Print this Article


ධාතු මන්දිරය විවෘත කැරෙන අළුත්අම්බලම ශ්‍රී සුධර්මාරාම මහා විහාරය

ධාතු මන්දිරය විවෘත කැරෙන අළුත්අම්බලම ශ්‍රී සුධර්මාරාම මහා විහාරය

ඉහළ කොස්ගම අළුත්අම්බලම ශ්‍රී සුධර්මාරාම මහා විහාරයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම මෙම මස 07 වන දා සිදු කැරේ.

ධාතු මන්දිරයකින් පිදුම් ලබන ඉහළ කොස්ගම අළුත්අම්බලම ශ්‍රී සුධර්මාරාම මහා විහාරය පිළිබඳව ද යමක් සඳහන් කිරීම උචිතය. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගම්නියම්ගම් – නගර අතුරෙන් කොස්ගම ද කුඩා නගරයකි. ඉහළ - පහළ වශයෙන් දෙකොටසකට බෙදී ඇති කොස්ගම ඉහළ කොටස අළුත් අම්බලම නමින් ද හැඳින්වේ.

අළුත්අම්බලම ග්‍රාමවරයට ආලෝකයක් ගෙන දෙන ස්ථාන අතුරෙන් ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. විජේසුන්දර පවුලේ පරිත්‍යාගයන්ගෙන් පෝෂිතව ගොඩනැඟුණ මෙම විහාරස්ථානයේ ආදි කතුවරයා වූ යෝගියානේ ජිනවංශ මහ තෙරපාණෝ අද පවා ජනතාවගේ ගෞරවාදරයට පත් ව ඇත්තාහ.

උන්වහන්සේගේ ඇවෑමෙන් කලක් මන්දගාමීව පැවති මෙම විහාරස්ථානය වත්මන් විහාරාධිපති දංගල්ලේ මංගල ස්වාමීන් වහන්සේ යටතේ සුවිශාල දියුණුවක් ලබා ඇත.

භෞතික සම්පත් අතින් ස්ථානය ඉදිරියට යත්ම ආධ්‍යාත්මික, බුද්ධිමය පැත්තෙන් ද ජයග්‍රාහී ඉදිරි පියවර රැසක් අත්කරගෙන ඇත. සැදැහැති බොදුනුවන්ගේ චිත්තාරාධනයට පාත්‍රව ඇති මෙම විහාරස්ථානය අවට පොදු ජනතාවගේ දහම් පිපාසය සංසිඳුවන කෙම්බිමක් බවට පත්ව තිබේ.

සුධර්මා දහම් පාසල මෙම විහාරස්ථානයට ඉමහත් ශක්තියකි. විශාල සිසු පිරිසකට නැණ නුවණ ලබා දෙමින් සීතාවක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ කීර්තිමත් දහම් පාසලක් ලෙස සම්භාවනාවට ලක් ව ඇත.

බෞද්ධයන්ගේ ආගමික කටයුතු නොපිරිහෙලා සපුරාලන මෙම විහාරස්ථානයේ ශිෂ්‍ය ගෝල බාලාදීන්ගෙන් සිදුවන්නේ අනූපමේය සේවාවකි.

මෙවර මෙම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින චීවර පූජෝත්සවය සුවිශේෂී තත්ත්වයක් ගෙන ඇත්තේ අලුතෙන් ගොඩනැගුණු ධාතු මන්දිරය ද බොදුනුවන්ගේ බැති පුද පිණිස නිරාවරණය වීමයි. ප්‍රදේශයේ සැදැහැති දානපති දෙපළක් වන නිශාන්ත දිසානායක මැතිතුමාගේ සහ ගයනි දිසානායක මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් සහ සැදැහැතියන්ගේ අනුග්‍රහ සහිතව ඉදි වුන මෙම අලංකෘත ධාතු මන්දිරය නොවැම්බර් මස 07 වන දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්දර මඩිතියවෙල මේධංකරාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් නිරාවරණය වීමට නියමිතව ඇත. මේ අවස්ථාවට ප්‍රදේශයේ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ද, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා ද, ජල සම්පාදන හා ජල පවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රධාන මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු ප්‍රධාන ගිහි පිරිසක් ද ආරාධිතයන් ලෙස සහභාගිවීමට නියමිතය.