කරනවා. නැවැත නැවැත කර්ම සකස් කරනවා. ඒ තාක් ජාතිය පහළ වෙනවා. දීර්ඝ සසරට වැටෙනවා. සාමිස සුවය යන්නෙන් අදහස් වන්නේ කෙලෙස් සහගත සිතුවිලි නිෂ්පාදනය කරමින් භවය සකස් කිරිමයි. භවය ප්‍රත්‍ය කොට ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස පරිදේව ආදී දුක් හටගන්නවා.

සාමිස සුවය තුළ සත්ව සන්තානය කෙලෙස් වලින් පිරී පවතිනවා. පුහුදුන් සත්වයාට ඒ පිළිබඳ වැටහීමක් නැහැ. ලෝකය තමාගේ කියා සිතන බැවින් ය. දකින්නේ මමය, අසන්නේ මමය, ආඝ්‍රාණය කරන්නේ මමය, රස බලන්නේ මමය, පහස ලබන්නේ මමය, අරමුණ ගන්නේ මමය යන වැරැදි හැඟීමෙන් යුක්තව ක්‍රියා කරනවා. එහෙත් ඒ කිසිවක් තමා සිදුකරන්නේ නැහැ.

ආධ්‍යාත්මික ද්වාරයන්ට බාහිර අරමුණු හමුවීමත් සමග චිත්ත ශක්තියක් හට ගන්නවා. උදාහරණයක් ලෙස ඇසට රූපය හමුවීමෙන් චක්ඛු විඤ්ඤාණය පහළ වනවා. ඇසෙහි පහළ වන සිත ලෙසත් මෙය හඳුන්වනවා. එසේ පහළ වූ සිත ද ඒ මොහොතේ ඉපිද බිඳීයනවා. මේ ආකාරයෙන් හටගන්නා සිත් තුළ දකින කෙනකු අසන කෙනකු, ආඝ්‍රාණය කරන කෙනෙකු, රස බලන කෙනකු, පහස ලබන කෙනකු, අරමුණු (ධම්මාරම්මණ) ලබන කෙනෙකු සත්‍ය වශයෙන්ම නැහැ. සිත් පහළවන මොහොතෙම ආයුෂ ගෙවී යනවා පමණයි. මෙසේ යම් අරමුණක් ගෙන සිතක් පහළ වී නැතිවී තව සිතක් පහළවනවා.

එසේ නම් දකින, අසන, ගඳ සුවඳ ලබන, රස පහස ආදිය ලබන ස්ථිර කෙනකු, පුද්ගලයකු නැත. ඒ පිළිබඳ විදසුන් නුවණින් බලන යෝගාවචරයාට හැර සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ සත්වයකු, පුද්ගලයකු සත්‍ය වශයෙන්ම ඇති බවයි. මෙසේ සාමිස සුවය කාමයන්ගෙන් සහ අකුසලයන්ගෙන් යුක්ත බැවින් සිතේ පිරිසුදුබවක් සමනයක් විවේකසුවයක් සහනයක් සන්සිඳීමක් හටගන්නේ නැහැ. ලැබෙන්නා වූ සුවයද කෙලෙස් සහිත නිසා නීවරණයන්ගෙන් මිශ්‍රව පවතිනවා. එයින් සසරට ම ඇද වැටෙනවා. දුකින් මිදීමක් වන්නේ නැහැ.

පංච කාම සුවය ගිහි කාමභෝගී ජනයාට තහනම් නැහැ. එහෙත් සීමාවක් තබාගැනීම ඉතා වැදගත් වනවා. ඕනෑවට වඩා පිනවීම බහුල කර ගැනීමෙන් තමා කාමයන්ගෙන් අන්ධවූවකු බවට පත්වීමට ඉඩ තිබෙනවා. විවේකයක් ලද විටදි නැටුම්, ගැයුම්, රූපවාහිනී නැරැඹීම්, ක්‍රීඩා කිරීම්, සිනමා ශාලාවෙත ඇදීයෑම, මත් පැන් ගැනීම් ආදියට සිතෙහි ගිජුභාවයක් ඉපදිය හැකියි. එහෙත් මේවා කෙරෙහි අසීමාන්තිකව නැඹුරුවීම අතිශය භයානක විපත් ගෙන දෙනවා. හොඳ නරක පින පව කුසල් අකුසල් හරියාකාරව හඳුනා ගැනීමට අපොහොසත් වනවා. එබැවින් විවේකය හා නිදහස මැනැවින් භුක්ති විඳීමට අප සියල්ලන්ම කැමැති වන නිසා අසීමිත ලෙස පංචකාමයන්ට ලොල් වීම පාලනය කර ගත යුතුයි නේද?