UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨීන චීවර පූජෝත්සව

කඨීන චීවර පූජෝත්සව

ගම්පහ ශ්‍රී බෝධිපූජාරාමය

ගම්පහ අස්ගිරිවල්පොල ශ්‍රී බෝධිපූජාරාම විහාරස්ථානයේ කඨින පින්කම විහාරාධිපති උනවටුනේ විනයාලංකාර හිමිගේ අනුශාසකත්වයෙන් මෙම මස 09 සහ 10 යන දියන්හිදී පැවැත්වේ. කඨින චීවරය රැගත් පෙරහර ජයලාල් මහතාගේ නිවසින් 10 වැනි දා ගමන් ආරම්භ කරයි. 11 දා උදෑසන සංඝරත්නය විෂයෙහි දානය පිරිනැමීමෙන් පින්කම් අවසන් වේ. -


ශ්‍රී සුමන අභයදාන සංගමයේ වාර්ෂික පින්කම

ගිරිඋල්ල, බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරස්ථානයේ දී සෑම වසරකම නොවැම්බර් 16 වැනි සෙනසුරාදා පස්වරු 2 සිට 7 දක්වා අභයදාන පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මහා සංඝරත්නය, රජයේ මැති ඇමැතිවරුන්, ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පින්කම පැවැත්වේ. මරණයට කැපවූ ගවයින් හා කූඩුවල සිරකරන ලද පක්‍ෂීන් නිදහස් කිරීම, අඛණ්ඩව ගවයින් නිදහස් කිරීමට, දායක වූ පින්වතුන්ට සම්මාන සහතික පිරිනැමීම, තෝරාගත් ගම්වාසීන්ට කිරි ගවයින් බෙදා දීම, බොහෝ කලක් ගවයින් සුරක්‍ෂිතව නඩත්තු කළ යහපත් ගම්වාසීන්ට සම්මාන සහතික හා තෑගි පිරිනැමීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කෙරේ.


කිරිවෙහෙර රාජ මහා විහාරය

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ කඨින පූජා පින්කම මේ මස 11 හා 12 යන දිනයන්හි පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

නොවැම්බර් මස 11 දින පස්වරු 06.00 ට කිරිවෙහෙර චෛත්‍ය මළුවේ දී මල් පහන් ගිලන්පස පූජාවක් ද විහාරස්ථ මහා සංඝරත්නය විසින් “ධම්ම චක්ක සූත්‍ර දේශනාව‘ පවත්වා අපවත් වී වදාළ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝානායක ඌව විශ්ව විද්‍යාලයේ කුලපති කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍ය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ට පින් අනුමෝදන් කරවීම සිදු කෙරේ.

මෙදින රාත්‍රී කඨින පූජා පෙරහර කතරගම සෙල්ලකතරගම, දෙටගමුව, නවනගරය හා ගම්මානවල ගමන්කර අලුයම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණේ. නොවැම්බර් මස 12 දින දහවල් අර්ධ ශතාධික මහා සංඝරත්නයට අටපිරිකර සමඟ දානය පිළිගන්වා අපවත්වී වදාළ අලුත්වැව සෝරත නා හිමියන්ට පින් අනුමෝදන් කරවීම ද සිදු කෙරේ.

විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල, මහාසේන සිල් සමිතිය සංඝමිත්තා කුළඟන සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම කඨින පූජා පින්කම සංවිධානය කර ඇත.


පේරාදෙණිය දෙවොල්කොන විහාරය

පේරාදෙණිය ඊරියගම දෙවොල්කොන පුරාණ විහාරයේ කඨින පින්කම, නොවැම්බර් 8, 9 දිනවල ශාස්ත්‍රපති දුම්බර සෝභිත හිමිගේ මූලිකත්වයෙන් පැවැත්වුණි. විහාරාධිපති සූරියගොඩ සීලරතන නා හිමිට දිඝාසිරි පතා සෙත් පිරිත් දේශනාව අටවෙනිදා රාත්‍රි පැවැත්වූ අතර නවවෙනිදා දවල් මහා සංඝරත්නය 30 නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමුණි.


වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමය

වැල්ලවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 10 වනදා ආරම්භ කර, 16 දා තෙක් පින්කම් පැවැත්වේ. නොවැම්බර් 10 දා දියගම නාරද හිමි, 11 දා කොටගොඩ සුධීර හිමි, 12 දා බොරැල්ලේ අතුල හිමි, 13 දා දොඩම්ගොඩ අස්සජි හිමි, 14 දා මීගොඩ සුධීක හිමි ධර්‍ම දේශනා පවත්වයි.

සර්ව රාත්‍රික පිරිත් පින්කම 15 දා පැවැත්වෙන අතර 16 දා අලුයම 4. 00 ට වැල්ලවත්ත වැවර්සට් පෙදෙස, අංක 44 හි පදිංචි ඩී. පී. ප්‍රසන්න මාලිංග මහතාගේ නිවසින් කඨින චීවරය රැගත් පෙරහැර වීථි සංචාරය කෙරේ. නොවැම්බර් මස 16 දින උදේ සහ දහවල් සංඝගත දක්ෂිණාවන් පැවැත්වෙන අතර එදින රාත්‍රි 8.00 ට කඨිනානිශංස ධර්ම දේශනය පවත්වනු ලබන්නේ දිවියාවේ අමරවංශ හිමියන් විසිනි. විහාරාධිපති වස්කඩුවේ ධම්මිස්සර නා හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධාන කෙරේ.


රාජංගනය දුටුගැමුණු විහාරස්ථානය

රාජාංගනය දකුණු ඉවුරේ යාය 01 දුටුගැමුණු විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන කඨින පින්කම මේ මස 10 සහ 11 දින දෙක තුළ පැවැත්වේ. දුටුගැමුණු විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන 05 ක අධිපතිත්වය දරමින් යාය 01 ළමා මිතුරු පාසලේ විදුහල්පති ලෙස රටට දැයට කරන මහඟු සේවාව තව තවත් කරගෙන යෑම සඳහා ශාස්ත්‍රපති පණ්ඩිත මහාමන්කඩවල ධම්මසිරි නා හිමිට නිදුක් නීරෝගීකම දිර්ඝායුෂ ආශිර්වාද සහ සෙත් පතා 10 වැනි දා කඨින චීවරය, අෂ්ඨ පරිස්කාර, සෙසු පිරිකර සහිත 25 නමකට අධික මහා සඟරුවනට දහවල් දානය පිරිනැමීමට කටයුතු යොදා තිබේ.


ශ්‍රී බෝධි සමුද්‍රාරාමය

වාර්ෂික කඨින පින්කම සහ විහාරාධිපති ව වැඩ සිට අපවත් වී වදාළ මාපලානේ ආනන්ද මහා නා හිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම නොවැම්බර් මස 14, සිට 16 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නොවැම්බර් 14 සවස 06.30 ගිලන්පස බුද්ධ පූජාවක් ගුණ සමරන විශේෂ සුමධුර ධර්ම දේශනාවක් ද 15 සවස 6.30 ගිලන්පස බුද්ධ පූජා පින්කම සහ රාත්‍රි 9.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද කොළඹ 15, ඩිලාසාල් පාරේ පදිංචි ජයතිස්ස බස්නායක මහතාගේ නිවසින් 16 වන දින අලුයම 4.00 ට කඨින චීවරය පෙරහරින් විහාරස්ථානයට වැඩම කරවීම ද, 16 වන දින උදේ 6.00 ට කඨින චීවරය සඟසතු කොට පූජා කිරීම ද, එදින හීල දානය ද, දවල් දානය ද මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමීම ද 16 වන දින පස්වරු 6.30 ට කඨිණානිසංස ධර්ම දේශනාව ද පැවැත් වේ.


මුංවතුගොඩ පුරාණ විහාරස්ථානය

යටිනුවර දන්තුරේ මුංවතුගොඩ පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම්මාලාව විහාරාධිපති වතුරකුඹුරේ සුදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 13 – 14 දිනයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 13 වැනි දා සවස 6 ට මල් පහන් ගිලන්පස බුද්ධ පූජාව සහ බෝධි පූජාව පැවැත්වීමත් රාත්‍රී 9 සිට පසුදින පහන්වනතුරු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීම ද 14 වැනි දා අලුයම 4 ට කඨින චීවර වස්ත්‍රය රැගත් පෙරහර වීථි සංචාරය කිරීමක් එදින දහවල් සංඝරත්නය උදෙසා දහවල් දානය පූජාකිරීමෙන් පසු කඨින චීවර පූජාව අවසන් කිරීමට නියමිතය.


මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානය

මාතලේ මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ කඨින චීවර පූජා පින්කම මේ මස 11 දින රාත්‍රී පැවැත්වෙන විශේෂ බෝධි පූජාවත් සමඟ වන කවි බණ දේශනාවකින් ආරම්භව 12 දින දහවල් පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාවකින් හා කඨින චීවර පූජාවෙන් නිම කිරීමට කටයුතු යොදා තිබේ. 11 වන දින රාත්‍රී පැවැත්වෙන කවි බණ දේශනාව පවත්වනු ලබන්නේ ඇලගමුවේ විමලරතන හිමි විසින් වන අතර මෙම පින්කම් මාලාව මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරාධිපති ශාස්ත්‍රපති ලෙනදොර සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.


නිලන්නෝරුව පුරාණ විහාරස්ථානය

මාදිපොල නිලන්නෝරුව පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පින්කම මේ මස 14 දින රාත්‍රී පැවැත්වෙන විශේෂ බෝධි පූජා පින්කමකින් ආරම්භව පසුදින දවල් පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාවකින් හා කඨින චීවර පූජාවෙන් නිම කිරීමට කටයුතු යොදා තිබේ.

14 වන දින රාත්‍රී පැවැත්වෙන බෝධි පූජාව මෙහෙයවනු ලබන්නේ පුබ්බලියේ සෝමානන්ද කුඩා ස්වාමීන් වහන්සේ විසිනි.

මෙම පින්කම් මාලාව මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක නිලන්නොරුව පුරාණ විහාරාධිපති විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති ලෙනදොර සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථ කාර්ය සාධක සමිතියේ සංවිධායකත්වයෙන් සිදුවේ.


කතරගම මල්ලිකාරාමය

කතරගම නව නගරයේ මල්ලිකාරාම විහාරස්ථානයේ කඨින පින්කම මේ මස 14 හා 15 දිනයන්හි පැවැත්විමට විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය හබරාදුව ඤාණමෝලි නා හිමියන්ගේ අනුශාසනාව පරිදි සංවිධානය කර ඇත.

14 වැනිදා රාත්‍රී1 විහාරස්ථානයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද, 15 වැනිදා අලුයම කඨින පූජා පෙරහර ගමන්කර විහාරස්ථානයට පැමිණේ. මෙදින දවල් මහා සංඝරත්නයට දානය පිරිනැමීමෙන් පින්කම් කටයුතු අවසන් වේ.


රත්මලාන මල්ලිකාරාමය

රත්මලාන මල්ලිකාරාම විහාරස්ථානයේ කඨින පූණ්‍යොත්සවය මේ මස 9 සහ 10 යන දිනවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. මල්ලිකාරාමාධිපති අමරපුර ධර්මරක්‍ෂිත නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි මේ මස 2වැනි දා සිට 8 වැනි දා දක්වා සෑම දිනකම සවස 6.00 බුද්ධ පූජාවක් ද 6.30 – 7.30 දක්වා සුමදුර දම් දෙසුමක් ද පැවැත්වෙන අතර 9 වැනි ද පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවෙන් අනතුරුව 10 වැනි දා කඨින මහා පෙරහර පැවැත්වේ.

10 වැනි දා අලුයම 4.00 ට කඨින වස්ත්‍ර රැගත් පෙරහර වීථි සංචාරය කොට විහාරස්ථානයට පැමිණේ. කඨින වස්ත්‍ර අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහානා හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය වෙත පූජා කිරීම සිදු කෙරේ. මෙවර කඨින වස්ත්‍ර පූජාවේ දායකත්වය නුගේගොඩ නාවල කුරුළුබැද්දෙහි පදිංචි කසුන් කොඩිතුවක්කු හේවාමල්ලිකා සහ මානෙල් කොඩිතුවක්කු හේවා මල්ලිකා යන අයයි. උදෑසන 7.30 බුද්ධ පූජාව පිරිකර පූජාවද, සවස 7.00 චීවර පූජාව ද ඉන් අනතුරුව මහා නා හිමියන්ගේ පුණ්‍යානුමෝදනාවද පැවැත්වේ.


මාකුඹුර පුරාණ විහාරය

පන්නිපිටිය, මාකුඹුර පුරාණ විහාරස්ථානයේ කඨින මහෝත්සවය මේ මස 9 වන දින පැවැත්වේ. විහාරාධිපති සල්පිටි කෝරලයේ උප ප්‍රධාන සංඝනායක, පන්නිපිටිය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති බොරළුගොඩ ඉන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පූජෝත්සවය පැවැත්වේ. ශාස්ත්‍රපති තේරිපැහැ ධම්මරුචි හිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි, ශාස්ත්‍රපති මාදුළුවාවේ සෝභිත හිමි, ආචාර්ය මාඩුල්ගොඩ සුමනරතන හිමි හා ශාස්ත්‍රපති හබරකඩ ඉන්දරතන යන හිමිවරු විශේෂ ධර්ම දේශනා පවත්වති.

නොවැම්බර් මස 8 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයෙන් අනතුරුව කඨින චීවරය විහාරස්ථානයට ළඟාවීමට නියමිතය. 9 වැනි දින හීල්දානය, බුද්ධ පූජාව, සහ මහා සංඝරත්නය විෂයෙහි පැවැත්වෙන සංඝගත දක්‍ෂිණාව හා කඨිනානිසංස ධර්ම දේශනයෙන් අනතුරුව කඨින පින්කම සමාප්ත වේ.


ගල්මඩුව රජමහ විහාරය

කුණ්ඩසාලේ, ගල්මඩුව රජමහ විහාරයේ කඨින පින්කම නොවැම්බර් 8 සහ 9 දිනයන්හි විහාරාධිපති ගම්මුල්ලේ සුමංගල නා හිමි ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. අටවෙනි දා රාත්‍රී 12 දක්වා පැවැත් වූ පිරිත් දේශනාවකි. පසුදින මහා සංඝරත්නය විෂයෙහි පිරිනමන සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි.

කුණ්ඩසාලේ මහවත්ත අස්වත්තාරාමාධිපති මහවත්තේ කස්සප හිමි ප්‍රධානත්වයෙන් කඨින පින්කම මේ මස 10 සහ 11 දිනයන්හි පැවැත්වේ.


මහනුවර කොටුගොඩැල්ල රජමහා විහාරය

මහනුවර කොටුගොඩැල්ල රජමහා විහාරාධිපති ලංකා තිලක රජ මහ ෂහාරාධිපති මල්වතු මහා විහාරාධිවාසි අමුණුගම රාජගුරු විපස්සි නා හිමි මූලිකත්වයෙන් කොටුගොඩැල්ල රජ මහ විහාරයේ කඨින පින්කම මේ මස 8 සහ 9 පැවැත්වේ. 8 වෙනි දා සවස 6.30 ට රාජකීය පණ්ඩිත මාතලේ අරියධම්ම නාහිමි පවත්වනු ලබන ධර්ම දේශනාවකි.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කොබවක ශ්‍රී සුමනාරාමයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින මහා පින්කම නොවැම්බර් මස 08 – 09 යන දින වලදී පැවැත්වේ. 08 වැනිදා රාත්‍රී, කොබවක ඉහල ඕපල්ලේ ජී. සිරිමල් මහතාගේ නිවසින් කඨින වස්ත්‍රය රැගත් පෙරහර ආරම්භ කර 09 වන දින අලුයම කොබවක, ශ්‍රී සුමනාරාමයට පැමිණීමට නියමිතය.


ගම්පහ මාදෙල්ගමුව ශ්‍රී පුෂ්පාරාමය

ශ්‍රී පුෂ්පාරාමාධිපතිව වැඩසිට අපවත්වී වදාළ වංකැපුමුල්ලේ විමලරංශී හිමියන්ට ද අපවත් වී වදාළ වංකැපුමුල්ලේ විමලවංශ හිමියන්ට ද සහ පරලෝසැපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරවීම සඳහා විහාරාධිපති වංකැපුමුල්ලේ විජිතවංශ හිමියන් ඇතුළු ඥාති පිරිසද හතර පේරුවේ දායක දායිකාවන්ගේ ද සහ සම්බන්ධතාවයෙන් නොවැම්බර් මස 09 – 10 දිනවල පැවැත්වේ.


බෙලිහුල්ඔය සමනල විහාරය

ඉඟුරුවත්ත විභාවිරතන හිමිපාණන්ගේ උපදෙස් මත මේ මස 12 වැනි දා දින සර්ව රාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ. 13 වැනි දා කුල දරුවන් 5 ක් පැවිදි කිරීම හා සාංඝික දානය පිරිනැමේ.

ඉඟුරුවත්ත විභාවිරතන හිමිපාණන්ගේ උපදෙස් මත මේ මස 12 වැනි දා දින සර්ව රාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වේ. 13 වැනි දා කුල දරුවන් 5 ක් පැවිදි කිරීම හා සාංඝික දානය පිරිනැමේ.

ගලගම බුද්ධානන්ද හිමිගේ උපදෙස් අනුව මේ මස 13 වැනි රාත්‍රී කඨින චීවර පෙරහර ද 14 වැනි දා මහා සාංඝික දානය පිරිනැමේ.


ඉඹුල්පේ අශෝකාරාමය

විහාරාධිපති කුඹල්ගම විසුද්ධසිරි හිමිගේ උපදෙස් මත දායක සභාව විසින් මේ මස 14, 15 කඨින පින්කම සංවිධානය කර ඇත. මේ මස 14 වැනි දා රාත්‍රී බෝධි පූජාව ද 15 වැනි දා සාංඝික දානය ද පිරිනැමේ.


නළුවෙල ශ්‍රී ප්‍රියදර්ශනාරාමය

බලන්ගොඩ ජිනරතන නා හිමියන්ගේ උපදෙස් මත දායක සභාව නොවැම්බර් 16 වැනි දා පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද 17 වැනි දා සාංඝික දානය සංවිධානය කොට ඇත.

 

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 10 වැනි දා ඉරිදා පූර්ව භාග 00.30 ට ලබයි.
එදිනම අපරභාග 10.36 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය නොවැම්බර් 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]