Print this Article


පරිසර හිතකාමී දරුවාට දැහැමි දිවි උරුමයි

පරිසර හිතකාමී දරුවාට දැහැමි දිවි උරුමයි

බුදු දහමින් බලාපොරොත්තු වන්නේ දැනුම, ආකල්ප හා කුසලතාවයන්ගෙන් පිරිපුන් දරුවෙක්. මානසික හා චර්යා සංවර්ධනය වගේම පරිසර සාධකත් දරුවාගේ පෞරුෂත්ව වර්ධනයට උපකාරි වෙනවා. මෙතැනදී වඩාත් වැදගත් වෙන්නේ මවගේ භූමිකාවයි

තව නොබෝ දිනකින් දෙසැම්බර් පාසල් නිවාඩුව ඇරැඹෙනවා. තමන්ගේ මව පියා ගේ් සැප දුක් සොයා බලන්න යන්න හුඟක් දූ දරුවන් ආශාවෙන් බලාගෙන ඉන්නේ. ඒ වගේම තමන්ගෙ ආච්චි, සීයා බලන්න යන්න තවත් දූ දරු පිරිසක් කැමැත්තෙන් සිටිනවා.

නගරවල කුඩා බිම්කඩක හිරවුණු මේ අයගේ ජීවිත වලට වෙනසක් දැනෙන්නේ සිතට නිදහසක් ලැබෙන්නේ ගමේ සිරියාවට ළංවීමෙන්.

ඇත්තෙන්ම අපි නිවාඩු කාලය ගත කරන්නේ කොහොමද? ගත කළ යුත්තේ කොහොමද?

බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ මානය අප අත්හළ යුතු වෙනවා. අන් අයට වඩා උසස් ලෙස තමන් මැන බැලීමට යාම, අන් අයට වඩා උසස් ලෙස කටයුතු කිරීමට යාමෙන් තමන් පත්වන අපහසුතා බුදුදහමේ සඳහන් වනවාක් මෙන් අප සමාජයේද පැහැදිලිව දකින්නට තිබෙනවා.

එමෙන්ම අය වැය පමණ දැන කටයුතු කිරීමත්, මෙහිදී බෙහෙවින් වැදගත් වෙනවා. ඇතැම් මව්පියන් සිතන්නේ තම දරුවන්ගේ සියලු අවශ්‍යතා ඉටු කළ පමණින් එය ප්‍රමාණවත් බවයි.

අඩුපාඩුවක් නැතිව ආහාර පාන සපයා දුන් පමණින් දරුවන් මනාව පෝෂණය කළා යැයි කිව නො හැකියි. බුදු දහමින් බලාපොරොත්තු වන්නේ දැනුම, ආකල්ප හා කුසලතාවයන්ගෙන් පිරිපුන් දරුවෙක්. මානසික හා චර්යා සංවර්ධනය වගේම පරිසර සාධකත් දරුවාගේ පෞරුෂත්ව වර්ධනයට උපකාරි වෙනවා. මෙතැනදී වඩාත් වැදගත් වෙන්නේ මවගේ භූමිකාවයි.

දරුවා තුරුළට ගැනීම, ළමැදට තුරුළු කර ගැනීම, නිරන්තරයෙන් දරුවා සමඟ ගැවසීම, දරුවාගේ බිය ත්‍රාසය දුරු කිරීම එහිදී ඉතාම වැදගත්ම දරුවන්ගේ සිතේ එඩිතර බවක් ඇති කරන්න පුළුවන් හොඳම කෙනා අම්මා.

පතිරූප දේශ වාසෝච
පුබ්බේච කත පුඤ්ඤතා

මේ අප නිබඳවම සිහිපත් කරන ධර්ම පාඨයක්, ජීවත් වීමේදී පරිසර සාධකයන් හි ඇති වැදගත්කම ගැන එහිදී කියවෙනවා. දරුවන් ජීවත්වන පරිසරයේ ඇති වැදගත්කම හා සාමකාමී බව දරුවාගේ පෞරුෂයට බලපානවා. නිරන්තරයෙන් කළ කෝලාහල ඇතිවෙන මත්පැනින් සප්පායම් වන නිවාස ආශි‍්‍රතව හැදෙන වැඩෙන දරුවෙකුත් සාමකාමී, දැන උගතුන් සිටින පරිසරයක වෙසෙන දරුවෙකුත් අතර වෙනස සංසන්දනය කිරීමෙන් පතිරූප දේස වාසයෙහි අගය වටහා ගන්නට පුළුවනි.

විශේෂයෙන් පාසල් නිවාඩුකාලය දරුවකු ගේ ජීවිතේට විශාල බලපෑමක් ඇති කළ හැකි කාලයකි. දරුවකුට පරිසරය හඳුනා දෙන්නට, පරිසරයට මුහු කළ හැකි හොඳම කාලය එයයි. දරුවො සතුටු කරන්නට හිතාගෙන පිහිනුම් තටාකයට ගිහින් පැය 03 ක් හතරක් ගෙවා ආපසු පැමිණීම, ප්‍රධාන පෙළේ හෝටලයකට ගිහින් හොඳ කෑම වේලක් දීල ගෙදර එක්කර ගෙන ආවාම සමහර මවුපියන් හිතන්නේ දරුවන්ගේ නිවාඩු කාලේ බොහොම අර්ථවත්ව ගෙවුණා කියලා. ඒත් මෙහිදී සිද්ධ වෙන්නේ අර්ථයක් නොවෙයි. අනර්ථයක්. දරුවා තුළ අසංතෘප්තබවක් ඇති වීමයි. මෙහි දී සිදුවෙන්නේ. පැයක් දෙකක් ඒ සැප සම්පත්වලට ලොල් වෙන දරුවො ඉෂ්ඨ කරගන්න බැරි ආශාවන් පසු පස්සේ හඹා යනවා. එක වේලක් හෝටලයකින් කෑම කාලා, එක රැයක් දිව්‍ය විමාන වැනි හෝටලයක ගත කරල ගෙදරට ආවාම ‘අයියෝ මේ ජීවිතේ මොකක්ද කියල’ අසංතෘප්ත බවට පත් වෙනවා. අපේ මවුපියන්ගේ නොදැන්වත්කම නිසා, එක්කො මහන්තත්තකම ලෝකෙට පෙන්නන්න හිතාගෙන කරන මේ වගේ පුහුවැඩ නිසා ජීවිතය ගැන තේරුම් ගන්න තරම් හැකියාවක් නැති, නොමේරූ මනසක් ඇති දරුවන්ට සිදු වෙන්නේ බරපතළ හානියක්.

ඒත් ඈත ගම් පියසේ ජීවත්වෙන කිරිඅම්ම, කිරිඅත්ත, දකින්නට , නැන්දලා මාමලා ඇසුරු කරන්නට, අයියලා, අක්කලා, නංගිලා මල්ලිලා සමඟ සෙල්ලම් කරන්නට අවස්ථාව ලබා දෙනවා නම් දරුවන්ට ඔබ හිතනවාටත් වඩා නිවාඩු කාලය අර්ථවත් වනු ඇත. ඒ දින කීපයේදී ඔවුන් ජීවිතයට බොහෝ අත්දැකීම් එක් කරගන්නවා නොඅනුමානයි. පයට පාවහන් නැතත්, පාසල් යන දරුවෝ උසස් පාසල් නැතත් අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවට දස්කම් පෙන්වන අයියලා , අක්කලා දකින නගරයේ දරුවන් ගේ සිත් තුළ කාවදින්නේ ධනාත්මක අදහස්. ගිනිකාෂ්ටක අවුවේ, මහ මඟ ගෙවාගෙන මේ තරම් දුෂ්කරතා මැද්දේ මේ අයියල , අක්කලා මටත් වඩා හොඳට ඉගෙන ගන්නවා නම් ඒ තැනට එන්නට මට බැරි ඇයි? මම අද ඉඳන් ඒ අය වගේ උත්සාහයෙන් ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි. අපි ජීවත්වෙන පරිසරයේ තියෙන මායාකාරි බව දුක් කම්කටොළු බාධක පිරුණු ස්වභාවය, එහි කරදර මැදින් නොසැලී ජීවිතයට මුහුණ දෙන හැටි පරිසරය අත් විඳීමෙන්ම දැන ගන්න අවකාශය සලසා දිය යුතුයි. මහ පොළොවේ පය ගසා ජීවත් වන හැටි දරුවන්ට කියා නොදුන්නේ නම් මවුපියන්ට සිදු වෙන්නේ අනාගතයේ ඒ දරුවො ගැන සිතමින් පසු තැවෙන්නටයි. එවැනි දූ පුතුන් වැදූ මවට මෙන්ම මහ පොළාවට ද බරක්.

අප ජීවත්වෙන සමාජය නිර්මාණය වෙලා තියෙන්නේ විවිධ චර්යාවන් ඇති මිනිසුන්ගෙන්. ජාතිය, ආගම අනුව එකිනෙකාට වෙනස්වෙන ඔවුන් විවිධ ජීවන වෘත්තීන් සමඟත් වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් සෙල්ලම් බඩු විකුණන වෙළෙන්දත්, මස් වෙළෙන්දාත් අතර වෙනස මොන තරම්ද ? මුදු සුමට බස් කියමින් දරුවන් ගේ විතරක් නෙවෙයි මවුපියන්ගෙත් අවධානය දිනා ගන්නට ඔහු සමත්. ඒත් මස්, මාළු සමඟ ගනු දෙනු කරන වෙළෙන්දකුගෙන් එවැනි සුමට සුමුදු බවක් අපේක්‍ෂා කළ නොහැකියි. මේ සමාජය ගොඩනැඟිල තියෙන්නේ මේ විවිධ වෙනස්කම් ඇති මිනිසුන්ගෙන්.ජීවිතය ගැන, සමාජය ගැන ඉගෙන ගන්නට නම් දරුවාට මේ සමාජය ගැන හොඳ අවබෝධයක් ලබාදිය යුතුයි. ඔවුන් සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳ ඉඟියක් ලබා දිය යුතුයි.

පරිසරය තේරුම් ගන්නට හුරුපුරුදු කරවන දරුවා පොතපතට යොමු කරවන්නට හැකි වන්නේ් මවකටයි. සෑම දරුවෙක්ම හැම විෂයකටම පි‍්‍රය නැහැ. සමහර දරුවො ගැඹුරු විෂය කරුණු ඇති පොත පතට නැඹුරු වෙන්න අකැමැතියි. බලහත්කාරයෙන් දරුවා එවැනි පොත පතට යොමු කරනවා වෙනුවට දරුවා පි‍්‍රය කරන විෂයයක් සම්බන්ධ පොත පතට පළමුව අවධානය යොමු කළ හැකියි.

එසේ පළමුව හුරු කළ යුත්තේ කියවීමටයි. කියවන්න පුරුදු වුණු දරුවා ටිකෙන් ටික ගැඹුරු විෂය කරුණු සහිත පොත පතටත් යොමු වෙනවා. ක්‍රමානුකූ®ල ලෙස මෙසේ පරිසරය නිර්මාණය කළේ නම් ඔබ ගේ දරුවා උගතෙක් කිරීමත් හොඳ පුරවැසියෙක් ලෙස අනාගතයට බාර දීමටත් හැකි වනවා නොඅනුමානයි. පරිසරයට ආදරය කරන දරුවා කිසි දිනක අධාර්මික කටයුතුවලට යොමු වන්නේ නැහැ.

පණ ඇති පණ නැති සියලු දෙනා පරිසරයේ කොටස්කරුවන් බව තේරුම් ගන්නා දරුවන් කිසි දිනක පන්සිල් කඩකරන්නේ නැහැ.

නිවාඩුකාලය පමණක් නොවෙයි . විවේකී සෑම අවස්ථාවකම දරුවන් පරිසරය සමඟ එක් කිරීම මඟින් ඔවුන් බොහෝ දේ ඉගෙන ගන්නා බව අප අමතක නොකළ යුතුයි.

එසේ අත් දැකීමෙන් ඉගෙන ගන්න දේ කිසි දිනක දරුවන්ගේ මතකයෙන් බැහැර යන්නේ නැහැ.

ඔවුන් ධාර්මික දිවි පෙවෙතකට යොමුකිරීමට එය ඉවහල් වන බව ඔබ අප සිත්හි තබා ගත යුතු වනවා.