UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඳුරට සාප නොකර පහනක් දල්වමු

අඳුරට සාප නොකර පහනක් දල්වමු

ළමා ලෝකය බොහෝ සුන්දරයි. ඒ දරුවන්ගේ සිත් ප්‍රභාශ්වර යි. දරුවා ආලෝකයෙන් ආලෝකයට යැවිය යුත්තේ ඇයි යන්න වැඩිහිටි අප විමසා බැලිය යුතු වෙනවා.

හොඳ පුරවැසියෙක් ගොඩ නැගුවේ නැත්නම් අප මොනවා කළත් එහි විපාක අප සියලුම දෙනාට මතු දවසක භුක්ති විඳින්නට සිදුවෙනවා. එනිසා අඳුරට සාප නො කර එකිනෙකා හිතනවානම් මට පුළුවන් දේ මම කරනවා, එය අඳුරට පුංචි පහනක් දල්වීමක්. නැත්නම් අප සියලුම දෙනා එක පාරමට අඳුර මකන්න ගියොත් එය නිශ්ඵල දෙයක් වේවි. එක එක්කෙනාට කළහැකි දේ සමාජය වෙනුවෙන් පරිසරය වෙනුවෙන් දරු පරපුර වෙනුවෙන් වෙන වෙනම කරන්න

පින්වත් ස්වාමින් වහන්ස, සමාජය තුළින් දරුවාට දියහැකි ගුණධර්ම මොනවාද?

මුලින්ම අප දරුවෙකුට දියයුතු වන්නේ මනුස්සකම යි. අද අප තුළින් නැති වී යන එකම දෙයත් මනුස්සකම යි. ළමයි දැඩි ආත්මාර්ථකාමි ලෝකයකයි අද ජීවත් වෙන්නේ. අම්මා ගැන. තාත්තා ගැන හැඟීමක් නැහැ. සංවේදී බවක් නැහැ. සහෝදරයා, සහෝදරිය, අවට පරිසරය, සමාජය ගැන හැඟීමක් නැති තරමට දරුවා ආත්මාර්ථකාමි වෙලා. එයට ප්‍රධාන හේතුව ඒ ඒ පුද්ගලයා වස්තුව කෙරෙහි දරුවන් තුළ සංවේදීබවක් නැතිකම යි. සංවේදී බව කියන්නේ අනුකම්පාව, කරුණාව කියන දෙකයි. මේ කරුණු දෙක නැති වූ තැන තමා සංවේදි බවක් නැත්තේ. අනුකම්පාව කියන්නේ තවත් කෙනෙකුගේ වේදනාවක් දුකක් දැනෙන මනුස්සයෙක් බිහි කර ගැනීම යි. ඒ තත්ත්වයට දරුවා පත්කර ගැනීම අප සියලු දෙනාගේ යුතුකමක් මෙන්ම වගකීමක් වෙනවා. ඒ මානසික මට්ටම අපේ දරුවාට ඇතිකළේ නැත්නම් දැඩි ආත්මාර්ථකාමි ලෝකයක දුක් විඳින මිනිසුන් ලෙස අපට පත්වීමට සිදුවෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ආගමික වශයෙන් දෙන්න පුළුවන් හැදියාව අප දිය යුතු වෙනවා. ඒ හැදියාව තවත් කෙනෙක් කෙරෙහි හිතන්න පුරුදු කිරීම. මෙත්, කරුණා ගුණ කියන්නේ එයට යි. අපේ මවුපියෝ පාලකයෝ වැඩිහිටියෝ සියලු දෙනාම ආගමික පැත්තට තැනක් නොදී වැඩ කටයුතු කරන තුරු අපට කටුක ප්‍රතිඵලයි ලැබෙන්නේ. හොඳ පුරවැසියෙක් ගොඩ නැගුවේ නැත්නම් අප මොනවා කළත් එහි විපාක අප සියලුම දෙනාට මතු දවසක භුක්ති විඳින්නට සිදුවෙනවා. එනිසා අඳුරට සාප නො කර එකිනෙකා හිතනවානම් මට පුළුවන් දේ මම කරනවා, එය අඳුරට පුංචි පහනක් දල්වීමක්. නැත්නම් අප සියලුම දෙනා එක පාරමට අඳුර මකන්න ගියොත් එය නිශ්ඵල දෙයක් වේවි. එක එක්කෙනාට කළහැකි දේ සමාජය වෙනුවෙන් පරිසරය වෙනුවෙන් දරු පරපුර වෙනුවෙන් වෙන වෙනම කරන්න. අනිත් කෙනාගේ සහයෝගය නැහැ කියා බලා සිටීම නිදහසට කරුණක් නොවේ. එය මතු පරපුර වෙනුවෙන් වගකීම් පැහැර හැරීමක් කියලයි මට සිතෙන්නේ.

සිඟිති ලොවට බුදු සමිඳුන් වඩමවා ගන්නේ කෙසේ ද?

ළමා ලෝකය බොහෝ සුන්දරයි. ඒ ලෝකයට තරම් බුදු හාමුදුරුවෝ වැඩම කරවීම ඉතාමත් පහසු යි. දරුවා පුදුමාකාර නම්‍යශීලි අහිංසක පිවිතුරු කෙනෙක්. ඒ දරුවා හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ අපත් සමඟ හිනාවෙනවා කියලා. කුඩා දරුවා උන්වහන්සේ සමඟ කථා කරන්න ඉතා කැමැතියි. කුඩා ළමයෙක්ගෙන් ඇසුවොත් බුදුරජාණන් වහන්සේ ගැන, ඒ ළමයි කියන්නේ උන්වහන්සේ අපට හරිම ආදරෙයි කියලා. ඒ තරම් හැඟීමක් කුඩා දරුවාට තිබෙනවා. මේ වගේ සංකල්ප තුළ දරුවෙකුට යමක් සමීප කිරීම බොහෝම පහසුයි. ඒ සඳහා දැනට තිබෙන වැඩපිළිවෙල් ඇත්තටම ප්‍රමාණවත් නැහැ.

අපේ රටේ මාධ්‍ය අංශ ගණනාවක් තිබෙනවා. එයින් ළමා මනස වර්ධනය කිරීමට වැඩසටහන් ප්‍රචාරය වන්නේ ඉතාමත් සුළු වශයෙන්. බොහෝ මාධ්‍ය වලින් කාටුන් පෙන්වනවා. එයට බොහෝ ළමයි ඇබ්බැහි වී සිටින්නේ. ඒ කාටුන් වල තිබෙන්නේ යහපත් දේ නොවේ. කාටුන් තුළින් විපතක් කරලා සතුටුවීමක් තිබෙන්නේ. උගුලක් අටවලා එයට පැටලුනාම සතුටුවෙන විදිහට ළමයා හුරු කරනවා. ඒ ආකාරයෙන් වැරැදි පණිවිඩයක් තමා දරුවාට දෙන්නේ. අනිත් අයට හැරිහැර කරලා සතුටුවීමේ සංකල්පය බුදුදහමේ උගන්වන්නේ නැහැ. මෙතරම් කල් තිබූ මනුස්සකම අකාමකා දාන්නේ් ඒ වගේ දේ තුළින්. එනිසා අප කොතරම් මේවා ගැන හඬ නැඟුවත් ඉන් ඵලක් වෙන බවක් පෙනෙන්නේ නැහැ. අවධානය යොමුවිය යුතු අයට එය ඇහෙන්නේ නැහැ. ඔවුන් ක්‍රියාත්මක නො කරන තාක් අපට සිඟිති ලොවට බුදු සමිඳු වඩම්වා ගන්න පහසු නැහැ. එනිසා ළමයින්ට බෞද්ධ ආගමික තේමාව යටතේ වැඩසටහන් තිබිය යුතුයි.

මාධ්‍ය හරහා සවස බුද්ධ වන්දනාව ප්‍රචාරය වෙනවා. ඒ දිහා බලා බොහෝ ළමයි සවසට බුදුන් වඳින බව අප දන්නවා. ටික ටික ලොකු වෙනකොට බුද්ධ වන්දනාවෙන් සමහර ළමයි ඈත්වුණත් කුඩා කාලයේ දී ඒ බුද්ධ වන්දනාව නිසි ලෙස කරනවා. සමහර මව්පියන් අපට කියා තිබෙනවා හාමුදුරුවනේ, මේ ළමයා සවස හයවන විට රූපවාහිනිය දාලා බුදුන් වඳිනවා කියලා. ඒ දරුවන්ට බුදුරජාණන් වහන්සේ වැඩම කරවීම දරුවගේ හිතට ළංකරවීමට අමාරු දෙයක් නොවේ. එය පහසුයි. එයට වැඩිහිටියන්ගේ වුවමනාව පමණයි අවශ්‍ය. මෙයට ක්‍රමාණුකූල සංවිධානාත්මකව වැඩසටහන් විකාශනය විය යුතු වෙනවා. අපේ රටට සාරධර්ම දෙපාර්තමේන්තුවක් අත්‍යවශ්‍යයි කියලා අප යෝජනා කරන්නේ ඒ නිසයි. පෙරදී මවුපියන්ගේ් දරුවට බොහෝ යහපත් දේ කියා දුන්නා.

අද එය බොහෝ දුරස් වෙලා. එනිසාම අප සංවිධානාත්මකව සංවිධානය වෙලා ළමා ලෝකයට මේ සාරධර්ම ගොනු කිරීමේ වැඩපිළිවෙලක් සකසා දීම වැදගත්. එහිදී බෞද්ධ දරුවාට බුද්ධාගම ගැනත්, අනෙක් ආගම්වල දරුවන්ට ඒ ඒ ශාස්තෘවරුන් ගැනත් කියා දීම වැදගත්. බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙන ගන්නා දරුවා කිසි දිනක පවට නැඹුරු වන්නේ නැහැ. වැරදි වැඩ, පවු වැඩ, කරන්නේ නැහැ. මම මව්පියන්ට යෝජනා කරනවා ඔබේ දරුවා අකීකරු නම්, පවට බරනම් හැම දේටම පෙර දරුවාට බුදුදහමේ හරය කියා දෙන්න. ගුණ ධර්මවලට යොමු කරන්න. ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ඇසුර ලබා දෙන්න. පවට භය හා ලජ්ජාව ඇති කරන්න. එවිට නිරන්තරයෙන්ම මාපියන්ගේ ගුණ දන්නා මෙත්තා, කරුණා. මුදිතා, උපේක්ඛා ගුණ වලින් පිරිපුන් දරු පරපුරක් අපට බිහිවේවි. එයට මුලින් තම මවුපියන් ඉදිරිපත් විය යුතුවෙනවා. මාධ්‍ය ආයතනත් මෙහි යම් වගකීමක් ගතයුතු වෙනවා. ළමා චිත්‍රපට නාට්‍ය අපේ රටේ බිහි වන්නේ ඉතාමත් කලාතුරකින්. ධර්ම දේශනා තුළිනුත් ළමා මනස හික්මීමක් ඇතිකළ හැකියි. කුඩා කාලයේ දී හොඳ දේ දුන්නේ නැතිනම් තරුණ කාලයේ දී ඒ දේ දීම අපහසුයි. එය විහිලුවක් බවට පමණයි පත්වන්නේ.

දරුවන්ගේ ලොවින් එහාට ගොස් අප විමසා බැලුවොත් ...

සමහර අය අපෙනුත් අහනවා මෙතරම් බණ කියනා රටේ අපරාධ වැඩි ඇයි? කියලා. මෙයට සමගාමීව තවත් තිබෙන ප්‍රශ්නයක් තමා දැන් බුදුදහම පිරිහෙනවා කියලා. ඇත්තෙන්ම අප දුවන ගමන නවත්වා සිහි කල්පනාවෙන් මේ දිහා බැලුවොත් අපට පෙනෙනවා පිරිහිලා තිබෙන්නේ බුදුදහම නොවේ. පිරිහිලා තිබෙන්නේ මිනිසුන්ගේ ගතිගුණ යි. මිනිසුන්ගේ පරිහානිය බුදුදහමත් සමඟ සංසන්ධනය කළයුතු වන්නේ් නැහැ. වෙන වෙන පාරවල් ඔස්සේ අධිවේගි ගමනක යෙදෙන්නේ මිනිසුන්. අර්ථයක් ඇතිදේට පිටු පාන්නේ ඔවුන්. ඉන්පස්සේ එක පොදියට අමාරුවේ වැටුණාම බුදුදහම පිරිහිලා කියා චෝදනා කරනවා.

මීට වසර 2600ට පෙර බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිර්මල ශ්‍රී සද්ධර්මයේ එක වචනයක්වත් බොරුවෙලා නැහැ. ඒ සත්‍ය ඒ විදිහම යි. එය අසත්‍ය වූවානම් තමා බුදුදහම පිරිහුනා කියන්නේ. උන්වහන්සේ වදාළ ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යම් කෙනෙක් ගමන් කළොත් එදත් නිවන අවබෝධ කළා. අදත් ඒ ආකාරයටම නිවන අවබෝධ කිරීමට හැකියාව තිබෙනවා. මේ දහමේ වටිනාකම නො දැන මෙයට පිටුපා වෙනත් මාර්ගවල ගමන් කරපු වැඩිහිටියෝ පාලකයෝ වගකිව යුත්තන් නිසා තමා මේ විනාශය ඇතිවුණේ. පිරිහිලා තිබෙන්නේ ඔවුන්ගේ මනස යි. බුදුදහම නොවේ.

ඒ වගේම කොතරම් බණ කීවත් අපරාධ වැඩි වන්නේ බණ අහන අයගෙන් නොවේ. බොහෝ දුරට අපරාධ කරන්නේ කිසියම් හෝ දහම් පදයක් නො ඇසුණු, පවට භය නැති,. පව ගැන නො දන්නා අයයි. අප සමාජයේ ඉන්න නරකයි කියන අයට ධර්ම ශ්‍රවණයක් ඇත්තේම නැහැ. එවැනි අය මේ සඳහා කොටුකර ගැනීමට පුළුවන්නම් එය සාර්ථක වන්න පුළුවන්. අපරාධ කරලා හසුවුනාම බන්ධනාගාරගත කරනවා. එහෙම බන්ධනාගාරගත කළාට පස්සේ නිසියාකාරව හෝ දහමට යොමු කරනවානම් එයින් නිදහස් වූ පුද්ගලයාට යම් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් තිබිය හැකියි. වර්තමානයේ දී බන්ධනාගාරය තුළ ආගමික වැඩසටහන් විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට ධර්මයේ පහස ලබා දෙනවා. නමුත් එයින් මඟ හැරෙන පිරිසකුත් ඉන්නවා. බන්ධනාගාරයේ ඉන්න සුළු වැරැදිවලට දඬුවම් ලබන අයට බණ අසන්න අවස්ථාව ලැබෙන්නේ. ලොකු අපරාධකරුවන්ටත් ඒ අවස්ථාව දෙමු. එනිසා කරන සේවය තවත් පුළුල් කර හැමෝම මේ දහම ඇසීමට පවට බිය ඇති කිරීමට අවස්ථාවක් ලබා දෙනවානම් එය වඩාත් හොඳයි. එහෙම වුණොත් අපරාධ අඩුකර ගැනීමට අවස්ථාව ලැබෙයි.

සටහන: නයනා නිල්මිණි


මව්පිය සෙනෙහසක මහිමය 3 වන කොටස - නිවසේ බුද්ධ වන්දනාව ළමා මනස හික්මවයි

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 10 වැනි දා ඉරිදා පූර්ව භාග 00.30 ට ලබයි.
එදිනම අපරභාග 10.36 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය නොවැම්බර් 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]