UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උත්තුංග කඨින පූජාව

උත්තුංග කඨින පූජාව

මේචීවර මාසයයි. හැම විහාරස්ථානයකම පාහේ පෙර වස් විසූ භික්‍ෂූන් වහන්සේට සිවුරු පූජා කිරීම සිදුකරනු ලබන්නේ මේ මාසය තුළදීය. චීවර පූජා පින්කම්වලදී කඨින චීවර පූජාවට ප්‍රමුඛත්වයක් හා විශේෂත්වයක් හිමිවේ. ථෙරවාදී බෞද්ධයෝ කඨින චීවර පූජාව මහත් අනුහස් ලැබෙන උදාර පින්කමක් ලෙස සලකති.

ඇසළ මස පුන් පොහෝ දින පොහොය කිරීමෙන් පසුව වස් සමාදන්ව වස් බිඳීමට භාජනය නොවී වප් මස පවාරණය කළ උපසපන් භික්‍ෂුවක් කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් ලබයි. බුදු රජාණන් වහන්සේ කඨිනය අනුදැන වදාළේ වස්සාන කාලය ගෙවා තමන් වහන්සේ වෙත තෙතබර තුන් සිවුරින් පැමිණි පාවෙය්‍යක භික්‍ෂූන් වහන්සේ කෙරේ අනුකම්පාවෙනි.

කඨින චීවරය යනු හුදෙක් චීවර ලාභය පමණක් අරමුණු කර ගත්තක් නොවන බව ඒ පිළිබඳ විමසා බැලීමෙන් පෙනී යයි.

කඨින යන වචනයේ ඇත්තේ ‘දැඩි බව, යන තේරුමයි. එම අරුතට ගැළපෙන සේ කඨින චීවරය ද වෙනත් චීවරයකට වඩා දැඩි, ප්‍රමුඛ ශක්තිමත් ස්වභාව ඇත්තකි. කඨින චීවරය රජෙකුගේ හෝ නායකයකුගේ ලක්‍ෂණ පෙන්වයි. සාමාන්‍ය පුරවැසියකුට නැති ආරෝපිත බලයක් රජුට ඇත්තාක් මෙන් කඨින චීවරයට ද විශේෂ බලයක් ඇත. එම බලය ක්‍රියාත්මක වන්නේ සංඝානුමතියෙන් කඨිනය ඇතිරීම සඳහා පවරනු ලබන භික්‍ෂුවගේ මාර්ගයෙනි. මෙම පැවරීම විනයෙහි හැඳින්වෙන්නේ ඇතිරීම ( අත්‍ථරණ ) යනුවෙනි. ඇතිරීම යනු කිසියම් කලාපයක් ආවරණය කිරීමයි. කඨින චීවරය නිශ්චිත සඟ පිරිසක් ආරාමයක් හෝ ගමක් ආවරණය වන සේ එහි බලය ව්‍යාප්ත කිරීම යන අදහසින් ‘අත්‍ථරණ’ යන වචනය භාවිත කළා විය යුතු ය.

කඨින චීවරයේ බලය නිසා එය ඇතිරූ භික්‍ෂුවටත් ආනිශංස අනුමෝදන් වූ භික්‍ෂුන්ටත් ඇතැම් ශික්‍ෂා පදවලින් සහනයක් හිමිවේ. එනම් අනාමන්තචාර, අසමාදුනචාර ගණභොජන, යාවදත්‍ථ චීවර, චීවරුප්පාද යන ආනිශංසය.

චීවරය සඟ සසුනේ ප්‍රධානතම සංකේතයයි. අන් කවර ආගමික සංකේතයකටත් වඩා සිවුරම ප්‍රධාන වන්නේ එමඟින් භික්‍ෂුත්වය අර්ථවත් වන බැවිනි. භික්‍ෂුවක් නැතුව ශාසනයක් කෙසේවත් පැවතිය නොහැක. එබැවින් චීවරය කෙරෙහි ගිහි පැවිදි දෙපක්‍ෂයේම දැඩි අවධානයක් හා සැලකිල්ලක් තිබිය යුතු ය. තම ශීලපාරිශුද්ධිය අභියෝගයකට ලක් නොවුණු භික්‍ෂුවක් වෙත විනය කර්‍මයක් මඟින් චීවරයක් පවරා එහි අනුසස් අනුමෝදන්ව ඊට යටත්ව තම කටයුතු කර ගැනීමට භික්‍ෂූන් වහන්සේ යොමු කොට ඇත්තේ එනිසාය. විශේෂයෙන්ම චීවරය දරන පිරිස හෙවත් භික්‍ෂු පිරිස විනය නමැති රාමුව තුළ ස්ථාපනය විය යුතු බව එමඟින් ගම්‍ය කෙරේ. ශාසනයේ ආයුෂය සේ සැලකෙන විනයත්, භික්‍ෂුවත් අවියෝජනීය ප්‍රපඤ්ච දෙකකි.

කඨින චීවරය සාමූහික ඵලයකි. භික්‍ෂූන් වහන්සේ පස් නමක්වත් ඒ සඳහා එක්රැස් විය යුතුය. එක් දිනකදී සිවුරේ කටයුතු අවසන් කර ගැනීම සඳහා පිරිස් බලයක් අවශ්‍යය. එසේම එය සාංඝික කාය¸යක් බවට පත්වීම සඳහා එබඳු සංඝ සන්නිපාතයක් අවශ්‍යය.

ගිහි සමාජයේ සහභාගිත්වය ද කඨින චීවර පූජාවේ වැදගත් අංගයකි. II වන පණ්ඩිත පරාක්‍රමබාහු රජු අසූ මහ සව්වන් නිමිති කොට එක් දිනකදීම කපු කැට පුළුන් ගෙන නූල් සකසාගෙන රෙදි වියා කඨින පූජා අසූ හතරක් ස්ථාන අසු හතරකදී කළ බැව් ඉතිහාසගතය. මේ මතය තුළින් හැඟවෙන අදහස අගනේය. එනම් කඨිනය වැඩි ගිහි පිරිසකගේ සහායයෙන් කළයුතු පූජාවක් බවයි. දිනයක් දෙකක් තුළ වස්ත්‍රයක් වියා සකස් කිරීම සඳහා විශාල පිරිසක් අවශ්‍යය. එනිසා මේ උත්තුංග පූජාව සඳහා සමූහයක් එකතු විය යුතුය.

කෙසේ නමුත්, වර්‍තමානයේදී ද පෙරහර පවත්වමින් ගොදුරුගම පුරා හේවිසි හොරණෑ හඬවමින් පින්කම පිළිබඳ පණිවිඩය පතුරුවා හැරීම දකින්නට ලැබේ. විහාරස්ථානයක සියලු දායක ප්‍රජාව එකතු වී සිදුකරන පින්කමක් වන කඨින පූජාව සාමුහිකත්වය පිළිබිඹු කෙරෙන පින්කමකි.

කඨින පූජාවේ යටි අරුත වටහා ගැනීම හැමකල්හිම ඉතා වැදගත්ය. එනම් ශාසනය ආරක්‍ෂා කර ගැනීමේ අනිවාර්ය වගකීමක් ගිහි පැවිදි උභය පක්‍ෂයම සතුවන බවය. භික්‍ෂූන් වහන්සේ ශාසනයේ විනය නීති රාමුව ආරක්‍ෂා කරගත යුතු අතර ගිහි සමාජය සිව්පසය ලබාදීමෙන් ශාසනය පෝෂණය කිරීමත් කළ යුතුය.

කඨින පින්කම යනු පෘථුල සාමාජික අර්ථයන් ගම්‍ය කෙරෙන පූජාවකි. එහි සැබෑ අර්ථය සැඟවී යාමට ඉඩ නොදී ඉස්මතු කර ගෙන කටයුතු කිරීමට වග බලා ගැනීම ගිහි පැවිදි උභය පක්‍ෂයේම වගකීම විය යුතුය.

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 10 වැනි දා ඉරිදා පූර්ව භාග 00.30 ට ලබයි.
එදිනම අපරභාග 10.36 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය නොවැම්බර් 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]