Print this Article


මසුරු සිතෙන් මිදී විවේක සුවය සොයා යන ගමනක්

මසුරු සිතෙන් මිදී විවේක සුවය සොයා යන ගමනක්

අප ගතකරන එදිනෙදා ජීවිතයේදී විවේකය හා නිදහස මැනැවින් භුක්ති විඳීමට උපකාර වන කරුණු බොහොමයකි. ධනය ධාර්මිකව උපයා ගැනීමත් පැවිදි උතුමන්, වැඩිහිටියන් ආදින්ට සංග්‍රහ කිරීමත් කායික, මානසික, විවේක සුවයට ඉවහල් වන අයුරු පසුගිය සතියේදී අපි සාකච්ඡා කළෙමු. දානය එනම් පරිත්‍යාගය විවේකි දිවියක් ගොඩනඟා ගැනීමට පිටුබලයක් වන්නේ කෙසේදැ’යි මෙවර අපි සාකච්ඡා කරමු.

පූජක උතුමන්ට සැලකීමෙන් සහ වැඩිහිටියන්ට සත්කාර කිරීමෙන් ජීවිතයට ලැබෙන ආශිර්වාදය මහත් ය. එයින් දිට්ඨධම්ම සුඛවිහරණය මෙලොවදීම අත්විඳීමට ලැබෙන්නේය. බොහෝ භෝග සම්පත් ලැබීමට හේතු වාසනා උදාවෙන්නේ ය. යසස් පරිවාර සම්පත් ලැබීමට මෙන්ම ලෝකයාගේ ජනාදරයට පාත්‍රවීමටත් හේතු වන්නේය. කර්මඵල අදහන්නෝ සියලු වැඩකටයුතු අතර දානාදි කුසල්දහම් අත්නොහැර සිදු කරගැනීමට උත්සාහවත් වන්නෝය. එම කුසල් ශක්තිය නිර්වාණ සුවය දක්වාම තමාට, කායික, මානසික සුවය ලබාදෙමින් ලෞකික, ලෝකෝත්තර සුඛය වූ උභය සිද්ධාර්ථය සඳහා පිහිට උපකාර වේ.

ධාර්මික දිවි පැවැත්ම තුළ උපයන ධනය සතරාකාර ක්‍රමවේදයට කොටස් කර කළමනාකරණය කිරීම සාර්ථක ජීවිතයක පදනමකි. එය අනාගතය සුරක්ෂිත කරගෙන මානසික පීඩා අඩුකරගෙන චිත්ත විවේකය ඇතිකරගැනීමටත් බෙහෙවින් ආධාර වන්නේය. අධාර්මිකව භෝග වස්තු උපදවාගෙන සුඛෝපභෝගි ජීවිත ගත කරන්නෝ එයින් සතුටුවෙති. මත්වෙති. එහෙත් අවසානයේ තැවීමට පීඩාවට පත් වී සතර අපාදී දුකට ඇද වැටෙති. කොපමණ සතුටු වුවත් බිය ශෝකය එයින් උපදියි.

ධාර්මිකව උපයන භෝග වස්තුව ස්වල්පයක් වූවත් එය නිරතුරුව තම සන්තානය තුළ දහනයක්, පීඩාවක්, මත්වීමක්, තැවීමක් ඇති නොකර, සහනය සතුට විවේකයම සලසා දෙයි. අතීත, වර්තමාන,අනාගත වශයෙන් බිය,ශෝකය නූපදවා දහමින් ආරක්‍ෂාව සෙත සැලසෙයි. මසුරුමල දුරුකර ත්‍යාගයේ යෙදීමෙන් අසීමිත සතුටක් ලබාගැනීමේ භාග්‍ය උදාවෙයි. නැවත නැවත තමාගේ ධාර්මිකභාවය මෙනෙහි කරන්නට කරන්නට කුසල ශක්තිය තවදුරටත් පෝෂණය වේ. වර්ධනය වේ. ස්ථිරසාර වේ. එයින් ලැබෙන විවේකය නිදහස වචනයෙන් කියා නිමකළ නො හැකි තරමේ තෘප්තිමත් බවක් සිතට ගෙන දෙයි.

භෝගයන්ගෙන් ලබන ප්‍රයෝජන තථාගතයන් වහන්සේ විසින් පස් ආකාරයකින් අනාථ පිණ්ඩික සිටුතුමාට දේශනාකොට වදාරන ලදී. එය දැන ගැනීම කාගේත් දියුණුවට සැනසීමට හේතු සාධක වනු ඇත. වර්තමාන සමාජයේ ජීවත් වන බොහෝ ජනයාට තම යුතුකම් වගකීම් නිවැරැදිව ඉටුකර මෙලොව තැවීමත් පරලොව තැවීමත් නොමැතිව යහපත්ව කටයුතු කිරීමට මෙම කරුණු කාරණා උපකාරි වේ.

1.ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා, උට්ඨාන වීර්යයෙන් ලත් බාහු බල පරාක්‍රමයෙන් රැස් කළා වූ, දහදිය මහන්සියෙන් ඉපැයූ, දැහැමි වූ දැහැමින් ලැබූ භෝගයන් නිසා තමා සුවපත් වේ. පිනායයි. සම්‍යක් (මනාසේ) පරිහරණය කරයි. මවුපියන් සුවපත් කරයි. පිනවයි. ඒ සඳහා ධනය යහපත් ලෙස පරිහරණය කරයි. පුත්‍ර දාරක දැසි දස්සන් සුවපත් කරයි. පිනවයි. භවභෝග සම්පත් ඒ වෙනුවෙන් යහපත් ලෙස පරිහරණය කරයි. මෙය භෝගයන්ගේ පළමු වැනි ප්‍රයෝජනය වේ.

2.ගෘහපතිය, ආර්යශ්‍රාවක තෙමේ උට්ඨාන වීර්යයෙන් ලත්, බාහු බලපරාක්‍රමයෙන් රැස් කළ, දහදිය මහන්සියෙන් ඉපැයූ ධාර්මික භෝගයන්ගෙන් තම මිත්‍රාමාත්‍යයන් සුවපත් කරයි. පිනවයි. මෙය ආර්ය ශ්‍රාවකයාට ලැබෙන දෙවැනි ප්‍රයෝජනයයි. එයින්ම ඔහුට මහත්වූ විවේක සුවයක් සැලසේ.

3.දැහැමෙන් ලත් භෝගයන්ට ගින්නෙන් ,ජලයෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් හෝ අපි‍්‍රය අමනාප දායාදයන්ගෙන් යම් වූ කරදරයක්, ආපදාවක් සිදුවිය හැකි නම් එබඳු උවදුරු බාධක විපත් සිද්ධවීම වළකාගෙන නිරුපද්‍රිතව භවභෝග සම්පත් පරිහරණය කිරීමේ වාසනාව සැලසෙයි. මෙය ධාර්මිකව ලබාගන්නා භෝගයන්ගේ තෙවැනි ප්‍රයෝජනය වේ.

4.ආර්ය ශ්‍රාවකයා තම දහදිය මහන්සියෙන් උපයා සපයාගත් භෝග ලෞකික සැපය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඥාති බලි, රාජ බලි, දේවතා බලි, ආදි වශයෙන් මැනැවින් යොදන්නේ වේ. එයින් මානසික සතුටක්ද ආශිර්වාදයක්ද සලසා ගන්නේ වෙයි. මෙය භෝගයන්ගේ සතරවැනි ප්‍රයෝජනය වේ.

5. ගෘහපතිය,ආර්ය ශ්‍රාවක තෙම ධාර්මිකව උපයා සපයාගත් භෝග වස්තුව මෙසේද පරිහරණය කරන්නේය. එනම් , කෙලෙස් තවන වීර්යයෙන් යුතුව සමථ විදර්ශනාවෙන් සිය ආත්මභාවය අලංකෘත කොටගෙන නිර්වාණ සුවය අත්පත්කරගත් බුදු , පසේබුදු, මහරහත් ආදි කොට වූ උත්තමයන් වහන්සේ කෙරෙහි දක්‍ෂිණාව පිරිනමයි. එයින් ස්වර්ගයට හිත වූ සුඛ විපාක ඇති අග්‍ර වූ රූපාදී ලෞකික සැපත්, චේතනාව පිරිසුදු කරගෙන, නිර්වාණ සුවය සඳහාම හේතු වාසනාව වේවා යන අදහස ඇති කර ගැනීමෙන් ලෝකෝත්තර සුවයත් අත්පත් කරගන්නේය. මෙය භෝගයන්ගෙන් ලබන පස්වැනි ප්‍රයෝජනය වේ.

මේ අකාරයෙන් භෝගයන්ගෙන් ප්‍රයෝජන ලබන තැනැත්තා විනාශ නොවන ධනයකට හිමිකම් කියන්නේ වෙයි. දානාදි පින්කම් කර ගැනීමෙන් දෙලොව සැනසිල්ලට පත්වන්නේ වේ. නැණැතියන් විසින් ප්‍රශංසාවට ලක් කරනු ලබන්නේ වේ. සිතෙහි ප්‍රමෝදය ඔහුට නිතැතින් හිමි වන්නේය.

තමාට හිත සුව කැමැති අය ප්‍රතිග්‍රාහක පක්ෂයට පස් ආකාරයකින් සංග්‍රහ කරන්වනෝ වෙති. ආයුෂය දෙති. වර්ණය දෙති. කායික, මානසික සුවය සලසති. කායික, මානසික බලය ලබාදෙන්නෝ වෙති. වැටහීම් සලසා දෙන්නෝ වෙති. මෙසේ කටයුතු කරමින් දිව්‍ය, මනුෂ්‍ය ඉෂ්ට කාන්ත මනාප වූ සුඛ විහරණයට හිමිකම් ලබන්නෝ වෙති. මෙය හුදෙක් ප්‍රාර්ථනා කිරීමෙන් පමණක්ම ලද හැකි නොවේ. සැදැහැ පෙරදැරිව දානාදි පින්කම් සිදු කළ යුතුය. භෝගයන්ගෙන් ලබන පස් ආකාර ප්‍රයෝජනයන්ගෙන් පෙරළා ලැබෙන ප්‍රතිඵලයක් එනම් ආනිශංසයක් වන්නේය. එබැවින් ශ්‍රද්ධාදී ගුණධර්ම දියුණුව කරගෙන කර්මඵල විශ්වාසයෙන් යුතුව අත්හැරීම පුරුදු පුහුණු කළ යුතුය.

දානාදි පින්කම්වලින් ලැබෙන ආනිශංස පරලොව සඳහා පමණක් යැයි ඇතැම්හු විශ්වාස කරති. එහෙත් තථාගතයන් වහන්සේ මෙලොව පරලොව දෙලොවටම ලැබෙන සුඛ විපාක දේශනා කොට වදාළසේක.

සීහ සේනාපතිතුමා විසින් අසන ලද, දානයේ සාන්දෘෂ්ටික ඵල පැනවිය හැකිදැයි අසන ලද ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු සැපයු සේක.

1.සීහය, දානපති, දායකයා බොහෝ දෙනාට පි‍්‍රයමනාප අයෙක් වෙයි. මෙය තමා විසින්ම දැකගනු ලැබිය හැකිවෙයි.

2.සීහය, දන් දෙන දායකයා ශාන්ත සද්පුරුෂයෝ ඇසුරට කැමැති වෙති. එබැවින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දන්දීම කළ යුතුවෙයි. බොහෝ මුදල් නැතැ’යි පවසා දන් නොදීම අනුවණකමකි. එය දෙලොව තැවීමට හේතුවේ. සද්පුරුෂ ඇසුර නිර්වාණ සුවය දක්වාම ලැබීම තථාගතයන් වහන්සේගේ අනුශාසනාව වන්නේ වේ.

3.දානපති දායකයාගේ කීර්තිරාවය උස්ව නැඟෙන්නේ වෙයි. ගම් දනව් සිසාරා පමණක් නොව සදෙව් ලෝකවලද කල්‍යාණ කීර්ති රාවයට හේතු වන්නේ වෙයි.

4.දානපති දායකයා කවර හෝ පිරිසක් මැදට විශාරදව, තැතිගැනීම් නොමැතිව එළැඹෙන්නේ වෙයි. ඉදිරියට ම යන්නේ වෙයි. සමාජයේ බොහෝ කොට පව්කම් කරන, සාපරාධි ක්‍රියා ඇති අය බියගුළුව සැඟවෙමින් අප්‍රකටව වාසය කරති. එවැනි අය දුකසේම ජීවත්වෙති. කායික මානසික බොහෝ පීඩා ඇතිව දෙලොවම දුක් විඳිති. සමාජයෙන් කොන්වෙති. ආක්‍රෝෂ පරිභවයට ලක්වෙති.

5. සීහය, දානපති දායකයා මිය පරලොව යෑමෙන් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයට පැමිණෙයි. මෙය සාම්පරායික දානඵලය වෙයි. තෙරුවන් කෙරෙහි පැහැදීම බහුලකොට දානාදි පින්කම් කිරීම මෙයට හේතුවෙයි.

මෙම දෙසුම අවසානයේ සීහ සේනාපති තමාගේ ශ්‍රද්ධාව මනාකොට පිහිටුවා ගත්තේය. පළමු කී කරුණු සතර තමා තුළ ඇති බවත්, කලින් අසා ඇති බවත්, ප්‍රකාශ කරන ලදී. “එම කරුණු සතර නිසාවෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැයෙන් නොයෙමි. පස්වැනි කාරණය අසා දැන ගත්තේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන්මය. නොඇසු දහමක් ශ්‍රවණය කිරීමෙන් මාගේ සිතෙහි ඔබ වහන්සේ කෙරෙහි මහත්වූ ප්‍රසාදයක් විශ්වාසයක් ජනිත විය. එය මගේ සිතට පිළිසරණක් විවේකයක් විය. තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැයෙන් එළැඹීමට පස්වැනි කාරණයම හේතු විය.අද පටන් මා ඔබ වහන්සේගේ ශ්‍රාවකයකු වූ බවට දරන සේක්වා”

සීහ සේනාපති මෙසේ තමන්ගේ අධ්‍යාත්මයෙන් පැහැදිලිව ස්ථිරසාර බවෙන් යුතුව කර්මඵල අදහාගෙන තථාගතයන් වහන්සේ කෙරෙහි වන මහත් ශ්‍රද්ධාව ප්‍රකාශ කළේය.

ඔබත් මෙම කරුණු කාරණා නුවණින් තේරුම්ගෙන තෙරුවන්ගේ අනන්ත ගුණය මෙනෙහි කොට තමාගේ ජීවිතයෙහි සහනය උදාකර ගන්න.මානසික කායික විවේක සුවය සද්ධර්මය ඇසුරෙන් සිතෙහි ජනිත කරගැනීමට උත්සාහ කරන්න. එයම ශ්‍රේෂ්ඨ ධනය වන්නේය.