Print this Article


ඍද්ධිපාද වඩමු - 1

ඍද්ධිපාද වඩමු - 1

පින්වත්නි,අප අපේ ජීවිතය හැකි පමණ උසස් දෙයක් බවට පත්කර ගන්ට ඕනෑ. ඒ සඳහා අපට අවස්ථාවක් තියෙනවා. අපේ ජීවිතය උසස් දෙයක් බවට පත්කර ගන්ට. එය අපට තේරුණේ නැත්නම්, අපට කවදාවත් ජීවිතේ උසස් දෙයක් බවට පත්කර ගන්ට ලැබෙන්නෙ නෑ. අවස්ථාව තිබෙද්දී ඒ අවස්ථාව තිබෙනවා කියල අපට තේරුණේ නැත්නම් සහ තේරුම් ගන්ට උත්සාහ කරන්නෙත් නැත්නම් ඒක අවාසනාවක්. නමුත් මේ පින්වතුන් තමන්ගේ ජීවිතය දියුණු කර ගැනීමට තිබෙන අවස්ථාව යම් තරමකින් හෝ තේරුම් ගෙන ඇතියි කියල සිතනව. එනිසා අප කල්පනා කළා ජීවිතය පිරිහෙන්න නොදී නියත වශයෙන්ම උසස් දෙයක් බවට පත්කර ගැනීම පිණිස උපකාරවන අතිශයින්ම ගැඹුරු ධර්මයක් සිහි කර දෙන්න.

ගැඹුරු ධර්මයක් කියල කිව්වාම මේ පින්වතුන්ට බය සිතෙන්ට පුළුවන්. එසේ බය ඇති වෙන්ට නෙමෙයි. අප එහෙම කිව්වෙ. යම් ගැඹුරු දෙයක් ගාම්භීර දෙයක් අපේ ජීවිතයට පමුණුවා ගන්ට ඇත්නම් අපේ ජීවිතය උසස් වෙනව නේද කියන වැටහීමක් ඇති කරගන්ටයි. ඒ විදිහට කිව්වෙ . ඒ ධර්මය තමයි “සතර ඍද්ධිපාද “භාග්‍යවතුන් වහන්සේ විසින් සතර ඍද්ධිපාද පිළිබඳව කරන ලද දේශනාවල එකතුවක් තිබෙනවා. සංයුක්ත නිකාය පහ දෙක කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ ඒ දේශනා එකතුවට කියනව “ඍද්ධිපාද සංයුක්තය” කියල. ඒ දේශනා අතුරින් දේශනා කිහිපයක් පිළිබඳව කතා කරන්ට අප කල්පනා කළා. හොඳට ඒ කාරණා මතක තියාගෙන පුරුදු කරගන්ට බලන්න.

මේ ධර්මයන් අපට බොහෝ ප්‍රයෝජන පිණිස පවතිනවා. මේ ධර්මයන් පිළිබඳව වැටහීමක් නැතුව මේ ධර්මයන්ගේ භාවිතයක් වෙන්නේ නෑ. මේ ධර්මයන්ගේ භාවිතයක් නොවී,මේ ධර්මයන්ගෙන් උපයා ගත හැකි ප්‍රතිඵලයක් උපදින්නේ නෑ. මේ ධර්මයන්ගෙන් උපදවා ගත හැකි ප්‍රතිඵලයක් උපදවා නොගෙන දුකින් නිදහස් වීමක් නෑ. ඒ නිසා අප මේ ධර්මයන් පුරුදු වීමට කැමැති විය යුතුයි. භාවිත කළ යුතුයි. එසේ ඒ ධර්මයන් භාවිත කරන්නට නම් ඒ ධර්මයන් ගැන ප්‍රමාණවත් වැටහීමක් අප ඇතිකර ගත යුතුයි. මේ ධර්ම කරුණුවල යම් අමාරු බවක් තියෙයි. තේරුම් ගන්ට අපහසුවක් තියෙයි. අප උත්සාහ කරනවා අපහසුව අවම වෙන විදිහට ඒ ගැන කතා කරන්ට.

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා ‘අපාර’ කියල සූත්‍ර දේශනාවක්. මේ දේශනාව කියා දෙන්නේ සැවැත් නුවරදී, ඒකේ මේ විදිහට කියා දෙනවා. පින්වත් මහණෙනි, මේ ඍද්ධිපාද හතරක් තිබෙනවා. ඒවා භාවිත කළොත් පුරුදු කළොත් බහුල වශයෙන් පුරුදු කළොත්, ඒ කියන්නෙ ඍද්ධිපාද සතර බහුල වශයෙන් පුරුදු කිරීම මෙතෙරින් එතෙරවීම පිණිස පවතිනවා. මෙතෙර කියල කියන්නේ මේ සංසාරය, එතෙර කියල කියන්නේ් නිවන, එසේ නම් මේ සතර ඍද්ධිපාදයන් භාවිතා කිරීම, බහුල වශයෙන් පුරුදු කිරීම , මේ සසරින් නිදහස් වෙලා නිවන කරා යෑම පිණිස හේතු වෙනවා.

මොනවද ඒ ඍද්ධිපාද සතර? භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා. “ පින්වත් මහණෙනි, භික්‍ෂුව ඡන්ද සමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වන ඍද්ධිපාද වඩනවා. වීරිය සමාධිපධාන සංකාරවලින් යුක්ත වූ ඍද්ධිපාදය වඩනවා. චිත්ත සමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වූ ඍද්ධිපාද වඩනවා. විමංසා සමාධිපධාන සංස්කාරයන් යුක්ත වූ ඍද්ධිපාද වඩනවා. පින්වත් මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් භාවිතා කිරීම බහුල වශයෙන් පුරුදු කිරීම මෙතෙරින් එතෙර වීම පිණිස පවතිනවා.

එවිට අපේ කැමැත්ත තිබිය යුත්තේ සහ උත්සාහ කළ යුත්තේ මෙතෙරින් එතෙර වෙන්ට. අප කෙළවරක් නොපෙනෙන දීර්ඝ ගමනක ආවා. අප මෙතෙරින් එතෙර නොවුණොත් ආයෙත් මේ ආව වගේම යන්ට වෙනවා. ඒ නිසා අප මෙතෙරින් එතෙර වෙන්ට නම් ඍද්ධිපාද වැඩීම කළ යුතුයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා “ විරද්ධ” කියන සූත්‍රයේදී “ පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් මේ සසර ඍද්ධිපාදයෝ වරද්දා ගනියි ද, අන්න එයා ඉතා හොඳින් දුක් ක්ෂය කිරීම පිණිස පවතින ආර්ය වූ මාර්ගය වරද්දා ගත්තා වෙනවා. පින්වත් මහණෙනි, යම් කිසි කෙනෙක් මේ සතර, ඍද්ධිපාදයන් ආරම්භ කළා නම්, අන්න එයා ඉතා හොඳින් දුක් ක්ෂය වීම පිණිස පවතින ආර්ය වූ මග පටන් ගත්තා වෙනවා. “හොඳට මතක තියා ගන්න මේ කරුණු.

එවිට, යම් කෙනෙක් මේ ඍද්ධිපාද හතර වරද්දා ගත්තොත් ඉතා හොඳින් දුක් ක්ෂය කිරීම පිණිස පවතින ආර්ය වූ මඟ වරද්ද ගත්තා වෙනවා. නමුත් යම් කෙනෙක් මේ ඍද්ධිපාද සතර පටන් ගත්තොත් එයා ඉතා හොඳින් දුක් ක්ෂය කිරීම පිණිස පවතින ආර්ය වූ මඟ පටන් ගත්තා වෙනවා. එහෙනම් අපට නිවන් මඟ පටන් ගන්න තියෙන්නේ කොහෙන්ද? ඍද්ධිපාද පටන් ගැනීමෙන්, ඒක අමතක වුණොත් අපට නිවන් මග පටන් ගන්න අමතක වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ “අරිය” කියන සූත්‍ර දේශනාවේදී කියල දෙනවා.” පින්වත් මහණෙනි,මේ ඍද්ධිපාද හතර බහුල වශයෙන් පුරුදු කරනවා නම් ආර්ය වූ නිවන කෙරෙහි යොමු වූ නිවන උපද්දවන මඟ ඇති කරනවා ” කියල .

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ “නිබ්බදා “ කියන සූත්‍ර දේශනාවේදි කියා දෙනවා. “ පින්වත් මහණෙනි, මේ ඍද්ධිපාද හතර භාවිත කර බහුල වශයෙන් පුරුදු කිරීමක් තියෙනවද , අන්න ඒ භාවිත කිරීම බහුල වශයෙන් පුරුදු කිරීම ඒකාන්ත වශයෙන් අවබෝධයෙන් කළකිරීම පිණිස පවතිනවා. විරාගය පිණිස පවතිනවා. ඇල්ම දුරුවීම පිණිස පවතිනවා. නි‍රෝධය පිණිස, කෙලෙස් දුරුවීම පිණිස පවතිනවා. සිත සංසිඳීම පිණිස පවතිනවා. විශේෂ අවබෝධය පිණිස පවතිනවා. ආර්ය සත්‍යය අවබෝධය පිණිස පවතිනවා. නිවන අවබෝධ කිරීම පිණිසත් පවතිනවා “ කියල. එතකොට යම් කෙනෙක් තුළ අවබෝධයෙන් කලකිරීම ඇතිවුණොත් නොඇල්ම ඇති වෙනවා. අවබෝධයෙන් කල කිරෙනවා කියල කියන්නේ යමක අර්ථයක් නෑ කියල දැන ගැනීම, යමක අර්ථයක් නෑ. හිස් දෙයක්, අර්ථ ශූන්‍යයි කියල දැන ගැනීම තමයි අවබෝධයෙන් කලකිරීම කියල කියන්නේ.අර්ථයක් නෑ. දුකක් තියෙන්නේ. දුකින් තොර බවක් නෑ. මට වුවමනා විදිහට පවත්ව ගන්ට බෑ කියල යම් වැටහීමක් ඇති වෙනව නම්,අන්න ඒක තමයි අවබෝධයෙන් කලකිරෙනවා කියල කියන්නේ.

යමෙක් සසර ගැන මේ ආකාරයෙන් තේරුම් ගත්තොත් එයා කිසි දේකට ආස වෙනවද? ආසාව අඩු වෙනවා. විරාගය ඇති වෙනවා යම් ආසාවක් තිබුණ නම් ඒ ආසාව අඩු වෙනවා. රාගය නැති වෙනවා. ඒ රාගය නැති වුණේ කුමක් නිසාද? දැන් මෙහෙම සිතන්න. චොක්ලට් දාපු ලොකු කේක් එකක් තියෙනවා. මේක දැකපු කෙනෙකුට ආසාවෙන් කටට කෙළ උනනවා. ගිහිල්ල බලනවා සුවඳක් නම් එන්නේ නෑ. දැන් මොකද මේ ආසාව ටිකක් අඩුවෙනවා. අත තිබ්බහම චොක්ලට් ටිකක් ඇලෙනවා. තොලේ ගාගන්නවා .ආසාව අඩුවෙනවද? නෑ. ආසාව වැඩි වෙනවා. දැන් පිහියක් එහෙම අරගෙන ලෑස්ති වෙනවා කපල කන්ට. කපල කන්ට යනකොට මොකද්ද වෙන්නෙ? එතන රිජිපෝම් තියෙන්නේ. හිතපු දේ නෑ. රැවටුණා. වටපිට බලනවා කවුරුත් දැක්කද කියල කලින් තිබුණු ආසාවට මොකද වෙන්නේ ? කලින් ආසාවක් තිබුණ නේද? දැන් ඒ ආසාවට මොකද වුණේ? ඒ දේ ගැන ආයෙ ඒ ආසාව ඉපදෙන්නෙ නෑ නේද? ඒ වගේ තමයි සසර ගැනත්. අන්න ඒ විදිහට අවබෝධයකින් කලකිරුන නම් ආසාව නැති වෙනවා. විරාගය ඇති වෙනවා. ඊට පස්සේ ඒකට තියන කැමැත්ත නැති වෙනවා. ඇල්ම නැති වුණාට පස්සේ ඇල්ම නිසා යම් අපිරිසුදු බවක් තිබුණ නම් අන්න ඒක දුරු වෙනවා.ආසාව නැතිවුණා. ආසාව නිසා කෙලෙස් ඇති වුණා නම් අන්න ඒ කෙලෙස් ටික දුරු වෙනවා. නිරුද්ධ වෙලා යනවා. ඇල්ම නැති වුණා. බැඳීම් නිරුද්ධ වෙලා යනවා. බැඳිලා තිබුණ දේ නැති වෙනවා. එකයි නිරෝධාය කියල කියන්නේ.

බැඳීල තිබුණ දෙයක් අයින් වෙලා ගියාට පස්සේ සංසිදෙනවා. නිශ්චල වෙනවා. යම් දෙයකට බැඳිල තිබුණාම එතන සංසුන් බවක් නෑ. දැන් සිත නොයෙකුත් දේට බැඳිල. ඒ බන්ධන නිසා සිත පීඩාවෙන් ඉන්නේ. නමුත් ඒ බැඳීම් අයින් වෙලා ගියාට පස්සේ නිශ්චලයි. සිත නිශ්චල බවට පත් වෙනවා සංසිෙඳනවා. ඒකට කියනවා “උපසමාය” කියල . ඒ විදිහට හිත නිශ්චල වුණාට පසසේ ඒ නිශ්චල වු සිතෙන් විශේෂ අවබෝධයන් ඇතිකර ගන්ට පුළුවන්. ඒකට කියනවා “අභිඤ්ඤාය” කියල. ඊට පස්සේ ඒ සිතෙන් පුළුවන් ආර්ය සත්‍යය අවබෝධය ඇති කර ගන්ට. ඒ කියන්නේ මේ තමයි දුක, මේ තමයි දුකේ හට ගැනීම,මේ තමයි දුකේ නැතිවීම .මේ තමයි දුක් නැති කරන මග කියල ආර්ය සත්‍යය අවබෝධ කර ගන්ට පුළුවන්. ඒකට කියනවා. “සම්බෝධාය” කියල.

ඊට පස්සේ ආර්ය සත්‍යය අවබෝධ කරගත් කෙනාට මොකද වෙන්නේ ? එයාගෙ ආශ්‍රව ක්ෂය වෙනවා. ඉපදීම පිණිසම යම් හේතුවන්නා වූ දෙයක් චිත්ත අභ්‍යන්තරයේ තිබුණා නම් ඒක තමයි ආශ්‍රව ඉපදීමට හේතුවෙන දේවල් සිත අභ්‍යන්තරයේ තියනවා. ඒ දේ තියන කල්ම ඉපදීම සකස් වෙනවා. ඒකට කියනවා ආශ්‍රව කියල. එතකොට ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය ඇතිවුණාට පසසේ ඒ ඉපදීම පිණිස තියෙන හේතුව ක්ෂය වෙනවා. මොකක්ද හේතුව? ආශ්‍රව, ක්ෂය වෙනවා. එයාට තේරෙනවා . සත්‍යය අවබෝධ වුණා. එයාට ආර්ය සත්‍යය අවබෝධයත් එක්ක ඉපදීමට හේතුවන ආශ්‍රව සම්පූර්ණයෙන්ම ක්ෂය වුණා කියල තේරෙනවා.

ඒකට කියනවා “ආසවක්‍යය ඤාණය” කියල. දැන් එයාට තේරෙනවා ඉපදීම ක්ෂය වුණා. බඹසර ජීවිතය පිළිබඳ කළ යුතු දෙයක් තියනවා නම් කරල අවසානයි. බඹසර ජීවිතය පරිපූර්ණයි කියල එයා දන්නවා. එතකොට එයා නිවන අවබෝධ කරල. නිවනේ සිත පිහිටල.

බලන්න අන්න ඒ විදිහට යම් කෙනෙක් දියුණු වෙනව නම්. ඒක තමයි නොපිරිහෙන දියුණුව. ආයේ එයා පිරිහෙන්නෙ නෑ. යම් කෙනෙක් පිනක් කර ගන්නව. ඒ පිනේ් විපාක විදිහට දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. ඒ පින ගෙවුනට පස්සේ එයා ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි නම් ආයෙ සතර අපායට වැටෙනවා. යම් කෙනෙක් සමාධිය වඩනව බ්‍රහ්ම ලෝකෙ යනවා.ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි නම් ආයෙත් එයා සතර අපායෙ උපදිනවා. එතකොට බලන්න ඒ ලැබු දියුණුව දියුණුවක්ද? ඒක තාවකාලික එකක්. ඒකට දියුණුව කියල සැලකීම සුදුසු නෑ. පිරිහෙන දෙයක්. නමුත් බලන්න ඍද්ධිපාද වඩන කෙනාට ඇතිව දියුණුව. එයා තුළ සිදුවන දේ තමයි ඒකාන්ත වශයෙන් එයා සසර කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරුනට පස්සෙ ආසාව නැතිවෙන්ට පටන් ගන්නවා. ඊට පස්සේ එයාගෙ බැදීම් නිරුද්ධ වෙලා යනවා. සිත සංසිදෙනවා. සංසිඳුන සිතින් විශේෂ අවබෝධයන් ඇති වෙනවා. ආර්ය සත්‍යය අවබෝධ කර ගන්නවා. ඉපදීම ක්ෂය වෙලා නිවන අවබෝධ කර ගන්නවා. එතකොට එයා කවදාවත් පිරිහෙන්නේ නෑ. කිසි කෙනෙකුට එයාට පිරිහීම පිණිස යමක් කරන්ටත් බෑ. ඒ නිසා අන්න එබඳු දියුණුවක් ඇතිකර ගන්ට අපි කැමැති වෙන්ට ඕනෑ. ඒ සඳහා උපකාරවන දේ තමයි ඍද්ධිපාද වැඩීම.

‘භික්ඛු සූත්‍රය’ කියල දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මෙන්න මේ වගේ කාරණා කිහිපයක්. “ පින්වත් මහණෙනි, අතීත කාලයේ වාසය කළ යම් භික්‍ෂුවක් ආශ්‍රව ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත බවට පත්වූ චිත්ත විමුක්තියක් ප්‍රඥා විමුක්තියත් ඒ ජීවිතයේම තමන්ගේ විශේෂ වූ නුවණින් අවබෝධ කරගෙන එයට පැමිණ වාසය කළා නම්, ඒ සියල්ලන්ම මේ ඍද්ධිපාද සතර භාවිත කළා. ඒ සියල්ලන්ම මේ ඍද්ධිපාද සතර බහුල වශයෙන් පුරුදු කළ අයයි. පින්වත් මහණෙනි, අනාගතයේ පහළවන යම් භික්ෂුවක් ආශ්‍රව ක්ෂය වීමෙන්, ආශ්‍රව රහිත බවට පත්වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේ විශේෂ නුවණින් අවබෝධ කරගෙන එයට පැමිණ වාසය කරනවා නම් ප්‍රඥා විමුක්තියත්, චිත්ත විමුක්තියත් යන දෙකට පැමිණ වාසය කරනවා නම් ඒ සියලු දෙනාම මේ සතර ඍද්ධිපාදයන් භාවිත කළා. බහුල වශයෙන් භාවිත කළා. පින්වත් මහණෙනි, ඒ වගේම වර්තමාන කාලයේ යම් භික්ෂුවක් ආශ්‍රව ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත බවට පත්වන චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේ නුවණින් අවබෝධ වාසය කරනවා නම් ඒ සියලු දෙනාම මේ සතර ඍද්ධිපාද පුරුදු කිරීමෙන් බහුල වශයෙන් පුරුදු කිරීමෙන් ම”යි කියල.

මොනවද ඒ ඍද්ධිපාද සතර ඡන්දසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වන ඍද්ධිපාදය, විරියසමාධිපධාන සංකාරවලින් යුක්ත වූ ඍද්ධිපාදය,චිත්තසමාධිපධාන සංකාරයන්ගෙන් සමන්විත වූ ඍද්ධිපාදය, විමංසාසමාධිපධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය එතකොට බලන්න අතීත කාලයේදී යම් භික්ෂුවක් ආශ්‍රව ක්ෂය කරගෙන ආශ්‍රව රහිත බවට පත්වුණා නම් චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් උපදවා ගත්තා නම් ඒ ජීවිතයේදීම, ඒ සියලු දෙනාම මේ සතර ඍද්ධිපාද වැඩූ අයයි.

අනාගත කාලෙදි යම් භිකෂුවක් ආශ්‍රව රහිත බවට පත්වෙලා චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය දෙක ඒ ජීවිතයේදීම අවබෝධ කරගෙන වාසය කරනවා නම් ඒ සියලු දෙනාම මේ සතර ඍද්ධිපාද බහුල වශයෙන් පුරුදු කළ අයයි. වර්තමාන කාලෙත් එහෙමයි. වෙන ක්‍රමයකින් නොවෙයි දැන් බලන්න අප මේ ඉගෙන ගත්ත ධර්මයන් ගැන අපට වැටහීමක් ඇති වුණොත් ඇතිකර ගත්තොත්, මේ සතර ඍද්ධිපාද වැඩීම ගැන අප තුළ විශ්වාසයක් එහෙම නැත්නම් එය කළ යුතුයි කියන අදහසක් ඇතිකර ගන්න පුළුවන් නේද? සතර ඍද්ධිපාද වලින් තොරව ජීවිතේ් නිවන් මඟට පමුණවා ගන්ටවත්, නිවන් මඟ ගමන් කරන්ටවත් නො ලැබෙන බව දැන් මේ පින්වතුන්ට වැටහෙනවා ඇති. සියලු දෙනාටම මේ උතුම් සතර ඍද්ධිපාද ධර්මයන් පුරුදු කිරීම පිණිස කැමැත්ත ඇති වේවා.!