Print this Article


කඩුවෙල ඉහළ බෝමිරියේ කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

කාම්බෝජ ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මේ මස 25 දා පස්වරු 3.00 ට කඩුවෙල ඉහළ බෝමිරියේ පිහිටි කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ශ්‍රීමත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අතින් විවෘත වෙයි.

මේ රටේ අධ්‍යාපනය ලබන කාම්බෝජ ජාතික භික්‍ෂූන් වහන්සේලාට නේවාසික පහසුකම් සැලසීම, ශ්‍රී ලංකා කාම්බෝජ මිත්‍රත්වය හා ශාසනික සම්බන්ධය තහවුරු කිරීම, මෙරටට පැමිණෙන කාම්බෝජ ජාතික වන්දනා පිරිස් සඳහා පහසුකම් සැපයීම ඇතුළු උතුම් අරමුණු පෙරදැරිව ඉදි කෙරුණු මේ මධ්‍යස්ථානය සඳහා ඉඩම් කොටස පූජා කරන ලද්දේ ඉහළ බෝමිරියේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිනී රොද්‍රිගු මුණසිංහ ගුරුමෑණියන් විසිනි.

පූජ්‍ය කාම්බෝජයේ කාශ්‍යප, පූජ්‍ය අභිධම්මජෝතිපාල, පූජ්‍ය සෝනුත්තර යන ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ශිෂ්‍ය භික්‍ෂු සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලාගේ මෙහෙයවීම යටතේ මෙම මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අනුග්‍රහය ලබා දී ඇත්තේ කාම්බෝජ ජාතික බෞද්ධ පින්වතුන් විසිනි.

මේ උදාර කර්තව්‍යයට හේතු සාධකය වූයේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමයි.

1998 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන සැලැස්ම යටතේ (උ ව් ච් ර්‍ථ) පාරිසරික උපදේශක වශයෙන් කාම්බෝජයේ සේවයට කැප වූ උන්වහන්සේ එරට ශාසනික සංවර්ධනය අරමුණු කොටගෙන භික්‍ෂූන් වහන්සේලාට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසින් පූජ්‍ය කාශ්‍යප හිමියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන කාර්යය නිමකළ අතර මෙවන් සේවාවක් සඳහා පදනම සකස් කළේ ය. බෝමිරිය වටිනා ඉඩම් කොටස ඕමල්පේ හිමිපාණන් සභාපතිත්වය දරන ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනම වෙත පූජා කරනු ලැබූවකි. අද සමස්ත ලංකාවේ පිහිටි අතිරමණීය හා අතිශය අලංකාර කාම්බෝජ ගෘහ නිර්මාණයෙන් යුතු බෞද්ධ මධ්‍යස්ථානය බිහිවීමේ ඉතිහාස කතාව පෙළ ගැසෙන්නේ මේ අයුරින් ය.

කාම්බෝජ ශ්‍රී ලංකා සම්බන්ධතාවේ ඉතිහාසය බොහෝ ඈතට දිවයන්නකි. මේ සම්බන්ධතාවේ උච්ඡතම අවස්ථාව සටහන් වන්නේ අපේ මහාපරාක්‍රමබාහු රජ සමය අවදියේ ය. මේ දෙරටේ මිත්‍රත්වයට පදනම් වන්නේ බුදුදහම මිස වෙන කිසිවක් නොවේ.

1974 වසරේ දී සිදු වූ දේශපාලන පෙරළියත් සමඟ කාම්බෝජයට උදාවන්නේ අතිශය භික්‍ෂණකාරී අවාසනාවන්ත තත්ත්වයකි. පොල්පොට් නමැති දුර්දාන්ත ත්‍රස්තනායකයා ‘ආදර්ශමත් කොමියුනිස්ට් රාජ්‍යයක්’ බිහිකිරීමේ උමතු ආශාව පෙරදැරි කරගෙන ආරම්භ කළ ව්‍යසනයේ දී ලක්‍ෂ 20 ක් පමණ වූ රටේ ජනතාව ඝාතනයට ගොදුරු වූහ. විහාර, පන්සල් වනසන භික්‍ෂූන් මරා වැඩිදෙනෙකු සිවුරු හරවා ආගම දහම තහනම් කොට ඇරඹුනු විප්ලවයත් සමඟ බුද්ධාගමට පමණක් නොව සමස්ත සමාජක්‍රමයට මෙන්ම සංස්කෘතියට ද සිදුවන්නේ පමණ කළ නොහෙන විපත්තියකි.

1979 දී භීෂණය අවසන් වුවද ඉන් සිදුවූ තුවාල තවමත් සුවපත් වී නැත. කාම්බෝජ බුදු දහම හා සමාජ ක්‍රමය දැන් යළිත් ස්ථාපනය වෙමින් පවතී.

වත්මන් පුනරුදයේ පුරාගාමීන් වන්නේ භික්‍ෂූන් වහන්සේලා ය. එහෙත් ඒ සඳහා උගත්කමින් කැපවීමෙන් හා චරිත ශක්තියෙන් යුතු භික්‍ෂු පිරිසක් බිහි කර ගැනීමේ අභියෝගයට බෞද්ධ සමාජය මුහුණ දෙමින් සිටියි. එහිලා ශ්‍රී ලංකාවට ඇත්තේ ප්‍රධානතම වගකීමකි. ඒ අනාගත බෞද්ධ පුනරුදයට බෝමිරිය මධ්‍යස්ථානය මහත් පිටුබලයක් වනු ඒකාන්තය.

25 දින උත්සවය සඳහා මේ වන විටත් රටවල් 10 කින් බෞද්ධ සැදැහැතියෝ මෙහි පැමිණ සිටිති. කාම්බෝජය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, චීනය, බුරුමය, තායිලන්තය, බංග්ලාදේශය, සිංගප්පූරුව යනාදී රටවල වෙසෙන කාම්බෝජ බෞද්ධ පිරිස 200 කට වැඩි සංඛ්‍යාවක් එහි පැමිණ තම අභිමානවත් සංස්කෘතියේ උදාරත්වය සාඩම්බරයෙන් සමරන්නේ, තම අනන්‍යතාව ප්‍රදර්ශනය කරන කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මුල්කරගෙන ය.