Print this Article


ස්වර්ග මෝක්‍ෂ සැප පිණිසම ධර්ම දේශනය අසන්න සිහි නුවණින්

ස්වර්ග මෝක්‍ෂ සැප පිණිසම ධර්ම දේශනය අසන්න සිහි නුවණින්

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරන විට ශ්‍රාවකයන් පළමුවෙන්ම ඇසීම සඳහා යොමු කරති. ඊළඟට කෙලෙස් අඩු වැඩිකම් බලා චරිතානුකූලව දේශනාව කරති. බොහෝ විට අනුපිළිවෙළින් දේශනාව ආරම්භ කොට අසන්නා ත්‍රි ලක්‍ෂණාවබෝධයට නැඹුරු වන විට සාමුක්ඛංසික දේශනාව හෙවත් නිවන ගැන දේශනා කරති.

පාලි පෙළ පොත්වල ‘සාවක’ යැයි සඳහන් වන්නේ අසන්නාටය. තෙරුවන් සරණ ගිය බණ අසන්නා බුද්ධ ශ්‍රාවකයෙකි. සිද්ධාර්ථ කුමරු බුද්ධත්වය ලබා ගැනීමෙන් පසු ධර්ම ගාම්භීරත්වය නිසාත් නිවන වැනි ලෝකෝත්තර සැපතක් ලෞකික වචනවලින් පැවැසීමේ අපහසුකම නිසා ත්, දම්දෙසීමට මදක් මැළි වූහ. එය දැනගත් බ්‍රහ්ම රාජයා “අස්සවණතා ධම්මදස්ස පරිහායති” නො ඇසීමෙන් ධර්මයේ පරිහානිය වේ යැ’ යි පවසා දම් දෙසීමට ආරාධනා කළ බව මහා වග්ග පාලියෙහි සඳහන් වෙයි.

බුදු, පසේ බුදු යන උත්තමයන් වහන්සේට හැර අන් කිසිවකුටවත් “පරතෝඝෝස ප්‍රත්‍යයෙන්” තොරව නිවන් අවබෝධ කර ගත නො හැකිය. ‘පරතෝඝෝස ප්‍රත්‍යය’ යනු අනුන්ගෙන් බණක් ඇසීම යි. අප බුදු සසුනෙහි ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයෙහි ලා වැජඹුණේ සැරියුත් මහරහතන් වහන්සේය. එදා ගිහි කාලයෙහි උන්වහන්සේට පවා සෝවාන් මඟඵල ලබා ගැනීමට හැකි වූයේ අස්සජි මහරහතන් වහන්සේගෙන් “යේ ධම්මා හේතුප්පභවා -තේසං හේතුං තථාගතෝ ආහ” යන ගාථා පදය ඇසීමෙනි. බුද්ධාවවාදය වුයේ ද “සුණාථ ධාරේථ චරාථ ධම්මේ” අසන්න, දරන්න, ඒ දරාගත් ධර්මයෙහි හැසිරෙන්න යන්න යි. එසේම ආලවක යක්‍ෂයා “කථංසු ලභතේ පඤ්ඤා” යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දී වදාළේ “සුස්සුසා ලභතේ පඤ්ඤා” ඇසීමෙන් ප්‍රඥාව ලැබෙන බවයි.මේ කරුණුවලින් පැහැදිලි වන්නේ ඇසීමෙහි ඇති වැදගත් කමයි.

එකල පැවැති අධ්‍යාපන ක්‍රමවේද වූයේද, ඇසීමෙන් ඉගෙනීමයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති තැනැත්තා ‘බහුස්සුත’ නමින් හැඳින්වී ය. එහි අදහස උගතා යන්නයි. බ්‍රාහ්මණ සමාජයෙහි ද ත්‍රිවේදය හදාරා ඇත්තේ ඇසීමෙනි. උපනිෂද් යනු ළඟ හිඳගෙන ඇසීමයි.බමුණු දහමෙහි විශ්වාසවන්තම ගෝලයන්ට උගන්වන ධර්මය උපනිෂද් නමින් හැඳින්වේ. මෙකල මුද්‍රණ ශිල්පය දියුණුව ඇති බැවින් කියැවීමෙන් ද උගතෙකු විය හැකිය. බුදු දහම රහසක් නැති දහමකි. “තථාගතප්පවේදිතෝ ධම්මවිනයෝ විවටෝ විරෝචති නො පටිච්ඡන්නෝ” යනුවෙන් දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්මය විවෘත වූයේ බබළයි. සැඟවුණි නම් නොබබළයි. බණ දෙසීම හා බණ ඇසීම දෙකම මහත් වූ පුණ්‍ය කර්මයෝය. සියලු දානයන් පරදවා ධර්ම දානය ජය ගන්නා බව “සබ්බ දානං ධම්ම දානං ජිනාති” යනුවෙන් ධර්මයෙහි සඳහන්ව ඇත. දිව්‍ය, මනුෂ්‍ය, නිවන් යන ත්‍රිවර්ග සම්පත්තියම ලබා ගැනීමට ධර්මය මුල්වන බව “ධම්මමුලං තිසමිපදං” යනුවෙන් දක්වා ඇත. “කාලේන ධම්ම සාකච්ඡා” සුදුසු කාලයෙහි ධර්ම සාකච්ඡා කිරීම, “කාලේන ධම්ම සවණං” සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කිරීම මංගල කරුණු වශයෙන් මංගල සූත්‍රයේදී පෙන්වා දෙයි.

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරන විට ශ්‍රාවකයන් පළමුවෙන්ම ඇසීම සඳහා යොමු කරති. “තං සුණාථ , සාධුකං මනසිකරෝථ භාසිස්සාමි” එය අසන්න, මනාව මෙනෙහි කරන්න යනුවෙනි. ඊළඟට කෙලෙස් අඩු වැඩිකම් බලා චරිතානුකූලව දේශනාව කරති. බොහෝ විට අනුපිළිවෙළින් දේශනාව ආරම්භ කොට අසන්නා ත්‍රි ලක්‍ෂණාවබෝධයට නැඹුරු වන විට සාමුක්ඛංසික දේශනාව හෙවත් නිවන ගැන දේශනා කරති. එසේ වූ විට ශ්‍රාවකයාට ධර්මය අවබෝධ වන්නේය. බුද්ධ දේශනාව අවසානයේදී බොහෝ ශ්‍රාවකයන් බුදුරදුන්ට ස්තුති කරන ආකාරය නොයෙක් සූත්‍රයන් හි දක්නට ඇත.

“අභික්කන්තං භෝ ගෝතම, අභික්කන්තං භෝ ගෝතම, සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතංවා උක්කුජජෙය්‍ය, පටිච්ඡන්නංවා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේවා

තෙලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තා රූපාති දක්ඛින්තීති, ඒව මේවං භොතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ, ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණූපේතං සරණං ගතන්ති”

“භගවත් ගෞතමයන් වහන්ස,, ඔබ වහන්සේගේ දේශනාව ඉතාම යහපත්ය. ඉතාම මිහිරිය. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කොට තැබූ භාජනයක් උඩුකුරු කරන්නාක් මෙන්, යටපත් වූ නිධානයක් මතුකර දක්වන්නාක්මෙන් මංමුළා වුවකුට මාර්ගය පෙන්වා දෙන්නාක්මෙන්, ඇස් ඇත්තෝ රූප දකිත්වා! යි අන්ධකාරයේ තෙල් පහනක් දල්වන්නාක් මෙන් ඔබ වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලදී. මම බුදුන්, දහම්,සඟුන් සරණ යමි, භගවත් ගෞතමයන් වහන්ස, අද පටන් මා දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු යැ’යි සලකනු මැනවි” යනු ඉහත සඳහන් පාලි පාඨයෙහි අදහසයි. මෙයින් පැහැදිලි වන්නේ බුද්ධ දේශනාව කෙතෙක් ශ්‍රාවකයා ඇද බැඳ තබා ගැනීමට සමත්ද? යන්නයි.

අසන්නෝ ද විවිධාකාර වෙති. සමහරුන්ට කියන දේ මතක තිබෙන්නේ අසාගෙන සිටින තුරු පමණි. යමක් ඔඩොක්කුවේ තබාගෙන ඒ ගැන කල්පනාවක් නැතුව නැගිට්ටහොත් බිම වැටෙන්නාක් මෙන් අසාගෙන සිටි දේ ද නැගිටින විට අමතක වී යයි. එබඳු අය ඔඩොක්කුවේ නුවණ තියාගෙන අසන හෙයින් “උච්චඞ්ග පඤ්ඤ” නම් වේ. කළයක් මුනින් නමා කෙනෙක් වතුර වත් කළත් කළයට වතුර බිඳුවක්වත් නො යයි. එමෙන් සමහරුන් ඔහේ අසාගෙන සිටිනවා මිස කියන දෙයක් සිතේ ධාරණය කර ගන්නේ නැත.එවැනි අය “අවකුජ්ජ පඤ්ඤ”නමින් හඳුන්වති. හොඳින් ශ්‍රවණය කර ධාරණය කර ගන්නා “පුථු පඤ්ඤ” නම් වෙයි.

ශ්‍රාවකයන්ගේ තවත් වර්ගීකරණයක් උද්ඝටිතඤ්ඤ – විපටිතඤ්ඤ - ඤේය, පදපරම යනුවෙන් ධර්මයෙහි සඳහන් වෙයි. මදක් ඇසූ පමණින් අවබෝධ කර ගන්නා “උදඝටිතඤ්ඤ” නමින් හැඳින්වේ. දේශනාවක් අවසන්වන තුªරු අසාගෙන සිට අවබෝධ කර ගන්නා “විපටිතඤ්ඤ” නමින් හඳුන්වා ඇත. ‘ඤේය” නම් සවිස්තරාත්මකව කී විට අවබෝධ කර ගන්නාය. “පදපරම “ නම් කෙනෙක් කීවත් අවබෝධ නො වන පුද්ගලයෝය. බුද්ධ ධර්මය ඇසීමේදී සිත, කය, වචනය යන තුන්දොර සංවර කරගත යුතුය. හේතුව ධර්මය උතුම්ම රත්නයක් නිසාය. තථාගතයන් වහන්සේ පවා ගුරුවරයා වශයෙන් සලකන ලද්දේ ධර්මය යි. මේ නිසා ධර්මය ඇසීමේදී ධර්ම ගෞරවය තිබිය යුතුය. බණ ඇසිය යුතු ආකාරය ලෝ වැඩ සඟරාවෙහි මෙසේ සඳහන් කොට ඇත.

බිම ඉඳ සිට කී බණ නාසන්නේ
විමතිව උඩ ඉඳ සිට නාසන්නේ
කැමැතිව කීවොත් විමසා සන්නේ
එම වද සගමොක් සැප සාදන්නේ

සිටගෙන කියන ලද ධර්මය බිම ඉඳගෙන නො ඇසිය යුතුය. වෙනත් දේ කල්පනා කරමින් උඩ ඉඳගෙන බණ නො ඇසිය යුතුය. දේශනා කරන ධර්මය කැමැත්තෙන් සිහි නුවණින් ඇසිය යුතුය. එසේ ඇසු විට ස්වර්ග මෝක්‍ෂ සැප සාදනු ඇත යනු එම පද්‍යයෙහි අදහසයි.

හොඳින් බණ අසන විට ලැබෙන ආනිශංස පහක් ගැන ද ධර්මයෙහි සඳහන් වෙයි. නො ඇසූ දෙය අසන්නට ලැබෙයි. ඇසුදෙය පිරිසුදු වෙයි. සැක දුරු වෙයි. දෘෂ්ටිය ස්ථිර වෙයි. සිත පහදියි යනු ඒ පසයි. එදා ඉසිපතනයේ මිගදායේ දි බ්‍රහ්මයන් සහිත වු දෙවියන්ටද මනුෂ්‍යයන් වශයෙන් පස්වග තවුසන්ටද ප්‍රථම ධර්ම දේශනාව කළ සේක. එහිදී ප්‍රථමයෙන් පස්වග තවුසෝ සිද්ධාර්ථ තාපසතුමන් දුෂ්කර ප්‍රතිපදාව ඉවත් කළ හෙයින් බුද්ධත්වය නො පිළිගත්හ. බුදුරදුන්ගේ සත්‍යවාදී බවත්, බුද්ධත්වයට පත්වීමෙන් ලැබූ ප්‍රභාෂ්වර බවත් නිසා බුදුබව පිළිගෙන දම් ඇසීමෙන් කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝවාන් මඟඵල ලබා ගත්තේය. එදා පටන් පන්සාළිස් වසක් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දම් දෙසූ සේක. ඒ සදහම් ඇසූ කෙළ ලක්‍ෂ ගණන් සත්වයෝ සසර දුක් නිමා කොට නිවන් සැප ලබා ගත්හ.

බණ කියන භික්‍ෂූන් වහන්සේ ද බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන් බුද්ධ නියමයන්ට අනුගතව දහම් දෙසති. එම ධර්මය අසා සම්මා දිට්ඨිය ඇති කරගෙන යෝනිසෝමනසිකාරයෙන් දහම් මඟට පිවිසිය හැකිය. සංයුක්ත නිකායෙහි එන වේරභච්චානි බැමිණිය, තම සේවකයකු කී උදායි තෙරුන්ගේ බණ ශ්‍රවණය කර උන්වහන්සේට දානයට ආරාධනා කොට දන් වළඳවා පුටුවක වාඩි වී පාවහන් ලාගෙන, හිසේ සිට පොරවාගෙන බණ කියන්නැයි තෙරණුවන්ට ආරාධනා කළාය. උන්වහන්සේ “බ්‍රාහ්මණ මාතාවෙනි, මේ එයට සුදුසු කාලය නොවේ” යයි ආපසු වැඩියහ. බැමිණිය සේවකයාගෙන් ඒ ගැන විමසූ විට ධර්මය ගරු කොට වෙසෙන උන්වහන්සේ පාවහන් ලාගෙන අසුන් ගෙන හිස වසා සිටින විට ධර්මය නො දෙසන්නේ යැයි කීය. පසුදින ද බැමිණිය, උන්වහන්සේට දනට ඇරැයුම් කොට නිවසට වැඩිය පසු දන් වළඳවා, පාවහන් ගලවා හිස විවර කොට බිම වාඩි වී බණ කියන්නැයි ඉල්ලා සිටියාය. එවිට උන්වහන්සේ දෙසූ බණ ශ්‍රවණය කළ බැමිණිය තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටියාය. ධර්ම දානය සියලු දානයන් පරදා ජය ගන්නේය. දේශක - ශ්‍රාවක දෙපසටම මහත් ආනිශංස ලැබෙන්නේය.