Print this Article


පෑලියගොඩ ශ්‍රී ඤාණරතන දහම් පාසල

පෑලියගොඩ ශ්‍රී ඤාණරතන දහම් පාසල

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණි මැතිවරණ කොට්ඨාශයේ කැලණිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලය මඟින් පාලනය වන පෑලියගොඩ ශ්‍රී ඤාණරතන දහම් පාසල කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයටත් කොළඹ කටුනායක දක්‍ෂිණ අධිවේගී මාර්ගයටත් මුහුණලා පිහිටි සුවිශේෂ පැරැණි දහම් පාසලකි.

පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පිහිටි ශ්‍රී ජයතිලකාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍රකොටගෙන පවත්වාගෙන එනු ලබන මෙම දහම් පාසල ජයතිලකාරාම පුරාණ විහාරාධිපති අරමපුර සංඝ සභාවේ සභාපති වශයෙන් වැඩ විසූ අපවත්වී වදාළ බෝයගම විමලසිරි මහ නා හිමි විසින් ආරම්භ කරන ලදී.

වර්තමාන විහාරාධිපති බස්නාහිර පළාතේ උප අධිකරණ සංඝනායක ගැටබෙරිකන්දෙ රතනසිරි හිමියන්ගේ අප්‍රතිහත ධෛර්ය, උනන්දුව කැපවීම හා අනුශාසකත්වයෙන් මෙම දහම් පාසල ඉදිරියට පවත්වාගෙන යන අතර කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේ ආචාර්ය ඕමල්පේ ධම්මාලෝක හිමියන් විසින් ප්‍රධානාචාර්ය ධුරය උසුලන ලදී. ඉන් අනතුරුව මෙම දහම් පාසල ස්වර්ණමය යුගයකට 2008 වර්ෂයේ සිට මේ දක්වා ගෙන යන ලදී. එදා සිසු සිසුවියන් 86 දෙනෙකුගෙන් සමන්විත වූ මෙහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 470 දක්වා ඉහළ ගොස් ඇත.

තරුණ බෞද්ධ සංගමයෙන් පවත්වනු ලබන ශ්‍රේණි විභාග, සමස්ත ලංකා මට්ටමෙන් පවත්වනු ලබන විභාග වලින්ද සිසු සිසුවියන් විශාල ප්‍රමාණයකට ප්‍රථම ස්ථාන ලැබී තිබීම සුවිශේෂී සිද්ධියකි. ධර්මාචාර්ය විභාගවලට ඉදිරිපත් වීමෙන් සිසු සිසුවියන් කිහිපවතාවක්ම ජයග්‍රහණ ලබා තිබේ. ප්‍රාදේශීය තරග හා දිස්ත්‍රික් තරගවලින් ද ඉදිරිපත් වීමෙන්ද අද මේ දහම් පාසල ස්ථාවරයට පත්ව තිබේ. භෞතික සම්පත් අතර ඩෙස්, බංකු, පුටු, නව වැසිකිළි පද්ධතියක් හා පුස්තකාලයක් සඳහා දහම් පාසලේ විශේෂ කාර්යාලයක් නිර්මාණය කර ඇත. වර්තමාන ප්‍රධානාචාර්ය හිමියන්ගේ සංකල්පයක් යටතේ මෙම දහම් පාසල දිනෙන් දින දියුණුව කරා පියමන් කරන බව පෙනේ.