UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැලිතර අමරනන්ද අනු නා හිමි ජන්ම සමරුවට පින්කම් මාලාවක්

වැලිතර අමරනන්ද අනු නා හිමි ජන්ම සමරුවට පින්කම් මාලාවක්

අහුන්ගල්ල, මරදාන ශ්‍රී පුලිනතලාරාමාධිපති,අමරපුර චූලගණ්ඨි මහා නිකායේ අනුනායක, ශාසනකීර්ති ශ්‍රී ධර්මවිශාරද පණ්ඩිත විචිත්‍රභාණී වැලිතර අමරනන්ද අනු නා හිමිගේ 55 වන ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද පින්කම් මාලාවක් 2013 නොවැම්බර් 10 දින සිට අහුන්ගල්ල පුලිනතලාරාමයේදී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

මා උපන්නේ දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ බලපිටියට ආසන්න වැලිතර ගමේ, අපේ මහ ගෙදර තියෙන්නේ් වැලිතර නායක පන්සලට අල්ලපු වත්තේ. ගෙදර සිට බැලුවම ඉස්සරවෙලාම පේන්නේ පන්සලේ බුද්ධමන්දිරය, මගේ තාත්තා දනියෙල් ද සිල්වා, අම්මා එල්. සිසිලි ද සිල්වා. ඒ දෙන්නම බොහොම ගුණවන්ත, ශ්‍රද්ධාවන්ත දෙන්නෙක්. පවුලේ සහෝදරයන් හතර දෙනෙක් හා සහෝදරියන් තුන්දෙනෙක් ඉන්නවා” යැයි වැලිතර අමරනන්ද අනු නා හිමියෝ පැවසූහ.

මා මූලික අධ්‍යාපනය හැදෑරුවේ බලපිටිය රේවත විද්‍යාලයෙන්. එය අද ජාතික පාසලක්. පාසලේම තිබුණ දහම් පාසලෙනුත් දහම් අධ්‍යාපනය ලැබුවා. ඒ දවස්වල සතුටෙන් විනෝදයෙන් ඉගෙන ගත්ත නිසා පාසල් කාලය සුන්දරව ගත කළා. 1973 මාර්තු මාසේ 13 වෙනිදා අපේ පන්සලේ මගේ වයසේ විතර ළමයි දෙන්නෙක් මහණ කළා. ඒ උත්සවය බලන්න මමත් ගියා. ඒ පින්කම දුටු විට මටත් මහණ වෙන්න සිතුණා. ඒ බව මා පන්සලේ හිටිය උත්තමසීහ හාමුදුරුවන්ට කිව්වා. උන්වහන්සේ දෙමාපියන් සමඟ කතා කරලා කැමැති කරවගෙන පන්සලේ නවත්වාගෙන අවශ්‍ය මූලික බණ දහම් හා වත්පිළිවෙත් ඉගැන්වූවා.මම 1973 මැයි 22 දින නායක පන්සලේදී වලගෙදර අමරවංස අනු නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි වුණා.

පැවිදි කරන විට මගේ තාත්තා ලොකු හාමුදුරුවන්ගෙන් කළ ඉල්ලීමක් මගේ ජීවිතයේ අධ්‍යාපනයට තදින්ම බල පෑවා. ඒ කාලේ උසස් අධ්‍යාපනය ලැබූ ගොඩක් පැවිදි අය උපැවිදිවීම නිසා මගේ් තාත්තා ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටියා මට වැඩිපුර උගන්වන්න ඕන නැහැ. බණ ටිකක් කියන්නයි, පිරිත් ටිකක් කියන්නයි, මිනිස්සුන්ගේ ආගමික වැඩ කරන්නයි දැනුම දුන්නම හොඳටම ඇති කියලා. ඒ අනුව කොස්ගොඩ සරණංකර මහ නා හිමියන්ගෙන් ධර්මවිනය හා පාලි භාෂාවත්, කොස්ගොඩ මංගල නා හිමියන්ගෙන් පිරිත් හා ආගමික කටයුතුත් හොඳින් ඉගෙන ගත්තා. 1978 ජූලි 09 වනිදා වතුරේගම ඤාණෝභාස මහ නා හිමියන්ගේ උපාධ්‍යායයත්වයෙන් උපසම්පදාව ලැබුවා.

උපසම්පදාවෙන් පස්සේ නායක පන්සලේ වැඩසිටිමින් ගුරු හාමුදුරුවන් සමඟ සමාජසේවා කටයුතු වල වැඩිපුර යෙදුණා. විශේෂයෙන්ම අහුන්ගල්ල දුම්රිය බස්රිය ඛේදවාචකය සිදුවුණු වෙලාවේ මහත් කැපවීමකින් යුතුව අවශ්‍ය සියලු දේවල් සම්පාදනය කළා. ඒවගේම අමරපුර චූලගණ්ඨි නිකායේ උපසම්පදා පින්කම සිදු කරන්නේ අපේ නායක පන්සලේ. ඒ සඳහා සම්බන්ධ වෙන ගිහි පැවිදි සියලු දෙනාට ප්‍රත්‍ය පහසුකම් හා අනෙකුත් සියලු අවශ්‍යතා සපුරාළමින් එය සංවිධානය කරන්න මුල් වෙන්නේ මමයි. මා වැඩියෙන්ම සතුටු වෙන්නේ අහුන්ගල්ල මරදාන පුලිනතලාරාම පන්සලට හා ඒ අවට ගම්මානයට සිදු කළ සේවය ගැනයි. මේ පන්සල වල්බිහිවෙලා ගරාවැටිලා තිබුණු පන්සලක්. මා මේ ටික කාලයේ දී දෙමහල් සංඝාවාසය සහිත දාන ශාලාව, නවධාතු මන්දිරය සහිත දෙමහල් ධර්මශාලා මන්දිරය, පුස්තකාලය, බෝධි ප්‍රාකාරය , වාහල්කඩ, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ආදි විහාරාංග ඉදිකරමින් අංග සම්පූර්ණ රමණීය විහාරස්ථානයක් බවට පත් කළා. මේ සියලු දේට වඩා සතුටු වන්නේ ‘සාම කරුණා කැකුළු සමාජය’ ආරම්භ කිරීමෙන්. එමගින් ගමේ කුඩා දරුදැරියන්ගේ කුසලතා හා දැනුම වර්ධනය කරන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අවුරුදු පතා ලක්‍ෂ ගණන් වියදම් කරලා ඒ දරුවන්ට අවශ්‍ය සියලු පාසල් උපකරණ ද්‍රව්‍ය ලබා දෙනවා.


2008 ජනවාරි 26 වෙනිදා අහුන්ගල්ල පුලිනතලාරාමයේ දී අරමංගොඩ පඤ්ඤාතිලක මහා නා හිමියන් විසින් අනු නායක පදවිය පිළිබඳ විජිනිපත ප්‍රදානය කරනු ලැබූ අයුරු.

මට සහජයෙන්ම අන් අය සුවපත් කිරීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ තුළින් විවිධ ආබාධයන්ගෙන්, දුක්පීඩාවලින් දුක් විඳින ජනතාවට සහනයක් සුවසෙතක් ලබා දෙනවා. මේ වෙනකොට දහස් ගණනක් ජනතාව මා සුවපත් කරලා ඇති. ඒවගේම සෙත්කවි හා නක්‍ෂත්‍රවලින් දහස් ගණනකගේ අපල උපද්‍රව නැති කරලා තියෙනවා. සෑම දවසකටම මගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් ලංකාවේ නොයෙක් ගම් වලින් විස්සක් තිහක් විතර මිනිස්සු එනවා. රටටම සෙත් පතමින් දිනපතා ගුවන්විදුලි නාලිකාවකින් සෙත් කවි ගායනා කරන්න ලැබීම භාග්‍යයක් කියලයි මා හිතන්නේ.

මේ සියලු ආගමික හා සාමාජීය සේවාවන් ගැන සතුටු වුණු විවිධ ආයතන හා සංවිධාන මට නොයෙක් නොයෙක් ගරු නාම සම්මුති හා පදවි තානාන්තර පිරිනමල තියෙනවා. ඒ අතරින් අමරපුර චූළගණ්ඨි නිකායේ අනුනායක පදවිය ලැබීම තමයි මා ඉමහත් ගෞරවයක් කොට සලකන්නේ. මගේ ගුරු දේවයන් වහන්සේ වූ වලගෙදර අමරවංස නා හිමියොත් නිකායේ අනුනායක ධුරය දැරුවා. මේ ළඟදී නිකායේ පාලක කාරක සංඝ සභාවේ සභාපති පදවියත් මා වෙත පිරිනැමුවා.

මේ සියලු දේවල් ඉදිරියට ගෙන යාමට සමත් පැවිදි ශිෂ්‍ය පිරිසක් ඇති කරන්න හැකිවීම මා ලබන විශේෂම සතුටයි. ඒ අතරෙන් ප්‍රධාන ශිෂ්‍ය ලීලාගම අමරකිත්ති හිමියන් විශේෂයෙන් මතක් කරන්න ඕන. උන්වහන්සේ තමයි මේ සියලු කටයුතුවලදී මට සෙවණැල්ලක් වගේ සිටිමින් සහයෝගය දක්වන්නේ. උන්වහන්සේ මාලේවන ඤාණිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධියත් හැදෑරුවා. ඒවගේම අමරවංස දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙසත් කටයුතු කරනවා” යැයි උන්වහන්සේ පැවසූහ.
 


විශිෂ්ට අධ්‍යාපන සේවාවක් ඉටු කළා


අනු නා හිමියන් පැවිදි ශිෂ්‍ය පිරිස සමඟ.

දහනව වන සියවසේ ලක්දිව වැඩසිටි අග්‍රගණ්‍ය පඬිරුවනක් වූ පාලි මහා චක්‍රවර්ති වැලිතර ඒ.යූ. ඒ ඤාණතිලක මාහිමියන් විසින් ආරම්භ කරන ලද විජ්ජෝභාස පිරිවෙන කාලයාගේ ඇවෑමෙන් දීර්ඝ කාලයක් වැසී තිබුණු අතර, එය නැවත ආරම්භ කිරීමෙහිලා පුරෝගාමි වූයේ අප අමරනන්ද අනු නා හිමියන් ය. එදා සිට අද දක්වාම එම පිරිවෙන් කෘත්‍යාධිකාරි අධ්‍යක්‍ෂ ධුරය උසුලමින් පැවිදි අධ්‍යාපනය සඳහා මහඟු සේවයක් සිදු කරනු ලබයි.අහුන්ගල්ල පුලිනතලාරාමයේ අමරවංස දහම්පාසල ආරම්භ කිරීම, එම දරුවන් හා ප්‍රදේශවාසීන් උදෙසා අමරඤාණ පුස්තකාලය ආරම්භ කිරීම තවත් අධ්‍යාපන සේවයකි. එසේම ‘සාම කරුණා කැකුළු ළමා සමාජය’ ආරම්භ කොට අධ්‍යාපනය ලබන ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සලසනු ලබයි. එම සේවාව ඈත දුෂ්කර ගම්මාන කරා ද ගෙන යමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොරවැව ගම්මානය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුස්දිවුල්වැව ගම්මානවල දරුවන් උදෙසා ද මූල්‍යාධාර හා පාසල් උපකරණ ලබා දුන්හ.


දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තු ජීවිතය නමැති ගැලෙහි රෝද ගැලවී නොයන ලෙස සවි කළ කඩ ඇණය බව බුදුන් වහන්සේ පැහැදිලි කළහ. ගිහි සමාජයටත්, පැවිදි සමාජයටත් මෙම සතර සංග්‍රහ වස්තු අදාළ වේ.අමරපුර චූළගණ්ඨි මහා නිකායේ අනුනායක වැලිතර අමරනන්ද මාහිමියන්ගේ පැවිදි දිවිය සාර්ථකව ඉදිරියට ඇදෙන්නේ එම සතර සංග්‍රහ වස්තු උන්වහන්සේ ගේ ජීවිතය තුළ ඇති නිසාය.මෙය කෙනෙකුගේ් දිවියක අහම්බෙන් පහළවන්නක් නොවේ. එය සංසාර පුරුද්දක් විය යුතුය. කරුණාව හා ප්‍රඥාව යන මූලික ගුණාංග දෙක බුදුසසුනේ පදනම වෙයි. කරුණාව යනු මිනිසාට පමණක් නොව සියලු සතුන් කෙරෙහි ද, ඔවුන්ගේ විපතේදී සත් ජනයෙකුගේ සිතක ඇතිවන කම්පනයයි. අන් අයගේ දුක තමාගේ දුකක් බවට දැනෙන, එබඳු අවස්ථාවක, වෙඬරු, පිඬක් සේ උණුවෙන ළතෙත් හදවතක් අමරනන්ද අනු නා හිමියන් තුළ දකිමි. එබැවින් අමරනන්ද අනු නා හිමියන් කරුණා ගුණයෙන් පිරිපුන් බුදු පුතෙකි.

 

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 10 වැනි දා ඉරිදා පූර්ව භාග 00.30 ට ලබයි.
එදිනම අපරභාග 10.36 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 10 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය නොවැම්බර් 17 වැනි දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]