UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිළින්දිවච්ඡ මහ රහත් චරිතාපදානය

පිළින්දිවච්ඡ මහ රහත් චරිතාපදානය

(මෙම ලිපියේ දෙවන කොටස නොවැම්බර් 03 වන දා පත්‍රයේ පළ විය. අද පළවන්නේ එහි අවසන් කොටසයි)

ශීතෝෂ්ණ නොදනිමි. ( සිරුරෙහි හෝ සිතෙහි ) දාහයක් නැත. මාගේ කාය චිත්ත සන්තාපයක් නොදනිමි. මාගේ ඒ කුශල කර්‍මයාගේ විපාකයෙන් රාගාග්නිය, වෙෂාග්නිය, මානාග්නිය, දෘෂ්ඨි අග්නිය යන සියලු අග්නීහු නිවී ගියාහු ය.

මොණර පියාපත් ද, සෙමෙර වලිගද, බුදුරදුන් කෙරෙහි හා උතුම් සඟ ගණ කෙරෙහි දී, මම කෙලෙස් රහිතව, සන්සිඳුණු කෙලෙස් ඇත්තෙව වෙසෙමි. පෙරහනද, ධර්‍මකරක නම්වූ පැන් පෙරහනද බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟ ගණ කෙරෙහි දී මාගේ කර්‍මයට සුදුසුවූ පඤ්චානිශංසයක් අනුභව කරමි. මම (සෙසු) සියල්ලන්ගේ ආයුෂ ඉක්මවා දිව්‍යමය ආයුෂ ලබමි. හැම කල්හි සොරුන් විසින් හෝ බලයෙන් පැහැරගෙන යුත්තෙක් නොවෙමි. අවියකින් හෝ විසයකින් හෝ වෙසෙසකුදු නොකෙරේ. එම පුණ්‍ය විපාකයෙන් මාගේ (නියමිත ආයුෂ නොගෙවී) අතරතුර මරණයකුදු නැත. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද තෙල් ගුලාවන් දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි. මනහර රූ ඇත්තේ, (එබඳුවූ ) මනෝඥ හඬ ඇත්තේ, මැනවින් උසස්වූ ( සමාධියෙන් යුත් ) සිත් ඇත්තේ, නොකැළඹුණු සිත් ඇත්තේ, සියලු ආරක්‍ෂකයන් විසින් රක්නා ලද්දෙක් වෙමි.

බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ගුලාවන් දී මාගේ කර්මයට සුදුසු අනුසස් තුනක් අනුභව කරමි. චිත්ත සුඛයද, කාය සුඛයද, ඉරියව්වලින් හටගත් සුවයද යන මේ ත්‍රිවිධ ගුණයන් ( සුව ) එම ගුණ්‍ය ඵලයෙන් මම ලබමි. චෙතොපරිය ගුණය හෙවත් පෙර ජාතීන් දක්නා නුවණ ලබමි. දෙවෙනි භවයද සිහි කරමි. එම පුණ්‍ය ඵලයෙන් සියලු භවයෙහිදීම මනා සිවි ඇත්තේ වෙමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද කාය බන්‍ධනයන් හෙවත් පටි දී මාගේ කර්‍මයට සුදුසු අනුසස් සයක් ලබමි. සමාධීන්හි කම්පා නොවෙමි. එසේම සමාධීන්හි වර්‍ග වෙමි. නොබෙදුනු පිරිස් ඇත්තේ වෙමි. හැමකල්හි අනුන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ වෙමි. එළඹ සිටි සිහි ඇත්තේ වෙමි. මට තැති ගැන්මක් නැත. මේ ගුණයෝ දෙව්ලොවෙහි වුවද, මිනිස් ලොවෙහි වුවද අනුවම එති.

බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ආධාරකයන් දී පස් අයුරකින් දායාද ඇත්තේ හෙවත් අනුසස් පසක් ලබන ලද්දේ වෙමි.කිසිවකින් කම්පා නොවෙමි. මා විසින් අසන ලද යම්කිසි ධර්‍ම කෙනෙක් වෙත්ද, ඒ ධර්‍මයෝ සිහිය හා නුවණ පොබයන්නෝ වෙති. සිත්හි ලා දරන ලද්ද (හෙවත් පාඩම් කළ දෙය) නොවැනසේ. එම සිත්හි ලා දරන ලද ධර්‍මයෝ මැනවින් තීරණය කරන ලද්දාහුද වෙති.

බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පරිභෝග භාජනයක් දී එම කර්‍මයට සුදුසුවූ අනුසස් තුනක් අනුභව කරමි. මම රුවන් මුවාවූ ද, මිණිමුවාවූ ද, යළි පිළිමිණිමුවාවූද, පියුම්රාමිණිමුවාවූද බඳුන් ලබමි. භායාවෝ ද, දාසිදාසයෝද, හස්ති අශ්ව රථ පාබල සෙනෙග ද, පතිවෘතා ස්ත්‍රීහු ද හැම කල්හි පරිභෝග වස්තූහු වෙත්. විද්‍යාවන්ටද, මන්ත්‍රපදයනටද, විවිධවූ ආගම් ධර්‍මයනටද, සියලු ශිල්පයනටද කන් යොමු කරමි. ඒවා හැම කල්හි ස්වකීය පරිභෝගය සඳහා වූවෝ වෙත්. බුදුරදුන් කෙරෙහි ද උතුම් සඟ ගණ කෙරෙහිද තලිදීි මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් තුනක් අනුභව කරමි.

රුවන් මුවා වූද, මිණිමුවා වූද, යළි පිළිමිණිමුවා වූද, පියුම්රාමිණි මුවා වූද තලි ( මම) ලබමි. ඵලවත් ඇසතුද, යළි පොකුරුපත්ද, මිහි බොන සක්ද යන තල ( මම ) ලබමි. වත්සපන්වූ, ගුණවත්වූ, ප්‍රතිපත්ති ඇති ආචාර ක්‍රියාවන්හිද නිපුණු මෙබඳු ගුණ එම පුණ්‍ය කර්‍ම බලයෙන් මම ලබන්නෙමි. බුදුරදුන් කෙරෙහිද බෙහෙත් දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි. ආයුෂ ඇත්තේ, බලවත් වූයේ, වීරගුණ ඇත්තේ, වර්‍ණවත් වූයේ, කීර්තිමත් වූයේ, සැප ඇත්තේ, උවදුරු රහිත වූයේ, හැම කල්හි (අනුන් විසින් ) පුදන ලදුයේ වෙමි. එම පුණ්‍ය කර්‍මයාගේ ඵලයෙන් මට ප්‍රිය විප්‍රයෝග දුකක් නැත.

බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පාවහන් දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් තුනක් අනුභව කරමි. හස්ති අශ්ව යානද, සිවිකා ( දෝලා ) සන්දමානික යන යනයෝද, සැට ලක්‍ෂයක් මා හැමකල්හිම පිරිවරත්. භවයෙහි සැරිසරන්නාවූ මට පියවරක් පාසා මැණික්වලින් කරන ලද්දාවූද, රුවනින් කරන ලද්දාවූද (පාවහන් ) නිපදිත්. නියම කළ දෙය කරා දුවත්. ආචාර ගුණ ශෝධනය කෙරෙත්. එම පුණ්‍ය ඵලයෙන් මම මෙම ගුණ ලබන්නෙමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද මිරිවැඩි දී කැමැති තාක් කල් සෘද්ධිමය මිරිවැඩි නැගී වෙසෙමි. බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද දිය පිස්නාකඩ දී මාගේ කර්‍මයට සුදුසුවූ පස් අනුසයක් ලබමි. මගේ සිරුර ස්වර්‍ණ වර්‍ණ වූයේ, රජස් රහිත වූයේ, ප්‍රභා සහිත වූයේ, සිනිඳු ද වේ. දැළි කුණු නොතැවරේ. එම පුණ්‍ය බලයෙන් මම මෙම ගුණ ලබමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද සරයටි දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් සයක් ලබමි. මට බොහෝ පුත්‍රයෝ වෙත්. මාගේ තැති ගැනීමක් නැත. සියලු ආරක්‍ෂකයන් විසින් රක්නා ලදුයේ, හැම කල්හි බලාත්කාරයෙන් නොපැහැර ගන්නා ලද්දෙක් වෙමි. මාගේ පැකිලීමක් නොදනිමි. මාගේ සිත්හි තැති ගැනීමක් ද නැත. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද මාගේ එම කර්‍මයනට සුදුසුවූ අනුසස් අටක් අනුභව කරමි.

සුදුවූ ද, කහවන්වූ ද, ලෙහෙවන් වූ ද, සියලු රෝගයන්ගෙන් වූ ද, නොකැලන් පහන් ඇස් ඇත්තේ, විසල්වූ ඇස් ඇත්තේද වෙමි. දිවැසද, අනුත්තරවූ පැණැසද ලබමි. මම එම පුණ්‍ය ඵලයෙන් මෙම ගුණ ලබමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහි ද යතුරු දී දහම් දොර හරවා නුවණ නමැති යතුරුද ලබමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද යතුරු දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දෙකක් අනුභව කරමි. මම රහිත වූයේ භවයෙහි සැරිසරන්නේ ස්වල්පවූ ක්‍රොධ ඇත්තේ ආයාස වෙමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද අංසයෙහි ලන පසුබිම් දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.

සමාධීන්හි කම්පා නොවෙමි. සමාධීන්හි වසඟව වෙසෙමි. නොබිඳෙන පිරිස් ඇත්තේ වෙමි. හැමකල්හි පිළිගතයුතු වචන ඇත්තේ ද වේ. භවයෙහි සැරිසරන්නාවූ මට භෝග සම්පත් හටගනී. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද දුම් පයිප්ප දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් තුනක් අනුභව කරමි. මාගේ සිහිය සෘජු වේ. මැනවින් සම්බන්ධ වූ නහර ඇත්තේද වේ. එම පුණ්‍ය ඵලයෙන් මම දිවැස් ලබමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පහන් මිල දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් තුනක් අනුභව කරමි. ජාතිමත් වූයේ, සම්පූර්‍ණ වූ ශරීරාවයව ඇත්තේ, ප්‍රඥාවත් වූයේ, බුද්ධිමත්යයි සම්මතවූයේ, එම පුණ්‍ය බලයෙන් මෙම ගුණ ලබමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද (ධාන්‍යමාන) බඳුන්ද, කරඬුද දී මාගේ එම කර්‍මයට සුදුසු අනුසස් දසයක් ලබමි.

හැමකල්හි ආරක්‍ෂා සහිත වූයේ, සැපයෙන් යුක්තවූයේ, මහත්වූ කීර්ති ඇත්තේ, මනා ගති ඇත්තේ, විපත්තීන්ගෙන් වෙන්වූයේ, සියුමැලිවූයේ, සියලු උවදුරු බැහැර කරන ලදුයේ, මහත් ගුණ ලාභී වූයේ, සමවූ හැසිරීම් ඇත්තේ, මාගේ මැනවින් බැහැරකළ උද්වේගය (චඤ්චල ගතිය ) ද ඇත්තේ ධාන්‍ය මිණුම්ද, කරඬුද, හස්ත්‍ය අශ්වාදී සිව්රඟ සෙනගද ලබමි. මාගේ එම සම්පත් විනාශ නොවේ. තුම්ඹ නම්වූ ධාන්‍ය මාන භාජන දානයෙහි මේ විපාකයයි.

බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද අඳුන් ( බේත් ) ගුළා දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි. සියලු ලක්‍ෂණයන්ගෙන් යුක්තවූයේ, ආයුෂින් හා ප්‍රඥාවෙන් ද යුතු වූයේ මාගේ හැම කල්හි සියලු ආයාසයන්ගෙන් වෙන්වූ කයද ඇත්තේ වේ. මුවහත්වු කතුරු බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහි ද කෙලෙස්සිඳින්නාවූ, පිරිසුදු වූ, අතුල්‍ය වූ නුවණ ලබමි. බුදුරදුන් කෙරෙහි ද උතුම් සඟ ගණ කෙරෙහිද හඬු දී අතුල්‍ය වූ, පිරිසුදු කෙලෙස් සිඳුනා නුවණ ලබමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද නශ්‍ය ද්‍රව්‍යාදියෙන් මාගේ එම කර්‍මයට සුදුසුවූ අට අනූසයක් ලබමි.

ශ්‍රධාවද, ශීලයද, ලජ්ජාවද, භයද, ශ්‍රැතයද, ත්‍යාගයද, ක්‍ෂාන්තියද, ප්‍රඥාවද මාගේ අටවැනි ගුණයයි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගුණ කෙරෙහිද පුටු දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි. මම උසස් කුලයෙහි උපදිමි. මහත් භෝග ඇත්තෙක් වෙමි. සියල්නෝ මට ගරු බුහුමන් කෙරෙත්. මාගේ කීර්ති තොමෝ උසස්ව පැන නැංගාහ. කල්ප සිය දහස්වර සිව්රැස් පර්ය්‍යඞ්කයෝ නිතර මා පිරිවරත්. මම දාන සංව¢භාගයෙහි දන් ( බෙදීමෙහි) යෙදුණේ ද වෙමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ගුදිරි දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් සයක් අනුභව කරමි. සමවු සිරුරු ඇත්තේ වෙමි. ( බොහෝ දෙනා විසින් ) ගරු බුහුමන් කරන ලදුයේ වෙමි. මෘදු සිරුරු ඇත්තේ වෙමි. මනහර දැකුම් ඇත්තේ වෙමි. නැණවත් පිරිවර ද ලබමි. ගුදිරි දනෙහි මේ විපාකයයි. මම පුළුන් පිරවූ මෙට්ටද, සිංහාදීන්ගේ රූ ඇති පලස්ද, මැණික් ඇල්ලූ පට වස්ත්‍රද, දීමෙන් විසිතුරු එළු ලොම් ඇතිරිද, නියදින් කළ උතුම් වස්ත්‍රද, නානාවිධ කම්බලද ලබමි.

මොලොක් උතුරු සළුද, මෘදු ඇඳුම් දිවි සම්ද, නොයෙක් ඇතිරිලි ද ලබමි. ගුදිරි දනෙහි මේ විපාකයයි. යම් කලක පටන් තමා පිළිබඳව සිතම්ද, යම් කලක පටන් නුවණැති බවට පැමිණියේ වෙම්ද, (එතැන් පටන්ම) නොසිස්වූ ධ්‍යාන නමැති මඤ්චය ඇත්තේ හෙවත් ධ්‍යාන ලාභීවූයේ වෙමි. හිසී දානයාගේ ( ගුදිරි දනෙහි) මේ විපාකයයි. බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද බුමුතුරුණු (කොට්ට) දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් හයක් අනුභව කරමි. එළු ලොම් ආදිය පිරෙව්වාවූද, පඤචාකාර මැහුම් ගෙත්තම් ඇත්තාවූද, ලෙහෙසියෙන්ම සඳුන් සුවඳ හමන්නාවූද, ඛම්බොහොනා (කොට්ට) හැමකල්හි මාගේ හිස තබමි. උතුම් ආය¸ අෂ්ටාංගික මාර්ගයෙහිද, චතුර් ශ්‍රමණ්‍ය ඵලයෙහිද, යන එම ධර්‍මයන් කෙරෙහි නුවණ මෙහෙයා හැම කල්හි වෙසෙමි. දීමෙහිද, (කාය චිත්ත) දමනයෙහිද, සංයමයෙ ( සන්හුන් බැව් ) හිද, අප්‍රමාණ්‍ය ධර්‍ම ( සිව් බඹ විහරණ) කෙරෙහිද, රූපාවචර ධ්‍යානයන්හිද, යන එකී ධර්‍මයන් කෙරෙහි නුවණ මෙහෙයා හැම කල්හි වෙසෙමි.

මම වත්සපන් ගුණයෙහි ද, ප්‍රතිපත්තීන්හි හා ආචාර ක්‍රියාවන්හි ද නුවණ උපදවා හැම කල්හි වෙසෙමි. සක්මණෙහිද, පදහන් වීරියෙහිද, බෝපැකි දහම්හිද යන එකී ධර්‍මයන්හි නුවණ උපදවා කැමැතිසේ වෙසෙමි. අනුත්තරවූ ශීලය, සමාධිය, ප්‍රඥාවය, විමුක්තිය යන එකී දහම්හි නුවණ වෙහෙසා මම සුවසේ වෙසෙමි. පිදුරු යොදා කළ පුටු බුදුරදුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද දී මාගේ එම කර්‍මයට සුදුසු අනුසස් දෙකක් ලබමි.

රන්මුවා වූද, පිණිමුවා වූද, දළමුවා වූද, හරමුවා වූද බොහෝ උතුම් පය¸ඩිතයන් ලබමි. පලාලපීඨ දානයාගේ මේ විපාකයයි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පා පුටු දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දෙකක් ලබමි. බොහෝ යානයන් ලබමි. පා පුටු දනෙහි මේද විපාකයකි. දැසිදස්සෝද, බිරියෝද, අනික් අනු ජීවීහුද, මට මැනවින් පරිවරණය කෙරෙත්. මේද පාපුටු දනෙහි විපාකයයි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ඇඟ ගල්වන තෙල් දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි.

මාගේ නිරෝගී බවද, රූමත් බවද, වහා ධර්‍මය වැටහෙන බවද, ආහාර පාන ලාභී බවද, ආයු පඤ්චකයද (ආයු - වර්‍ණ - සැප – බල – ප්‍රඥා) ද ලබමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ගිතෙල් දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි. හැමකල්හි පිනාගිය සිරුරින් හටගත් බලය ඇත්තේ, රූමත්වූයේ, නිරෝගීවුයේ, පැහැදුනු (ප්‍රකට) කෙනෙක් වෙමි. ගිතෙල් දනෙහි මේ විපාකයයි. මුවදෝනාව (බඳුන) ක් බුදුරදුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද දී, මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි. පිරිසුදු කණ්ඨය ( උගුර ) ඇත්තේ, මිහිරි ස්වර ඇත්තේ, කාස ස්වාසාදියෙන් තොරවූයේ, හැමකල්හි මාගේ මුවින් උපුල් මල් සුවඳ විහිදේ. බුදුරදුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද, සමෘද්ධි වූ දිහි දී උතුම්වූ කායගතා සති සංඛ්‍යාත අමෘත ධනය අනුභව කරමි. බුදුරදුන් කෙරෙහි ද උතුම් සඟ ගණ කෙරහිද වර්‍ණ, ගන්‍ධ, රසයන්ගෙන් යුක්තවීද, මම උපමාවක් කිය නොහැකි අතුල්‍යවූ විමුක්ති රසය පානය කරමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ඇති අයුරුවූ රසවත් දැය දී මාගේ එම කර්මයට සුදුසුවූ (සෝවාන් ආදී සිව් ) ඵලයන් අනුභව කරමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ආහාර පාන දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි.

මම ආයු ඇත්තේ, බල ඇත්තේ නුවණැත්තේ, වර්‍ණවත් වූයේ, පැනවත් වූයේ හැම කල්හි භවයෙහි සැරිසරන්නේ මෙම ගුණ ලබමි. බුදුරදුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද සුවඳ දී මාගේ එම කර්‍මයට සුදුසුවූ අනුසස් දසයක් ලබමි. මම කුදු මහත් වනයෙහි සැරිසරන්නේ, සුවඳවත් සිරුරු ඇත්තේ, කීර්තිමත් වූයේ, යශස් ඇත්තේ, ශීඝ්‍ර තීක්‍ෂණ භූරි භාසු ගම්භීර ප්‍රඥා ඇත්තේ, විපුලවූ ජවන ප්‍රඥා ඇත්තේද වෙමි. එම පුණ්‍ය කර්ම බලයෙන්ම දැන් ශිවවූ ශාන්ති සුඛයටද පැමිණියේ වෙමි.

ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරන ලදී. මා විසින් ක්ලේශයන් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්‍ෂයෝ ද, ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරන ලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සටහන: බණ්ඩාර පිළවල

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 10 වැනි දා ඉරිදා පූර්ව භාග 00.30 ට ලබයි.
එදිනම අපරභාග 10.36 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය නොවැම්බර් 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]