Print this Article


පුජාච පූජනීයානං

 

හන්දුරුමුල්ලේ සිරිකුසල නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය විසින් ශ්‍රී සිද්ධාර්ථ වංසාවතංස ඥානකීර්ති ශ්‍රී සංඝසෝභන යන ගෞරව සම්මානෝපාධියෙන් පුදනු ලැබූ විනයාචාර්ය හන්දුරුමුල්ලේ සිරිකුසල නාහිමියන්ගේ් 90 වෙනි ජන්ම දිනය නිමිත්තෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම ජයසුමනාරාම පුරාණ මූල මහා විහාරාධිපතිව දැනට වැඩ වෙසෙන

73 වසරක් ද ඉක්මවා යන පැවිදි දිවියෙහි 90 වන වසරට ද පිය මනින යතිවරයාණෝ අදටත් කාර්යශූරව සත් කාර්යන්හි යෙදෙනුයේ තරුණ සඟ පරපුරට ද පූර්වාදර්ශයක් වන පරිද්දෙනි.

1924 ක් වූ ඔක්තෝබර් මස 13 වන දින හන්දුරුමුල්ලේ විසූ ගිරිගෝරිස් අප්පුහාමි හා වී. ජී. ජේන්නෝනා යන දම්පතීන්ගේ සය වැනියාව උපත ලත් නාහිමිපාණෝ කුඩා කල සිටම ශාස්ත්‍රීය අධ්‍යාපනයට යොමුව සිංහල, පාළි සංස්කෘත භාෂාවන් මැනවින් ප්‍රගුණ කොට ත්‍රිපිටක දහම් හැදෑරීමට යොමුවූහ.

දැනට විහාරාධිකාරීව වැඩ වෙසෙන මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසලෙහි විද්‍යාලාධිපති ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජි හිමිපාණෝ හා එකමුතුව හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ වත්මන් ප්‍රගතියට මිල කළ නොහැකි සාසනික මෙහෙවරක උන්වහන්සේ යෙදී සිටිති. සිරිකුසල නාහිමිපාණෝ තම විහාරස්ථානයේ අභිවෘද්ධියට මක්කානිගොඩ අස්සජි හිමිපාණන්ගේ සාධනීය කැපවීම හා නායකත්ව මෙහෙයවීම හා සබඳව සතර පේරුවේම දායක උවැසි - උවැසියන්ගේ සහයෝගීතාවයෙන් අදටත් කැපවී කටයුතු කරන ආකාරය ප්‍රශංසනීය වේ.

විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දර්ශනීය තිස් රියන් හිටි පිළිම වහන්සේ සේම දුටුදුටුවන්ගේ සිත් නිවා සනසාලන සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත ලෙන් විහාරය ඊට සාක්ෂි දරති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහෝපාධ්‍යාය, පැණිහෙළ ශ්‍රී සම්බෝධි නාහිමිපාණන් විසින් බටලීය රජයේ පාසලේ පවත්වා ගෙන ගිය දහම් පාසල උන්වහන්සේ අපවත් වීමෙන් පසුව තම විහාරස්ථානයට ගෙන ආ සිරිකුසල නාහිමිපාණෝ එතෙක් පැවති ෆොන්සේකා දහම් පාසල යන නමින්ම සිය විහාරස්ථානය වූ ජයසුමනාරාමයටම බද්ධ කර ගන්නා ලදී. හන්දුරුමුල්ලේ සිරිකුසල නාහිමිපාණෝ උපතින්ම ගෙන ආ කාව්‍ය කරණ කුසලතාවය ද ප්‍රශංසනීය වේ. සිය කවි සම්පත නමින් පැදි එකතුවක් 2009 ශාස්ත්‍රපති හාපිටිගම විජිත හිමිපාණන්ගේ සංස්කාරකත්වයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

එහි ද්විතීය කවි කෘතිය ද කවි සම්පත 2 නමින් එළි දැක්වීමට කටයුතු සම්පාදනය කොට ඇත.

අනූ (90) වියැති වත්මන් හාපිටිගම ජයසුමනාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති හන්දුරුමුල්ලේ සිරිකුසල නාහිමිපාණන්ට සාසන සේවාවන්හි තවදුරටත් නියුක්තවීම පිණිස චිර ජීවනයත්, නීරෝගී සම්පත්තියත් ලැබේවායි ! ප්‍රාර්ථනා කරමු.


වැයිහේනේ කස්සප නා හිමි

වර්ෂ 1939 පෙබරවාරි මස සිවු වන දින වැයිහේනේ කිඹුලාවල ගමේදී මොලොව එළිය දුටු කුමරුවා ලොකුහේවාගේ මැන්දිස් නම් විය.

ලොකු හේවාගේ බාරොන් සිඤ්ඤෝ උපාසක මහතා සහ ජයසිංහ ගමගේ පුන්සිනා දෙමාපියෝ වූහ. මැන්දිස් කුමරුවා 1951 මැයි මස 17 වන දින කතළුවේ ගුණානන්ද මහා ස්වාමීන් වහන්සේ, ශිෂ්‍යයින් වූ මීගොඩ පූර්වාරාම විහාරාධිපති මීගොඩ විමලජෝති ස්වාමීන් වහන්සේ සහ ශාස්ත්‍රවේදී ( ගෞරව ) රාජකීය පණ්ඩිත කොක්මාදුව ගුණසිරි හිමියන් යන තුන් නමගේ ආචාර්යත්වයෙන් වැයිහේනේ කස්සප පොඩි හාමුදුරුවන් යන නමින් පැවිදි විය.

ගා/ හීනටිගල විද්‍යාකාන්ති පිරිවෙනින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ වැයිහේනේ කස්සප හිමියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ගා / විද්‍යාලෝක පිරිවෙනට ඇතුළත් විය. උන්වහන්සේ විසි වසර සපිරීමෙන් 1961 පොසොන් මස 08 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා වූහ. සැට වසක් ඉකුත් වූ සුපේශල ශික්‍ෂාකාමී මහ තෙර නමක් ව වැයිහේනේ කස්සප හිමියන් විසින් ඉහත සඳහන් පරිදි දිගු කලක් තිස්සේ සසුනටත්, සමාජයටත්, අධ්‍යාපනයටත් කරන ලද උදාර සේවාවට ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානු නායක විංශත් වාර්ගික කාරක මහා සංඝ සභාව විසින් මුන් වහන්සේ වෙත ශාසන කීර්ති ශ්‍රී ගුණසිරි යන ගරු නාම සම්මුතිය සහිත තල්පේ පත්තුව ඇතුළු ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය මහ නාහිමිපාණන් වෙතින් ලබා ගැනීමේ හා ප්‍රසාද පූජා පැවැත්වීමේ උත්තරීතර අවස්ථාව 2013 නොවැම්බර් මස 28 දින ප. ව. 3.00 ට මහනුවර මල්වතු මහා විහාරීය ඓතිහාසික මංගල උපෝසථාගාරයේ දී මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාවේදී සිදු කෙරෙනු ඇත.

තල්පේ පත්තුව ඇතුළු ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක වැයිහේනේ කස්සප අභිනව නාහිමියන් වහන්සේ පිළිගැනීමේ උත්සවය ගාල්ල, වංචාවල, මීගොඩ පූර්වාරාම විහාරස්ථානයේ දී නොවැම්බර් මස 30 වන දින ප. ව. 2. 00 ට සිදු කිරීමට මීගොඩ, හප්පාවන සහ මැලෑගොඩ යන විහාරස්ථානත්‍රයේ දායක දායිකා පිරිස විසින් සංවිධානය කරනු ලැබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, අග්ගමහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත,


වේපතඉර පඤ්ඤාසේකර නා හිමි

ගාල්ල නාකියාදෙණිය ශ්‍රී සරණපාල මහ පිරිවෙණේ කෘත්‍යාධිකාරී, ශ්‍රී අශෝකාරාමාධිපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ විධායක කාරක සභික, දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, සද්ධර්මකීර්ති ශ්‍රී ප්‍රවීණාචාර්ය, ශාස්ත්‍රවේදී, වේපතඉර පඤ්ඤාසේකර නාහිමියෝ බුදු මඟ ගිය ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙකි.

මාතර වේපතඉර ග්‍රාමයේදී 1942 පෙබරවාරි මස 07 වන දින මොරකන්ද ගමගේ සුරසේන නමින් උපත ලද පින්වත් කුමරු වේපතඉර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගාල්ල, පොල්ගම්පල ශ්‍රී ශ්වේතබිම්බාරාමාධිපති ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක, යටලමත්තේ වංගීස නාහිමියන්ගේ හා නාකියාදෙණිය ශ්‍රී සරණපාල මහ පිරිවෙන්පති, ශ්‍රී අශෝකාරාමාධිපති, රාජකීය පණ්ඩිත, කදුරුපොකුණේ ධම්මාවාසාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස 1959 මාර්තු 12 වනදා වේපතඉර පඤ්ඤාසේකර නමින් පැවිදි විය.

නාකියාදෙණිය ශ්‍රී සරණපාල, ගාල්ල විද්‍යාලෝක යන පිරිවෙන්වලින් අධ්‍යාපනය ලබා රත්මලාන පිරිවෙණේ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව දෙවර්ෂ පූර්ණ ගුරු පුහුණුව ලබා ප්‍රවීණාචාර්යවරයෙකු ලෙසත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් ලබා ගත්හ. 1963 මැයි මස 16 වන දා තෙල කී ආචාර්යත්වයෙන් මල්වතු විහාරයේදී උපසම්පදාව ලබාගත්හ.

ගුවන් විදුලි ධර්ම දේශනා තුළින් ජන හදවත් දිනාගත් අතර බරණැස ඉසිපතනයේ ද වසර දෙකකට ආසන්න කාලයක් ආගමික සේවාවේ නිරත වූහ. අනුරාධපුර කටුකැලියාව විද්‍යාලය, අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලය, පානදුර වලාන මහානාම විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය යන විදුහල්වල ආචාර්යවරයෙකු ලෙස සේවය කරන අතර පිළියන්දල, වෑවල උද්යෝගීපුර ශ්‍රී විජයාරාම විහාරාධිපතිව කටයුතු කරන විට තම ගුරුදේව කදුරුපොකුණේ ධම්මාවාස නාහිමියන් අපවත්වීමෙන් පසු විහාරාධිපති ධුරයට පත්ව ශාසනික මෙහෙවර උදෙසා නායකත්වය දෙමින් යක්කලමුල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩල සභාපති ධුරයත් ශ්‍රී සරණපාල මහ පිරිවෙන්පති පදවියට ද පත්ව පුරා වසර 11කට අධික කාලයක් ජාතික, ආගමික, අධ්‍යාපනික පොදු මෙහෙවරට තම දායකත්වය ලබා දෙමින් ශ්‍රී සරණපාල දහම් පාසල ඇතුළු විහාරානුබද්ධ හා ග්‍රාමීය සමිති සමාගම්වල ද අනුශාසකවරයෙකු ලෙස ක්‍රියා කළහ.

සම්බුද්ධ ශාසනයත් භාෂා ශාස්ත්‍රයත් ජාතියත් උදෙසා උදාර මෙහෙවරක නියැලුණු පඤ්ඤාසේකර හිමියන්ට ශ්‍රී රෝහණ පාර්ශවයේ විධායක කාරක සභික ධුරය හා දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවියට ද පත් කරන ලදී. සම්බුද්ධ ශාසනයේ අනාගත චිර පැවැත්ම උදෙසා වටිනා සිසු පරපුරක් ද නිර්මාණය කළ නාහිමියෝ 2011 නොවැම්බර් 18 දින අපවත් වී වදාළහ.


මුංහේනේ මෙත්තාරාම හිමි

දොම්පේ පාළුගම භාවනා අසපුවේ අනුශාසක මුංහේනේ මෙත්තාරාම හිමියන් 2013 නොවැම්බර් මස 17 වැනි පුන් පෝ දිනට පැවිදි දිවියට පත් වී වසර 41 සපිරිණි. කළුතර මුංහේන ග්‍රාමයේ උපත ලැබූ මුංහේනේ මෙත්තාරාම හිමිපාණෝ කුඩාකල අධ්‍යාපනය ලැබුවේ මුංහේන කනිෂ්ඨ විද්‍යාලයේ වෙල්ගම ලියනගේ මෙත්තානන්ද නමින්ය.

වසර 1972 නොවැම්බර් මස 17 වෙනි දින දොඩන්ගොඩ සෝරත මා හිමියන් ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි දිවියට පත් වී 1982 මැයි 29 වෙනිදා උපසම්පදාවට පත්ව පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙන, දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙන, පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන් වලින් උසස් අධ්‍යාපනය ලැබූහ. 1982 දී කැලණිය විශ්වවිද්‍යාලයෙහි ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද 1992 දී ශාස්ත්‍රපති උපාධිය ද ලබාගත්හ. කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ ධර්මපාල විද්‍යාලය සහ සේරුවිල කාවන්තිස්ස විද්‍යාලවල දී, තම අධ්‍යාපනය දරුවන්ට ලබා දීමට කටයුතු කළහ. අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ දර්ශන අංශයේ කථිකාචාර්ය වරයා ලෙස කලක් කටයුතු කළහ. වසර 2000 සිට රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ආගමික හා සංස්කෘත අංශයේ කථිකාචාර්ය වරයා ලෙස කටයුතු කළහ.

41 වසරක පැවිදි දිවියේ වසර 30 කට අධික කාලයක් නැඟෙනහිර පළාතේ සේවය සඳහා කාලය කැප කළහ. යුද්ධයෙන් ගරාවැටී තිබූ සේරුවිල මංගල රජමහා විහාරය යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එය 09 වන ලෝක උරුමය ලෙස ප්‍රකාශ කරවා ගැනීමට ගත් මෙහෙය සිහිපත් කළ යුතු ය. ඒ තුළින් සේරුවිල විහාර මන්දිරය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සහ නැඟෙනහිරට සේරුවිල ප්‍රදේශයේ අංග සම්පූර්ණ කෞතුකාගාරයක් ඉදිකිරීමේ කටයුතු වලට උන්වහන්සේ දැක්වූයේ නොබඳ මෙහෙයකි. සේරුවිල සෝමාවති විහාර යා කරමින් කිලෝමීටර් 51 කට නව මාර්ගයක් ඉදිකිරීම සේරුවිල ලෝක උරුමයක් කිරීම යටතේ උන්වහන්සේ ගත් අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයකි. ලංකාපටුන සමුද්‍ර ගිරි මහ විහාරය කොටි අඩවියක්ව පැවති යුගයේ එය රජය ලවා ගැසට් කරවා ඓතිහාසික ස්ථානයක් ලෙස සංරක්‍ෂණය කරවීමට ගත් මෙහෙය සිහිකළ යුතු ය.

41 වසරක පැවිදි දිවියේ අමරණීය මෙහෙය වූයේ පාළුගම භාවනා අසපුව අරඹා ඒ තුළින් දහස් සංඛ්‍යාත පිරිසකට ධර්මය ප්‍රගුණ කිරීමට රමණීය භූමියක් නිර්මාණය කිරීම පාළුගම භාවනා අසපුවේ ඉදිකර ඇති භාවනා කුටි පනහ තුළ සමස්ත දහම් පාසල් ගුරුවරුන් වරින්වර නේවාසික පුහුණුවකට සූදානම් කරවීමට කටයුතු කිරීම අනාගතයේ රටේ දහම් අධ්‍යාපනය නිවැරැදිව සකස් කිරීමට ගත් අවංක උත්සාහයක ප්‍රතිඵලයකි. 2013.11.17 වැනි දින පැවිදි දිවියේ 41 වන වසර සපුරන ලද මුංහේනේ මෙත්තාරාම හිමියන්ට ආශිර්වාද පතා සිසු පරපුර සහ දායක දායිකාවන් උන්වහන්සේට දීර්ඝායුෂ නිරෝගි සුවය පතා අර්ධශතාධික මහ සඟරුවන වෙත දන් පැන් පූජා කිරීම, සත්බුදු වන්දනා ශීල භාවනා වැඩසටහන් පැවැත්විණි.