Print this Article


පූජාච පුජනීයානං

පූජාච පුජනීයානං

ගම්පහ ශ්‍රී සුමේධානන්ද නා හිමි

ගම්පහ ශ්‍රී සුමේධානන්ද නා හිමිගේ ජන්මභූමිය වූයේ ඌව පළාතේ ගම්පහ කෝරළේයි. ගම්පහ වන්නුග්ගම විසූ රාජපක්‍ෂ පාසල වන්නුකු මුදියන්සේලාගේ කිරිවන්තෙ සහ විජේකෝන් මුදියන්සේලාගේ හීංමැණිකේ යන සැදැහැබර දම්පතීහු දෙමව්පියෝ වූහ. 1918 පෙබරවාරි මස 19 වෙනි දින උපන් පුත් කුමරු නමින් රාජපක්ෂ වාසලවන්නකු මුදියන්සේලාගේ පුංචිබණ්ඩාර නම් විය. ඌව ගම්පහ මස්පන්න රජයේ ස්වභාෂා මිශ්‍ර පාඨශාලාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේය. 1933 ජුනි මස 08 වෙනි දින උතුම් පැවිදි භූමියට පත් වී ගම්පහ සුමේධානන්ද යන ශාසනික නාමය ලැබුවේය. සුමේධානන්ද හිමියන්ගේ ආචාර්යපාදයන් වහන්සේ වූයේ සිරි සද්ධම්ම වංශාලංකාර දීගල්ලේ සිරි ධම්මාරාම නාහිමිපාණන් වහන්සේයි. සිය ගුරු ඇසුරෙන් මූලික ධර්ම විනය හා හෙරණ දිවියකට අවශ්‍ය ආරාමික ශික්ෂණය ලබා වැඩිදුර ශාසනික අධ්‍යාපනය ලැබීමට කොත්මලේ වටද්දර ශ්‍රී ඤාණෝදය පිරිවෙනට ඇතුළත් විය . එහිදී උන්වහන්සේ ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම යන විභාග වලින් උසස් සාමාර්ථයක් ලබා ගත්හ. අනතුරුව මහනුවර මල්වතු මහා විහාරස්ථ සංඝරාජ පිරිවෙනට ඇතුළත්ව තවදුරටත් ඉගෙනීම පුළුල් කර ගත්හ.

විසි වයස් සපිරි කල අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබුවේ 1940 ජුනි මස 18 වෙනිදා විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මහා විහාරයේ දීය. උපාධ්‍යායන් වහන්සේ වූයේ පණ්ඩිත විදුරුපොළ ශ්‍රී පියතිස්සාභිධාන උඩරට අමරපුර මහා නිකායේ මහානායක හිමියන් ය.

සුමේධානන්ද හිමියන් පැල්මඩුල්ලේ ශ්‍රී සුධර්මාරාම පිරිවෙනේ ද උඩුදුම්බර ශ්‍රී ධර්මාරාම පිරිවෙණ, හිඟුරක්ගොඩ, හිඟුරක්දමන කාශ්‍යප පිරිවෙන, මාවනැල්ල අබේගොඩ ශ්‍රී සුධර්ශනාරාම විශ්ව විද්‍යාලයානුබද්ධ පිරිවෙන, මහනුවර කටුකැලේ මහත්මා ගාන්ධි විද්‍යාලය, මාවනැල්ල හිඟුල රජමහා විහාර පිරිවෙන යන විද්‍යාස්ථාන වල ඉගැන්වීමේ කටයුතු නොපිරිහෙළා ඉටු කළහ.

විවිධ ප්‍රදේශවල දහම් පාසල් ගණනාවකම දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමට පුරෝගාමී වූහ. මහනුවර දෙය්යන්ගේ ශ්‍රී සෝමානන්ද දහම් පාසල මහනුවර කටුකැලේ සීතා දහම් පාසල යන දහම් පාසල්වල ප්‍රධානාචාර්ය ධුර දරමින් ධර්මදානමය සේවයක යෙදුනහ.

සිය ගුරු හිමියන්ගේ අපවත් වීමෙන් නිල්දණ්ඩාහීන්නේ අභිනවාරාමයේ අධිපතිත්වය භාරගත් සුමේධානන්ද නාහිමි විහාරස්ථාන කාර්යසාධක සමිතිය ශක්තිමත් කොට ස්ථානයේ දියුණුව සඳහා ඇප කැප වූහ. නිල්දණ්ඩාහීන්නේ සර්වෝදය වැඩිහිටි සංගමයේ අනුශාසකත්වය දරන උන්වහන්සේ වලපනේ තෛ‍්‍රනිකායික විහාරාධිපති සංගමයේද අනුශාසකවරයාණෝ වෙති. නිල්දණ්ඩාහීන්න ආයුර්වේද රෝහල් සංවර්ධන හා සුබසාධක සමිතියේ අනුශාසකත්වයද දරන අතර වලපනේ සාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති ධුරය ද හොබවා තිබේ. තම ආරාමයේ අධිකාරි බලය තම එකම ශිෂ්‍ය රූපහ සාසනජෝති හිමියන්ට පැවරීමෙන් පසුව වලපනේ ඉහළ දියුණුවක් ලබා ඇති විහාර ස්ථානයක් බවට පත් වී තිබීම සුමේධානන්ද නාහිමිපාණන්ගේ සුවිශේෂ ශාසනික මෙහෙයක් බව කිව යුතුය.

ගම්පහ සුමේධානන්ද හිමියන්ගෙන් අධ්‍යාපනික සාමාජික හා ශාසනික වශයෙන් සිදු වූ සේවයට ගෞරවයක් වශයෙන් උඩරට අමරපුර මහා නිකායික මහා සංඝ සභාවෙන් සිරි සද්ධම්මකිත්ති සිරි ධම්මාරාම යන ගෞරව නාමය සහිතව කර්මාචාර්ය පදවියක් පිරිනමා 2005 දී උඩරට අමරපුර මහා නිකායේ විහාරගොඩ භික්ෂු පරම්පරාවේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පත්කරන්න යෙදුනි.

මෙසේ බුදු සසුනටත් රටටත් ජාතියටත් බෞද්ධ ජනතාවට හා දරු දැරියන්ටත් ඉමහත් සේවයක් කොට වදාළ ගම්පහ ශ්‍රී සුමේධානන්ද නා හිමිපාණන් වහන්සේ වසර අනූ අටක් ආයුවින්දනය කොට 2013/08/15 දින අපවත් වී වදාළ සේක. උන්වහන්සේගේ අපවත් වීමෙන් තෙමසක් පිරීම නිමිතිකර ගෙන 2013/11/15 /16 යන දිනයන්හි බෝධි පූජා ධර්ම දේශනා ඇතුළු ශතාධික සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට විහාරාධිපති රූපහ සාසනජෝති හිමි ප්‍රධාන දායක සභාව සංවිධානය කර ඇත. එපින් බලෙන් උන්වහන්සේට අමාමහ නිවන් සැප ලැබේවා!


නවදගල සෝභිත නාහිමි

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ඉහළ ශ්‍රී බෝධිරාජාරාමාධිපති, නවදගල සෝභිත අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ දකුණු පළාතටත් අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායටත් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මටත් හේතුවන මහ යතිවරයාණන් කෙනෙකි.

ඇල්පිටිය, නවදගල පදිංචිව සිටි සුපින්වත් පවුලක් වන ආර්.පී. තෙනේරිස් සහ ඇල්.කේ. සොපිනෝනා යන දම්පතීන්ට දාව ආර්.පී. සිරිසේන නමින් 1945.10.18 දින උපත ලැබීය. මේ කුමරා මූලික අධ්‍යාපනය ලැබුවේ නවදගල මහා විද්‍යාලයේදී ය. වයස අවුරුදු 15 දී නවදගල ඇටෝරාව ශ්‍රී ශිලාලේඛනාරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ බෙන්තර වලල්ලාවිට කෝරළයේ සම්මාන නායක ධුරන්දර බටුවන්හේනේ සුමනතිස්ස නාහිමියන්ගේ හා අපවත්වී වදාළ ගොළුවාමුල්ලේ රතනාලංකාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් නවදගල සෝභිත නමින් 1960 නොවැම්බර් 25 දින සසුන්ගත විය. එතැන් පටන් අම්බලන්ගොඩ රංදොඹේ ශික්‍ෂාලංකාර මහ පිරිවෙනේ ප්‍රාචීන ප්‍රාරම්භය දක්වා එහි දහම් අධ්‍යාපනය ලබා ගත්තේ ය. උන්වහන්සේ 1967 ජූලි 29 දින බලපිටිය මාදුනදියේ පිහිටි ‘උදකුක්ඛේප’ සීමා මාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

1972 දී ඇල්පිටිය ඉහළ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයට වැඩම කළ උන්වහන්සේ එම ස්ථානය අංගසම්පූර්ණ දැකුම්කළු විහාරස්ථානයක් බවට පත් කරන ලදී. 1975 දී සිරිඅභයතිස්ස නමින් දහම් පාසලක් ද ආරම්භ කරන ලදී. දැනට මෙම දහම් පාසලේ දරු දැරියන් 300 පමණ දහම් අධ්‍යාපනය ලබති. මෙවන් උදාර ශාසනික මෙහෙවරක් කරනු ලබන මෙම ස්වාමීන් වහන්සේගේ ශාසනික සේවයට උපහාර පිණිස 1979 දී අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ මහනායකව වැඩ සිටි තලල්ලේ ධම්මානන්ද නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව මඟින් ඇල්පිටිය ප්‍රධාන බෙන්තර වලල්ලාවිට, කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය” සිරි සුගත ශාසන ශෝභන විචිත්‍ර භානක සිරිසුමනතිස්ස වංශද්වජ” ගෞරව නාම සහිතව ප්‍රදානය ද නිකායේ “සුධර්මා” නම් කාරක සංඝ සභාවේ කාරක සභික ධුරය ද පිරිනමන ලදී. සිල්වත් භාවයෙන් අගතැන්පත් සෝභිත නා හිමිපාණෝ දිනපතා සවස බෝධිපූජාවන් පවත්වා සියලු දෙනාටත් යාබද මූලික රෝහලේ නේවාසික සියලු රෝගීන්ටත් සෙත් පතමින් විශාල මෙහෙවරක් කරනු ලබයි. මෙවන් විශාල මෙහෙවරක් ආගමික ශාසනික වශයෙන් කරන උන්වහන්සේට 2009 වසරේ දී “සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසනධජ සරභඤ්ඤ විශාරද” යන ගෞරව උපාධි නාමයෙන් ද පිදුම් ලැබූහ.

ඇල්පිටිය සමථමූල මණ්ඩලයේ සාම විනිසුරු පදවියකින් ද පිදුම් ලැබූහ.

මෙවන් උදාර ආගමික ශාසනික මෙහෙවරක් කරනු ලබන නා හිමිපාණන් වහන්සේ 2013 ඔක්තෝම්බර් 18 දින 68 වන වියට පා තබයි. උන්වහන්සේට නිදුක් නීරෝගි භාවය සහ දීර්ඝායුෂ ලැබේවායි පතමි.


මිරිස්වත්තේ සුමන හිමි

උණවටුන බෝධිරාජ විහාරයේ විහාරාධිකාරි ශ්‍රාස්ත්‍රපති, සාහිත්‍ය ශුරි,මිරිස්වත්තේ, සුමන හිමිපාණන් හබරාදුව සමථ මූල මණ්ඩල සභාපති ධුරයෙන් පිදුම් ලැබූහ. ඇල්පිටිය කහදූව මිරිස්වත්ත ගම්පියසෙහි උපත ලැබූ සුමන හිමියන් ගාල්ල ඒරමුල්ල කනිටු විදුහලින් සහ ගාල්ල කුරුදුගහහැතැක්ම ශාන්ත මරියා මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලැබූහ.

1982 දී සුමන හිමියන් ගාල්ල යටගල රාජ මහා විහාරය සහ ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක අෂ්ඨමහා විහාරාධිපති ධුරය හෙබවූ තල්පෙ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක වත්තහේනේ කීර්ති ශ්‍රී ගුණරතන නායක හිමිපාණන් ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි දිවියට ඇතුළත් විය. යටගල හෙට්ඨාවල ජ්‍යෙෂ්ඨ පිරිවෙනේ අධ්‍යාපනය ලැබූහ. 1989 දී උපසම්පදා දිවියට ඇතුළත් වූහ.

රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත්වී ගෞරව ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ද 1997 දී ශ්‍රී ලංකා බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබාගත් හිමිපාණෝ කලක් සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස රුහුණු විශ්ව විද්‍යාලයෙහි සේවය කළහ. වර්තමානයෙහි ගාල්ල යටගල හෙට්ඨාවල ජ්‍යෙෂ්ඨ පිරිවෙනේ පරිවෙණාචාර්ය හිමිවරයෙකු ලෙස සේවය කරයි.

විහාරස්ථානයට අනුබද්ධව සුමන බොදු ළමා සමාජය අරබමින් ඒ තුළින් ප්‍රදේශයේ කුඩා දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනමමින් ඔවුන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටුකරමිනි.

උණුවටුන බෝධිරාජ දහම් පාසැලේ ප්‍රධානාචාර්යවරයා වෙයි.

සුමන හිමිපාණෝ ග්‍රන්ථකරණයෙහි පමණක් නොව ශාන්ති කාව්‍ය නිර්මාණයෙහි ද (සෙත් කවි) විශිෂ්ට දක්ෂතා දක්වනු ලබන හිමිනමකි. සුමන හිමියන් කරන ලද ආගමික සහ සමාජ සේවා කටයුතු අගය කිරීමක් ලෙස සද්ධර්ම වාගීස්වර, දර්ශන විශාරද, විනය කීර්ති, ශ්‍රී රතනසාර , යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.

හබරාදුව සමථ මූල මණ්ඩල සභාපති ධුරයෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති සාහිත්‍ය ශුරි විනය කීර්ති ශ්‍රී රතනසාර, සද්ධර්ම වාගීස්වර මුළු දිවයිනටම සාමවිනිසුරු මිරිස්වත්තේ සුමන හිමිපාණන්ට තවත් දිගු කලක් ආගමික සහ සමාජ සේවා කටයුතුවල නිරතවීමට ශක්තිය, ධෛර්ය සහ නිරෝගි සුවය ලැබේවැයි පතමු.


මාපලානේ ආනන්ද හිමි

මාතර කඹුරුපිටිය මාපලාන ග්‍රාමවරයෙහි විසූ දික්වැල්ලගේ හින්නි අප්පුහාමි උපාසක මහතාට දාව කටපොලුගේ එමලිහාමි උපාසිකා මාතාවගේ කුසින් උපන් දෙවන දරුවා දික්වැල්ලගේ ලීලානන්ද නම් විය. 1943 – 02 – 22 වන දින මෙලොව එළිය දුටු මෙම පින්වත් කුමරුවා මාපලාන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබී ය.

ගුණ යහපත් කමින් යුතු මෙම දරුවාගේ හේතු සම්පත් දුටු පවුලේ සම්භාවනීය ඤාතිවරයෙකු වූ ගාල්ල දඩල්ල රාජපූජිත මහවලව්වේ මහමුදලින්දාරාම මහා විහාරාධිපති “ සිරි ධීරානන්ද වංසාලංකාර” මාපලානේ ධම්මජෝති නාහිමියෝ දෙමාපිය අවසරය ගෙන ලීලානන්ද කුමරුවා සසුන් ගත කළහ. 1945 – 10 – 29 වන දින මාපලානේ ආනන්ද හිමි නමින් උතුම් පැවිද්ද ලද අතර, බොපේ ශ්‍රී පියරත්න පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබීය. කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් සහ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

1969 – 06 – 27 වන දින බලපිටිය මහා කප්පින වලව්ව අසළ මාදු නදී ස්වේජින් සීමාවේ දී උපසම්පදාව ලදහ. අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක ධුරන්දර සිරි සද්ධම්ම වංසපාල ගණාචරිය කොස්ගොඩ ධම්මවංස මහා නා හිමියෝ උපාධ්‍යාය වූහ. කොස්ගොඩ සිරි විසුද්ධි, තලල්ලේ ධම්මානන්ද, පින්වත්තේ දේවානන්ද යන නාහිමිවරු කර්මාචාර්යවරු වූහ.

කොළඹ මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාමය මාපලානේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් අභිනවයෙන් ගොඩනැඟුණු විහාරස්ථානයකි. බ්ලූමැන්ඩල් පාරේ ධර්ම ජයන්ති පෙර පාසල ආරම්භ කර ජාති ආගම් භේදයෙන් තොරව දැයේ දරුවන් උදෙසා කරන ලද මහඟුª මෙහෙවර ප්‍රසංශා කටයුතු ය.

උපතින් හැටනව වසරක් ගත වූ මාපලානේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ 2012 – 11 – 14 වන දින අපවත් වී වදාළහ.

වර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.